මැර ප්‍රහාර පොලිසියෙන්

රසික ගුණවර්ධන

තඹුත්තේගම නගරයම යුද පිටියක් කරමින් අවසන් වූ ගොවි උද්ඝෝෂණය ගැන මහා ඉහළින් කථා කළ මාධ්‍ය මේ වන විට නිවී ගොසින් ය. ඒවාට තලු මැරීමට හොට් හොට් මාතෘකා ජාතිවාදීහු සපයා දුන්හ. මේ කතාව ඒ ජාතිවාදීන් හෝ මාධ්‍ය හැසිරීම් පිළිබඳව නොවේ. මේ නිහඬ කරවූ තඹුත්තේගම ගොවීන් ගැන සටහනකි.
එදා පොලීසිය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේ සිය සුපුරුදු න්‍යාය වන පහර දීමේ න්‍යාය අනුගමනය කරමින් ය. පොලීසිය එළව එළවා ගොවීන්ට පහර දෙමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම පොලීසියේ අවම බලය යටතේ හෝ පවතිය නීති යටතේ සිදුකළා විය හැකිය. එය ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් පොලීසිය තුළට ගෙනගොස් පහර දීමය. පහරදී අතපය කැඩීමය, නිරුවත්කර වැසිකිළියට දමා පහර දීමය, සිහිසුන් වීමට හිස පිටුපසට පහර දීමය, සියල්ලන්ම පෝලිමට තබා සියල්ලන්ටම පොලුවලින් පහර දීමය, එමගින් ගොවීන් නිහඬ කරවීමට උත්සාහ දැරීම කළහ.

පහර දීම් වලට ඝෘජුවම චෝදනා එල්ල වන්නේ තඹුත්තේගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිවය. එහෙත් මේ වන විටත් මේ සඳහා පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැත.
පොලීසිය පහර දී කකුළ කඩා දැමූ ගාමිණී අද සිටින්නේ නිවසට වී අසරණවය. ඔහුගේ බිඳුනු පාදය බිඳුනා දැයි බැලීමට පොලීසියේදී අඹරා බැලු නිසා හා බිඳුනු පාදය සහිතව ඔහු ඇවිද්දවා ඇති නිසා ඔහුගේ පාදයට දැඩි ලෙස හානි වී ඇත. ඒ නිසාවෙන් පාදය ඉදිමුණි. සැත්කම කිරීමටම ඔහු බිඳුනු කකුලේ වේදනාව සමග නිවසට වී සිටී. පහර කෑමට ලක් වූ අනෙක් පුද්ගලයන්ගේ තත්ත්වයද ඊට දෙවනි නොවේ. ඔවුන්ද දෛනික කටයුතු කර ගැනීමට නොහැකිව සිටීම නිසා දෛනිකව උපයා ජීවත් වූ ඔවුන්ගේ පවුල් ද දැන් සිටින්නේ අන්ත අසරණව ය.
මේ සා විශාල හානියක් සහ උද්ඝෝෂණයෙන් මතු ගොවීන් මුනිවත් රැකීම ගැටලු සහගතය. එහෙත් සිදු වන්නේ මුනිවත රැකීමක් නොව රැක්ක වීමකි. පොලීසිය ගොවීන්ගේ හඬ මතු නොවන ලෙස ක්‍රියා කරමින් සිටියි. ආසන්නතම සිදුවීම වාර්තාවන්නේ පසුගිය සෙනසුරාදා දිනයේ ය. එනම්, ගොවීන් ඊට පසුදින, අත්අඩංගුවට ගත් ගොවීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් සමග පවත්වන්නට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගී වන්නන්ගේ නිවෙස්වලටම ගොස් පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් ඇප පිට සිටින බැවින් සාකච්ඡාවට සහභාගී නොවන ලෙස සහ සහභාගී වුවහොත් ඇප අවලංගු කිරීමට කටයුතු යොදන බවයි. එපමණක් නොව ඇප ලබා පොලීසියෙන් මුලින් පැමිණෙන නවදෙනාට පවා පොලීසිය සිදු කරන තර්ජන නිසා ඔවුහු මාධ්‍යයට තබා ගොවි නායකයෙකුට හෝ පොලීසිය තුළ සිදු වූ දේ පැවසීමට මැලි වෙති. මෙසේ පොලීසිය ගොවීන්ට තර්ජනය කරන්නේ ඔවුන් ආරක්ෂා කිරීමට ලොකු පුටු සිටින බව දන්නා නිසාය.

පොලීසිය විසින් ඉටු කරමින් සිටින්නේ රජයේ මර්දනකාරී වැඩ පිළිවෙළේම තවත් එක් පියවරකි. රටක රජයක්, ඒ රටේ ජනතාව උද්ඝෝෂණය නොකරනවා නම්, අයිතිවාසිකම් නොයිල්ලනවා නම් කොටින්ම කටවල් වහගෙන ඉන්නවා නම් උඩින්ම මනාපය. පොලීසිය මේ සිදු කරමින් පවතින්නේ රජයේ ඒ මනාපය මුදුන් පමුණුවාලීම උදෙසා ක්‍රියා කිරීමයි.

පොලිස්පති තුමණි, ලැජ්ජයි, කැතයි, නින්දිතයි!