රාවය

විශ්වාසභංගයෙන් ඔබ්බට

විශ්වාසභංගයෙන් ඔබ්බට

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙන්ම පක්ෂය තුළින්ම ඔහුට එල්ලවෙමින් තිබෙන විරෝධය වෙනදාට එජාප නායකයා කෙරෙහි මතුවන විරෝධයට සාපේක්ෂව තරමක් බරපතළය. මෙම විරෝධයන් දෙකෙන් සක්‍රිය වී තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවයි. එය මූලික වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රයත්නයක් වන අතර ආණ්ඩු පක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුද ඊට අත්සන් තබන ප්‍රවණතාවක් මතුව තිබීම සැලකිය යුතු කාරණයකි. එහෙත් ආණ්ඩු පක්ෂයෙන් ඊට අත්සන් තැබූ සිව්දෙනාගෙන් නියෝජ්‍ය අමාත්‍යධුර දරන දෙදෙනකු හා එක් මන්ත්‍රීවරයෙකු ගතහොත් ඒ තිදෙනාම ශ්‍රීලනිපයට වඩා ඒකාබද්ධ විපක්ෂය සමග බැඳී සිටින මන්ත්‍රීවරු වෙති. ටී.බී. ඒකනායක, මුතුහෙට්ටිගම හා පුංචිනිලමේ රාජපක්ෂ හිතවාදීහු වෙති. එබැවින් ඔවුන් මෙම විශ්වාසභංගයට අත්සන් කළ යුතුය. ආණ්ඩු පක්ෂයෙන් ඊට අත්සන් කර ඇත්තේ රාජපක්ෂ හිතවාදීන් නිසා මෙහිදී අගමැතිට හිත හදාගත නොහැකිය. ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ යුතුය යන මතයේ පසුවෙති. ඒ සමහරු මෙපමණ කලක් යහපාලනයට ගන්ධබ්බ ස්වරූපයෙන් සම්බන්ධවූවෝ වෙති.
ඉකුත් 21 වැනිදා කතානායකවරයාට භාර දුන් අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට කරුණු 14ක් ඇතුළත්ය. ඉන් කරුණු බොහොමයක්ම මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ඒවාය. එවැනි දූෂිත ගනුදෙනුවකට මග පෑදීම, එහි ප්‍රධාන චූදිතයා වන මහේන්ද්‍රන් රැකීමට අවස්ථා කිහිපයකදී යත්න දැරීම, මහ බැංකුව තම විෂය පථය යටතට ගෙන කටයුතු කිරීම ඇතුළු කරුණු දහතුනට අමතර ඉතිරි කරුණ වන්නේ අගමැති නීතිය හා සාමය අමාත්‍ය ධුරය දරමින් මහනුවර ඇතිවූ ජාතිවාදී හා ආගම්වාදී කෝලාහලය කඩිනමින් විසඳීමට පියවර නොගැනීමය. අගමැතිට එරෙහිව ගොනුකර ඇති ඉහත කරුණු එකක්වත් අසත්‍ය යැයි කිව නොහැකිය. ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීම ඉතා වැදගත්ය. එම කරුණු සලකා බැලීමේදී අගමැතිවරයා විශ්වාසය කඩකර ඇතැයි යන්න ප්‍රත්‍යක්ෂ වෙයි. ඒ සමගම මතු කළයුතු තවත් ප්‍රශ්නයක් තිබේ. එය නම් විශ්වාසභංගය ඉදිරිපත් කළ පිරිස මහජන විශ්වාසය රක්ෂා කළ අයද යන්නය. අගමැති නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරයා ලෙස මහනුවර සිදුවීම්වලදී කාර්යක්ෂම නොවුණු බව සැබෑය. එහෙත් ඔහු නුවර ගිනි අවුළුවන්නට දායක වූවෙක් නොවේ. ජාති ආගම්වාදියකුද නොවේ. එහෙත් ඔහුට එරෙහි විශ්වාසභංගයේදී මහනුවර සිදුවීම් කඩිනමින් නොවැළැක්වීම පිළිබඳ චෝදනාව කරන පිරිස උග්‍ර ජාති, ආගම්වාදීහු වෙති. දර්ගා නගරය ගිනි තැබුවෝ වෙති. එජාපයට මේ පිළිබඳ විවාදයේදී විශ්වාසභංගය ඉදිරිපත් කළ පිරිසේ සුජාතභාවය ප්‍රශ්න කළ හැකිය.

මෙම සිද්ධිය එක් අතකින් පව්කාරයාට ගල් ගැසීම හා සමානය. මහජන විශ්වාසය පළුදු නොකළ අයෙක් අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පළමු අත්සන තැබිය යුතුය යනුවෙන් යේසුස් වහන්සේ කිවහොත් පළමුවැන්නා ලෙස අත්සන් කර ඇති දිනේෂ් ගුණවර්ධනගේ පටන් ඒකාබද්ධයේ 51 දෙනාටත් ආණ්ඩුවේ සිව්දෙනාටත් මද්ගලේනාට ගල් ගසන්නට පැමිණි අය ගල් එක එක බිම දැම්මා සේ ඔසවා ගත් පෑන් බිම හෙළන්නට සිදුවනු ඇත. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ පැටිකිරිය ඒ තරමට නරක බව රටවැසියෝ දනිති. මහින්ද රාජපක්ෂ ඊට අත්සන් නොකළේ අගමැතිට ගල් ගසන්නට තරම් තමා ශුද්ධෝත්තම නොවන නිසාද යන ප්‍රශ්නය මතුවේ. එහෙත් මේ එකක්වත් අගමැතිට නිදහසට හෝ නිර්දෝෂීවීමට කාරණා නොවේ. අගමැති පිළිබඳ විශ්වාසභංගයට අන්තර්ගත කරුණු තාර්කිකය. මහ බැංකු සිද්ධිය ගතහොත් ඔහු එම සිද්ධියේ ප්‍රධාන වගකිවයුත්තෙකි. විශ්වාසභංග යෝජනාව පිළිබඳව මාධ්‍යයට අදහසක් පළකරමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා තිබුණේ හොරු නොඇල්ලීමත් අගමැතිට එරෙහි විශ්වාසභංගයට ඇතුළත් විය යුතුව තිබුණු කරුණක් බවය. එය අගමැතිට පමණක් නොව ජනපතිටත් අදාළය.
සැබැවින්ම අද විශ්වාසභංග යෝජනාවකට මුහුණ දිය යුතු දේශපාලනඥයා අගමැතිවරයා පමණක් නොවේ. අන් සියලුදෙනාටත් විශ්වාසභංගයකට මුහුණදිය යුතුය. ඔවුන් මහජන විශ්වාසය බිඳීම ගැන පාපෝච්චාරණයක් කළ යුතුය. වගවීම පිළිබඳව ඔවුන්ට ඇත්ත වුවමනාවක් තිබිය යුතුය. රටේ ප්‍රශ්න ගැන කැක්කුමක් ඇතුව වැඩ කරන සංස්කෘතියකට රටෙහි සියලු දේශපාලනඥයන් ඇතුළුවන්නේ නම් රටට ඉදිරියට ගමන් කළ හැකිවනු ඇත. සෑම නායකයෙක්ම ක්‍රියාකරන්නේ ජාගර චිත්තයකින් යුතුව නම් රටට ඉන් ධනාත්මක ප්‍රතිඵලයක් අත්විය නොහැකිය. අගමැතිවරයා තමාට එරෙහිව ඇති විශ්වාසභංගයේ කරුණු 14ට පිළිතුරු බැඳිය යුත්තේ එය වඩා හොඳ දේශපාලන සංස්කෘතියකට පදනම දැමීමට ඉවහල් වන බැවිනි. එමෙන්ම විශ්වාසභංගය ඉදිරිපත් කළ පාර්ශ්වයටද යළි තමා දෙස හැරී බලන්නට එවැනි පියවරකින් බලකරනු ඇත.