අගමැතිට විරුද්ධ විශ්වාසභංගය සහ සිංහල පාලක පන්තියේ බලඅරගලය

ජයදේව උයන්ගොඩ

ලංකාවේ දේශපාලනයේ මේ දිනවල සිදුවන දේ, දේශපාලනය ගැන උනන්දුව දක්වන අයගේ සිත කළඹවන සහ පුබුදුවන ඒවාද වෙති. මන්දයත්, ලංකාවේ දේශපාලනයේ මූලික වෙනසක් වීමේ සලකුණු සෑම පැත්තකින්ම පාහේ පහළ වන හෙයිනි. මහනුවර දිස්ත්‍රික්කයේ ගිය සතියේ සිදුවූ මුස්ලිම් විරෝධී සිංහල-බෞද්ධ වර්ගවාදී මෙහෙයුමද, එයට ආණ්ඩුවත්, දේශපාලන පක්ෂත්, සමාජයත් දැක්වූ ප්‍රතිචාරත් එහි එක් පැතිකඩක් නිරාවරණය කරයි. අගමැතිවරයාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩුවේම ශ්‍රීලනිප හවුල්කරුවන්ගේද සහාය ඇතිව සූදානම් කරමින් පවතින විශ්වාසභංග යෝජනාව එහි තවත් පැතිකඩක් පෙන්වයි. මේ ලිපියේ අරමුණ මෙම දෙවැනි පැතිකඩ ගැන විග්‍රහයක් කිරීමයි.

මෙම විශ්වාසභංග යෝජනාවේ දේශපාලන වැදගත්කම තිබෙන්නේ, එය ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන එන නිසා නොව, එයට අගමැතිවරයා නායකත්වය දරන කැබිනට් මණ්ඩලයේම සිටින, සභාග ආණ්ඩුවේ සම හවුල්කරුවෙකු වන ජනාධිපතිතුමා නායකත්වය දරන ශ්‍රීලනිපයේ ඇමතිවරුන්ද, එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට ඇති ඉඩකඩයි. තමන් එයට අත්සන් කරන බව කිහිපදෙනෙකුම දැනට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. තම ඇමතිවරුන්ගේ එම අසම්ප්‍රදායික ක්‍රියාව නැවැත්වීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වන බවක්ද නොපෙනේ. පසුගිය මාස දෙක තුළ සිදුවූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සම්බන්ධයේ උග්‍ර කඩා වැටීම සිහිවන විට, මෙම විශ්වාසභංග යෝජනාවට ජනාධිපතිවරයාද හවුල්කරුවකු වී ඇතැයි කෙනෙකුට අනුමාන කළ හැකිය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති ගැටුම ගැන පුරවැසියන් වන අපට ඇති එකම තොරතුරු මූලාශ්‍රය පුවත්පත් සහ සමාජ මාධ්‍යයයි. අතිශයෝක්ති සහ ව්‍යාජ දේශපාලන ප්‍රවෘත්ති බහුල මේ කාලයේ සත්‍යය සහ ප්‍රබන්ධය යන දෙක අතර වෙනසද නැතිවී යද්දී පුරවැසියන් මුහුණ දෙන අභියෝගයක් වන්නේ, දේශපාලන ලෝකයේ ඇත්තටම සිදුවන්නේ මොනවාද යන්නට විශ්වාස කළ හැකි පිළිතුරු ලබාගැනීමට අපහසුවීමයි. මෙම පසුබිම සිත්හි තබා ගෙනත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දැනට මතුවී තිබෙන සම්බන්ධතා බිඳ වැටීමේ ගැටලුවේ මැදම තිබෙන්නේ, ලංකාවේ පාලක බල හවුල් දෙකක් අතර දේශපාලන ආධිපත්‍යය සඳහා වූ බලඅරගලයක්ය යන්න අනුමාන කිරීම අපහසු නොවේ. පසුගිය කාලයේ වැඩියෙන් කතා කළ ජනාධිපතිවරයාත්, අඩුවෙන් කතා කළ අගමැතිවරයාත්, එකිනෙකා දේශපාලන වශයෙන් විනාශ කිරීමේ අවධියකට සම්ප්‍රාප්තවෙමින් සිටින බවට අනුමාන කිරීමට හේතුද තිබේ. ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට ජනාධිපතිතුමා නායකත්වය දෙන ශ්‍රීලනිපයේ මෙම ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ද අත්සන් කරන්නේ සහ ඡන්දය දෙන්නේ නම්, එය මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දේශපාලන නායකයන් අතර පවතින බලඅරගලය සමනය කළ නොහැකි සතුරු ප්‍රතිවිරෝධතාවන් බවට පත්වී ඇති බවද, මෙරට පුරවැසියන්ට පෙනෙනු ඇත.

එවැනි තත්ත්වයක් ඇත්තටම සිදුවන්නේ නම්, එයින් පළවන දේශපාලන ඇඟවීම් සුළුපටු ඒවා නොවේ. ඒවායින් එකක් පමණක් පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි. එය නම් දැනට ලංකාවේ පවතින දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ බල හවුල් තුන අතර බලතුලනය රැඩිකල් ලෙස අලුත්වීමට ඇති ඉඩකඩයි. මෙය අප රටේ දැනට සිදුවන දේශපාලන සාකච්ඡාවල මතු නොවන, එහෙත් තීරණාත්මක වශයෙන් වැදගත් වන තේමාවකි.

ලංකාවේ ‘පාලක පන්තිය’ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ ලක්ෂණ කිහිපයක් පළමුවෙන් හඳුනා ගනිමු.
පළමුවැන්න, ඒකාබද්ධ, සමගිසම්පන්න පාලක පන්තියක් කියා දෙයක් නැත යන්නයි. බොහෝ සමාජවල මෙන්ම අප සමාජයේද සිටින්නේ බෙදී ගිය, සමගියක් නැති, අන්‍යොන්‍ය ප්‍රතිවිරෝධතා සහිත පාලක කණ්ඩායම්ය යන්නයි.

දෙවැන්න මෙම පාලක කණ්ඩායම් සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ජනවාර්ගික වශයෙන් බෙදී ඇත යන්නයි. එමෙන්ම එම කණ්ඩායම් වරින් වර සිංහල පාලක කණ්ඩායමක නායකත්වය යටතේ දේශපාලන සන්ධානවලට එළැඹෙති.

තෙවැනිව ජනවාර්ගික වශයෙන් බෙදී ඇති මෙම පාලක කණ්ඩායම් අතර වඩාත්ම බලවත්වන්නේ සිංහල පාලක කණ්ඩායම්ය. රාජ්‍ය බලය සමග වඩාත්ම සම්බන්ධකම් තිබෙන්නේ ඔවුන්ටය.
සිව්වෙනුව, සිංහල පාලක කණ්ඩායමද මූලික වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදී ඇත. එජාපය සහ ශ්‍රීලනිපය යන පක්ෂ දෙක විසින් දශක හතකට කිට්ටු කාලයක් තුළ වෙන වෙනම නායකත්වය දී තිබෙන්නේ මෙම එකිනෙකාට තරගකාරී සිංහල දේශපාලන ප්‍රභූ කණ්ඩායම් දෙකටයි.

පස්වෙනුව සිංහල සහ දෙමළ සමාජවල දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ සමාජ පදනම් පුළුල් කිරීමේ මහා තරගයක් සහ සටනක් පසුගිය දශක කිහිපය තුළම පැවත තිබේ. සිංහල සමාජයේ ජවිපෙ සහ ද්‍රවිඩ සමාජයේ එල්ටීටීඊය මෙම සටනේ ප්‍රධාන රංගධරයන්ය. එහෙත් සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූතන්ත්‍රවල බලය දුර්වල කිරීමක් තවම සිදුවී නැත. දෙමළ සමාජයේ නව පාලක පන්තියවීමට උත්සාහ දැරූ, සමාජයේ අතරමැදි සහ පහළ සමාජ ස්ථර නියෝජනය කළ එල්ටීටීඊය ස්වයං විනාශය කරා ගමන් කළ අතර, සිංහල සමාජයේද එවැනිම පරිවර්තන ප්‍රයත්නයක යෙදුණු ජවිපෙ එම ව්‍යාපෘතිය අතහැර දමා ඇත.

මෙම කාරණා පහ පසුබිමේ තබාගෙන ලංකාවේ සමාජයේ අධිපති දේශපාලන බල කණ්ඩායම් තිබෙන සිංහල සමාජයේ පාලක ස්ථර අතර දැනට සිදුවෙමින් පවතින බලඅරගලය දෙස බලමු. වර්තමාන ලංකාවේ දේශපාලන පරිවර්තනයේ ඇති ඉතාම තීරණාත්මක කරුණ බව පෙනෙන්නේ, ද්වි-පාර්ශ්වික තරගයක් වී තිබුණු එම බලඅරගලය, දැන් ත්‍රෛපාක්ෂික, එනම් තුන්කොන්, සටනක් බවට පත්වී, එය බලාපොරොත්තු නොවූ ලෙස තියුණුවීමයි. මෙම බලඅරගලයේ දැනට ප්‍රකාශයට පත්වී ඇති සහ අපට හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා මෙසේය:
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ සිංහල සමාජයේ දේශපාලන ප්‍රභූතන්ත්‍රය දෙකට බෙදී තිබුණු රාමුවක් ඇතුළතය. එතුමා මුලදී එකඟ වී තිබුණේ එම ද්වි-පාර්ශ්වික රාමුවේ නීතිරීති ඇතුළත් දේශපාලන ක්‍රීඩාවේ යෙදීමටය. එහෙත් ජනාධිපති ධුරයට පත්වී ටික කලකින් එතුමා දියත් කළ අලුත් බලව්‍යාපෘතිය නිසා, තුන්වැනි බලකණ්ඩායමක් සිංහල දේශපාලන ප්‍රභූතන්ත්‍රය අතර බිහිවන්නට පටන් ගත්තේය.

මෙම තුන්වැනි සහ අලුත් මෙන්ම තවමත් මනා ලෙස සකස් වී නැති බල කණ්ඩායමේ ඉදිරි පැවැත්ම කාරණා තුනක් මත රඳා පවතින බව පෙනේ. ඒ කාරණා තුනෙන් පළමුවැන්න සිරිසේන මහතා අඩු තරමින් ධුර කාල දෙකක්වත් ජනාධිපති ධුරයේ සිටිය යුතු වීමයි. දෙවැන්න, එතුමාගේ ශ්‍රීලනිප නායකත්වය තහවුරු කරගැනීමයි. තුන්වැන්න, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාටත්, ඔවුන් දෙදෙනා නායකත්වය දෙන බල කණ්ඩායම් දෙකත් දේශපාලන වශයෙන් තීරණාත්මක ලෙස දුර්වල කිරීමයි.
ඉහත දැක්වූ කාරණා තුනම, තවත් ඉතා වැදගත් සාධකයක් සමග සම්බන්ධ වී තිබේ. එනම්, සිංහල සමාජයේ දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ තුන්වැනි කණ්ඩායමකට සාර්ථක වන්නට නම් ඒ සඳහා අවශ්‍ය අවකාශය, එනම් Space එක, අලුතෙන්ම නිර්මාණය කරගත යුතු වීමයි. ඒ සඳහා දැනට පවතින්නේ සීමිත අවකාශයකි. ජනාධිපතිවරයා මේ දිනවල කරන දේශපාලන ව්‍යායාම බොහොමයකම අර්ථය අපට දැකිය හැක්කේ, තමන් නායකත්වය දෙන තුන්වැනි සිංහල දේශපාලන ප්‍රභූතන්ත්‍රයට අවශ්‍ය දේශපාලන අවකාශය නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවයේ දේශපාලන ඉව ජනාධිපතිතුමාට හොඳින් දැනී ඇත යන කාරණයද සමග ඒවා සම්බන්ධ කළ විටය.

මේ සඳහා ජනාධිපති සිරිසේන මහතාට ගත හැකි උපාය මාර්ගික පියවර මොනවාද? වික්‍රමසිංහ පවුලත්, රාජපක්ෂ පවුලත් යන දෙකම දේශපාලන වශයෙන් දුර්වල කිරීම, ශ්‍රීලනිපය තම නායකත්වය යටතේ දිගටම පවත්වා ගැනීම, එජාපය දුර්වල කිරීම සහ සිංහල සමාජයේ නව විකල්ප නායකයා ලෙස තම ප්‍රතිමූර්තිය යළි ගොඩ නැගීම ඒවා අතර ප්‍රධාන ඉලක්කවෙමින් පවතින බවද පෙනේ. මේ අතර නොයෙකුත් ආකාරයේ දේශපාලන සන්ධානවලට එළැඹීමටද එතුමාට බල කෙරෙනු ඇත. ගෝඨාභය රාජපක්ෂ සමග එතුමා ඇති කරගෙන තිබේ යැයි බොහෝ දෙනා සාකච්ඡා කරන නව දේශපාලන මිත්‍රත්වය පිළිබඳ දේශපාලන අර්ථයක් තිබිය හැක්කේද මේ පසුබිම තුළය.

මේ තේමාව ගැන ඉදිරියේදීද විවරණය කිරීමේ අරමුණ ඇතිව, තවත් එක් කරුණක් සඳහන් කරමින්, මෙම ලිපිය අවසන් කිරීමට මම කැමැත්තෙමි. එය නම්, සිංහල සමාජයේ නව දේශපාලන ප්‍රභූතන්ත්‍රයක් ගොඩනැගීමට තරම් අවශ්‍ය පන්ති පදනමක් ජනාධිපති සිරිසේන මහතාට තවමත් නැත යන නිරීක්ෂණයයි. නිශ්චිත පන්ති පදනමක් නැතිව, අධිපති බලකඳවුරු දෙකේ ආධිපත්‍යයට සිරිසේන මහතා කරන අභියෝගය, දේශපාලන වශයෙන් කවර ආකාරයකින් ඉදිරියට යනු ඇත්ද යන්න නිරීක්ෂණය කිරීම, ඉදිරි සති සහ මාස කිහිපය තුළ මෙරට පුරවැසියන් උනන්දුවෙන් බලා සිටිය යුතු දෙයකි. මන්දයත්, ලංකාවේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ඒ වර්ධනයන් සෑහෙන දායකත්වයක් ඇති කරනු ඇති නිසාය.