සර්ව පාක්ෂික යෝජනාව ‘චමත්කාරජනක අතිශයෝක්තියක්’

උපාලි කොළඹගේ

රට වර්තමානයේ මුහුණ පා සිටින බරපතළ අර්බුදයෙන් ගොඩගැනීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු විය යුතු බවට වූ මතයක් ඉදිරියට එමින් පවතී. එහි අදහස කෙටි කාලයකට හෝ සියලු පක්ෂ එකතුව ආණ්ඩුවක් පිහිටුවා රට හමුවේ ඇති දැවෙන ප්‍රශ්න නිරාකරණය කරගත යුතු බවය.

මෙය සංකල්පීය වශයෙන් ඉතා ප්‍රශස්ත බව ප්‍රථමයෙන් කිව යුතුය. මෙවැනි සංකල්පයක් දිගුකාලීනව වුවද ක්‍රියාවට නැංවිය හැකි නම් එය ඉතා අගනේය යන්න අපගේ අදහසයි. මෙපමණක් නොව තවත් බොහෝ උදාර සංකල්ප නිරායාසයෙන්ම අපගේ සිත්වල පහළ වේ. ඒවා සියල්ල ක්‍රියාවට නැංවිය හැකි නම් මේ ලොව සුරපුරක් වන බවද ඒකාන්තය.

එහෙත් බොහෝ අවස්ථාවල එවැනි සංකල්ප අප හිතන පතන ආකාරයට ප්‍රායෝගික තලයේ සාර්ථක වන්නේ නැත. එහෙත් පක්ෂ අතර සංහිඳියාවක් ඇති කර ජාතික ප්‍රශ්නය ඇතුළු ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට මෙවැනි ව්‍යායාමයක් උපයෝගී කරගත හැකි නම් ඉන් අවැඩක් සිදුවන්නේද නැත.

කෙසේ වුවත් මගේ පෞද්ගලික අදහස නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව ප්‍රායෝගික තලයේදී සාර්ථක කරගැනීමට අසීරු බවය. ඒ සඳහා ගන්නා උත්සාහය මගින් ජාතික ප්‍රශ්නය පිළිබඳව හෝ සියලු පක්ෂ එකමතයකට ගෙන ආ හැකි නම් කලින් සඳහන් කළ ලෙසම එයද ප්‍රමාණවත්ය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සාර්ථක නොවීමට බලපා හැකි කරුණු කාරණා බොහෝය.

රටට නායකයන් ආනයනය කළ නොහැක. සියල්ල කළමනාකරණය කරගත යුතු වන්නේ මේ නායකයන්ම එහාට මෙහාට කරගැනීමෙනි. උගතුන් හෝ බුද්ධිමතුන් අලුතින් එකතු වන පාටක්ද නැත. ඔවුනට දේශපාලනය තහනම් කලාපයකි. වෙන මොන හේතු කිව්වත් ප්‍රාමාණික උගතකු මෙන්ම හිටපු විගණකාධිපතිවරයකු වන මායාදුන්නේ මහතා එක් දිනයකින් පාර්ලිමේන්තුව හැරගියේ මන්ත්‍රීකම ඔහුට තරම් නොවන නිසා යැයි මම සිතමි.

රට ගිනි ගනිද්දී වීණාව වයනවා මිස අපේ නායකයන් වැඩිදෙනා තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවත දමා එකට එක්ව කටයුතු කරතැයි මට නම් සිතිය නොහැක.
එම නිසාය සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව චමත්කාරජනක අතිශයෝක්තියක් :f්බඒිහ* ලෙස මා දකිනුයේ. අපේ රට දේශපාලන අඟුටුමිට්ටන්ගෙන් පිරි රටකැයි කීවොත් ඉන් වර්තමාන නායකකාරකාදීන්ට අපහාසයක් වෙතැයි නොසිතමි. එමෙන්ම දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා මහා බි්‍රතාන්‍ය යන රටවල සිටි, එම රටවල් ඔසවා තැබූ ශ්‍රේෂ්ඨ ජනනායකයන් හා සමාන නායක පිරිසක් අපට සිටියේ නැත. දැන් කොහොමවත් ඇත්තේ නැත. අනාගතයේ ඇති වෙතැයි සිතීම අපහසුය. ඉපැරණි ශිෂ්ටාචාරයක් ගැන කොතෙකුත් පාරම් බෑවද දුෂ්චරිතයන් හා සුචරිතයන් වෙන් කොට හඳුනාගෙන ඉදිරියට එවීමේ සබුද්ධික බවක් අපේ ඡන්දදායකයාට නැත. රටේ ඉරණම තීන්දුවනුයේ පවත්නා දේශපාලන රැල්ල අනුව යැයි කීවොත් නිවැරදි යැයි සිතමි.

මෙවන් පරිසරයක් තුළ කෙටි කලකට හෝ එක්ව කටයුතු කිරීමට අපේ දේශපාලන නායකයන් කැමති වෙතැයි සිතීමට නොහැක. ආණ්ඩුව පැත්තෙන් රටේ ප්‍රශ්න අමතක කරලීම හා කල්මැරීමට ප්‍රචාරක ව්‍යාපෘතියක් වශයෙන් පාවිච්චි කිරීමට මෙවැන්නකට නැඹුරුතාවක් දැක්වුවද ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඊට අනුකූලතාවක් නොලැබෙන බව ඒකාන්තය. එසේ කිරීමට නම් ඒකාබද්ධයෙන් කොන්දේසි රාශියක් ඉදිරිපත්වීමට ඉඩ ඇත. ගිය ආණ්ඩු කාලයේ සිදුවී යැයි කියන දූෂණ, වංචා හා මිනීමැරුම් චෝදනා පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණවලට තිත තැබීම අනිවාර්ය කොන්දේසියක් නොවෙතැයි සිතිය හැකිද?

ශ්‍රී ලංකා දේශපාලනයේ දෑත් අපිරිසිදු එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මහතා හෝ දූෂණ චෝදනා එල්ල වූ එකම දේශපාලන පවුල රාජපක්ෂ පවුල යැයි මමද කිසිවිටෙක නොකියමි. අනෙක් බොහෝ දේශපාලනඥයන්ගේ ගිණුම්වලද අඩු වැඩි වශයෙන් දූෂණය තැන්පත්ව පවතී.

එහෙත් රාජපක්ෂ පවුලේ ගිණුම් බර වැඩිය. එය ගජමිතුරෝ දක්වාද ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.

මේ සියලු කළු පැල්ලම් මකා දැමීමේ පොරොන්දුව මත සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟවන්නේ නම් එයද රටට මහත් අනර්ථයකි. දිනුම් කණුව පෙනෙන තෙක් මානයට පැමිණ ඇති රාජපක්ෂ කල්ලිය මොන කොන්දේසියක් යටතේවත් මෙවැන්නකට එකඟ වෙතැයි සිතිය නොහැක.

මෛත්‍රීපාල සිරිසේන මහතා මැස්සන් එලවීම සඳහා පමණක් පාවිච්චි කරන මොට්ට කඩුව එතුමා බලය අත්හැර දැමූ දිනයක හොඳට මුවහත් කර වැඩ ගැනීමට රාජපක්ෂ මහතා දැන් සිටම සිහින මවන බව නම් විශ්වාසය.

අනෙක් කරුණ නම් 2015 ජනවාරි 8දා දිවි පරදුවට තබා එක්ව සටන් කළ නායකයන් දෙදෙනාට ආණ්ඩුවට වසර 3 පිරෙන තුරුවත් එක්ව කටයුතු කළ නොහැකි නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන මොන කතාද? දෙමළ ජාතික සන්ධානයට හා විමල් වීරවංසට එකම කැබිනට්ටුවක සාකච්ඡා කර විසඳාගත හැකි ප්‍රශ්නය මොකක්ද? සිරිමාවෝ-ජේ.ආර්.-චන්ද්‍රිකා යුගවලදීවත් සර්වපාක්ෂික සමුළුවක් සඳහා එක් රැස් කරගැනීමට බැරිවූ මෙම නායකයන් සර්වපාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධවේයැයි සිතන්නේ කෙසේද? බණ්ඩාරනායක හා ඩඞ්ලි සේනානායක යුගවලදීත් තවමත් නොවිසඳී පවත්නා ජාතික ගැටලුව විසඳීමට ඉදිරිපත් කළ සරල යෝජනා පවා අසාර්ථක කර දැමුවේ දැන් සිටින නායකයන්ගේ පූර්වගාමීන් නොවේද?

එමෙන්ම දැන් පවත්නා ජාතික ආණ්ඩුවේ තනතුරු දරන ඇතැම් කොටස් තවමත් ආණ්ඩුව තුළ රැඳී සිටිනුයේ ඇමති වරප්‍රසාද භුක්ති විඳීම ආශාවෙන් මිස එක්ව රටේ ප්‍රශ්න විසඳීමේ පරමාර්ථයෙන් නොවන බව අපට නම් සහතික කොට කිව හැක. ජාතික ප්‍රශ්නය හා නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ යෝජනාවලදීද එකම පක්ෂයේ අය පවා එකඟත්වයට ඒමට දක්වන්නේ බලවත් අසමත්කමකි.
අනෙක් කරුණ පාර්ලිමේන්තුවේ 2/3ක සම්මතයෙන් ප්‍රබල වෙනස්කම් වුවද කළ හැකිව තිබියදී ක්‍රියාවට නැංවිය නොහැකි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සිහින දකිමින් නින්ද කොට කරගන්නේ මන්ද යන්නය. රටේ අවුලක් තිබෙන බව සත්‍යයකි. එහෙත් එය දේශපාලන අවුලක් මිස සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ජාතික ව්‍යසනකාරී අවස්ථාවක් නොවන බව මගේ අදහසයි. අපේ රටේ ඇත්තේ අභ්‍යන්තර වියවුල් මිස බාහිරින් එන උපද්‍රව නොවේ.

එමෙන්ම රටේ ඇති හැම ප්‍රශ්නයක්ම දෙගුණ තෙගුණ කර රටට ඉදිරිපත් කිරීමේ මාධ්‍ය රටාවක්ද රට තුළ කුමන්ත්‍රණයක ආකාරයෙන් පෙළගැසී තිබෙන බව අප අමතක නොකළ යුතුය. අපේ මාධ්‍යයට අනුව මේ ආණ්ඩුව වැටීමට තිබුණේ පිහිටවූ සතියේමය.

වරද ඇත්තේ නායකයන් දෙපළ අතේය. ඔවුන් දෙදෙනා අං පටලවාගෙන එකල මෙකල වනවා මිස හැබෑ දේශපාලන සතුරන්ට අනින්න උත්සාහ කරන්නේ නැත.