නුවනේ වන්දනය

සරත් සඳගෝමි

හුඟදෙනා අපට කරුණාවම පානා දෙවියන් බුදන් නිසා පවා බෙදිලා ගහ මරා ගන්න කාලෙක මම කරුණාවෙන් ඒ හැම දෙවියෙක්ම වඳින්න පුදන්න පුරුදු වුණා. මහ බලගතු දෙවිවරුන් රකින එවන් අන් දෙවිවරුන් නහන්න යන්නෙ නැතිව හැම දෙවියන්ගෙම රැකවරණය ලබන්න හිතුවා. ඒ ඉන් අපි කිසිවෙකුට වගෙම අන් අයට වාසියක් මිස අවාසියක් නොවන නිසයි. අනෙක ප්‍රබල දෙවිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මනුසතුන් වන අපි මොනවා කරන්නද.

අනික අපි එක් ප්‍රබල දෙවියෙක් වෙනුවෙන් හරි වෙනත් එවන් දෙවියෙක් තරහා කර ගන්න එක මහා මෝඩ කමක්.

ඒ නිසා දෙන දෙවියෝ දෙන දෙයක් දෙයි කියලා හිතං හැම දෙවියටම වඳින එක සාමකාමී ඵලදායිවත් පිළිවෙතක්.

මම ඉතිං කවාඩි නට නටා කතරගම යනවා. පේවෙලා පිරුවට ඇදලා දළදාව ශ්‍රී මහබෝධිය වඳිනවා. ජැන්ඩියට ඇද පැලඳගෙන කොච්චිකඬේ ගිහිං බැති ගී ගයනවා. ලේන්සුව ඔලුවේ බැඳං දවට ගහට යනවා. ගමේ පන්සලටත් නොවැරදි සලාක දානේ දෙනවා. පාර අයිනේ බෝ ගහට සුරුවමටත් පුද පඬුරු දානවා.

මම මෑත දවසක එලෙසින් මඩු මෑනී වඳින්න මනනාරම් ගියා. මඩු පල්ලිය වටා විහිදෙන සම බිම පුරා අපුරු චාම් බවක් පැතිරිලා. පල්ලිය තුළ කාටවත් ආසන පනවා නෑ. හැමෝම අපේ පන්සලකට වගේ පාවහන් ගලවලා ඇතුල් වුණා. පුජාව කළ පියතුමා දෙසුවේ හැම දහමටම ගැළපෙන බණක්. එතුමා එතනදී සිංහල දෙමළ වගේම ඉංග්‍රීසියත් මිශ්‍ර කරගත්තා.

වාසනාවට එතන බමුණෝ කපුවෝ හිටියෙ නෑ. එ නිසා මඩු මෑනිගේ දෙපා අබියසට ගිහිං වැද වැටුණා. පඬුරු පිදුවා. සුවඳ වැටි දැල්වුවා. මට මෙන්ම අන් සැමට සමව කරුණාව පාන ලෙස යැද්දා.
උදේ හවා අපේ අම්මට වදින බොදු අපිට සැමට කරුණාව පාන දෙව් මවකට වැදීම වරදක් වෙන්න බෑ. අන් දෙවියන් වදින්න එපා කියල අපෙ බණේ කියලත් නෑ. ඒ නිසා ඉන්දියානු දෙවිවරු බොහොමයක් අපේ පන්සල් තුළටම වැඩලා ඒවයේ පදිංචිත් වෙලා. අපිත් බුදුන් එක්ක ඒ දෙවියන්ව වඳිනවා. පින් පෙත් දෙනවා. අපි පන්සලට යේසු තුමන්ව මහමත්තුමන්ව ඇතුළත් කර නොගත්තේ ඒ ඇත්තන්ගේ පල්ලි තුළ බුදුන්ට ඉඩක් නොදුන් නිසා වෙන්න පුලුුවන්.

පුරුෂාධිපත්‍යයට යට වුණ ආගමක බල අධිකාරීන් තුළ ජනයා ගැහැනුන් දේවත්වයට නංවපු හැටි හරි පුදුමයි. අද වෙන කොට යේසු දරුවන් තරමටම මරියා මවුන්ට ජනයා වදිනවා. දෙවොල් සුරුවම් හදනවා. බැති ගී පබඳනවා. ගයනවා. අපටත් සරස්වතී, ගයත්ත්‍රී, පත්තිනි, කාලි වගේ දෙව් මෑනිවරු ඉන්නවා. එ හැම වඳිනා අපි අපේ යසෝදරා මිනිස් මවක් බිරියක් ලෙසම තියං පෙම් කරනවා. වඳින්නේ නෑ. ඒක සිංහල බොදු මානසිකතවයේ අති සුන්දර පැති කඩක් පෙන්වනවා. ලොව නිර්මාණය වුණ මනරම්ම වියොවේ විලාපය යසෝදරාවත්යි. මහමත්තුමා කරකාර බැඳගත් වැන්දඹුවත් එවන් චාම් සුන්දර ගැහැනියක්. මේ සියල්ලෝ අපට නොඅඩුව මව් සෙනෙහස දෙනවා.

මිනිසුන් අතරින් දේවත්වයට වැඩියෙම ළං වෙන්න පුලුවන් වන්නේ තම ඇට මස ලේ පවා සෙනෙහසින් දිය කර පොවනා මවකටයි. අපි මහා කාරුණිකයන් වන බුදුන්ට අමා මෑනි කියන්නේ මේ අරුතෙන් වෙන්නැති.

ලොවට කාරුණාව පතුරන සියලු දෙවියන් දේවතාවියන් බුදුන් අතර තියෙන්නෙ මහා සමාන කමක්. එය නොදැක ඒ අය නමින් පවා ගහ මරා ගන්නෙ වියරු නිවටයොයි. බුදුන් මෙන්ම දෙවියන් වර්ග වර්ණ ජාති කුල පරයා යමින් මිනිස් වර්ගයා ඒ අය ඉදිරියේ සමානයන් ලෙස එක් එක්කරනවා. සමහරු ඒ දේ මැනවින් කරන්න ඒ ඒ දේසයට සිරිතට විරිතට බසට අනුව වෙනස් වෙනවා. හැඩ රුවත් වෙනස් කරනවා. අප්‍රිකාවේ ඉන්න යේසු තුමා කල්ලෙක් වෙනකොට චීනේ බුදන් චීනෙක්ම වගෙයි. ඬේව්ඞ් පේන්ටර් ඇන්ද මහනුවර ත්‍රිත්ව පල්ලියේ වැඩ ඉන්න යේසු තුමා අපේ උඩරට සිංහලයෙක් වගෙයි.

දෙවියන් මැවූ විස්මිතම කෙනා මිනිසා නං ඒ මිනිසා මැවු විස්මිතම නිර්මාණය දෙවියන් වෙනවා. ඒක විශ්වයේ කාල අවකාශ රාමුවෙනුත් එහාට යන දෙයක්. ඒත් අපට අනන්තය හොයා ගිහිං අතරමං වෙන්න දෙන්නෙත් නෑ. දෙවියෝ එලෙසින් අපව අප දන්න මොලොවින් එහා තියෙන එලොවක් කෙරේ බඳවා අපෙ මර බිය තුරන් කරනවා.

මෙවන් දෙවියන්ට විවිධ රුව විවිධ නම් දෙන මිනිසා ඒ වෙනුවට කර්මය ලෝක නියාමය වගේ මහා ලෝ පාලන සංකලපත් භාවිතා කරනවා. අපි අපට නොවැටහෙන හැම දේම දෙවියන්ට පවරනවා. අපට කරන්න, වලක්වන්න බැරි දේත් එහෙමයි. අපි එවන් දේ ඉදිරියෙ අසරණ වුණ හැම විටකම දෙවියන්ගේ පිහිට පතනවා. ඉන් ඉවසීම සැනසීම ලබනවා. දෙවියෝ කියන්නෙ චිරාත් කාලයක් මිනිසා විසින් තම සිත් සනසාලන්න භාවිතා කරනා විස්මිත අඳුනක්. ඒක මිනිස් නුවන තුළ විකසිත වුණ සාමාන්‍යක්, ප්‍රයෝගයක් කිව්වත් වැරදි නෑ.
සාමාන්‍යක් ප්‍රයෝගයකින් උපරිම ප්‍රතිඵල ගන්න නං ඒක මුලු හදින්ම විස්වාස කරන්න වෙනවා.

අපි දෙවියන්ගෙන් අපි දන්නා මෙලොව යහපත වගේම නොදන්නා එලොව යහපතත් පතනවා. අපි යුක්තිය සාධාරණත්වය පවා පතන්නෙ දෙවියන්ගෙන්. අපි අපේ මන දොල සපුරා ලන දේ ඉෂ්ට කර දෙන ලෙස තන්හාසයෙන් දෙවියන් යදිනවා. අපේ සතුරන් වනසා දෙන ලෙසටත් යදිනවා. සැම රකින්න ඉන්නා දෙවියන්ගෙන් එවන දේ පතනා එකනං අසාධාරණයි. ඒත් ඉනුත් යම් යහපතක් වෙනවා. අපි දෙවියෝ අප වෙනුවෙන් අපේ සතුරන්ව මරයි කියා උන්ව නොමර සාමයෙන් ඉන්නවා. මෙලෙස අපේ හිතේ තියෙන තරහ ඉරිසියාව තන්හාව සපුරාලීම දෙවියනට බාර දීලා පාඩුවේ ඉඳීම තුළ අපේ හිත් සුවපත් වෙනවා. ඒකෙන් ලොව තුළත් සාමය පැතිරෙනවා.

අපි හැම දේටම එලෙස දෙවි පිහිට පතන්නෙ දෙවියන් ඒවා ඉටු කර දෙන නිසාම නොවෙයි. ඉන් ලැබෙනා මහා සහනය නිසයි. වුණ විපත දුක ළං වෙලා කියන්න, ඒක සාවධානව අහන්න යමෙක් ඉන්න එක ඒ දුක නැති කරගැනීමට පිහිටක් වෙනවා. ඒ කෙනා හැමට කරුණාව පානා හැමට හැම විට ළං විය හැකි අති විශ්වාසවන්ත දෙවියන් වන් මහා බලවතෙක් වුණහම එ දේ වඩාත් පහසුයි.
දෙවියන්ගෙන් පිහිට නොලැබුණා කියලා අපි දෙවියෝ එක්ක තරහා වෙන්නෙ නෑ. අපි වුණ දුක විපත අසාධාරණය දේව කැමැත්ත කරුමය කියල ඉවසා දරා ගන්නවා.
අපි බොහොමයක් හොඳ නැත්තං පින් කරන්නේ පවෙන් වැලකෙන්නේ දෙවියන්ට තියෙන ගෞරවය නිසයි. උසාවියෙන් නිදහස් වුණත් වැරදි කළ උන්ට දෙවියන්ගෙන් නිදහසක් නැති බව හුඟ දෙනා විශ්වාස කරනවා. පොලිසිය රට මුර කරනා කොට දෙවියෝ හිත මුර කරනවා.

දෙවියෝ ලොව සාධාරණත්වය කරා මෙහෙයවන මහා ප්‍රබල සාධකයක්. දෙවි මෙන්ම බුදු බැතිය නිසාම අපි නෙක පින්කම් කරනවා. අද සාගතයෙන් වසංගතයෙන් පිඩා විඳින කලෙක ජනයාට සහන සපයන්නෙ එවන් අයයි. එහෙම නොවෙන්න මෙලොව විශමතාවයෙන් වියවුලෙන් පිරුන කුරිරු අපායක් වෙනවා. ප්‍රසිද්ධිය ප්‍රසංසා පතා කළත් මේවා සැමට සෙත සදනා යහපත් දේවල්. දෙවියෝ මෙලෙසින් අපෙ හිත සනසා ලොව සනහන අමාවක්ම වෙලා. ඒ අමාව වෛදවරුන්ගේ උපදෙස්, සිත සනසන ඔසුවලට වඩා බලගතුයි. ලාබයි. භාවිතය පහසුයි. අනිසි ප්‍රතිවිපාක ඇබ්බැහි වීම් අඩුයි. දෙවියන් අතහැරි බටහිර සමාජවල අය අද මතට වහල් වෙලා.

කාල් මාක්ස් ආගම අබිං කියල කිව්වෙ මේ අරුතෙන් වෙන්න පලුුවන්.

දෙවියන් විසින් දෙන මේ අපූරු සහනය ගන්න අපි මිනිසෙක්ම බව කියන අපේ බුදුන්වත් නෙක පෙලහර පානා දෙවියෙක්ම කරගෙන වඳිනවා පුදනවා. ඒ තිස්තුන් කෝටියක් වෙන දෙවිවරු වඳිනා පුදනා ගමන්. අපි අපට වඩා බලගතු කෙනෙකුගේ පිහිට අපට පතනවා වගෙම එවැන්නකුගේ පිහිට කරුණාව අන් අයට පතන්නේ ඉන් වැඩි ප්‍රතිලාභ ලබා ගන්නයි. කිතුනුවෝ මේ නිසා නිකම්ම කරුණාවයි නොකියා දේව කරුණාවයි god bless කියනවා. මහමදිකයෝ ඉනසා අල්ලා කියා කරන්නෙත් ඒකමයි. අපේ හාමුදුරුවොත් අද සුවපත් වේවා නොකියා බුදු සරණයි කියනවා. අපිත් කියනවා. මේවා අපව අසරණ බවෙන් මුදවනා සොඳුරු උපායන්.

පෘතග්ජන අපේ කරුණාව වගෙද සර්ව බලධාරි දෙවියන්ගේ පිහිට. අමා මෑනි බුදුන්ගෙ මහා කරුණාව.
එක එක දෙවියන්ගේ පිහිට නොපතා ස්ව ශක්තියෙන් ලොවට කරුණාව සෙත සලසනා අපූරු මිනිස්සුත් ඉන්නවා. අයින්ස්ටයින්, රසල් එහෙම අය. හැම දෙවියෙක්ම වදිමින් ලොවට සාමය සතුට ගෙනා ගාන්ධිතුමා වන් අයත් ඉන්නවා. ගාන්ධිතුමා ජගපති රාවම ගීයෙන් සියලු බුදුන් දෙවියන් වඳිනවා. තාගෝර් තම ගිතාන්ජලී මහා කවෙන් ඒ දේම කරනවා. කව්රු වුණත් එලෙස නුවනින් දෙවියන් වන්දනය කළොත් ඉන් වන යහපත අපමණයි. නැත්තං විනාසයම වෙනවා.

එවන් දෙවියකු බුදුවරයෙකු වදින්න පන්සල පල්ලි කෝවිල් යන්න ඕනම නෑ. ඒ මේ විශ්වයම ඒ අය වෙනුවෙන් මැවුනු මහා දෙවොලක් වන නිසයි. එ නිසා මම ඉන්නා තැන ඉදං නිති දෙවියන් වඳිනවා. ඉඳ හිට බුද්ධගයාව මක්කම ජෙරුසලම දෙසටත් හැරෙනවා.