රාවය

නාය ගිය මීතොට මුල්ලේ අසරණ වූ මිනිස්සු

නාය ගිය මීතොට මුල්ලේ අසරණ වූ මිනිස්සු

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

බොහෝ විට පෙනෙන්නට තිබෙන්නේ, මීට වසර කිහිපයකට පෙර සිට පවා මෙරට සිදු වූ ඇතැම් ස්වාභාවික විපත්වලින් ද ස්වාභාවික නොවන විපත්වලින් ද අවතැන් වූ හෝ අසරණ බවට පත් වූ ජනතාවගේ ගැටලු කාලය අමතකව යටපත්ව යන බවයි. මීරියබැද්ද නාය යෑම, අරණායක සාමස්සර කන්ද නාය යෑම ආදී ස්වාභාවික විපත් මෙන්ම කොස්ගම සාලාව අවි ගබඩාව හදිසියේ පුපුරා යෑම සහ මීතොටමුල්ල කුණු කන්ද නායයන තුරු බලා සිටීම වැනි මෙරට සිදුවූ ඛේදවාචකයන්ගෙන් පසු වින්දිතයන්ට සිදු වූයේ කුමක් ද යන්න ද සොයා බැලීම වටී. ඔවුන්ගේ ගැටලු කොතරම් දුරට විසඳී තිබේද යන්න සොයා බැලීම වටී. යම් සිදු වීමක් වූ මොහොතේ දේශපාලනඥයින් සහ අදාළ බලධාරීන් විසින් වින්දිතයන්ට ලබා දෙන පොරොන්දු ඉටු වන්නේ ද යන්න සොයා බැලීම වටී. එක් සිදුවීමකට පසු තවත් එවැනිම ඛේදවාචකයන් නිර්මාණය වන පසුබිමක විපතට පත් වූවන්ට කාලය සමග සිදුවන්නේ පෙර සිදු වූ විපත් බොහෝ දෙනාට අමතකව යෑමය. අලුත් කතා, අලුත් අර්බුද, අලුත් ඛේදවාචක සමග සියල්ලන්ටම අමතකව යන එවන් මිනිසුන්ගේ ඉරණම පිළිබද අසා අපි කොළොන්නාව මීතොටමුල්ලට ගියෙමු.

“මේ දේ අපට සිද්ධවෙලා දැන් අවුරුද්දකට ළං වුණා. අපි තාම ඉන්නේ කුලී ගේක. අණ්ඩුවෙන් කුලී සල්ලි දුන්නේ මාස හතරකට විතරයි. අපි මාස හයකට කුලී සල්ලි ගෙව්වා. දැන් ඉතිරිය ගෙවන්න විධියක් නැහැ. සල්ලි ලැබුණාම දෙන පොරොන්දුව මත තමයි දැන් ඉන්නේ. සල්ලි නොලැබුණොත් මේ මාසේ අන්තිමට අපිට පේමන්ට් එකේ තමයි ඉන්න වෙන්නේ. මගේ නෝනාට අංශභාගය නිසා එක් තැන් වෙලා ඉන්නේ. මම කළේ මේසන් වැඩ. දහම්පුර ඉන්න කාලේ නම් අවට හැමෝම අඳුනන නිසා එයා ගෙදර තියලා මම වැඩට ගිහින් එනවා. ඒත් දැන් කුලියට ඉන්නේ ගමේ නෙමෙයි නිසා එයාව තියලා යන්න විධියක් නැහැ. ඒ නිසා මම දැන් වැඩට යන්නෙත් නැහැ.”එච්. ඒ. නන්දසිරි තම දුක් ගැනවිල්ල පවසන්නට මුලපිරුවේ එලෙසය. දහම්පුර පදිංචිව සිටි ඔවුන්ට තම නිවෙස් අත්හැර යෑමට සිදු වන්නේ අවධානම් කලාපය ලෙස නම් කිරීමත් සමගය. කසළ කන්ද නාය ගිය ආසන්නයේම පිහිටි ඔවුන්ගේ නිවස ඉරිතැලී තිබූ නමුත් වෙනත් හානියක් සිදු නොවුණත් අද වන විට නම් එම නිවසේ ඉතිරිව ඇත්තේ බිත්ති කීපයක් පමණි. ඒ අවට අවදානම් ලෙස නම් කර තිබෙන බොහෝ නිවෙස්වල වහල, දොර, ජනේල, උළුවහු පවා ගලවාගෙන ගොස්ය. නිවෙස් හිමියන් පවසන්නේ තමන් නැති අතරතුර ඒවා වෙනත් පුද්ගලයන් ගෙන ගොස් ඇති බවය. “මගේ ගෙට තක්සේරු මුදල විධියට ලැබුණේ නවලක්ෂ පනස්දාහයි. භූමියට තක්සේරුව තවම ලැබුණේ නැහැ. භූමි තක්සේරුයි ඔක්කෝම මාස තුනක් ඇතුළත ගෙවනවා කියලා ආණ්ඩුව මුලදී කීවත් තවම ගෙව්වේ නැහැ. ලක්ෂ නවයකට ගෙවල් තියෙන්නේ කොහේද. භූමි තක්සේරුවත් ලැබුණාම ගෙයක් ගන්න හිතාගෙන ඒ මුදල තවම පොතේ දාලා තියෙනවා. දැන් ගෙවල් කුලී ගෙවන්නත් විධියක් නැහැ, ගෙයක් ගන්න විධියකුත් නැහැ. කුලී සල්ලි ගෙවන්න අර මුදල යොදලා අපිට හෙට පාරට බහින්නත් බැහැ. අද අපි අන්ත අසරණවෙලා. හැට ගණන්වල ඉඳලා අපි පදිංචි ගමට මෙහෙම විපතක් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඒ කාලේ මෙතැන තිබුණේ කුණු කන්දක් නෙමෙයි, වෙල් යායක්. එහෙම තිබුණු ගමකට අද මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැහැ. අද අපි ජීවත්වෙන විධිය බලන්න කිසිම මන්ත්‍රී කෙනෙක් එන්නේත් නැහැ.” ඔහු කීවේ වේදනාබර හඬිනි.

ඔවුන් කී ලෙස එහි පදිංචිව සිටි තවත් බොහෝ පිරිසක් මේ වන විට විවිධ ප්‍රදේශවල කුලී නිවෙස්වල පසුවෙති. ඔවුන්ගේ ගැටලු තවමත් නොවිසඳී ඇති බැවින් ඔවුහු නිරන්තරයෙන් අදාළ ආයතනවලට යමින් විවිධ පුද්ගලයින් හමුවෙමින් ගැටලුවලට තවමත් විසඳුම් සොයමින් වෙහෙසෙති. ලැබුණු වන්දි මුදල් ඒ අවට නිවෙස් මිලට ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු ආදිය ද වියවුලට පත්ව තිබෙන බව ඔවුහු පවසති. මේ සියලු ගැටලු මධ්‍යයේ ඇතැම් අය අවදානම් කලාපයට අයත් තම නිවෙස්වලටම නැවත පැමිණ තම ජන ජීවිතය අරඹා තිබේ. එලෙස අවදානම් කලාපයේම නැවත පදිංචිව සිටින ස්වර්ණතිලකා තම අදහස් පැවසුවාය. “අවදානම් කියලා අපිට ඉවත් වෙන්න කීවා. අපි කුලී ගේක ඉඳලා මේ මාසේ දහ වෙනිදා ආපහු අපේ ගෙදරටම ඇවිත් පදිංචි වුණා. ආණ්ඩුවෙන් කුලී සල්ලි දුන්නේ මාස හතරකට විතරයි. ළමයි ඉගෙනගන්නේ, මහත්තයා රස්සාව කරන්නේ කොළඹ නිසා අපිට ගෙයක් ගන්න වෙන්නේ කොළඹින්මයි. මේ ලැබුණු වන්දියෙන් ගෙයක් ගන්න වෙන්නේ කොළඹින් පිට විතරයි. අපි වන්දිය මදි නිසා අභියාචනා ඉදිරිපත් කළත් විසඳුමක් ලැබුණේ නැති නිසා ආයේ අපේ ගෙදරටම ඇවිත් පදිංචි වෙන්න තීරණය කළා. දිගටම කුලී ගෙව ගෙවා වෙන තැන්වල ඉන්නත් බැහැනේ. අපි කුලියට හිටියේ මේ ළග ගේක නිසා නිතරම මේ ගෙට ඇවිත් බැලුවා. ඒ නිසා ගේ ඉතිරි වුණා. ගොඩක් අයගේ ගෙවල්වල ශීට්,ජනේල,දොරවල් ඔක්කෝම සමහරු ගලවාගෙ ගිහින්.“ කෙසේ වෙතත් ඔවුන් එහි පදිංචි වුවත් යම් විපතක් සිදු වුවොත් එහි වගකීම නම් කිසිවෙකු ගන්නේ නැත. ඔවුන් පවසන ලෙස මේ අවස්ථාවේ ඔවුන්ට ගත හැකි අන් පියවරක් ද නැත. ඒ අතර මේ වන විට කසළ කන්දේ නායයෑමෙන් පසු විනාශයට පත් ගොඩනැගිලි ආදිය තවමත් ඒලෙසම තිබෙන බැවින් ඒ නිවාස අවට තිබූ කාණු පද්ධතිය ද අවහිරව තිබෙන අයුරු දක්නට ඇත. මේ වන විට එහි මිනිසුන් පදිංචිව සිටිය ද නිවෙස් ඉදිරියේ පවතින කාණු පද්ධති ගලා නොබසින කොළ පැහැ ජලයෙන් පිරී පවතී. ඔවුන් එහි පදිංචිව සිටිය ද කිසිසේත් එම පරිසරය ජීවත්වීමට උචිත ලෙස නොපෙනේ.

“එක්කෝ කුලී සල්ලි දෙන්න, නැත්නම් පොළොවේ තක්සේරුව දෙන්න. ගෙට වන්දිය ලැබුණේ දහතුන් ලක්ෂ පනස්දාහයි. ඒකෙන් ගෙයක් ගන්න බෑ. පොළොවේ තක්සේරුව ලැබෙනකම් අපිට කුලී ගේක ඉන්න වෙනවා. ඒත් ගෙවල් කුලී ලැබුණේ මාස හතරකට විතරයි. ගෙට ලැබුණු මුදලෙන් කුලිය ගෙවුවොත් පස්සේ අපිට මහ පාරට යන්න වෙයි. අපිටත් දැන් වෙන්නේ හිටිය ගේ ආපහු හදාගෙන ඇවිත් පදිංචි වෙන්නයි. අපි මෙච්චර කාලයක් හිටිය ගමට මොකද්ද වුණේ කියලා තවම හිතා ගන්න බෑ. මගේ පුතායි, එයාගේ නෝනායි, දරුවායි හිටියේත් අපේ ගෙදරමයි. මේ සිද්ධවුණු දේ නිසා දරුවාටයි, පුතාගේ නෝනාටයි එයාලාගේ ගමට යන්න වුණා. පුතා රස්සාව කරන්නේ මෙහේ. දරුවා ලබන අවුරුද්දේ ඉස්කෝලෙකට දාන්න ඕනෑ. අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. මේක අපි කළ වරදක් වගේ. අපිව එළියට ඇදලා දාලා වගෙයි.” එන්.ජී. සිරියාවතී පැවසුවේ වේදනාත්මක ස්වරයෙනි.
2017 අප්‍රේල් 14 දින සිදු වූ කොළොන්නාව මීතොටමුල්ල කසළ කන්දේ නාය යෑම සමග එම ප්‍රදේශය පූර්ණ හානි, අර්ධ හානි සහ අවදානම් කලාප ලෙස නම් කර තිබුණි. ඒ අනුව මෙම ඛේදවාචකයෙන් දිවි බේරාගත් අයට තම ජන ජීවිතය නැවතත් සුපුරුදු ලෙස ආරම්භ කිරීම පහසු කටයුත්තක් බවට පත් නොවීය. පූර්ණ හානි සිදු වූ නිවාසවලට සහ අර්ධහානි සිදුවූ නිවාසවලින් ඇතැම් නිවාසවලට ද හානියට පත් භාණ්ඩ වෙනුවෙන් දෙලක්ෂ පනස්දහසක මුදලක් රජය විසින් ලබා දී තිබුණි. කෙසේ වෙතත් තම නිවාසවල භාණ්ඩ තක්සේරුව එම වටිනාකමට වඩා වැඩි බැවින් ඒ පිළිබද ප්‍රාදේශීය ලේකම්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආදීන් වෙත ද දැනුම් දුන් බව ඇතැම් අය පවසති.

පවතින ගැටලු සම්බන්ධයෙන් කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම කැදවුම්කරු ශාන්ත ජයසිංහ අදහස් දැක්වීය. “විපතටපත් වූ අය මේ සිදුවීමෙන් සති තුනකට පසු අරලියගහ මන්දිරයට ගොස් අගමැතිතුමා හමු වුණා. මාස තුනක් ඇතුළත සියලු ගැටලුවලට විසදුම් ලබා දෙන බවට අගමැතිතුමා ඒ අවස්ථාවේ පොරොන්දු වුණා. ඒ වචන විශ්වාස කර මිනිස්සු මාස තුනක නිවාස කුලී අරන් ආවා. මහල් නිවාසවලට නොගිය අයට ඉඩම් සඳහා වන්දි ලබා දෙන තුරු ගෙවල් කුලිය අඛණ්ඩව ගෙවිය යුතු වුණත් එය සිදු වුණේ නැහැ. මාස් හතරකින් එය නතර වුණා. වෙනත් සිදුවීම් සමග ඒ හැමෝටම අපිව අමතක වුණා. මාධ්‍යවලටත් අමතක වුණා. මේවාට විසඳුම් ලැබෙයි කියලා අපිත් මාසය දෙක බලන් හිටියා. එත් මේ මිනිස්සු ඉන්නවාද, මැරුණාද, කනවාද, බොනවාද කියලා බලන්නවත් මන්ත්‍රීවරු අවේත් නැහැ. අපි රජය දෙනතුරු බලන් ඉඳලා කෑව බීව මිනිස්සු නෙමෙයි. අපි අපේ ශ්‍රමයෙන් හම්බකරගත් අයයි. ඒත් මේක කොළඹ මහනගර සභාව විසින් නිර්මාණය කළ විශාල දේපොළ හානියක්, සමග කළ මිනිස් ඝාතනයක්. ඒත් දැන් මහ නගර සභාවත් දේශපාලනඥයින් සියලු දෙනා ඉන්නේ මර නින්දේ.“ ඔවුහු දිගින් දිගටම විරෝධතාවන් කරමන් ද අදාළ ආයතනවල බලධාරීන් හමුවෙමින් ද තමන්ට සාධාරණයක් ඉටු කර ගැනීමට වසරකට ආසන්න කාලයක සිට වෙහෙසෙති. මෙම කසළ කන්ද නායේ ගොස් විශාල විපතක් සිදුවීමට මත්තෙන් ද ඔවුන් තමන් සිටින අවදානම් තත්වයට විසඳුම් ඉල්ලා දැවැන්ත අරගල ගෙන ගිය බව නොරහසකි. එහෙත් ජීවිත හානි සමග පහසුවෙන් පියවිය නොහැකි අලාභයන් සිදුවන තුරු නිසි විසඳුමක් නම් ලැබුණේ නැත. “අපි දෙසැම්බර් අවසානයේ විරෝධතාවක් පවත්වා ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් ලබා දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට, ආපදා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම් වෙත පිටපත් යැව්වා. ප්‍රතිඵලය වුණේ පිළිතුරු ලිපියක් ලැබීම පමණයි. පසුව අපි පෙබරවාරි මාසයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කර ජනාධිපතිවරයා හමු වෙන්න ගියා. එහිදී ජනාධිපති අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. ඉතිරි මාස සඳහා ගෙවල් කුලී සති දෙක තුනක් ඇතුළත කඩිනමින් ලබා දෙන බවට එහිදී එකඟ වුණා. පසුව ඊට කැබිනට් අනුමැතියත් ලැබී තිබුණත් තවම ඔවුන්ට මුදල් නොලැබුණු බව තමයි දැන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් කියන්නේ.“

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පසු ගිය දිනවල මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණේ විසඳුමක් නොමැති තැනය. මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ ද පැවසුවේ මෙවන් කතාවකි. “මේ සම්බන්ධව පත් කර තිබූ ජනාධිපති කොමිෂන් සභාවෙන් කොළඹ නගර සභාව, අපදා කළමනාකරණ අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය මෙහි වගකීම දැරිය යුතු බව නිර්ණය වුණා. ඒ නිසා තාවකාලිකව කොළඹ මහනගර සභාවේ කොමසාරිස්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ නමුත් ඔහු නැවත සේවයේ පිහිටුවන්න කියලා පසුවදාම නගර සභාවේ මන්ත්‍රීවරු උද්ඝෝෂණය කළා. මිනිසුන් තිස්ගණනක් මිය ගියත් එයට ශෝකය හෝ ප්‍රකාශ නොකළ අය ඊට දඩුවම් දුන් අවස්ථාවේ උද්ගෝෂණය කළා. ඒ වගේම තවම මිනිස්සුන්ට වන්දි ලැබිලා නෑ. ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ උද්ඝෝෂණය කර සාකච්ඡා අවස්ථාවක් ලබා ගත්තා. වන්දි ඉක්මනින් ලබා දීමටත් වන්දි ලබා දෙන තුරු ගෙවල් කුලී ලබා දීමටත් කැබිනට් තීරණ ගෙන තිබුණත් තවම ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ.“

කසළ කන්ද නාය යෑමේ සිදුවීමට වසරකට ආසන්නව ඇතත් ඊට ගොදුරු වූ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ජන ජීවිත තවමත් යථා තත්ත්වයට පත්ව නැත. ඒ අතර සිදුවීම වූ පසු කසල බැහැර කිරීම සහ කසලවලට කළ යුතු දේ පිළිබද විද්වත් සාකච්ඡා මෙන්ම අන්තර් ජාතික මට්ටමේ උදාහරණ ද යෝජනා වූ නමුත් තවමත් කෙළොන්නාව මීතොටමුල්ල කසළ කන්ද ද එලෙසමය. එය විටින් විට ගිනි ගැනීම්වලට ද ලක්වෙමින් තිබේ. ඒ අතර නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් විසඳුම් නොලත් ඇතැම් පිරිස් නැවත ඒ ආසන්නයේම පදිංචි වී සිටිති. මේ සියල්ල පිළිබද සලකා බලධාරීන් ඉතා කඩිනමින් එම මිනිසුන්ගේ ගැටලුවලට නිසි විසඳුම් සැපයිය යුතුව තිබේ.