රාවය

අපි දැනටමත් ප්‍රමාදයි – හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් හා වත්මන් අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා උපදේශක ජිනසිරි දඩල්ලගේ

අපි දැනටමත් ප්‍රමාදයි – හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් හා වත්මන් අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා උපදේශක ජිනසිරි දඩල්ලගේ

නිමල් අබේසිංහ
ඡායාරූප – ටී. නඩරාසා

ඒවා මෙහේ බෑ මචං රචනාවෙන්න තිබූ පසුබිම මොකක්ද?

මගේ සිතේ කාලයක් තිස්සේ තිබුණ අදහසක් තමයි, ඒ වාගේම සමාජයෙත් තිබුණ අදහසක් තමයි මේ රටේ බොහෝ දේවල් දේශපාලනීකරණය වෙලයි කියන එක. ඒ කියන්නේ දේශපාලනඥයෝ තමයි අවසාන නිගමනය, තීරණය ප්‍රතිපත්තිය තීරණය කරන්නේ කියන එක. ඒක නිසා මගේ අත්දැකීමත් මගේ දැනීමේ හැටියටත් මං හිතන් ඉන්න දෙයක් තමයි, මිනිස්සුත් මං හිතන්නේ හිතන දෙයක්, ඒ වගේ සමාජයේ විවාදයට භාජනය වෙච්ච දෙයක් තමයි බොහෝ දේවල් අසාර්ථකයි කියන එක. ඒක රටේ ජනමතයක්. ඒත් එහෙම වුණාට මේ රටේ මේවා සාර්ථක වෙන්නේ කොහොමද කියන එක. හුඟ දෙනෙක් තුළ මතයකුත් තියෙනවා, බුද්ධිමතුන් ගත්තොත්, ජනමාධ්‍යවේදීන් ගත්තොත්, රටේ උගතුන් ගත්තොත්, රජයේ නිලධාරීන් ගත්තොත්. ඒගොල්ලෝ බොහෝ දෙනෙක් දන්නවා මේක මෙහෙම තමයි වෙන්න ඕනෑ කියලා. ඒත් ඒකට ඉඩක් නෑ. දැන් ජනමාධ්‍යවල සමහර ප්‍රශ්න මොනතරම් කතා කරනවද? ඒත් ඒ කිසිදේකට ඇහුම්කන්දීමක් නෑ. ඒවා එසේම යනවා. කාලයක් තිස්සේ මට තිබුණ අදහසක් තමයි, වෘත්තිකමය භාවයට, කළමනාකරණ අදහස්වලට මේ රටේ ඇහුම්කන්දීමක් නෑ කියන එක. රජයේ නිලධාරීන් බැලුවොත් විශේෂයෙන්ම රජයේ බොහෝ අංශවල අයට විශ්වවිද්‍යාලවල ඉන්න අය තුළ එක්තරා දුරකට කලකිරීමක් තිබෙනවා. ඔවුන්ගේ දායකත්වය මේ රටට කිසිම විදියකින් ගන්නේ නැහැයි කියන එක ගැන. එතකොට දේශපාලනඥයෝ තමයි හැමතැනම ඉන්න විශේෂඥයෝ වෙන්නේ. අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයේ නම ගෑවුණු ඇමතිවරයා සතපහක උගත්කමක් නැති වුණත් ඔහු අධ්‍යාපන විශේෂඥයෙකු බවට පත්වෙනවා. අපි හිතමු කර්මාන්ත ඇමතිවරයා කර්මාන්ත පිළිබඳ මේ ලෝකෙ දෙයක් නොදන්නා කෙනෙක් වුණත් ඔහුත් කර්මාන්ත ගැන විශේෂඥයකු වෙනවා. ඒ නිසා මේ රටේ බුද්ධිමය සංවාදවලට ඇහුම්කන්දීමක් නෑ.

ඒක නිසා තමයි මේ සමාජ ආර්ථික පරිහානිය කියන කාරණය එන්නේ. බොහෝ දේවල් අසාර්ථක කියන කාරණයට අපිට එන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒ යටතේදී මම ඔය පොතේ නම දාන්න අදහස් කළේ, මමත් විදේශවල ගොඩක් ගිහිල්ල තියෙනවා. එහෙම හුඟ දෙනෙක් යනවා. අපේ පරිපාලන සේවය ගත්තොත් විශාල ප්‍රමාණයක් එහෙම පුහුණුවලට අධ්‍යාපනයට යනවා. එහෙම මාස්ටර් මට්ටමේ උපාධි ආචාර්ය උපාධි ගන්න අය ඉන්නවා. දැන් අපේ සැලසුම් සේවය ගත්තොත් අනිවාර්යයෙන්ම විදේශයක පශ්චාත් උපාධියක් කරන්න ඕනෑ. ඒත් මේ දැනුම කොහෙද තියෙන්නේ. මේ දැනුම ඇත්තටම පාවිච්චි වෙන්නේ නෑ. දැනුම තියෙන්නේ කතාවට පමණයි. හුඟදෙනෙකුගේ මතය වෙන්නේ ඕවා මෙහෙ බැහැ කියන එකයි. ඕවා මෙහෙ බෑ මචං කියන්නේ සමාජ මතවාදය. බුද්ධිමතුන්ගේ මතවාදයක්. වෘත්තිකයන්ගේ මතවාදයක් වෙලා තියනවා. මේ මතය ඒක පදනම් කරගෙන ඕවා මොනවද කියන එක සමාජගත කරන්න තමයි මේ පොත ලියවෙන්නේ. ඊළඟ කාරණය තමයි බොහෝ මාධ්‍ය කතා කරන්නේ එක්තරා විදියක අනවශ්‍ය වාද විවාද. උදාහරණයක් විදියට ගත්තොත් මොකක්හරි සිද්ධියක් අරගෙන මේක තමයි දිගින් දිගටම කතා කරන්නේ.

රට බරපතළ ණය උගුලක හිරවී තිබෙනවා. එයින් රට දැවැන්ත අර්බුදයක් කරා යමින් තිබෙනවා. මෙයින් ගැලවීමට ඔබ යෝජනා කරන්නේ මොනවාද?

සමහර ඵලදායි නැති දේවල් සඳහා යෙදවීම තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න මම දකින්නේ බොහෝ දේවල් සඳහා, යම්කිසි විදියක ව්‍යාපාරික මොඩලයක් ඉදිරිපත් කරන්න වෙනවා. අපි ගම්මුකො විශ්‍රාම වැටුප් පිළිබඳව. දැන් ඒක ලොකු අර්බුදයක තියෙන්නේ. ජාතික ආදායමින් විශාල ගාණක් විශ්‍රාම වැටුපට යනවා. කාලයක් තිස්සේ අදහසක් තිබුණා මේකට සහභාගිත්ව විශ්‍රාම වැටුපක් හදන්න ඕනෑ කියලා. එහෙම වුණාට හදන්නේ නෑ. ඒ දේශපාලන ක්‍රමය නිසා. දේශපාලනඥයෝ නිතරම බලන්නේ දේවල් දීමට තමා. ඒකේ ඵලදායිතාව පිළිබඳව කවුරුත් අදහස් විමසීමක් නෑ. ඒ නිසා මම දකින ණය උගුල පිළිබඳව හරි විශ්ලේෂණයක් වෙලා නෑ. ඒ ණය පිළිබඳව, ඒ ණය යෙදවීම පිළිබඳව හොයල නෑ. ඒ කියන්නේ මේවා යොදවන්නේ කොහොමද කියන එක ගැන හොයලා නෑ. උදාහරණයක් ගනිමු. පසුගිය රජයේ අර පරිගණක ලබාදීමේ වැඩසටහන ගැන. නැණසල ව්‍යාපෘතිය ඇති කිරීම. ඒකෙ කොරියානු මොඩල් එක. වෙනස් මොඩල් එකක්. ඒගොල්ලෝ ණයක් අරගෙන නෑ. එහෙත් ණයක් අරගෙන එහෙම වැඩක් කරන්නේ කොහොමද කියන එකට පාඩමක් එයින් ගන්න හැකියි. ඒ ගැන තමයි අදහසක් ඇතිකර ගන්න ඕනෑ. ඒ අදහස නැත්නම් ඒක ණයක් පමණයි. දැන් රජයේ මුදල් ගත්තොත් කවුද ඉස්මතු වෙන්නේ විනාශකාරයෝ. රජයේ මුදල් ඵලදායක විදියට වැය නොකරන අය තමයි ඉස්මතු වෙන්නේ. මේ වාගේ දේවල්වල ව්‍යවසායකත්වය වෙනස් වෙනවා නම් ඇත්තටම ණය උගුලෙන් බේරෙන්න පුළුවන්. අපි ණය අරන් තිබෙන්නේ සමහර වෙලාවට බොහෝ අනවශ්‍ය දේවල්වලටමයි. ණය අරගෙන තිබෙන්නේ නඩත්තු කිරීම්වලටයි. දැන් රාජ්‍ය සේවය ගත්තොත් නඩත්තුවට. ඵලදායිතාව ගැන හිතන්නේ නෑ.

ණය ගත්තත් ඒ කුමක් සඳහාද? ඒවා විධිමත්ව කළමනාකරණය කරන්නේ කෙසේද? කියන එක ගැනවත් අපිට අදහසක් නෑ නේද?

මේක විසම චක්‍රයක්. ඒ කියන්නේ ගත්තු ණය බේරන්න ණය ගන්න මට්ටමකට අපි වැටිලා තියෙනවානේ. එහෙමනම් අපට මෙයින් මිදෙන්න නම් විශේෂයෙන්ම ඵලදායි ක්‍රමෝපායක් ගැන හිතන්න වෙනවා. අධ්‍යාපනය වෙන්න පුළුවන්. සහනාධාර ක්‍රමවෙන්න පුළුවන්. අපේ සහනාධාර ක්‍රමයක් පටන් ගත්තා. පවත්වාගෙන යන්නේ දේශපාලන පැවැත්මට පමණයි. ඒක නිසා තමයි එක්තරා අවස්ථාවකදී එස්.බී. දිසානායක ඇමතිතුමා කියන්නේ, සමෘද්ධිය කියන්නේ ඡන්ද මැසිමක් කියලා. මේ ඡන්ද මැෂින් පවත්වාගෙන යන්න තමා සහනාධාර දෙන්නේ. ඡන්ද මැසිම සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අභිමතාර්ථවලටත් වඩා එහා ගිහිල්ලා. අපේ රටේ සහනාධාර දෙන්නෙ දේශපාලන පැවැත්මට. ඒක ඵලදායි පැත්ත කළමනාකාරී පැත්ත හිතන්නේ නෑ. අපි දෙන්නේ කර්මකාරක සහනාධාර. කර්මකාරක කියන්නේ මිනිස්සු කර්මය. එහෙත් බටහිර රටක සහනාධාර දෙන්නේ පුද්ගලයා කර්තෘ බවට පත්කරලා. පුද්ගලයා කර්තෘ නම් ඔහු තමා සහනාධාරය ඉල්ලන්නේ. එතකොට ඒ සහනාධාරය වෙනුවට දෙන්නේ බැංකු ණයක්. එතකොට අවශ්‍යතාව ඔහු බැංකු ණය යොදා ගන්නවා. අපේ තියෙන්නේ ඉල්ලන මිනිහටත් ඉල්ලන්නේ නැති මිනිහටත් දීලා සමාජය නඩත්තු කරනවා. සමාජය නඩත්තු කරන්නේ දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කරගන්නයි. අවසාන වශයෙන් දිළිඳුකම අඩුවෙලත් නෑ.

අපේ අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් මිසෙක පුද්ගලයා තුළ විභව ශක්තීන් සංවර්ධනය කරන්නක් නොවෙයි. මේ තත්ත්වය තුළ බිහිවන්නේ රටට වැඩදායි පුද්ගලයන් නොව රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන රටට බරක් වෙන අයයි. මේ ක්‍රමයෙන් විතැන් නොවී රටක් දියුණුව කරා ගෙන ගිය නොහැකියි. ඔබ මේ ගැන දක්වන අදහස් මොනවාද?
ඔය මතය සමාජය තුළ, බුද්ධිමතුන් තුළ තිබෙනවා. ඒත් මේ අදහස අරගෙන මේවා වෙනස් කිරීම පිළිබඳව කිසිම රජයක් උනන්දුවක් නෑ. ඒ තුළ මොකද මිනිස්සු කරන්නේ. මෙතනදි වෙලා තියෙන්නේ හැකියාවක් තියන හැමදෙනාම මේ රටින් පිටවෙලා යනවා. ඔබ කීවා හරි විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් තමයි මේ රටේ පැහැදිලිව තියෙන්නේ. එතකොට මේකට ආපසු හැරෙන්න බෑ ආණ්ඩුවට ආපසු හැරෙන්න බැරි මේකෙ දේශපාලකයන්ගේ තීරණ නිසා. එහෙත් ඵලදායි චින්තනයක් එනවා නම් ආපසු හැරෙන්න ඕනෑ. ඒ පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීමත් රජයේ වගකීමක්. උදාහරණයක් විදියට ගත්තොත් නිකන් පොත් දුන්නේ. නිකන් ඇඳුම් දුන්නේ මිනිස්සු ඉල්ලලා නොවෙයි. මේවා දේශපාලන චින්තනයන්. මේවා තුළ තමයි නැවත ණය උගුල්වල පැටලෙන්නේ. ඉතින් මම කියන්නේ මේක පැහැදිලිව විග්‍රහ කරගන්න ඕනෑ.

දැන් අපේ අධ්‍යාපනය ගත්තොත් එය පොතක් වටේ බැඳලා. බටහිර එහෙම නෑ. ඔහුගේ බැමි ලිහලා. දාන්න ඕනෑ. අපේ පාසල් අධ්‍යාපනයේ පන්තියක ශිෂ්‍යයෝ 40ක් ඉන්නවා නම් එකම පොත් වර්ගයේ පොත් 40ක බැඳලා. එයින් එහා කියවීමක් නෑ. ගුරුවරයත් ප්‍රශ්න අහන්නෙත් ඒකෙන්. ඒ අධ්‍යාපනයෙන් බිහිවෙන්නේ බුද්ධිමතුන්ය කියලා අපි හිතන්නේ නෑ. ඉතින් ඉන් එහා පුළුල් ක්‍රමයක් ඇතිකර ගන්න ක්‍රමවේදයක් සකස් කරගන්න අවශ්‍යයි. දැන් අධ්‍යාපන ඇමතිවරයෙක් අධ්‍යාපනඥයෙක් නෙමෙයිනේ. එහෙත් ඔහු දැනගන්න ඕනෑ බහුවිධ අය සමග කතා කරලා අධ්‍යාපන සැලසුමක් ක්‍රමවේදයක් සකස් කරලා මේක පරිවර්තනය කරන්න.

දිළිඳුකම පිටුදැකීමට මෙරට ක්‍රියාත්මක වැඩපිළිවෙළවල් සියල්ල අසාර්ථකයි. යැපුම් හා සහනාධාර මානසිකත්වයෙන් තොරව දිළිඳු ප්‍රජාව ඉන් ගොඩගත හැක්කේ කොහොමද?
ඒක තමයි මම පැහැදිලිවම කියන්නේ මොඩල් එක වෙනස් විය යුතුයි කියලා. සමහර අවස්ථාවලදී ජනතාවට සහනාධාර දෙන්න වෙනවා. මේ සහනාධාර දීම රහ වැටුණ දේශපාලනඥයන්ට. එහෙම රහවැටුණාම මේකට නොයෙක් නොයෙක් දේවල් ඇඞ් කරමින් එකතු කරමින් යනවා. අපි දන්නවා හාල් සේරු දෙක එනවා. ඊට පස්සේ ඇට අට එනවා. මේක ඒ අය ටෙස්ට් කළා. හොඳට වැඩ කරලා තියනවා. දැන් දිළිඳු සහන දුන්න කියලා සංඛ්‍යාත්මකව දිළිඳුකම අඩුවෙලා නැහැ. එහෙත් සහනාධාරවල ගතිලක්ෂණ වෙනස් වෙලා අඩුපාඩු දාගෙන වර්ධනය වෙලා තියෙනවා. මොකද දිළිඳු අය තීරණාත්මක බලවේග වෙලා තියෙනවා ඡන්දවලදී. රජය නිතරම උත්සාහ කරන්නේ දිළිඳු අය රැකගන්න දිළින්දන් විදියට. හැබැයි මේ සහනාධාර ක්‍රම සැබැවින්ම විග්‍රහ කරලා මේ ආයෝජනය දිළිඳුකමින් ගැලවෙන්න උදව් වෙනවාද කියලා හොයල බලන්න ඕනෑ. අපි හිතමු සිල් රෙදි දීම තුළ ගම්වල මිනිස්සු සිල්වත් වුණාද? කියන ප්‍රශ්නය. ඔක්කොම සිල්ගත්තද කියන ප්‍රශ්නය. එතකොට දිළිඳුකම පිටු දකින්න දීපු මොනවාහරි දෙයක් ඒකට බලපෑමක් වුණාද? කියන දේ සාකච්ඡාවට බඳුන් වෙන්න ඕනෑ. ඇත්තටම ලංකාවේ දිළින්දෝ විනාශ කරලා තියෙනවා. එතකොට මෙතන මතවාදය යනවා සමාජ විඥානයක් තියෙනවා රජය සියලු දේ කළ යුතුය කියන එක. මොකක්හරි එවැනි දුර්වල චින්තනයක් ගොඩනැගිලා තිබෙනවා. රජය තමයි සියලු දේවල් කරන්න ඕනෑ. ඒ නිසා රජය අපට ගෙවල් දෙන්න ඕනෑ. රජය අපට පොහොර දෙන්න ඕනෑ ආදී වශයෙන් සියලු දේවල් දෙන්න ඕනෑය කියන සිතිවිල්ල ඇති වෙනවා.

මේ රටේ රාජ්‍ය සේවා අතිශය මන්දගාමී අකාර්යක්ෂමකමින් දුර්වල වූවක් බව නිතරම කියවෙන්නක්. මෙයින් රටේ සංවර්ධනයට සිදුවෙන අහිතකර බලපෑම වළකා ගැනීමට සැලසුම් කළ හැකි ක්‍රමවේදය කුමක් විය හැකිද?

අපි කලින් කතා කරපු කාරණත් මේ පොතේ තිබෙන ඇතැම් ක්ෂේත්‍රවල මූලිකම දේ තමයි රාජ්‍ය සේවය. ඒ කියන්නේ මේ සියලු දේවල්වලට බලපාන්නේ රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයට සිදුවන පළමුවැනිම දේ තමයි රාජ්‍ය සේවය දේශපාලනීකරණය වුණාය කියන මතවාදය. ඒ මතවාදය තුළ අපේ රාජ්‍ය සේවය තුළ තවදුරටත් පාවිච්චි කරන්නේ යල්පැන ගිය ක්‍රමවේදයක්. අපට මේ රාජ්‍ය සේවය හඳුන්වා දුන්න රටවල් පවා අද භාවිත කරන්නේ ඉතාම නූතන ක්‍රමෝපායන්. අපි ගනිමු රාජ්‍ය සේවයේ ආයතන ව්‍යුහය සකස් වීම. ඒ ව්‍යුහය සකස්වීම විද්‍යාත්මක නෑ. අමාත්‍ය මණ්ඩලයේ සිට රාජ්‍ය සේවයේ ව්‍යුහය සකස් වෙලා නෑ. මම බොහෝ රටවල දැකල තියෙනවා. ඒවායේ රජයේ ව්‍යුහය සකස් වෙලා තිබෙන්නේ ඒ රටේ ආර්ථික සංවර්ධන අරමුණු අනුව බව. අපි හිතමු කර්මාන්ත කියලා. කර්මාන්ත පර්ෂදයක්. ඒ පර්ෂදයේ මහා කර්මාන්ත, මධ්‍යම කර්මාන්ත, කුඩා කර්මාන්ත එකට වැඩ කරනවා. එතකොට ඒ අනුව තමයි ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. ඊළඟට රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය ගත්තොත් සම්පූර්ණ නොදියුණු තැනකයි තිබෙන්නේ. මේ ආයතනවලට හොඳ කළමනාකරුවන් පත්කර ගැනීමේ ප්‍රතිපත්තියක් අපට නෑ. තිබෙන්නේ බොහොම ගතානුගතික එකක්. පැරණිකම තිබුණට සමහරුන්ට හැකියාව නෑ. ඒ නිසා මම හඳුන්වලා දුන්න රාජ්‍ය සේවයට සුදුසු ක්‍රමවේදයක්. නියම පුද්ගලයා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් නියම පුද්ගලයා එතැනට යනවා. එතකොට අපි කෙනෙකුට වැඩ කිරීමේදී නිර්ණායක, ඉලක්කයන් දීලා තියෙනවද? අපි එහෙම එන්න ඕනෑ. එහෙම වුණහම රාජ්‍ය සේවයේ විශාල පිරිසක් සිටීම වෙනුවට අවශ්‍ය පිරිස තෝරාගත හැකියි. පාඩු ලබන ආයතන වුණත් කරන්න පුළුවන් අයෙකුට වගකීම දෙන්න ඕනෑ. ඔහුට වගකීම දීලා ඇමතිවරයා ඒ ආයතනයට පිරිස පිරෙව්වොත් ඒ ආයතනය ගිනියන්න බැහැ.

‘ඒවා මෙහෙ බෑ මචං’. සැමදා මතුරන මන්තරයක් නොවන්නට සැලසුම් කළයුතු ක්‍රමවේදය මොනවගේද?

ඒවා මෙහෙ බෑ කියන කතාව සමාජ මතයක්. මේක තියෙන්නේ වගකිවයුතු අප අතරෙයි. ඇමතිවරයෙක් එක්ක කීවත් ඕවා මෙහෙ බෑ කියලා තමයි කියන්නේ. ඒවා එච්චරටම ඇටුවන් බැහැලා තියෙන්නේ. මගේ අරමුණ වුණේ මේ පොත හරහා එය වෙනස් කිරීමේ මතවාදයක් ගොඩනගන්නයි. මෙතනදි ජනමාධ්‍ය, නිලධාරීන්ගේ, වෘත්තිකයන්ගේ සංවිධානවලින් කතා කරන මට්ටමට සමාජයේ ඉහළට ගේන්න ඕනෑ. ඉතින් ඒ විදියට බලසම්පන්න කළොත් දේශපාලන මතවාදයක් ටිකත් අවම කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒක ඉතා අමාරුයි. අමාරුයි කියන්නේ නිලධාරිනුත් පත්වෙලා ඇවිල්ලා ඒවයේ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්න උත්සාහ කරනවා මිස ඉන්න තැනින් වෙනසක් කරන්න උත්සාහ කරන්නේ නෑ. ඒ නිසා සිදුකළයුත්තේ මේවාට කැමති මාධ්‍යවේදීන්, වෘත්තිකයන් සමග එකතුවීමයි. ඒත් මේක රොටිය අනිත් පැත්ත දානව වාගේ කරන්න බෑ. ඉතින් සමාජය කළයුත්තේ කුමක්ද කියන එක පිළිබඳව මතවාදය පැහැදිලි කරගන්න ඕනෑ. මෙය ඉතා වේගවත් කරන්න පුළුවන් දේශපාලනයේ තීන්දු ගන්නා මට්ටමේ අය මේ පිළිබඳ අවධානය යොමු කළොත්. මෙම ගැටලුව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් දැනටමත් අපි ප්‍රමාද වෙලයි සිටින්නේ.