අශීලාචාරත්වය ජයගැනීම

වික්ටර් අයිවන්

ලංකාවේ සමාජ දේශපාලන ආර්ථික ක්‍රමය තිබෙන්නේ ලොකු කඩා වැටීමකට ආසන්න තත්ත්වයකය. එය ලංකාව නූතන ඉතිහාසය තුළ මුහුණ දෙන්නට යන ලොකුම අර්බුදය විය හැකි වුවත් රටේ දේශපාලන නායකයන්ට පමණක් නොව, උගතුන්ටද ඒ ගැන අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. රටේ ක්‍රියාත්මක වන ක්‍රමයේ හෝ පද්ධතියේ ඇතිවන්නට යන මෙම කඩා වැටීමට පෙර රටේ ව්‍යුහාත්මක විපර්යාසයක් ඇති කරගන්නට අසමත්වෙතොත් ඒ වෙනුවෙන් රටට වෙන කවරදාවත් නොගෙවූ තරමේ ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු නොඅනුමානය.
එම කඩා වැටීම තුළ හා ඒ නිසා ඇතිවන අර්බුදය නිසා සමහරවිට ලේ වැගිරීම් ඇතිවිය හැකිය. තවත් සමහරවිට ලොකු ලේ වැගිරීම් හෝ ලොකු ජීවිත විනාශයක් ඇති නොවී ඔවුන්ට ජීවිත අහිමි නොකොට තිබෙන සියලු දේ නොවේ නම් බොහෝ දේ අහිමි කරන, සියලුදෙනා දීර්ඝකාලීන කාලකණ්ණි තත්ත්වයකට පත්කිරීමට හේතුවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එම තත්ත්වය මීට පෙර සිංහල දෙමළ කැරලි පැවති කාලයේ හෝ සුනාමි තත්ත්වයක් ඇතිවූ කාලයේදී සමාජයට අත්විඳින්නට සිදුවූ වේදනාකාරී තත්ත්වයට වඩා වේදනාකාරී තත්ත්වයක් අත්විඳින්නට සමාජයට සිදුවිය හැකිය.

අර්බුදයේ ආරම්භය

ඇතිවන්නට යන මෙම කඩා වැටීම ජේ.ආර්. ජයවර්ධන පාලනය, රාජපක්ෂ පාලනය හෝ යහපාලනය නිසා ඇතිවූ දෙයක් නොවේ. ඒ සියලු පාලන කාල තුළ මෙම අර්බුදය උග්‍ර කිරීමට හේතුවන දේවල් සිදුවුවත් අර්බුදය එම පාලනයන් නිසා ඇති වූවක් නොව ලබාගත් නිදහසේ අසම්පූර්ණ බව තුළ ඇතිවී ක්‍රමානුකූලව වර්ධනය වූ ඓතිහාසික ක්‍රියාදාමයක ඵලයකි.
අපට ලැබුණු නිදහස තෑගි වශයෙන් ලැබුණු නිදහසක් මිස සමාජය නිදහස දිනාගැනීම සඳහා දරන ලොකු උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් ලබාගන්නා ලද දෙයක් නොවීය. ඒ නිසාම වර්ගය, කුලය හා ආගම අනුව සමාජයේ තිබුණු බෙදීම් අවම කොට සමාජය ඒකාග්‍ර කොට නූතන ජාතිය ගොඩ නගා ගැනීමක් සිදු නොවීය. ඒ නිසාම සමාජයට හා එය මෙහෙයවන නායකයන්ට පොදු ජාතික දෘෂ්ටියක් උරුමවීමක්ද සිදු නොවීය. වර්ග, කුල, ආගම් භේදයෙන් තොරව තර්කානුකූලව හා සාධාරණව කල්පනා කරන ජාතික නායකයන් පිරිසක් ඇතිවීමක්ද සිදු නොවීය.
අඩුම වශයෙන් ඉන්දියාව මෙන් අපි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාගන්නා තැනකටවත් ගියේ නැත. එය පවා අපට ඉංග්‍රීසීන්ගෙන් තෑගි වශයෙන් ලැබුණු දෙයක් විය. මේ සියල්ලෙන් අවසාන වශයෙන් අපට උරුම වූයේ නූතන අවශ්‍යතාවන්ගේ තරමට ප්‍රමාණවත් දියුණුවක් නැති දේශපාලන සවිඥානකත්වයකි. ඒ වන විට වැඩවසම් රජ කාලයේ තිබූ සවිඥානකත්වයට වඩා දියුණු සවිඥානකත්වයක් ලංකා සමාජයට තිබුණද ස්වයං පාලනයක් හොඳින් පවත්වාගෙන යෑමට අවශ්‍ය තරමේ දියුණු සවිඥානකත්වයක් ලංකා සමාජයට හෝ එම සමාජයේ ජාතික නායකයන්ට නොතිබුණි. නිදහසට ආසන්න කාලයේදී සිංහල සමාජය කෙරෙහි බලපෑ ලොකුම චින්තකයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලතුමාය. දෙමළ සමාජය කෙරෙහි වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැක්කේ ආරුමුගම් නාවලර්තුමාය. ඒ දෙදෙනාටම තිබුණේ වර්ගය හා ආගම මුල් කරගත් පටු භේදකාරී හා පසුගාමී චින්තනයකි. නාවලර් හින්දු කුලභේදය අනුමත කළ කෙනෙකු වූ අතර ධර්මපාල සිංහල කුලභේදය ඉදිරියේ ඇස් පියාගෙන සිටි කෙනෙකු විය.
ලංකාවට සුදුසු ආණ්ඩුක්‍රමයක් හඳුන්වාදීම සඳහා 1927දී පත්කරන ලද ඩොනමෝර් කොමිසමට ලංකා සමාජයේ හා ලංකාවේ දේශපාලන නායකයන්ගේ දේශපාලන සවිඥානකත්වයේ තිබුණු අඩු දියුණුව ගැන හොඳ අවබෝධයක් තිබූ බව එම කොමිෂන් සභා වාර්තාව කියවන කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකිය.

ඩොනමෝර් හා මාක්ස්

ඩොනමෝර් කොමිසමේ කොමසාරිස්වරුන් පොදුවේ දරන ලද මතය වූයේ ඒ වනවිට රටේ ජනගහනය සජාතික නොවන බවය. එයට ඇතුළත් වන විවිධ ජන කොටස් ජීවත්වූයේ එකිනෙකා කෙරෙහි ඇති කරගත් සැකයෙනි. ලංකාවේ ස්වදේශානුරාගය පොදු දෙයක් නොවන බවත් වාර්ගික කුල හා ආගමික දෙයක් වන බවත් කොමිසමේ මතය විය. පොදු යහපත වශයෙන් සැලකෙන්නේද සියලුදෙනාගේ යහපත නොව වර්ගයක, කුලයක හෝ ආගමක යහපතය. මේ තත්ත්වයෙහි වෙනසක් ඇතිවන තෙක් ලංකාවට සම්පූර්ණ වගකීම් සහිත ආණ්ඩුවක් ලබාදීම සුදුසු නැති බවත් ඩොනමෝර් කොමිසමේ මතය විය. එම කොමිසම කාරක සභා ක්‍රමයක් පදනම් කරගත් ආණ්ඩුක්‍රමයක් රටට හඳුන්වා දුන්නේද වර්ග, කුල, ආගම් භේදයකින් තොරව පොදු හැඟීමකින් එකට එකතු වී වැඩ කරන තත්ත්වයක් ඇති කිරීම සඳහාය.
ඉන්පසු වාමාංශික ව්‍යාපාරය ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දුන්නේය. මාක්ස්වාදය වැදගත් කොට සැලකුවේ පන්තිය ගොඩනැගීම මිස ජාතිය ගොඩනැගීම නොවේ. ජාතිය ගොඩනගා ගැනීමේ වැදගත්කම ඒමගින්ද යටපත් කිරීමක් සිදුවූවේ යැයි කිව හැකිය. ඒ නිසා ලංකාවේ උගත් සමාජය අනගාරික ධර්මපාලට හෝ ආරුමුගම් නාවලර්ට අතිරේකව මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොස්කි ගැන දැනගත්තද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය හඳුන්වා දුන් ජෝන් ලොක් හෝ ජෝන් ස්ටුවර්ඞ් මිල් ගැන හෝ ඔවුන්ගේ ඉගැන්වීම් ගැන ලංකාව දැන නොසිටියේය. ලංකාව රුසියන් විප්ලවය ගැන හා චීන විප්ලවය ගැන දැනසිටියද එංගලන්ත විප්ලවය, ඇමරිකන් විප්ලවය හා ප්‍රංශ විප්ලවය ගැන දැන නොසිටියේය. චින්තනමය වශයෙන් ලංකාව ඉන්දියාවට සාපේක්ෂව කොතරම් පසුගාමී තත්ත්වයක සිටියේද යන්න තේරුම් ගැනීමට ඉදිරිපත් කළ හැකි නිදර්ශනයක් මෙසේය. 1936 වනවිටත් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයට තමන්ගේම වන මානව හිමිකම් ප්‍රඥප්තියක් තිබුණි. ඒ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නොතිබුණි. මානව හිමිකම් කථිකාව ඉන්දියාවේ 30 දශකයේ ආරම්භ වන විට ලංකාවේ එය ආරම්භ වන්නේද ඉන් අවුරුදු 40කට පසුව 70 දශකයේදීය.
ලංකා ජාතික සංගම් කාලයේ සිට නිදහස දක්වා වන අදියරයේදී සිංහල දෙමළ නායකයන් අතර ව්‍යවස්ථාදායකය සඳහා ආසන බෙදා වෙන්කර ගැනීමේදී අනුගමනය කළයුතු මූලධර්මය පිළිබඳව ඇතිවූ වාද විවාද පරීක්ෂා කර බලන කෙනෙකුටද මේ දෙපක්ෂයටම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හෝ සම්ප්‍රදායක් පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොතිබුණු බව පහසුවෙන් තේරුම්ගත හැකිය. අවසානයේ ජී.ජී. පොන්නම්බලම්ට පනහට පනහේ තර්කයක් ඉදිරිපත් කරන්නට සිදුවූයේද ඒ නිසාය. නිදහස ලැබෙන අවස්ථාව වන විට ස්වයං පාලනයකට අවශ්‍ය තරමේ දියුණු චින්තනයක් ලංකාවට හෝ ලංකාවේ ජාතික නායකයන්ට නොතිබුණු අතර ඒ කෙරෙහි ඓතිහාසික උරුමයෙන් එන දුප්පත්කම සේ ම ධනේශ්වර ක්‍රමයකට මාරුවීමෙන් පසු ස්වයං පාලනයක් සඳහා අවශ්‍ය කරන දියුණු චින්තනයක් හා පලපුරුද්දක් ඇතිකර ගන්නට පෙර ලංකාවට නිදහස ලැබීම යන කාරණා බලපෑවේය.

නිදහසින් පසු

ලංකාවට නිදහස ලැබෙන විට වර්ග, කුල හා ආගම් අනුව බෙදී සිටි සමාජය ඒකාග්‍ර කොට ජාතිය ගොඩනගා ගැනීමක් කර නොතිබුණු අතර ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ අවබෝධයක් නිදහසින් පසු බලයට පත්වන පාලකයන්ට හෝ ජාතික මට්ටමේ වෙනත් නායකයන්ටද නොතිබුණි. එය දක්ෂිණාංශික හා වාමාංශික පක්ෂවල කතාබහට හේතුවූ මාතෘකාවක්ද නොවීය. ඒ නිසා නිදහස ලැබෙන විට අපට තිබුණේ ඒකාග්‍ර කළ සමාජයක් නොව වර්ගය, කුලය හා ආගම අනුව බෙදීගිය සමාජයකි.
ඊළඟ වැදගත් දේ නිදහස ලැබෙන විට රටේ නායකයන් හා ජනයා එකට බැඳ තබන පොදු ජාතික දෘෂ්ටියක් සේ ම පොදු ජාතික ප්‍රතිපත්ති රාමුවක් නොතිබීමය. එසේම ලංකාව ඉදිරියට යන්නේ කුමන ඉලක්කයක් වෙතද යන්න ගැනද පිළිගත් පැහැදිලි අදහසක් කවර පක්ෂයකටවත් නොතිබුණි. එසේම රාජ්‍ය කටයුතු හසුරුවන දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් සඳහා ඔවුන්ගේ යුතුකම් හා වගකීම් ඔවුන් උසුලන තනතුරු අනුව විග්‍රහ කෙරෙන අර්ථකථනයක්ද නොතිබුණි. තිබුණා නම් තිබුණේ සියලුදෙනා කෙරෙහි බලපාන පොදු ලිහිල් අර්ථකථනයක් පමණය. එක අතකට ලංකාව ස්ථාවර ඉදිරි ගමනක් සඳහා ශක්තිමත් අත්තිවාරමක් ඇති කරගෙන නොතිබුණු අතර නැව හැසිරවූ නියමුවන්ටද නාවික ගමනාගමනය ගැන හෝ නැව ගෙන යායුතු දිසාව ගැන හෝ මුහුද ගැන හෝ හොඳ අවබෝධයක් නොතිබුණි.

ඩඞ්ලි සියර්ස් වාර්තා කර තිබෙන ආකාරයට නිදහස ලැබෙන විට ලංකාවේ තිබුණේ ද්වන්දව ආර්ථික ක්‍රමයකි. විදේශ විනිමය මුළුමනින් පාහේ උපයන ලද්දේ බොහෝ දුරකට විදේශිකයන් සතුව තිබූ වතුකරයෙනි. වතුකරයෙන් සැලකිය යුතු ලාභයක් ලැබුණා පමණක් නොව, කොළඹ ව්‍යාපාරික හා මූල්‍ය ආයතන පෝෂණය කැරිණි. පරිපාලන හා සමාජ සේවාවන්ද දේශීය කර්මාන්ත අංශයද ඒ මගින් නඩත්තු කරන ලදි. එය ආර්ථිකයේ නූතන අංශය ලෙස සැලකුණු අතර බොහෝදුරට ස්වයංපෝෂිත වූ පාරම්පරික ශිල්ප ක්‍රම ක්‍රියාත්මක වූ ආර්ථිකයේ ඉතිරි අංශය සාම්ප්‍රදායික ආර්ථික අංශය ලෙස සැලකුණි.

නිදහස ලබාදී බි්‍රතාන්‍යයන් ලංකාව අතහැර යන අවස්ථාව වන විට ලංකාව ආසියාවේ දියුණුම රටවල් දෙකෙන් එකක් ලෙස සැලකුණි. ඒක පුද්ගල ආදායමේදී දෙවැනි වූයේ ජපානයට පමණය. එහිදීද රටවල් දෙක අතර පරතරය විශාල නොවීය. අධ්‍යාපනය හා සෞඛ්‍යය දර්ශකවලදී ලංකාව තිබුණේ ආසියාවේ පළමු ස්ථානයේ නොවේ නම් දෙවැනි ස්ථානයේය. යටිතල පහසුකම්වලදීද දියුණුම තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. මුළු රට පුරා විහිදුණු මාර්ග පද්ධතියක් රටට තිබුණි. කොළඹ වරාය සැලකුණේ ආසියාවේ තිබෙන හොඳම වරාය ලෙසය. ලංකාවේ දුම්රිය සේවය සැලකුණේද ආසියාවේ තිබෙන දියුණුම දුම්රිය සේවය ලෙසය. රටට හොඳ ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබුණු අතර දක්ෂ නිලධරතන්ත්‍රයක්ද සිටියේය. රට ආර්ථික වශයෙන්ද, ශක්තිමත් තත්ත්වයක තිබුණි. රටේ ජාතික නිෂ්පාදනය 1949දී රුපියල් මිලියන 3591ක් වන විට ඒ වසරේ රටට තිබූ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1200ක් විය.
නිදහසෙන් පසු රටේ සුක්කානම හැසිරවූ දේශපාලන නායකයන්ට ආර්ථිකය පිළිබඳව හොඳ ඉදිරි දැක්මක් නොතිබුණු අතර රජය සහනාධාරවලට බර තබන දන්සලක් බඳු දෙයක් බවට පත් කළේය. යුද්ධය පැවති කාලයේ සහල් සලාක ක්‍රමයක් ආරම්භ කළේ ජීවන වියදම පාලනය කරන තාවකාලික ක්‍රමයක් වශයෙන් සලකා මිස නොකඩවා පවත්වාගෙන යායුතු ක්‍රමයක් ලෙස සලකා නොවේ. එහෙත් නිදහසින් පසු රටේ නායකයෝ එය අඛණ්ඩව පවත්වාගෙන යන ක්‍රමයක් බවට පත් කළහ. සහල් සහනාධාරය සඳහා කරන ලද වියදම රටේ අධ්‍යාපන වියදමටත් වඩා වැඩිවිය. නව ආර්ථික මාර්ග ඇති කොට ඒවා දියුණු කරන පිළිවෙතක් පවත්වාගෙන යනවා වෙනුවට විදේශීය හා දේශීය වශයෙන් ණයට ගන්නා මුදලින් විවිධ මාදිලියේ සහනාධාර ලබාදෙන ක්‍රමයක් ඇති කළේය. දේශපාලකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීමට තිබෙන ඉඩ සීමා කර තිබූ බැවින් උසස් නිලධාරීන්ට තිබූ ස්වාධීනත්වය අහිමි කොට ඔවුන්ගේ පාලනය කැබිනට් මණ්ඩලය යටතට ගැනුණි. සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති ඇති කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සිදුවූයේ වෙනත් ඕනෑම රටක සිදුවන ආකාරයට අදාළ ක්ෂේත්‍රවල විශේෂඥ දැනුමක් ඇති වෘත්තීයවේදීන් මාර්ගයෙන් වුවත් එම සම්ප්‍රදායද නැති කොට ඒ සියලු දේ තීරණය කිරීමේ වගකීම දේශපාලකයෝ අතට ගත්හ. ඒ සියල්ලෙහි අවසාන ඵලය වූයේ බි්‍රතාන්‍යයන් ලංකාවෙන් යන විට ලංකාව හිමිකරගෙන තිබුණු දියුණුවවත් අඛණ්ඩව ඉදිරියට ගෙනයා නොහැකි බංකොළොත් මාවතක රට ගමන් ගැනීමය.

කුල සාධකය

නිදහස ලැබෙන විට වාර්ගික කුල හා ආගමික යන අංශවල අන්තර් සම්බන්ධතා තිබුණේ මනා කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අසමත්වෙතොත් ලොකු ගැටුම් ඇති කිරීමට හේතුවිය හැකි තත්ත්වයකය. ලංකාවේ පාලකයන් වැඩිම අසමත්කමක් දක්වා තිබෙන්නේද මෙම විෂයේදීය. උස් පහත් භේදයක් සහිත කුල ක්‍රමය වැඩවසම් සේවා ක්‍රමයෙන් පැවත එන්නකි. කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් කුල ක්‍රමය මත පදනම් වී රජයට කරන වැඩවසම් සේවා ක්‍රමයෙන් ජනතාව නිදහස් කැරුණුමුත් වැඩවසම් නින්ද ගම්වල හා විහාර දේවාල ගම්වල ක්‍රියාත්මක වන සේවා ක්‍රමය නැති කළේ නැත. අනෙත් අතට කෝල්බෲක් ප්‍රතිසංස්කරණ නිසා කුල ක්‍රමයක් මත ක්‍රියාත්මක වන සේවාවන්ගෙන් ඉවත් වන්නට කැමති අයට ඒවායින් ඉවත් වී තමන් කැමති වෙනත් වෘත්තීන් තෝරා ගැනීමේ අයිතිය ලබා දුන්නද කුලභේද මුල් කරගත් සමාජ ආකල්ප මුළුමනින් තුරන්වීමක් සිදුවූයේ නැත. කුලය පීඩිත කුලවල ජනයාගේ මනුෂ්‍ය ගෞරවය කෙළෙසන දෙයක් බවට පත්ව තිබුණි. අනෙක් අතට නිදහස ලැබෙන විට විශේෂ වශයෙන් විහාර ගම්වල හා දේවාලගම්වල ක්‍රියාත්මක වන ප්‍රවේණිදාස ක්‍රමයක් රටේ තිබුණි. විහාර දේවාලගම්වල ඉටු කළ යුතු ඇතැම් සේවාවල අධම ස්වභාවය විස්තර කරමින් ‘කුලභේදයට පටහැනිව ගන්නා පළමු පියවර වශයෙන් විහාර දේවාලගම්වල ක්‍රියාත්මක වන සේවා ක්‍රමය අවලංගු කිරීමේ අවශ්‍යතාව 1951 උඩරට ගැමි කොමිෂන් සභාව පෙන්වා දුන්නද එවකට බලයේ සිටි ආණ්ඩුව හෝ ඊට පසු බලයට පත් කවර ආණ්ඩුවක් හෝ ඒ ක්‍රමය අහෝසි කළේ නැත.

බ්‍රයිස් රයන් කියා තිබෙන ආකාරයට දහවැනි සියවසේ අවසානයේ පටන් 1925 පමණ දක්වාම ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල අතරය. රයන් Cast in Modern Ceylon නමැති කෘතිය පළකරන්නේ 1953දීය. ඔහු එහි අවධාරණයෙන් කියා තිබෙන්නේ ‘කුලය අදත් ලාංකික දේශපාලනයේ ප්‍රබල බලවේගයක් වශයෙන් පවතින බවය.’ පාසල්වලට ළමුන් යැවීමේදී අඳින ඇඳුම් හා අසුන් ගැනීම වැනි ප්‍රශ්න මත සිංහල දකුණේද, දෙමළ උතුරේද පීඩිත කුලවල හා වංශවත් කුලවල ජනයා අතර ගැටුම් ඇතිවිය. කටුකම ගැටුම් ඇතිවූයේ දෙමළ උතුරේය. 1930 තෙක් දෙමළ උතුරේ පාසල්වල උසස් කුලවල දරුවන් බංකුවල වාඩිවී අධ්‍යාපනය ලබන විට පීඩිත කුලවල ළමුන්ට අධ්‍යාපනය ලබන්නට සිදුවී තිබුණේ බිම වාඩිවීය. මේ තත්ත්වයට එරෙහිව පීඩිත දෙමළ කම්කරුවන්ගේ සංවිධානය ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් පීඩිත කුලවල අයටද බංකුවල වාඩිවී ඉගෙන ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවූ අතර එම ප්‍රතිසංස්කරණ වැඩසටහනට විරෝධය පළකිරීම සඳහා හින්දු කුලවතුන් පාසල් 15කට ගිනි තබා ඒවා පුලුස්සා දමනු ලැබූ බව කාලිංග ටියුඩර් සිල්වා ඔහුගේ පොතක සඳහන් කර තිබේ.

71 ජේවීපී කැරැල්ලෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ තරුණ තරුණියන්ගේ කුලය සොයා බලන්නට එවකට බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට සිදුවූයේ කුල සාධකය කැරැල්ලට බලපෑ වැදගත් සාධකයක් බවට ආණ්ඩුව නිරීක්ෂණය කර තිබුණු නිසාය. ප්‍රභාකරන්ගේ කැරැල්ලද පිරිසිදු වාර්ගික කැරැල්ලක් ලෙස සැලකිය නොහැකි අතර ඒ කෙරෙහි වර්ග සාධකයකට අතිරේකව කුල සාධකයද බලපෑවේය.

වර්ග සාධකය

වර්ග සාධකයද නිදහසින් පසු බිහිසුණු ප්‍රචණ්ඩ ගැටුම් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි යුගයේදී ස්වදේශීය භාෂාවන් දෙක ලෙස සැලකිය හැකි සිංහල හා දෙමළ භාෂාවන්ට තිබුණු පිළිගැනීම විශාල ප්‍රමාණයකට අහිමි කර තිබුණි. බි්‍රතාන්‍ය යුගයේදී පාලන භාෂාව බවට පත්ව තිබුණේ ඉංග්‍රීසි භාෂාවය. ඉංග්‍රීසි භාෂාව නොදන්නා සිංහල හෝ දෙමළ පුද්ගලයින්ට විදුලි පණිවුඩයක් පවා ලැබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒ නිසා එවැනි පුද්ගලයන්ට ඉංග්‍රීසි භාෂාව දන්නා කෙනෙකු වෙත ගොස් එහි තේරුම අසා දැනගැනීමට සිදුවී තිබුණි. නිදහස ලැබීමෙන් පසු මේ තත්ත්වයෙහි වෙනසක් ඇතිකර ගැනීමට අවශ්‍ය වුවත් 1956දී ඒ දේ කරන ලද්දේ දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කෙරෙන ආකාරයට හා ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාවට ලැබිය යුතු වැදගත්කම මුළුමනින් නොසලකා හරින ආකාරයටය.

සිංහල රාජ්‍ය භාෂාව කරන ලද්දේ දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතිය අහිමි කෙරෙන ආකාරයට පමණක් නොව සිංහල භාෂාව නොදන්නා දෙමළ රාජ්‍ය සේවකයන්ට සිංහල භාෂාව ඉගෙන ගෙන සිංහල භාෂාවෙන් වැඩ කරන තත්ත්වයක් ඇතිකර ගැනීමට ප්‍රමාණවත් කාලයක්ද ලබා නොදෙන ආකාරයටය.
දෙමළ ජනයාගේ ආත්ම ගෞරවය අහිමි කිරීමට හේතුවූ සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය දෙමළ ජනතාවගේ බලවත් විරෝධයට හේතුවූ අතර එම අයිතිවාසිකම් සාමකාමී ආකාරයකින් දිනාගැනීමට දරන ලද උත්සාහයන් මර්දනය කරන පිළිවෙතක් අනුගමනය කැරිණි. චෙල්වනායගම්ගේ පෙඩරල් පක්ෂය 1965 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස ක්‍රියාකරමින් සිටියදී දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සහතික කිරීම සඳහා නීතිගත කරන ලද දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට එරෙහිවද ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් දේශපාලන හවුල බලවත් ලෙස නැගී සිටියේ එය රට දෙමළුන්ට පාවාදීමට දරන උත්සාහයක් ලෙස හඳුන්වමින්ය. එසේ 1956දී දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි සමසමාජ කොමියුනිස්ට් පක්ෂ තමන්ගේ පරණ භාෂා පිළිවෙත අතහැර සිංහල පමණක් වෙනුවෙන් පෙනී සිටින තැනකට මාරුවී සිටියේය. එතරම් ප්‍රකට නැති තවත් වැදගත් කරුණක් වනුයේ දඹරාවේ රතනසාර හිමිගේ ජීවිතය අහිමි කිරීමට හේතුවූ ජනවාරි 6 වැනිදා දෙමළ විරෝධී පෙළපාළියේ ගමන් ගත් අය අතර රෝහණ විජේවීරද සිටීමය.

ඉන්පසු 1970දී බලයට පත්වන ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් සමඟි පෙරමුණු ආණ්ඩුව 1972දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලද්දේ දෙමළ දුක්ගැනවිලි මුළුමනින් නොසලකා ඒකපාක්ෂික ආකාරයට පමණක් නොව සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියද ඊට ඇතුළත් කරමින් ව්‍යවස්ථා සංශෝධනයකින් හැර එම ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ලෙසය. ඉන්පසු එම ආණ්ඩුව ඇති කරන ලද ප්‍රමිතිකරණ නීති මගින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන දෙමළ ශිෂ්‍යයන්ගේ අනුපාතිකයේද ලොකු අඩු කිරීමක් ඇති කරන ලදි. එය පොදුවේ දෙමළ ජනතාවගේ පමණක් නොව විශේෂ වශයෙන් දෙමළ තරුණ පරපුරේද බලවත් කෝපයට හේතුවිය.

සමඟි පෙරමුණු ආණ්ඩුව ක්‍රියාවට නගන ලද සාහසික වැඩසටහනට සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂ එකතුව ප්‍රතිචාර දක්වන ලද්දේ ඊලාම් රාජ්‍යයක් සඳහා වන බෙදුම්වාදී වැඩසටහනක් ප්‍රකාශයට පත්කිරීමෙනි. එම පක්ෂ එකතුව 1977 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේද ඊලාම් රාජ්‍යයක් වෙනුවෙනි. එම පක්ෂ එකතුව ගනු ලැබූ එම තීන්දුව කොතරම් අඥාන හා විනාශකාරීවීද කියතොත් එම පිළිවෙත දිග්ගැස්සුණු දෙමළ සන්නද්ධ කැරැල්ලකට මාර්ගය විවර කිරීමෙන් නොනැවතී දෙමළ ජනවර්ගයට මහා විනාශයක් ඇති කිරීමට හේතුවූවා පමණක් නොව ඒ නිසා සාම්ප්‍රදායික දෙමළ නායකයන් සියලුදෙනාම නොවේ නම් ඉන් වැඩි පිරිසකට ඊලාම්වාදී සටන්කරුවන් අතින් ඝාතනයට ලක්වීමද සිදුවිය.

ශීලාචාරත්වය අහිමි කර ගැනීම

නිදහසේ සිට ක්‍රමානුකූලව වර්ධනයවෙමින් පැවති අර්බුදය පූර්ණ අශීලාචාර ස්වභාවයක් ගත්තේ 1977න් පසුවය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එම අර්බුදයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය නොහැකි වුවත් අශීලාචාර ප්‍රවාහයේ පෙකණිවැල කැපූ වින්නඹු මාතාවගේ කාර්යය ඉටුකළ පුද්ගලයා ලෙස සැලකිය හැකිය.
හයෙන් පහක බලයක් හිමිකර ගනිමින් බලයට පැමිණි ඔහු තිබෙන ආණ්ඩුක්‍රමය වෙනුවට රාජ්‍යයේ සකලවිධ බලය තමන් අතට ගැනෙන ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගත්තේය. පාර්ලිමේන්තුවට තිබුණු උත්තරීතර බලය නැති කොට එය ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බවට පත් කොට පොදු වස්තුව කොල්ලකෑමේ නිදහස මන්ත්‍රීවරුන්ට ලබා දුන්නේය. තමාගේ ප්‍රධාන තරගකරුවාගේ ප්‍රජා අයිතිය අහිමි කොට දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයකට යමින් එය ජයගෙන හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනාධිපතිවරණයක් මගින් දීර්ඝ කර ගත්තේය. මැර බලය ආයතන ගත කොට ශිෂ්‍ය උද්ඝෝෂණ හා කම්කරු උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා මැරවරයන් යොදා ගන්නා ක්‍රමයක් ඇති කරන ලදි. ඒ සියල්ල සමග 83 ඇතිවූ කළු ජූලිය රටේ ගමන් මග මුළුමනින් වෙනස් කළේය. සිංහල දකුණේත් දෙමළ උතුරේත් ප්‍රචණ්ඩ අරගල මතුවී මහා පරිමාණයෙන් ලේ හලන තත්ත්වයක් ඇතිවිය. සිංහල දෙමළ සටන්කරුවන් සේ ම එම කැරලි මර්දනය කිරීම සඳහා සටන් කළ ආරක්ෂක හමුදාවද උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදාහැරියහ.

මෙම බිහිසුණු හා අශීලාචාර කාලයේදී සියලු මිනිසුන්ට ජීවත් වන්නට සිදුවූයේ අඩු වැඩි ප්‍රමාණයකට මරණ බියෙනි. මරණ මිනිසුන්ගේ මළ සිරුරු ප්‍රදර්ශනය කරන හා සමහරවිට මිනිසුන්ගේ බෙලි කපා කෝටුවල ගසා ප්‍රදර්ශනය කරන ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. විශාල මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත්වූ අතර නොමැරී ජීවත්වීමේ වාසනාව හිමිකරගත් සියල්ලෝ මිනිසුන්ද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මළ මිනිසුන් බවට පත්වූහ.

ගැලවීම කොතැනද?

එක දිගට දීර්ඝ කාලයක් රටේ පැවති එම බිහිසුණු හා අශීලාචාර කාලයේදී රටේ හැමදෙයක්මත් විකෘති කොට කුණු කිරීමට හේතුවී තිබුණි. අන්තර් වාර්ගික, කුල හා ආගමික සම්බන්ධතා පමණක් නොව රටේ මානව සම්බන්ධතාද දැන් පවතින්නේ විකෘති තත්ත්වයකය. රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, පොලිසිය, බදු එකතු කරන ආයතන පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය වැනි සේවා තිබෙන්නේද පරමාදර්ශී අරමුණු හා ක්‍රියාකාරී ශක්තිය අහිමි කරගත් අවුල්සහගත හා දූෂිත තත්ත්වයකය.
හැම දෙයක්ම තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. නීති සම්පාදකයන්, නීතිය පසිඳලන්නන් හා නීතිය ක්‍රියාත්මක කරන්නන් නීතිය උල්ලංඝනය කරන චෞරයෝ බවට පත්ව සිටිති. ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව, උසාවි, කච්චේරි, හැඳුනුම්පත් හා පාස්පෝට් කන්තෝරු, පොලිසි, රෝහල්, පාසල් හා පූජනීය ස්ථාන මහජනයා පීඩාවට පත් කරන ආයතන බවට පත්වී තිබේ. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන්, මහජනයාගේද, පූජකයන් සැදැහැවතුන්ගේද, කලාකරුවන් රසිකයන්ගේද, ගුරුවරුන් සිසු දරුවන්ගේද, වෛද්‍යවරුන් රෝගීන්ගේද, නීතිඥයන් නඩු කියන්නන්ගේද, වෙළෙඳුන් පාරිභෝගිකයන්ගේද, බැංකුකරුවන් ගැනුම්කරුවන්ගේද ලේ උරා බොන ලේ මාපිල්ලු බවට පත්ව සිටිති. සමස්ත ආයතන ක්‍රමයම තිබෙන්නේ ශීලාචාරත්වය හා සුජාතභාවය අහිමි කරගත් මහා කඩා වැටීමකට ආසන්න තත්ත්වයකය.

කඩා වැටීමක් ඇතිවීමෙන් සිදුවිය හැකි හානිය වළකාගත හැකිවනු ඇත්තේ හැම තැනකම රජකරන මෙම අශීලාචාර තත්ත්වය නැති කොට රට සීලාචාර තත්ත්වයකට ගැනීමට හේතුවන ලොකු ව්‍යුහමය වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමෙනි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කවර ආකාරයක වෙනස්කම්ද යන්න හරියාකාරව හඳුනා ගැනීමට හැකිවනු ඇත්තේ නිදහසේ සිට පසුව ඇතිවන දීර්ඝ අශීලාචාර කාලය දක්වාම රටේ කටයුතු සිදුවී තිබෙන ආකාරය ගැන හොඳින් කරුණු සොයා බලන තැනකට යෑමෙනි. සමස්ත අර්බුදයේ මූල හේතුව ලෙස ක්‍රියාකර තිබෙන්නේ ජාතිය ගොඩනගා ගැනීමට නොහැකිවීමේ ප්‍රශ්නය වන නිසා ක්‍රියාවට නගන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ජාතිය ගොඩනැගීමේ අරමුණ ප්‍රධාන අරමුණක් බවට පත්කර ගත යුතුය.