රාවය

සීනි නිසා මරු දකින තේ

සීනි නිසා මරු දකින තේ

රසික ගුණවර්ධන

තේ කර්මාන්තයට වසර 150 ක් සැපිරුනේ පසුගිය වසරේදීය. ඒ වසර 150 තුළ තේ කර්මාන්තය තුළ අප සිටින්නේ කොතනද යන්න නැවත විමසා බැලිය යුතුව ඇත. “සිලෝන් ටී” යන්න ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති තේ වර්ගයක් ලෙස සැලකේ. ඒ නිසාම ශ්‍රී ලංකාව සමග සමාන්තර තේ කතා සුන්දරය. මේ කියන්නට යන්නේ ඒ සුන්දර තේ වගාවේ සුන්දරත්වය පිළිබඳව නොවේ. මේ කියන්නට යන්නේ සුන්දර තේ වගාවේ සුන්දරත්වය බිඳ හෙළන අසුන්දර කතාවකි, ගුණාත්මක තේ අභියෝගයට ලක්වන කතාවකි.
ගුණාත්මක තේ

“සිලෝන් ටී” නාමය යටතේ වෙළෙඳපළේ ඇති තේ වලට විශාල පිළිගැනීමක්ද, වටිනාකමක්ද හිමිවන්නේ අද ඊයේ සිට නොවේ. එය යටත් විජිත සමය දක්වා දිව යන කතාවකි. ලංකාව එවකට නතු කරගෙන සිටි විදේශිකයෝ තමන්ගේ පරිහෝජනයේ අවශ්‍යතාව සහ වෙළෙඳපළ ඉලක්ක කරගනිමින් තේ වගාව ලංකාවට හඳුන්වා දුන්හ. ලංකාවේ තේවල පැවති උසස් තත්ත්වය නිසාම ඔවුහු විශාල වෙළෙඳපළක් සිලෝන් ටී නාමයට විවෘත කර ගැනීමට කටයුතු කළහ.

මෙසේ ලංකාවේ තේවලට හිමි වූ ඉහළ ගුණාත්මක බවට සාධක ලෙස ලංකාවේ පවතින දේශගුණයද, පසද, ආදිය පමණක් නොව තේ නිෂ්පාදනයේදී නිෂ්පාදකයන් දක්වන සැලකිල්ලද හේතු වේ. එපමණක් නොව ලොව පිරිසිදුම තේ නිපදවීමේ කීර්ති නාමයද ශ්‍රී ලංකාවට හිමිය. මේ නිසාවෙන් ශ්‍රී ලංකාවේ “සිලෝන් ටී”, සිංහ සලකුණ සහිත තේ ගුණාත්මක තේ ලෙස ලෝකය පිළිගත්තේය.

අපනයනය

ලංකාවේ තේ වලට ඉහළ වටිනාකමක් හිමි වන්නේ ලෝක වෙළෙඳපළට තේ අපනයනය කිරීම නිසාය. ලංකාවේ නිෂ්පාදනය වන තේ වලින් බහුතරය අපනයන ආදායම් උපදවයි. ඒ අනුව ලංකාවේ වාර්තාගත ලෙස තේ අපනයය සිදු වන්නේ වර්ෂ 1990 දීය. එහිදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 215.6 ප්‍රමාණයක් අපනයන කිරීම සිදු කරයි. එසේම මේ වන විට ලෝකයේ “සිලෝන් ටී” මිල දී ගන්නා ප්‍රධාන ගැණුම්කරුවන් ලෙස (වර්ෂ 2017) වාර්තා වන්නේ රුසියාව, ඉරානය, ඉරාකය, ඩුබායි වැනි රටවල්ය. ඒ අතුරින් රුසියාව කිලෝ ග්‍රෑම් මිලියන 34ක්ද, ඉරානය කිලෝග්‍රෑම් මිලියන 33ක් ද, ඉරාකය කිලෝග්‍රෑම් මිලියන 32ක්ද, තුර්කිය කිලෝග්‍රෑම් මිලියන 27ක් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කිලෝග්‍රෑම් මිලියන 18ක් ද, ලිබියාව කිලෝග්‍රෑම් මිලියන 12ක් ද, සිරියාව කිලෝග්‍රෑම් මිලියන 12ක් ද, ඇෆ්ගනිස්තානය කිලෝග්‍රෑම් මිලියන 10ක් ද ලෙස ආනයනය කරයි. එහෙත් වර්තමාන ලෝකයේ පවතින අස්ථාවර බව මත ලෝක තේ වෙළෙඳපළ අස්ථාවර වෙමින් පවතී. ඒ අනුව තේ මිල දී ගැනීමේ වර්ධනයක් දැක ගත නොහැකි බව විශේෂඥ මතය යි. එසේම ලංකාව ලෝක තේ සැපයුමට සියයට 6.2 දායකත්වත්වයක් සපයමින් ලෝකයේ සිව්වන තැනට පත්ව ඇත. ලෝක තේ අපනයනකරුවන් අතුරින් තෙවන තැන ලබා ගනිමින් එයින් සියයට 17 ප්‍රමාණයක් ආවරණය කරණු ලබයි.

මීට අමතරව, රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 20 %ක් සෘජු හා වක්‍ර ආකාරයෙන් තේ කර්මාන්තයේ නියැලී සිටින අතර තේ මෙරට සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් 15%ක දායකත්වයක් සහ කෘෂිකාර්මික අපනයන ආදායමෙන් 65%ක් උත්පාදනය සිදුකරයි.

වර්තමානය

අතීතය එසේ වුවද වර්තමානය අතීතයේ පුර්වාදර්ශ ලබාගන්නා බවක් පෙනෙන්නට නැත. එනම් වර්තමානයේ තේ කර්මාන්තය අතීතයේ තරමටම ශක්තිමත් නැත. වර්තමාන තේ කර්මාන්තය පිළිබඳව හඳුනා ගැනීමට ඇති හොඳම සාධකය නම් තේ අපනයනය පිළිබඳව විමසා බැලීමයි.

තේ කර්මාන්තය පරිහානියට පත්වීමට හේතු වන කාරණා කිහිපයකි. ඒ අතුරින් ප්‍රධානම කාරණාව නම් තේ කර්මාන්තය සඳහා යොමු කරන අවධානය අඩු වීමයි. එනම් තේ කර්මාන්තය ලංකාවේ ස්ථාවර ලාභ ලබන්නා වූ වැවිලි බෝගයක් නිසා අවධානය යොමු කළ යුතු පිරිස් ඒ සඳහා අවධානය යොමු නොකරමින් සිටිති. සැළකිල්ල අවම වශයෙන් යොදවමින් සිටිති.
හොඳම නිදසුන නම් ග්ලයිපොසේට් තහනමයි. ග්ලයිපොසේට් තහනම හරහා තේ වගාවට එල්ල වූ තර්ජනය අති මහත් ය. ග්ලයිපොසේට් විරෝධීහු එය සෞඛ්‍යාරක්‍ෂිත නැතැයි තර්ක කරති. ග්ලයිපොසේට්වාදීන්ට කළ හැක්කේ එය සෞඛ්‍යයට තර්ජනයක් නැතැයි යන්න විiාත්මකව ඔප්පු කොට පෙන්වීමය. ග්ලයිපොසෙට්වලට එරෙහිවීම හා පක්‍ෂවීම සම්බන්ධයෙන් කෙරෙන කරුණු රහිත නිරර්ථක විවාදය නවත්වා තේ වගාවේ වල් මර්දනයට සාර්ථක ක්‍රමයක් ඉක්මනින් සොයා ගත යුතුය. වාදය නිසා සිදුවන්නේ තේ වගාව පරිහානියට පත් වීමය.

සීනි යෙදීම

සීනි තේ පානයේ ප්‍රනීත බව තීව්ර කරවයි. ඒ නිසා ම තේ සමඟ සීනි වලට බැඳීමක් ඇත. මේ කියන්නට යන්නේ බැඳීමක් නොමැති තැන ඇතිකරන බැඳීමක් නිසා සිදුවන අවුලකි. තේ දල්ල නෙලුවායින් පසු තේ කර්මාන්ත ශලාවට ගෙනවිත් ඒවා අවශ්‍ය පරිදි වේලා තේ කොළ නිෂ්පාදනය සිදු කරයි. මේ නිශ්පාදන ක්‍රියාවලිය අතරතුර ඇතැම් කර්මාන්තශාලා හිමියෝ අඹරන තේ කොළවලට සීනි කලවන් කිරීමක් සිදු කරනු ලබයි. මේ සීනි කලවන් කිරීමේ ක්‍රියාවලිය නිසා තේවල ගුණාත්මක බවට විශාල තර්ජනයක් එල්ල වේ. පසුගිය දා තේ වලට මෙසේ සීනි කලවන් කරන කර්මාන්ත ශාලා හිමියන් විශාල ප්‍රමාණක් සොයා ගැනීම නිසා මේ සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වුණි.

ලංකාවේ තේ නිෂ්පාදනය කරන ප්‍රදේශ අනුව තේ වර්ග දෙකක් පවතී. ඒ අනුව උඩ රට තේ සහ පහත රට තේ ලෙස එම වර්ග දෙක සැලකේ. මෙහිදී වඩාත් ගුණාත්මක සහ රසවත් තේ ලෙස උඩරට තේ සැලකෙන අතර එහි වර්ණය එතරම් කළු පැහැයක් නොගනී. එහෙත් පහත රට තේවල වටිනාකම ඉහළ යන්නේ තේ කොළවල කළු පැහැය ඉහළ යන තරමට ය. ඒ නිසා පහත රට තේවලදී තේවල කළු පැහැය ඉතා වැදගත් සාධකයක් ලෙස සලකනු ලබයි.

මේ නිසා කළු පැහැය උදෙසා කර්මාන්තශාලා හිමියෝ, නිෂ්පාදකයෝ විවිධ උත්සාහයන් ගනිති. එහිදී ඔවුන් හඳුනාගෙන ඇති වඩා පහසුම සහ සාර්ථකම ක්‍රියාමාර්ගය නම් තේ නිශ්පාදන ක්‍රියාවලියේදී ඒ සඳහා සීනි කලවන් කිරීමයි. මෙය සිදු වන්නේ තේ කොළ ඇඹරීමේ ක්‍රියාවලියේදී ය. මෙසේ තේවල වර්ණය ඉහළ දැමීම සඳහා සීනි යෙදීම පිළිබඳව තේ පරීක්ෂණ ආයතනයද මීට කාලයකට පෙර පරීක්ෂණ සිදු කර ඇති අතර එය සාර්ථක ක්‍රමයක් උවද ඒ නිසා තේවල ගුණාත්මක බවට තර්ජනයක් එල්ල වන හෙයින් එය තහනම් කිරීමට කටයුතු කර ඇත. මෙහිදී තේවලට අමතර බාහිර ද්‍රව්‍යයක් යෙදීම නිසා “පිරිසිදු තේ” යන කීර්ති නාමයට හානියක් සිදුවනවා සේම ගුණාත්මක නොවන තේ ගුණාත්මක තේ ලෙස සලකා අපනයන කරන නිසා අපනයන වෙළෙඳපළේ ද විශාල අවදානමකට නිරාවරණය වේ.

එහෙත් ගුණාත්මක තේ සෑදීමට ඇති අපහසුතාව නිසාම බොහෝ තේ නිෂ්පාදකයෝ තේ නිෂ්පාදනයේදී තේවලට සීනි හෝ ග්ලුකෝස් කලවන් කර ඉහළ ගුණාත්මක බවක් පෙන්වා වැඩි මුදලක් උපයා ගැනීමට උත්සාහ ගනිති.

පහතරට තේ කර්මාන්තකරුවෝ මෙවැනි ක්‍රියාවකට යොමුවීමට ප්‍රධානතම හේතුව නම් පහතරට තේ කළු වර්ණයෙන් යුතු වනවිට අගය ඉහළ යාම යි. එසේම මෙසේ සීනි යෙදීමේ කාර්යය බහුල වශයෙන් සිදු වන්නේ කුඩා තේ කර්මාන්ත හිමියන් අතිනි. එයටද හේතුවක් පවතී. එනම්, කුඩා තේ කර්මාන්ත හිමියන්ගේ කර්මාන්තවල අයිතිය බොහෝ විට පවතින්නේ එක් පුද්ගලයෙකු සතුවය. ඒනිසා ඒවායේ තීරණ ගන්නේ ඔහු විසින්ය. ඒ නිසා ඔවුන් ලාභ අරමුණු කරගනිමින් මෙවැනි අවදානම් කාර්යයන් සඳහා යොමුවේ. එහෙත් විශාල තේ කර්මාන්තකරුවන්ගේ කර්මාන්තවල බොහෝ විට අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටිති. ඒ නිසා ඒවායේ තීරණ ගැනීම් සිදු වන්නේ ඒ අධ්‍යක්ෂ මණ්ඩලය මගිනි. ඔවුන් ක්‍ෂණික ලාභ අරමුණු කරගෙන මෙවැනි අවධානම් ක්‍රියා සඳහා යොමු වීම අවම වේ.

ප්‍රතිඵල

මෙසේ සීනි කලවන් කිරීම හරහා ඇති වන බරපතළම ප්‍රතිඵලය නම් ලංකාවේ තේවලට හිමිව තිබූ කීර්ති නාමය පලුදු වීමයි. තේවල කළු වර්ණය සීනි යෙදීම හරහා වර්ධනය වුවද එහි සෑබෑ රසය සීනි යොදා වර්ණය ලබා ගැනීම තුළින් නොපැමිණේ. සීනි යෙදීම නිසා තේවල අයු කාලය අවම වේ. එනම් තේ ඉක්මනින් පුස් බැඳී කල් ඉකුත්වේ. අපනයනකරුවා තේ නිෂ්පාදකයාගෙන් තේ ලබාගත් සැනින් අපනයනක කිරීම සිදු නොකරයි. සාමාන්‍යයෙන් තේ කල් ඉකුත් වීම සඳහා වර්ෂ තුනක පමණ කාලයක් ගතවන නිසා අපනයනකරුවන් බොහෝ විට මාස ගණනාවක් තමන් වෙත ඒ තේ කොළ තබා ගනු ලබයි. එහෙත් මෙසේ සීනි යෙදූ තේ කොළ තබාගත හැකි උපරිම කාලය මාස හයක් පමණ වන නිසා අපනයනකරුවා මෙරටින් තේ අපනයනය කිරීමට පෙර ඇතැම් විට තේ විනාශ වී තිබීම් වාර්තාවේ. එසේම මෙහිදී බැඳෙන පුස් නිසා ටික කාලයක් ගත වන විට Aflatoxin නම් පිළිකා කාරක රසායනය නිපදවෙන බව සොයා ගෙන ඇත. ඒ නිසා මේ ක්‍රියාවලියට ලක් වූ තේ අපනයනක කිරීම සිදු වුවහොත් ලෝක වෙළඳපළේ “සිලෝන් ටී” තහනම් වීමට පවා ඉඩකඩ ඇති බව තේ මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
අතීතය
මෙසේ තත්ත්වයෙන් බාල තේ සඳහා සීනි මිශ්‍ර කිරීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. එය පහත රට ඇතැම් තේ නිෂ්පාදකයන් කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ජාවාරමකි. එහෙත් මෙය මාධ්‍යයේ කතා වෙන්නට පටන් ගත්තේ මෙවැනි ජාවාරම්කරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත් වීම හා ඒ තොරතුරු තේ මණ්ඩලය විසින් මාධ්‍ය වෙත නිරාවරණය කිරීම නිසාය.
කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ජාවාරමක් වුවද මෙය එතරම් සමාජගත නොවීමට බලපෑ ප්‍රධානතම හේතුව නම් තේ මණ්ඩලය විසින් දිගින් දිගටම මේ පිළිබඳව කරුණු සගවාගෙන සිටීමයි. එයට හේතුවක් තිබුණි එනම්, පෙර සඳහන් කළ ආකාරයට “සිලෝන් ටී” ලෝ ප්‍රචලිත තේ නාමයකි. එය හිමිකරගෙන ඇති අද්විතීය ස්ථානය නිසාම “සිලෝන් ටී” යන නමට ලැබෙන්නා වූ කීර්තිය ලංකාවේ තේ කර්මාන්තයට ආශිර්වාදයකි. ඒනිසා එවැනි කීර්ති නාමයක් විනාශ කර ගැනීම කිසිසේත්ම යහපත් නොවේ. මේ නිසා සීනි කලවන් කිරීම මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා දුන් විට ඝෘජුවම “සිලෝන් ටී” කීර්ති නාමයට හානියක් සිදුවේ.
මේ තත්ත්වය සලකා තේ මණ්ඩලය මේ පිළිබඳව තොරතුරු මාධ්‍යයට ලබා නොදීමට කටයුතු කළේය. එහෙත් වර්තමානයේ මේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය වීම සමඟ පෙර කී අපකීර්තිය ළඟා නොවන්නේ යැයි කිව නොහැකිය. අතීතයේදීත් මෙවැනි කුප්‍රකට ක්‍රියා සිදු කළ ජාවාරම්කරුවෝ සිටියත් ඔවුන් විශාල වශයෙන් හෙළි කරගැනීමට තරම් හැකියාවක් තේ මණ්ඩලයට පැවතියේ ද නැත. එකල වැටලීම් සිදු වූයේ ද ජාවාරම්කරුවන් සොයාගනු ලැබුවේ ද තරමක අඩුවෙනි. ඒ නිසා එකළ මේ පිළිබඳව හෙළිකරනවා යන්න උඩ බලා කෙළ ගැසීමකට සමානවිය. එහෙත් වර්තමානයේ තේ මණ්ඩලය සතුව ප්‍රමාණවත් සම්පත් පවතී. එසේම වැටලීම් හා පරීක්ෂා කිරීම්වලට ප්‍රමාණවත් තාක්ෂණ පිටිබලයක් ලබා දීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය ද කටයුතු කරයි. පසුගිය දා සිදු වූ වැටලීම්වලට ද පේරාදෙණියේ උපකාර ද ලැබී ඇත. මෙවැනි හේතූන් නිසා වර්තමානයේ මේ පිළිබඳව තොරතුරු හෙළි කිරීමට මණ්ඩලය කටයුතු කරමින් සිටියි.
තේ මණ්ඩලය පමා වී හෝ මේ පිළිබඳව කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම වැදගත්ය. එහෙත් දැනට සිදු වන්නේ තේ නිෂ්පාදනය වන විට තේ කර්මාන්තශාලා වෙතට ගොස් පරීක්ෂා කිරීම් සහ ගබඩාවල පරීක්ෂාකර හඳුනා ගැනීම්ය. එය ම මේ ක්‍රියාවලිය මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් නැත. නිමි තේ පරීක්ෂාකර ඒවාට සීනි කලවන් කරන ලද තේ කොළ දැයි පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තවම තේ මණ්ඩලය සතුව නැත. ඒ නිසා පරීක්ෂා කිරීම් සාර්ථක යැයි උදම් ඇනිය හැකි නොවේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී පරීක්ෂා කිරීම් සහ ගබඩාවලට ගොස් පරීක්ෂා කිරීම්වලට වඩා නිමි තේ කොළ පරීක්ෂා කිරීම වඩාත් සාර්ථක ක්‍රමය බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සේම තේ නිෂ්පාදකයන්ගේ ද අදහසයි. එසේම ජූනි හෝ ජූලි මාස පමණ වන විට නිමි තේ කොළ පරීක්ෂා කර හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව තේ මණ්ඩලය කියයි.
වෙනත් ජාවාරම්
තේවලට සීනි කලවන් කිරීම තේ ආශ්‍රිතව සිදුවන එකම ජාවාරම නොවේ. ලංකාවේ තේවලට ඇති ඉහළ පිළිගැනීම උපයෝගී කරගනිමින් බොහෝ දෙනෙකු සිය මඩි තරකරගැනීමට උත්සාහ ගනිති. කසළ තේ එසේ සිදුවන ප්‍රසිද්ධ ජාවාරමකි. එය බොහෝ දෙනෙකු දන්නා කතාවකි. එසේම තේ බෑග්වලට හුණු කලවන් කිරීමේ ජාවාරමක් පිළිබඳවද තොරතුරු වාර්තා වේ. මෙසේ තේ බෑග්වලට හුණු කලවන් කිරීම සිදු වනුයේ තේ බෑග් උණු වතුරට බහාලූ සැනින් කහට වැඩියෙන් ලැබීම උදෙසාය. මේ ජාවාරමද වැඩියෙන් සිදු කරණු ලබන්නේ කුඩා තේ නිශ්පාදකයන් විසින්ය.
දිගින් දිගටම නොනැවතී තේ කර්මාන්තය තුළ ජාවාරම් සිදු වෙමින් පවතී. තේ මණ්ඩලය කුමන කතා කීව ද පිළිගැනීමට වන සත්‍ය නම් තේ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් නොවන බවයි. එසේ ප්‍රමාණවත් නොවන ක්‍රියාකාරීත්වය හරහා අපකීර්තියට පත් වන්නේ තේ මණ්ඩලය නොව, තේ මණ්ඩලයේ නිළධාරීන් ද නොව, ශ්‍රී ලංකාවයි. ඉහළ කීර්තිනාමයකට උරුම කම් කියන ”සිලෝන් ටී” නාමය යි. ඒ නිසා නිෂ්පාදකයෝ ද තමන්ගේ නිෂ්පාදනවල ඉහළ ගුණාත්මක බව පිළිබඳව සැලකිලිමත් විය යුතුය, තේ මණ්ඩලය නිසි නියාමනයක් පිළිබඳව කල්පනා කළ යුතුය.