රාවය

ලාංකීය පිරිවෙන් අධ්‍යාපනයේ අඳුරු යථාර්ථය

ලාංකීය පිරිවෙන් අධ්‍යාපනයේ අඳුරු යථාර්ථය

එම්. කුමාරගේ

මෙම ලිපියෙන් අපේක්ෂා කරනු ලබන්නේ කිසිදු භේදයකින් තොරව ආගමේ නාමයෙන් කරනු ලබන අත්තනෝමතික ක්‍රියා පිළිබඳව කරුණු අනාවරණය කිරීමත්, ඒ ඔස්සේ ඒ ආගමික සංස්ථාවන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පවත්නා බාධක, බිඳ දමමින් සමාජය තුළ ගැඹුරු විවෘත සංවාදයකට අවශ්‍ය අත්තිවාරම සැපයීමය.
ඊට ප්‍රවේශයක් ලෙස ලාංකීය බෞද්ධ ශාසනයේ මතු අනාගත පැවැත්ම රඳා පවතින පිරිවෙන් අධ්‍යාපන පද්ධතියේ පවත්නා පරිපාලන අවුල්සහගතභාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරමි.

සමස්තයක් ලෙස රටෙහි පවත්නා අර්බුදකාරී තත්ත්වයන් තුළ අතීතයේ මෙන් මධ්‍යම පාන්තික මව්පියන්ගේ දරුවන් ශාසනයට ඇතුළු කරනු ලබන්නේ ඉතාම අවම වශයෙනි. වර්තමානයේ ඊට ඇතුළත් වන බහුතරයක් ආර්ථික වශයෙන් අපහසුතාවට පත්වූ පවුල් ජීවිත බිඳවැටුණු භේදභින්න වූ මව්පියන්ගේ දරුවෝ වෙති. සාමාන්‍යයෙන් පාසලක ඉගනුම ලබන සිසුනට මෙන් නොව පිරිවෙනක ඉගෙන ගන්නා සිසුන්ට යම් ගෙවීමක් සිදුකරනු ලබයි. පැවිදි සිසුනට වැඩි මුදලකුත් ඊට සාපේක්ෂව ගිහි සිසුනට අඩු මුදලකුත් වශයෙන් ගෙවීම් සිදුකරනු ලබන අතර එය වාර්ෂිකව සකස් කරනු ලබන වාර්තාවකට අනුව සිසුන්ගේ පැමිණීමේ සාමාන්‍ය අගය මත පදනම් ව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම ගෙවීම් සිදුකරනු ලබයි. මෙම හේතුව නිසාම බොහෝමයක් පිරිවෙන්වල සැබෑවටම සිටින ශිෂ්‍ය ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක ශිෂ්‍ය ප්‍රමාණයක් නාමලේඛනවලට ඇතුළත් කරනු ලබයි. එය සිදුකරනු ලබන්නේ ඉතාම සූක්ෂම ආකාරයටය. එනම් මහණ කිරීමට අපේක්ෂාවෙන් පිරිවෙනට ගෙනත් භාරදෙනු ලබන දරුවන් ඔහුගේ ගිහි නමින්ම නාමලේඛනයට ඇතුළත් කරනු ලබයි. ඉන්පසුව එම දරුවා පැවිදි කිරීමෙන් අනතුරුව පැවිදි නම නාමලේඛනයට ඇතුළත් කරනු ලබන්නේ ඔහුගේ ගිහි නමද නාමලේඛනය තුළ එසේම තිබියදීය. පසුව එම සිසුන්ම විභාග සමත්වීම හෝ වෙනත් හේතුවක් නිසාවෙන් වෙනත් පිරිවෙනකට ඇතුළත් කිරීමේදී නැවත එම පිරිවෙනේ නව නාමලේඛනයට නම ඇතුළත් කරනු ලබන අතර එහිදී මුල් පිරිවෙණෙහි නාමලේඛනේ තිබෙන නම ඉවත් කරනු නොලබයි. මෙම තත්ත්වය තුළ එකම ශිෂ්‍යයකු විවිධ නම්වලින් පිරිවෙන් දෙකක හෝ තුනකම නියෝජනය කරනු ලබයි. මෙම ක්‍රියාවලිය තුළින් බොහෝ පිරිවෙන්වල පිරිවෙන් භාර හිමිවරුන් වාර්ෂිකව විශාල ධනයක් උපයයි. මෙම කටයුත්තේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන්ගේ අනුමැතියද ඊට හිමිවීම පුදුමසහගතය. මෙම ලේඛන සඳහා අනුමැතිය ලබාදීමේදී ඔවුනටද එහිදී පැවරෙන කාර්යයක් පවතී. ඇතැම් අවස්ථාවල මෙම නිලධාරීන් පිරිවෙන් පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන බව දැනගන්නට ලැබෙන අතර රාජකාරියට එහා ගිය භක්තියත්, ශ්‍රද්ධාවත් මෙන්ම ඇතැම්විට ලැබෙන්නා වූ ලාභ ප්‍රයෝජන, සත්කාර හේතුවෙන් ඉහත ක්‍රියාකලාපයන් පිළිබඳ දැනගත්තද ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග නොගනිමින් සිටින අවස්ථා ඇත. අතළොස්සක් නිලධාරීන් මේවාට එරෙහි වුවත් ඉන් ඔබ්බට කිසිදු සාධාරණ මැදිහත්වීමක් සිදුකිරීමට ඔවුනට ඇති හැකියාව වැළකී ගොස් ඇත. එසේම මෙම ලේඛන ඉතාම නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන සීමිත පිරිවෙන් ගණනක් ද පවතී. මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි පිරිවෙන් සංඛ්‍යාව පිළිබඳ සැලකිලිමත්වීමේදී ඉහත ආකාරයට වංචනික ක්‍රම මගින් වසරකට පමණක් රුපියල් කෝටි ගණනක මහා ධනස්කන්ධයක් මහජන මුදල් කොල්ලකනු ලබයි. මෙය මෙරට මහ ජනතාවගෙන් වසන් කර ශාසනික කටයුතුවලට ගිහි පාර්ශ්වයන්ට මැදිහත්වීමට ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් සිදුකරනු ලබන මහා පරිමාණ වංචාවකි. ඇත්තෙන්ම රට තුළ නිවැරදි සංගණනයක් සිදුකළහොත් නාමලේඛනවල ඇතුළත් කොට ඇති ශිෂ්‍ය සංඛ්‍යාවත් සැබෑ ලෙසම සිටින පිරිවෙන් ශිෂ්‍ය සංඛ්‍යාවත් අතර පැහැදිලි වෙනසක් හඳුනාගත හැකිය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක හිමිවරුන් පත් කොට සිටින අතර උන් වහන්සේලා සියලුදෙනාම පාහේ මෙම සැබෑ තත්ත්වය නිවැරැදිව දනිති. කෙනෙකු හෝ දෙදෙනෙකු හැර සෙසු සියලුදෙනාම ඉහත ක්‍රමය පවත්වාගෙන යෑමට අනුබල දෙනු ලබන අතර එය අවස්ථාවක් කර ගනිමින් ඇතැම් ලේඛන අනුමත කිරීම සඳහා අත යට ගනුදෙනු සිදුකරනු ලබයි. මේවා පිරිවෙන් පද්ධතිය තුළ පවත්නා ප්‍රසිද්ධ රහස් බව දැනගන්නට ලැබේ. මීට අමතරව පිරිවෙණකට නවක ගුරුවරයෙකු බඳවා ගැනීමේදීද, උසස්වීම් හා ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේදී ද ඒවා සිදුකරනු ලබන්නේ අමුතුම ආකාරයකටය. නවක ගුරුවරයෙකු බඳවා ගැනීමේදී එය සිදුකරනු ලබන්නේ පිරිවෙන් භාර හිමි වරුන්ගේ අභිමතය පරිදිය.එම කටයුත්තේ දී ඉහත සඳහන් කළ තත්ත්වය තව තවත් උග්‍ර අතට පත්වේ. විශේෂයෙන්ම නව පත්වීමක් අනුමත කර ගැනීමේදී ඒ සඳහා නවක ගුරුවරයා විසින් විශාල මුදලක් අල්ලස් වශයෙන් ගෙවිය යුතු අවස්ථා ඇත. ඇතැම්විට එම මුදල රුපියල් ලක්ෂ ගණනින් වේ. පාසල් ගුරුවරයකුට සමානම සියලුම ආකාරයේ වරප්‍රසාද පිරිවෙන් ගුරුවරයාට ද හිමි වන අතර එම නිසා බොහෝ නවක ගුරුවරු ප්‍රශ්න කිරීමකින් තොරව මෙම මුදල් ලබාදීම සිදුකරති. විශේෂයෙන්ම එසේ මුදල් ලබාදීමකින් වුවද මෙම ගුරුපත්වීමක් ලබාගැනීමට පුද්ගලයන් පෙළඹෙනුයේ රටේ පවත්නා රැකියා අර්බුදයත් මෙම තනතුර ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් බැවිනුත්ය.

මීට නොදෙවැනිම ආකාරයට පිරිවෙන් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය සිදුකරනු ලබන අතර බොහෝ පිරිවෙන් අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා ස්ථාන මාරුවක් ලබාදීමට ද යම් මුදලක් අයකරනු ලබයි. මෙම තත්ත්වය නිසා ඇතැම් පිරිවෙන් ගුරු භවතුන්ට විශ්‍රාම යන තෙක්ම මුල් පත්වීම ලද පිරිවෙනෙහිම සේවය කිරීමට සිදුව ඇත. මෙම පසුබිම තුළ පිරිවෙන් ගුරු භවතුන් ඉතාම පීඩනයකින් කිසිවක් කර කියා කියා ගත නොහැකිව නිෂ්ක්‍රීය තත්ත්වයට පත් ව තිබේ. විවිධ කාලවකවානුවල පිරිවෙන් ගුරු සංගම් පිහිටුවා ගෙන ක්‍රියාත්මක වී ඇතත් ඒ කිසිවකට මෙම ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීමට හැකියාවක් ලැබී නැත. පිරිවෙන් ගුරු සේවාව තුළ ද ගුරු උපදේශක තනතුරක් ඇති කර තිබෙන අතර ඊට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කරනු ලබනුයේ ද නිසි සුදුසුකම්වලට හෝ පළපුරුද්දට නොව පෞද්ගලික හිතවත්කම් මතය. තවත් විශේෂයෙන් දැනගන්නට ලැබෙන කරුණක් තිබේ. එනම් මෙම පිරිවෙන් භාර හිමිවරුන්ට මෑතක සිට තවත් ඉල්ලමක් පෑදී තිබීමය. එනම් නිල ඇඳුම් තිළිණ පත් බෙදාදීමේ කාර්යයි. රටෙහි සිටින සමස්ත ශිෂ්‍ය ප්‍රජාව අතරින් එක් සිසුවකු වෙනුවෙන් වෙන් කරනු ලබන වැඩිම මුදලට හිමිකම් කියනු ලබන්නේ පිරිවෙන් පැවිදි සිසුන්ය. එනම් එක් පැවිදි ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් 1800ක් පමණ මුදලක් වේ. ඒ සිවුරු රෙදි ලබා ගැනීම සඳහාය. වසර දෙකක කාලයක සිට නිල ඇඳුම් රෙදි ලබා දෙනවා වෙනුවට තිළිණ පත් ලබාදීම සිදුකරනු ලැබුවද ඇතැම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ මොහොත වන විටත් නිල ඇඳුම් තිළිණ පතක් දෑසින් දැකවත් නොමැත. එහෙත් එම ශිෂ්‍ය හිමිවරුන් එම ලේඛනවලට ද අත්සන් තබා ඇත. මෙහිදී සිදුව ඇත්තේ නාම ලේඛනවල සිටින ශිෂ්‍ය ප්‍රමාණයට අදාළව තිළිණ පත් ලබාගෙන ඒවා යොදා ගෙන වංචනික ක්‍රියා සිදු කිරීමය.
සාමාන්‍යයෙන් පිරිවෙනක කටයුතු පවත්වාගෙන යාමේදී ඊට පාලක සභාවක් හා සංවර්ධන සභාවක් පිහිටුවා ගනිමින් කටයුතු කළ යුතු වුවද බොහෝ පිරිවෙන්වල එම කටයුතු සක්‍රීයව සිදුවන්නේ නැත. මේ සම්බන්ධයෙන් වාර්ෂික ව සකස් කරනු ලබන ලේඛනයන් තුළ කරුණු ඇතුළත් කළ යුතු වුවත් ඒවාට අදාළව සභා වාර්තා ලියනු ලබන්නේ ඇත්ත වශයෙන් ම පවත්වනු ලැබූ සභාවාරයේ වාර්තාවන් නොව මනඃකල්පිත ඒවාය. එය සිදුවනුයේ පිරිවෙන් භාර හිමිවරුන්ගේ අභිමතය පරිදිය. මෙම කටයුතු අභියෝගයට ලක් කිරීමටත්, ප්‍රශ්න කිරීමටත් ඇති හැකියාව, ඉඩකඩ සිවුරේ බලයෙන්ම යටපත් කොට ඇත.

ඉහතින් සඳහන් කළ කරුණු ඉදිරිපත් කිරීම තුළින් කිසියම් ස්වාමීන් වහන්සේ නමකට හෝ පිරිවෙන් ආයතනයකට පෞද්ගලිකවම විවේචනයක් එල්ල කිරීමට අපේක්ෂා නොකළ අතර ම මහජන මුදල් වංචනික ලෙස කොල්ලකන ඇතැම් පිරිස් පිළිබඳව රටේ පුරවැසියන් දැනුවත් කිරීමත් ඒ ඔස්සේ මෙබඳු ක්‍රියා සිදු නොවීමට අවශ්‍ය ය මහජන කතිකාවක් ගොඩ නැගීමත් හෙට දවසේ බෞද්ධ දර්ශනය මත පිහිටා කටයුතු කරනු ලබන ගෞරවනීය භික්ෂු පරපුරක් නිර්මාණය කර ගැනීමටත් අවසානයේ වඩාත් යහපත් නවීන ලාංකීය සමාජයක් ගොඩනගා ගැනීමටත් ඒ තුළින් අපේක්ෂා කරන්නෙමු.