රාවය

රුසියාව පුටින්ට ම

රුසියාව පුටින්ට ම

එස්. නන්දලාල්

අවසානයේ සියලුදෙනා බලාපොරොත්තුවෙන් සිටි රුසියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වුණේ ය. ජනාධිපති ව්ලදිමිර් පුටින් ප්‍රකාශිත ඡන්දවලින් 78% ක් ලබාගෙන ජයග්‍රහණය කළේ ය.
අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ප්‍රමුඛ බටහිර ඇලියේ බොහොමයක් රටවල් ඔහුගේ ජයග්‍රහණයට සුබ පැතුවේ නැත. එහෙත් ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රොන් ඔහුට සුබ පතා ඇත. ඒ අවස්ථාවේ ම මැක්‍රොන්, සැලිස්බරි ඝාතන සිද්ධිය පිළිබඳ ව විමසා ඇති අතර එවැන්නකට තමාට අවශ්‍යතාවක් නොමැති බව පුටින් පවසා ඇත.

ධවල මන්දිරයේ ප්‍රකාශකයකු මාධ්‍යයට පවසා තිබුණේ ජනාධිපති ට්‍රම්ප් රුසියානු නායකයාට සුබ පතන්නට අදහස් නොකරන බවයි. “අප රුසියාව සමග සබඳකම් වගා කැර ගන්නට කටයුතු කරනවා. එහෙත් රුසියාව අපගේ අභිලාෂයන්ට පටහැනි ව කටයුතු කරන්නේ නම් අපට සිදුවනවා මූල්‍යමය වශයෙන් ඔවුන්ට තහංචි පනවන්නට. එසේම ඔවුන් අපගේ අභිලාෂයන්ට එකඟව වැඩ කරනවා නම් එක් ව වැඩ කරන්නට අප කැමතියි.”
ඍජුව ම ඊට ප්‍රතිචාර වශයෙන් නොවුණත් “ඒක හරියට පෙම් සබඳතාවක් වගෙයි.” පුටින් පවසා ඇත.

“දෙපැත්තම අනෙකාගේ අභිලාෂයන්ට එකඟ විය යුතුයි. නැත්නම් සබඳතාව අත්හැරිය යුතුයි.”
මේ ජයග්‍රහණයෙන් පසු පුටින් තවත් සයාවුරුද්දක් රුසියාව පාලනය කරනු ඇත.

2012 ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ 2024 තෙක් ජනාධිපතිධුරයේ රැඳී සිටින්නට තමාගේ අපේක්‍ෂාවක් ඇති බවයි. දැන් එය මල්ඵල ගැන්වී තිබේ. මේ ජයග්‍රහණයෙන් පසු “2030 දක්වා ජනාධිපති ධුරය දරන්නට ඔබ බලාපොරොත්තු වනවා ද?”යි මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නගන ලද නිහඬ මන්දස්මිතයකින් පමණක් සෑහීමට පත් වන්නට ප්‍රශ්නය ඇසූ මාධ්‍යකරුවාට සිදුවූ බව වාර්තාවේ.

ඒ පුටින්ගේ හැටි ය. කොහොමටත් ඔහු හඬ නගා සිනාසෙන්නේ නැත. මන්දස්මිතයක් පවා විස්මිතයකි.

2000දී, 2004දී සහ 2012 වශයෙන් ඔහු මීට පෙර ජනාධිපතිවරණ තුනක දී ජයග්‍රහණය කොට ඇත. 2000 දී ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ පුටින් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 53.4කි. කමියුනිස්ට් පක්‍ෂයේ ගෙනඩි ශ්‍යුගනොව් 29.5%ක් ලබා ගත්තේ ය. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 68.6%ක් ඡන්දය දී තිබිණි. 2004 වසරේ නැවත ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වූ ඔහුට එවර ලැබුණ ඡන්ද ප්‍රතිශතය 71.9කි. එය පෙර අවස්ථාවට වඩා 19.5%ක වැඩිවීමකි. ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 64.3ක් විය. කමියුනිස්ට් අපේක්‍ෂකයා එවර බොහෝ සේ පසු බැස තිබිණි. නිකොලයි ඛෙරිමනොව් නමැති ඔහු ලබා ගත්තේ 13.8%ක් පමණි. 2008 ජනාධිපතිවරණයේ දී යුනයිටඞ් රෂියා පක්‍ෂයෙන් ඉදිරිපත් වූ පුටින් ප්‍රකාශිත මු`ඵ ඡන්ද සංඛ්‍යාවෙන් (65.25%) 63.6%ක් ලබා ගත්තේ ය. ගෙනඩි ශ්‍යුගනොව් නැවත කමියුනිස්ට් පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ අතර එවර ඔහු 17.27% ලබා ගත්තේ ය. මෙවර පුටින් නැවතත් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග වැදී 76.67% ලබා ගත් අතර කමියුනිස්ට් පක්‍ෂයේ පාවෙල් ගෘඩිනින් 11.77%ක් ලබා ගත්තේ ය. ප්‍රකාශිත මු`ඵ ඡන්ද සංඛ්‍යාව 67.53%කි.
මෙයින් කරුණු දෙකක් පැහැදිලි වෙයි. පළමුවැන්න නම් පුටින්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි වී ඇති බව සහ මෙවර එය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. දෙවැන්න කමියුනිස්ට් පක්‍ෂය පිරිහෙමින් පවතින බවයි.

විරෝධතා ව්‍යාපාර දියත් වන මොස්කව් නුවර ප්‍රතිඵලය විස්මිත ය. 2012 එහි ඔහුට ලැබුණේ 47%ක් වන නමුත් මෙවර එය 70% දක්වා ඉහළ ගොස් තිබූ බව සඳහන් ය. වැඩිම ඡන්ද දූෂණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ද එහි වීම විශේෂයකි.

නොයෙක් ආකාරයේ ඡන්ද දූෂණ පිළිබඳ සිද්ධි දහසකට අධික සංඛ්‍යාවක් නිරීක්‍ෂකයන් විසින් පෙන්වා දී ඇතත් ඡන්ද ප්‍රතිඵලය කෙරේ ඒවායේ බලපෑම සිමීතබව පිළි ගැනේ. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ඉක්මවා මුල් වටයේ ඡන්ද ලබාගෙන ඇත්නම් එම අපේක්‍ෂකයා ජයග්‍රාහකයා බව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. වංචා හා දූෂණවලින් ඡන්ද ප්‍රතිශතය ඉහළ යන්නට ඇති බව සැබෑවක් නමුත් ජයග්‍රහණයට එහි බලපෑමක් නොවන්නට ඇති බව මතයයි.

පුටින් විසින් බලෙන් රුසියාවට ඈඳා ගන්නා ලද ක්‍රිමියාවේ ජනයා ද මේ වතාවේ රුසියානු ඡන්දදායකයන් බවට පත් ව ඡන්දය ප්‍රකාශ කළහ. ඔවුනතුරෙන් බහුතරය පුටින්ට ඡන්දය දෙන්නට ඇතැ’යි විශ්වාසය පළ කෙරේ.

රුසියානුවන් පුටින්ට ඡන්දය දෙන්නට හේතු හතරක් තිබේ. ඉන් පළමුවැන්න නම් ප්‍රබල ප්‍රතිවාදියකු නොමැති වීමයි. මෙය සෑම අවස්ථාවේ ම සිදුවිය. ඔහුට එරෙහිව නැගී සිටි පුද්ගලික බලවේග තලා දමන්නට ඔහු සැමවිට ම කටයුතු කළේ ය. කමියුනිස්ට් පක්‍ෂයේ ශ්‍යුගනොව්ට පවා ඔහු එසේ හිරිහැර කළේ ය. ඔහුට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩ නගමින් සිටි චෙස් ක්‍රීඩාවේ කිරු`ඵ පළන් ගෙරී කැස්පරොව් ද ඔහුගේ තලන යාන්ත්‍රණයට හසු විය. මෙවර ජනාධිපතිවරණය සඳහා 2015 තරම් ඈත සන්ධියේ සිට සූදානම් වෙමින් සිටි ප්‍රගති පක්‍ෂය නම් නව දේශපාලන පක්ෂයේ නායක අලෙක්සෙයි නවාල්නි බොරු චෝදනා එල්ල කොට නඩු විභාගයක් පවත්වා අශක්නුතාවට පත් කරන ලදි.

දෙවැන්න නම් ඔහු දැනට සිටින ජනාධිපතිවරයා නිසා සිය අදහස් ප්‍රකාශ කරන්නට වැඩි අවස්ථාවක් හිමිවීමයි. එරට මැතිවරණ කොමිසමට ඒවා පාලනය කරන්නට බලයක් නොමැත.
තුන්වැන්න ක්‍රිමියාව ඈඳා ගැනීමයි. මෙයින් රුසියානු අභිමානය උත්කර්ෂයට නැංවූ බව පිළි ගැනේ. කෙසේ වෙතත් බලහත්කාරයෙන් කරන ලද මේ ක්‍රියාව නිසා එක්සත් ජාතීන් ද බටහිර බලගතු රාජ්‍යයන් ද විසින් පනවන ලද සම්බාධක අදත් රුසියාවට එරෙහි ව ක්‍රියාත්මක ය. මෙයට විරෝධය පළ කරමින් 2014 මාර්තු මස රුසියාව අටදෙනාගේ කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් කරනු ලැබූ අතර එම වසරේ රුසියාවේ සෝචි නුවර පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට තිබූ එම සමු`ඵව ද නොපවත්වන ලදි. ප්‍රධාන රටවල් රුසියාව ඉදිරිපත් කළ අභියාචනා නොසලකා හැරි අතර ජර්මනියේ, ජපානයේ සහ ඉතාලියේ නියෝජිතයන් විසින් රුසියාවට පක්‍ෂව ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් ද නොසලකා හරිමින් කල් බලමින් සිටියෝ ය. 2017 ජනවාරි මාසයේ රුසියාව එම සමු`ඵවෙන් ඉවත් විය.

සිව්වන කාරණ නම් බටහිර සමග ඇති ගැටුම් ය. කමියුනිස්ට් ක්‍රමයට දැන් පක්‍ෂපාත නොවෙතත් රුසියානුවන් තුළ තවමත් බටහිර විරෝධයක් පවතී. අට දෙනාගේ කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සම්බාධක පැනවීමත් නිසා රුසියානුවන් තුළ අමෙරිකානු විරෝධයක් පවතී. මසකට පමණ පෙර බි්‍රතාන්‍යයේ සැලිස්බරි ඝාතන සිද්ධියේ දී තෙරේසා මේගේ ආණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව රුසියාවට චෝදනා කිරීමත් නිසා රුසියානුවන්ගේ බටහිර විරෝධය උග්‍ර විය. මෙහි දී ජනාධිපති පුටින් නිවැරදි බවත් ඒ නිසා තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක යනාදිය වෛරී ඒවා බවත් බොහෝ රුසියානුවෝ විශ්වාස කරති.

ව්ලැදිමිර් පුටින් 1999 දෙසැම්බර් 31 දක්වා ජනාධිපති බොරිස් යෙල්ට්සින් යටතේ අග්‍රමාත්‍යධුරය හෙබැවී ය. එදින යෙල්ට්සින් ඉල්ලා අස්වීම නිසා වැඩබලන ජනාධිපතිවරයා ලෙස රාජකාරි භාරගත් ඔහු 2000 මැයි මස ජනාධිපතිවරණය පවත්වා ඉන් ජයගෙන ජනාධිපති විය. එසමයේ ජනාධිපති ධුර කාලය වසර හතරක් වූ අතර එක් පුද්ගලයකුට දැරිය හැකි වාර ගණන දෙකක් පමණක් විය. 2004 නැවත ජනාධිපති වූ ඔහු 2008 දී සිය විශ්වාසවන්ත ම සගයා වන ද්මිත්‍රි මෙද්වෙදෙව් තරගයට ඉදිරිපත් කළේ ය. ඉන් මෙද්වෙදෙව් ජයගත් අතර පුටින් ඔහු යටතේ 2012 දක්වා අගමැතිධුරය දැරී ය. 2011 දී ධුරකාලය වසර හය දක්වා දීර්ඝ කරන ලද නමුත් වාර ගණන සඳහන් 81.3 ව්‍යවස්ථාව සංශෝධනය කැරුණේ නැත. පුටින් පෙර ජනාධිපතිධුරය දරා ඇත්තේ පැරණි ව්‍යවස්ථාව අනුව වසර 4 ධුර කාල දෙකක් බැවින් ඔහුට වසර හයේ ධුර කාල දෙකක් සඳහා ද හිමිකම තිබිය යුතු බව පිළිගන්නා ලදි. ඒ අනුව 2012 තරග කොට ජයගත් පුටින් 2018 තරග කොට දිනා 2024 දක්වා රුසියාව පාලනය කරයි.

දිගටම ඉන්නට වුවමනා නම් පුටින්ට ශ්‍රී ලංකාවේ 18 වන සංශෝධනය අනුගමනය කළ හැකිය. චීනය උදාහරණයක් ලෙස නොගන්නේ එහි ක්‍රමය කමියුනිස්ට් චීනයට හැර අන් රටකට අදාළ කැර ගත නොහැකි බැවිනි.