රාවය

සමාජ මාධ්‍යවලට දේශපාලකයන් මේ තරම් බිය ඇයි?

සමාජ මාධ්‍යවලට දේශපාලකයන්  මේ තරම් බිය ඇයි?

නාලක ගුණවර්ධන
සමාජ මාධ්‍ය ගැන අප යළිත් කථා කරන්නේ ඒ පිළිබඳ සමාජ අවධානයක් හා විවාදයක් ගොඩ නැගී ඇති නිසා.

මේ විවාදයට ආසන්නම නිමිත්ත මාර්තු මාසයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය වීම කණගාටුවට කරුණක්. එහෙත් ප්‍රමාද වී හෝ මෙම කතිකාව සිදුවීම වැදගත්.

මාර්තු 7 වනදා රජය සමහර සමාජ මාධ්‍ය අවහිර කිරීම අරඹා, මාර්තු 15 වනදා එය අවසන් කළා. එයට පෙර දින ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් මෙරටට පැමිණ ජනපති ලේකම්වරයා සමග සාකච්ඡා කළා.

මාර්තු 15දා ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙසේ ද සඳහන් වුණා: “ඒ අනුව” වර්ගවාදී” ආගම්වාදී වෛරී ප්‍රකාශ පැතිරී යාම නියාමනය කිරීම සඳහා ක්‍්‍රමවේද සහ ආයතනික ව්‍යුවහයන් ස්ථාපනය කිරීම සඳහා ෆෙස්බුක් බලධාරීහු එකඟ වූහ. එහිදී රජය” සිවිල් වැසියන් හෝ අපරාධ පරීක්ෂණ ආයතනයන් විසින් කෙරෙන කරුණු දැක්වීම් පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හා ක්‍රියා කිරීමට එකඟතාව ප්‍රකාශ විය. ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය භාවිතා කරමින් වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් වන අතර එවන් කාර්යයන්හි නිරත වන ඕනෑම කෙනෙකු පිළිබඳව ෆෙස්බුක්හි ප්‍රජා සම්මතයන් අනුව කටයුතු කිරීමට සමාගම එකඟවිය.”

නිල ස්ථාවරය මෙසේ වන අතර, රාජ්‍ය මාධ්‍ය හරහා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ‘සමාජ විරෝධී’ හා ‘සදාචාර විරෝධී’ ලෙසින් විග්‍රහ කිරීමට පටන් අරන්.

සමාජ මාධ්‍ය ගැන යන්තම් අහුලාගත් කරුණු මත පදනම් වී” පුළුල් අවබෝධයකින් තොරව සමහරුන් කියන්නේ කිසිදු ගෝලීය සමාජ මාධ්‍යයක් අපට ඕනෑ නැති බවත්, ඒවා සදාකාලිකව අවහිර කර දැමිය යුතු බවත්.(කලකට ඉහත ඉං.%ීසි භාෂාව අපට එපා කී සැටි සිහි වනවා!)
මෙවැනි දුර්මත හා අන්තගාමී විග්‍රහයන් විවෘත සංවාදයකට උපකාර වනවා වෙනුවට සමාජ මාධ්‍ය පිළිබඳ ජන භීතිකාව තීව්‍ර කළ හැකියි.

මා කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් නියෝජනය කරන්නේ හෝ ව්‍යාපාරික අයිතියක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මගේ අරමුණ කොහොමත් සිදුවන, නොනැවතී ඉදිරියට ගලායන සන්නිවේදන තාක්‍ෂණ ප්‍රවාහයන්ගෙන් අපේ රටේ පොදු උන්නතියට වැඩක් ගත හැකි ක්‍රම සොයා ඒවා ප්‍රවර්ධනය කිරීමයි.

එසේම මා මුළුමනින්ම භාෂණ හා ප්‍රකාශන අයිතීන් (Freedom of Expression) වෙනුවෙන් පෙනී සිටිනවා. මේ අයිතීන් පරම අයිතීන් නොව සාපේක්‍ෂ අයිතීන් බවත් මා දන්නවා.

එහෙත් භාෂණ හා ප්‍රකාශන අයිතියට පැනවෙන සීමා සාධාරණ හා සමානුපාතික විය යුතුයි. ඒවාට තර්කානුකූල පදනමක් හා ඉතා නිශ්චිත නීතිමය රාමුවක් තිබිය යුතුයි.

ප්‍රකාශන අයිතියේ එක් වැදගත් පැතිකඩක් නම් විවේචනයට ඇති ඉඩයි. විශේෂයෙන් මහජන මුදලින් නඩත්තු කැරෙන ආයතන හා මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් ගැන ප්‍රශ්න කිරීමට, විවාද කිරීමට, ඔවුන් උපහාසයට ලක් කිරීමට මෙන්ම ඔවුන්ට අභියෝග කිරීමටත් පුරවැසි අපට අයිතියක් තිබෙනවා. මේ නිදහස අපට මගතොටේදී, නිවසේදී හා සයිබර් අවකාශයේදී භාවිත කළ හැකියි.

සමාජ මාධ්‍ය හරහා ‘වැදගත් පුද්ගලයන්ට’ අපහාස කරනවා නම් රටේ පවතින අපහාස නීතිය හරහා නඩු මගට පිවිසීමටද ඔවුන්ට ඉඩ තිබෙනවා. එහෙත් මහජන විවේචන අයිතිය සීමා කිරීමට නම් එකඟවන්නට බැහැ.

වෛරී ප්‍රකාශ දේශපාලකයන් ඉලක්ක කරයි නම් කුමක් කළහැකිද? මෙය දසංවාදයට ලක් කළ යුතු කරුණක්.

වෛරී ප්‍රකාශ (Hate Speech) යන්නෙහි ලොව පිළිගත් අර්ථ දැක්වීම නම් වර්ගය, ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හෝ ලිංගික නැඹුරුව ගැන සාධක මත පදනම් වී යමකුට හෝ යම් ප්‍රජාවකට හෝ එරෙහිව කැරෙන ද්වේෂ සහගත ප්‍රකාශයන්. එසේමනීතියෙන් ක්‍රියා කිරීමට නම් මෙවන් ප්‍රකාශයක ප්‍රචණ්ඩත්වයට උසි ගැන්වීමක් (incitement) තිබිය යුතුයි.

දේශපාලන මතවාද නිසා කිසිවකුනිර්දය ලෙස විවේචනය කරනු ලැබීම හා අපහාසයට ලක්වීම වෛරී ප්‍රකාශ ගණයට වැටෙන්නේ නැහැ. මේ නිසා වෛරී ප්‍රකාශ මර්දනයේ මුවාවෙන් තමන්ට එල්ල වන මහජන විවේචනද මර්දනයට රජය තැත් කරයි නම් එය බුද්ධිමය පදනමක් නැති, බොළඳ හා සාහසික උත්සාහයක්.

එසේම සමාජ මාධ්‍ය හරහා මඩ ගසනවා යන අවලාදයට පදනම් වන්නේ සමාජ මාධ්‍ය නොවන වෙබ් අවකාශයන්ද සමාජ මාධ්‍ය ලෙස වරදවා තේරුම් ගැනීමද විය හැකියි.

මේ කොලමේ මින් පෙර කිහිප විටක් පැහැදිලි කර ඇති පරිදි, පුවත් වෙබ් අඩවි හා ගොසිප්/ඕපාදූප වෙබ් අඩවි කිසිවක් සමාජ මාධ්‍ය නොවෙයි. ඒවා සංවිධානගත පිරිස්, තමන්ගේම වෙබ් ලිපිනයන්හි පවත්වාගෙන යන වෙබ් ප්‍රකාශනයි.

එයින් සමහරෙක වැරදි සහගත, ද්වේෂ සහගත හා මුළුමනින් ආචාරධර්ම බිඳ හෙළන අන්තර්ගතය පළවන බව ඇත්තයි. රජයට ඕනෑ නම්, හැකි නම් ඒවා නියාමනයට ලක් කරන්න. කලෙක සිට අප කියන්නේත් එයයි.

සමාජ මාධ්‍යකිසිසේත්ම විධිමත් මාධ්‍ය ප්‍රකාශන කාරියක් නොවෙයි. සමාජ මාධ්‍ය යනු ඕනෑම කෙනකුට පිවිසී, නොමිලේ ගිනුමක් විවෘත කොට අන්තර්-පුද්ගල හෝ පොදු සන්නිවේදනවල යෙදිය හැකි පුළුල් වේදිකායි.

ඒ අතර ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් වඩාත් ප්‍රකටයි. මීට සමාන්තරව ක්ෂණික චැට් කිරීමට අවකාශය සපයන වට්ස්ඇප් හා වයිබර් වැනි සේවාද මෑතදී ජනප්‍රිය වී තිබෙනවා.

සමාජ මාධ්‍ය වේදිකා හරහා වෛරී ප්‍රකාශ ගලා යාම ප්‍රකාශන නිදහස
සෘජුවම අවභාවිත කිරීමක්.මෙයට පරිනත ප්‍රතිචාරය වන්නේ සමස්ත වේදිකා අවහිර කිරීම නොව වඩාත් ඉලක්කගතව එම වෛරී ප්‍රකාශ ජනනය කරන පුද්ගලයන් හා සංවිධාන හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය හා තාක්‍ෂණික පියවර ගැනීමයි.

වෛරී ප්‍රකාශ නියාමනයට නව නීති අවශ්‍ය නොවන බවත්, එයට යොදා ගත හැකි නීති අවශ්‍ය තරමට අපේ නීති පොත්වල දැනටමත් ඇති බව නීතිඥ ජගත් ලියන ආරච්චි පෙන්වා දෙනවා.

■ දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් සන්නිවේදන කරන අයට එරෙහිව පියවර ගත හැකියි.

■ 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත (ICCPRපනත) යටතේ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම වරදක්. එවන් වරදවලට එරෙහිව මහාධිකරණවල නඩු පවරා, වරදකරු වන අයට වසර 10ක් දක්වා සිරදඬුවම් දිය හැකියි. මේ නීතිය සම්මත වී දශකයකට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් කිසිදු අයකුට සාර්ථක ලෙස නඩු පවරා දඬුවම් ලබා දී නැහැ. ඇති නීති ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

■ මීට අමතරව 1958 අංක 41 දරන ආගමික අපහාසකාරී පනත යටතේත් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේත්, 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යටතේත් වෛරී ප්‍රකාශ පිළිබඳව නීතිමය පියවර ගැනීමට යම් ඉඩක් තිබෙන බව නීතිඥ ලියන ආරච්චි කියනවා.

රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවාට සමාන්තරව සමාජ මාධ්‍ය වේදිකාවලට ද ලොකු වගකීමක් තිබෙනවා වෛරී ප්‍රකාශ බෙදා හැරීමට තම වේදිකා යොදා ගැනීම හැකි තාක් අවම කිරීමට.

ෆේස්බුක් සමාගමේ වේදිකා කළමනාකරණයෙහි බරපතළ අඩුපාඩු තිබෙන බවපෙනෙනවා.

පැය 24 පුරාම මිලියන් ගණනක් නව අන්තර්ගතය එහි සාමාජිකයන් විසින් ජනනය කැරෙනවා. මේවා වචන, රූප, ශබ්ද හෝ වීඩියෝ විය හැකියි. එසේම ලොව භාවිත කැරෙන භාෂා සිය ගණනකින් විය හැකියි.අතිශයින් විවිධවූත්, පරිමාණයෙන් සුවිසල්වූත්, නොනැවතී ගලා එන්නාවූත් මේ අන්තර්ගතය ඇති තරම් විමර්ශනයට ලක් කිරීම හා ෆේස්බුක් කොන්දේසි උල්ලංඝනය කරන අන්තර්ගතය ඉවත් කිරීම විශාල අභියෝගයක්.

ලොව වැඩි පිරිසක් කතා කරන, ජාත්‍යන්තර භාෂාවලින් (උදා: ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ ආදී) ඇති අන්තර්ගතය විමර්ශනය යම් තාක් දුරට ඔවුන් ස්වයංක්‍රීය කොට තිබෙනවා. එනම් ඒ සඳහාම සකස් කරන ලද කෘත්‍රිම බුද්ධිය හෙවත් පරිගණක වැඩසටහන් යොදවනවා. ඒවා අංගසම්පූර්ණ නොවූවත්, මහා පරිමාණයෙන් ගලා එන අන්තර්ගතය යම් මට්ටමක මූලික විමර්ශනයකට ලක් කිරීමේ හැකියාව ලැබෙනවා.

එහෙත් බහුතරයක් සෙසු භාෂාවලින් ෆේස්බුක් ගතවන අන්තර්ගතය විමර්ශනය තවමත් කැරෙන්නේ මානව කාර්ය මණ්ඩලයක් හරහායි. ලෝකයේ භාෂාමය හා සංස්කෘතික විවිධත්වයට සරිලන තරම් භාෂා නිපුණතා ඇති පිරිසක් ෆේස්බුක් සමාගම මේ සඳහා යොදවා නැහැ.

මේ නිසා සිංහල හා දෙමළ වැනි භාෂාවලින් ජනනය කොට මුදා හැරෙන ව්‍යාජ පුවත් (Fake News) හා වෛරී ප්‍රකාශන ෆේස්බුක් පරිපාලන විමර්ශනයට හසු නොවී යම් කලක් මේ අවකාශය තුළ රැඳී පැවතිය හැකියි. එම කාලය දිගුවන්නට වන්නට එයින් නොමග යැවෙන හෝ දූෂණය වන මනස් සංඛ්‍යාවද වැඩිවනවා.

ෆේස්බුක් සාමාජික සංඛ්‍යාව බිලියන් 2 ඉක්මවා ගියද එය තවමත් තනි දැවැන්ත තනි වේදිකාවක සැරිසරන ප්‍රජාවක්. මේ ප්‍රජාවටද යම් වගකීමක් තිබෙනවා. වෛරී ප්‍රකාශ, ලිංගික හිංසනයට තුඩුදිය හැකි ප්‍රකාශ හෝ රූප ආදී පොදුවේ සමාජ විරෝධී යයි ශිෂ්ට සමාජය පිළිගන්නා අන්තර්ගතය දුටු විට ඕනෑම ෆේස්බුක් සාමාජිකයකුට ඒ ගැන වේදිකා පරිපාලනයට සෘජුවම පැමිණිලි කළ හැකියි.

එහෙත් එවන් පැමිණිලි ලද විට, අදාළ අන්තර්ගතය ඇත්තේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර බසකින් නොවේ නම්, එය තේරුම් ගැනීමට ෆේස්බුක් සමාගමට සිංහල – දෙමළ හොඳට දත්, රටේ යථාර්ථයන්ද තේරුම් ගත් තීරකයන් නොසිටීම සීමාකාරී සාධකයක්.

උදාහරණයක් මේ දිනවල සංසරණය වනවා. යම් අයකු ද්වේශසහගතව ෆේස්බුක් ගිණුමක් හරහා මුදාහැර තිබූ ප්‍රකාශයක් නම් ‘මරපියව් හම්බ අත දරුවෙක්වත් ඉතිරි කරන්න එපා, සක්කිලි බල්ලො’ යන්නයි. (උපුටා දැක්වීම සාකච්ඡාව සඳහා පමණයි. එය අනුමත කිරීමක් නොවෙයි.) මෙරට ෆේස්බුක් ගිණුම් හිමියන් ගණනාවක්ම මේ ගැන පැමිණිලි කළත්, ෆේස්බුක් සමාගම පිළිතුරු එවා තිබුණේ මෙම පෝස්ටුව ෆේස්බුක්හි ප්‍රජා ප්‍රමිතීන්ට එරෙහි වී නැති බවයි!

මෙම තක්සේරුවට එළැඹීමට යොදා ගත් නිර්ණායක මොනවාද යන්න පැහැදිලි නැහැ.
ෆේස්බුක් සමාගමේ දැනට සිංහල භාෂාව දත් කාර්ය මණ්ඩලය කී දෙනෙක් ද ඔවුන්ගේ පසුබිම කුමක්ද යන්න හෙළි වී නැහැ.

සිංහල දත් පමණින් මේ වගකීම ඉටු කිරීමටත් බැහැ. තමන්ගේ පෞද්ගලික මතවාදයන් හා පක්ෂපාතකම (prejudices) මතු වීමට ඉඩනොදී අපක්‍ෂපාතව තම වගකීම් ඉටු කිරීමද අවශ්‍යයි.

එසේම මේ අධීක්‍ෂණය හුදෙක් ෆේස්බුක් පරිපාලනයට පමණක් භාර කොට සිටීමත් අවදානම්. මන්ද ඔවුන්ගේ අතපසුවීම් හරහා යම් තරමකවත් වෛරී ප්‍රකාශ ගලා ගියහොත් ඒවා යළිත් අපේ රටේ වාර්ගික ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි නිසා.

එහෙයින් මෙරට ෆේස්බුක් භාවිත කරන්නත් අතරින් ස්වේච්ඡා පිරිසක් එකතුවී වෛරී ප්‍රකාශ අධීක්‍ෂණයේ නියැලීමට සූදානම් වනවා. මෙය සන්ජනහත්තොටුව, යුධන්ජය විජේරත්න හා මා ගිය සතියේ ෆේස්බුක් නියෝජිතයන් සමග පැවති දුරකථන සංවාදයකදී අප එකඟවූවක්.මෙයට එක් වීමට ඔබත් කැමති නම් මට ඊමේල් හරහා දැනුම් දෙන්න.

මාර්තු19 වනදා ට්විටර් පණිවුඩ කීපයකින් මා ගොනු කළ අදහස් මේවායි:
■ සමාජමාධ්‍ය අවහිරය, මාධ්‍ය අයිතීන් ගැන නොව සමස්ත පුරවැසියන්ගේ භාෂන හා ප්‍රකාශන අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

■ භාෂන හා ප්‍රකාශන අයිතිය වෙනුවෙන් අරගල කරන අපට වගකීම් සමුදායක්ද තිබෙනවා: වෛරී ප්‍රකාශ, මිථ්‍යා, බොරුබේගල් දුටු තැන ඒවාට එරෙහි වීම, ඒවා අභියෝගයට ලක් කිරීම හා අඩු තරමින් ඒවා අවිචාරශීලීව බෙදා ගැනීමෙන් වැළකීම. රට ගිනි තබන බිහිසුනු කථාවලට එරෙහි වෙමු!

■ අපේම දේශීය සමාජමාධ්‍ය පවත්වා ගන්න අපේ වෙළඳපොල කුඩා වැඩියි. එනිසා අපි බොරුවට දේශමාමක වන්නට ගොස් ළිංමැඩියෝ නොවී ෆෙස්බුක් වැනි ගෝලීය වේදිකාවලින් අපට ඕනැ වැඩ ගනිමු. විචාරශීලීව හා ස්මාට් ලෙසින් සමාජ මාධ්‍ය පභාවිත කරමු! දේශපාලකයන්ට එය වාරණයට ඉඩ නොදෙමු!

■ සමාජමාධ්‍ය ගැන පුළුල් සමාජ විවාදයක් ඕනෑ. ඒ ෆෙස්බුක් හෝ වෙනත් වේදිකාවක් පුම්බන්නවත්, එබන්දකට පරිභව කොට තාවකාලික වීරයන් වන්නවත් නොවේ. සැබෑ අභියෝග හා විභවයන් හඳුනා ගන්නයි. දැන්වත් අපි ළිංමැඩියෝ නොවී ස්මාට් වෙමු. අතීතකාමයෙන් උදම් වී ආපස්සට යනු වෙනුවට පෙරට යමු!