රටම පාතාලයේ ගිලී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි

මහනුවර කටුගස්තොට ජාතිවාදී ගිනි ඇවිළෙද්දී දුරකථනය සංඥා තුළ කෙටි පණිවිඩයක තිබුණේ කොළඹ අලුත්කඬේ උසාවි සංකීර්ණ පරීශ්‍රයේදී මිනිස් හිසක් හමු වූ බවය. ජාතිවාදි ගිනි දැල් තුළින් පෙනුණු මෙම පණිවිඩය ජනිත කළේ භයංකාර හෙවනැල්ලක්ය. එනම් කොළඹටත් මේ ගිනි ව්‍යාප්ත වී ඇත්ද යන්නය. එහෙත් ඒ සැණින් පුවතේ සවිස්තරාත්මකභාවය තහවුරු වූයේ එය ‘පාතාල’ ගැටුමක ප්‍රතිඵලයක් බවය.

පාතාල ඝාතනයක් නම් එය කමක් නැතැයි සිතන තරමට සිත් සතන් සකස් වී ඇත. අවි ගත්තෝ අවියෙන් නැසෙතැයි බණෙන් වුව සාධාරණීකරනය කළ හැකිය. ඒ තරමට එය සාමාන්‍යකරණය වී ඇත. එහෙත් ආණ්ඩුවකට සමාජයකට මේ පුවත් සරල සේ සිතා වහන් කළ හැකිද?

කඳ නැති හිස් 88 /89 කාලවල ඇති පදම් දැක ඇති අයට මෙය යටගිය තුවාලය පැරීමක් නොවේද? එවන් මතක ගබඩා නැති අයට වුව මෙවන් සිද්ධියක් අත් විඳිය හැකිද? සිරුරෙන් වෙන් කළ හිසක් එතරම් සරලව තැකිය හැකිද? එය අලුත්කඬේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දමා යන්නට තරම් නිර්භීත වනවිට මේ ආණ්ඩුවේ නීතිය හා සාමය ඇත්තේ කොහිද?
රාජපක්‍ෂ සමයේ ආයුධ පෙන්වන්නට ගොස් මිය ගිය ගණන මතක නැති තරම්ය. ආයුධ පෙන්වීමට රැගෙන ගිය සැණින් ඔහු මියැදෙන බව සැකකරුවා නොව රටම දැන ගත්තේ හූනා කියන්නාක් මෙනි. මාධ්‍යවලට වුව ඇස් පියාගෙන එම පුවත පළ කළ හැකිව තිබුණි. ඒ තරමට එය විශ්වාසය. එවන් විනිවිදභාවයක් අද නැතත් අද පාතාලය නම් ඕනෑවටත් වඩා නිදහසක් භූක්ති විඳිනවා දැකිය හැකිය.

උසාවි සංකීර්ණය පරිශ්‍රයේදී හමු වූ කඳ නැති හිස “කොස් මල්ලි” නමැති පාතාල සමාජිකයාගේ බව පොලිසිය පැවසීය. හිස හමු වුවද කඳ හමු වූයේ නැතත් හිස ඒ කොස්මල්ලි බව තහවුරු කොට තිබුණි. (පොලිසියට අනුව) ඊට සතියකටත් පසු එනම් ඉහත හිසේ කඳ අගුණකොළ පැලැස්සෙන් සොයා ගන්නේය. මෙය නම් සමාජයක් ලෙස කාගේ කාගෙත් ඇඟට ගුණදායක නොවන බව කිව යුතුය.

එහෙත් මෙම පුවත අසා කිසිවකුත් පුදුම වූවා යැයි අපි නොසිතමු. දැන් ඒ තරමට සමාජය හිරි වැටී ඇත. පසුගිය කාලයේ අපරාධකරුවන් ලෙස සැක කළ පිරිස් ආයුධ පෙන්වන්නට ගොස් මැරුම් කෑ විටත් සමාජයේ බහුතරය ඒ ගැන සතුටු වූවා මිස දුක් නොවූ බව පැහැදිලිය. පාතාල සාමාජිකයන් නම් මැරිය යුතුය. ඒ මේ සමාජයේ යාදින්නය. එබැවින් කඳ නැති හිස නොව ශරීර කෑලි වෙන වෙනම හමු වුවත් සමාජයට දැන් මේවා එතරම් පුවත් නොවන ගානය.

මේ අතර ආමර්විදීයේ සහ අතුරුගිරියේදී ද පාතාල සාමාජිකයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ පුවත් නොබෝදා පළවිය. මහමඟදී වෙඩි තබන ඇතැම් දර්ශන සී.සී.ටි.වී කැමරාවල සටහන්ව තිබුණි. දැන් මේ රට ඝාතන සංස්කෘතියක් නිර්මාණය කොට ඇත. පාතාල කල්ලි අතර ගැටුම් දෙමළ සිනමාපට වල තරම් සාමාන්‍යකරණය වී ඇත.
මේ යහපාලන වැනි නම්, ව්‍යාජ මන්ත්‍ර බවට පත්වී ඇති කාලයකි. රාජපක්‍ෂ සමයේ මෙවන් ඝාතන, මත්කුඩු ව්‍යාප්තිය ගැන ඇති පදනම් විවේචනය කළ වත්මන් ආණ්ඩුව අද තමන් බලයට පත් වූ කල ඒවා වැඩි වී ඇත්තේ දෙගුණ, තෙගුණ, නොව පස්ගුණාකාරව බව අමතක කොට ඇති සැටියකි.

70,80 දශකවල අපි මරා ගැනීම් දුටිමු. තිස්වසරක යුද්ධයෙන් අප්‍රමාණ බැට කෑවෙමු. දැනුදු දිනපතා මළමිනි කඳු ගැසෙනු දකිමු. ප්‍රවෘත්ති අතර තුර ඝාතන කොතරම් නම් පෙන්වන්නේද? ඒ අතර පාතාල ඝාතන එමටය. එහි වෙනස ඔවු නොවුන් ම මරා ගන්නට ආණ්ඩුව බලපත්‍ර දී ඇති ගාණට කටබලියාගෙන සිටීමය.

ඒ අතර අපූරු මාධ්‍ය සංදර්ශනයක් ද වේ. ඒ මේ පාතාල මිනී මැරුම් බොහොමයක් මෙහෙය වන්නේ මහ උළු ගෙදර සිට හා ඩුබායි වෙසෙන මාකදුරේ මධුෂ් නැමැත්තෙක් බවය. මේ බව මාධ්‍ය හරියටම දන්නේ කෙසේද? මේ තොරතුරුද පොලිසියට දෙනවා හෝ මවනවා විය යුතුය. දැන් මාකදුරේ මධුෂ් නැමැත්තා සුපර්ස්ටාර්ස් තරුවක් බවට පත්කොට ඇත.

මේ අතර ආසන්නම සිදු වීම වාර්තා වන්නේ කතරගමදී බුද්ධි අංශයේ නිලධාරියකුට වෙඩි තැබීමය. මෙයද මධුෂ්ගේ වැඩක් බව මාධ්‍ය පැවසීය. ඔහුට අවශ්‍ය තොරතුරු සෙවීම මේ වෙඩි තැබීමට හේතු වූ බව මාධ්‍ය පැවසූ දෑය. එසේනම් පාතාලය ගැන මේ ආණ්ඩුවට කළ හැකි කිසිවක් නැති බවද මේ වෙඩි තැබීමෙන් කියනුයේ. එමෙන්ම නීතිය හා සාමය අමාත්‍යාංශය නමට පමණක් බවද?
එස්.ටී.එෆ් සාමාජිකයන්ට වෙඩි තබා පළා යාමේදී ඒ පසු පස ගොස් වෙඩි තබා ඝාතනය කිරීම්ද කිහිපයක් ගෙවුණු කාලය තුළ වාර්තා විය. ඒ මේ ආණ්ඩුවේ රාජපක්‍ෂ පන්නයේ ගේම්ය. චිත්‍රපට ජවනිකා මෙන් පසු පස පන්නා ගොස් වට කොට වෙඩි තැබීම මහජනතාවටද සජීවීව දැක බලාගත හැකි විය. ආයුධ පෙන්වන්නට ගොස් මරනවාට වඩා මෙය යහපාලන ස්වරූපයක් උසුලයි. ඒ කොහොම වුණත් අද දවසේ පාතාලය නිදහසේ මරා ගනිති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේවාට අදාළ අය ඉක්මණින්ම අත්අඩංගුවට ගන්නා බව පවසයි. ඒ ඉක්මන කෙසේ වේදැයි අපි නොදනිමු. අනෙක් අතට මෙලෙස පාතාල කල්ලි අතර ගැටුම් ඇතිවී ඒ අය මියැදෙනවාට පොලිසිය පමණක් නොව දේශපාලකයන්ද කැමතිය.

මේ පාතාලයන්ද පෝෂණය වන්නේ දේශපාලකයන්ගේ හයියෙනි. එදා රාජපක්‍ෂලාගේ සමයේ ඒ දේශපාලනයේ රැකවරණය ලද පාතාලයෝ අද රැකවරණය ලබන්නේ යහපාලනයෙනි. මැතිවරණ කාලයේදී ඒ බව මනාව ඔප්පු විය. මෙලෙස මිය ගොස් ඉතිරි වන පාතාලය ගැන නිසි අධ්‍යයනයක් කළහොත් ඔවුන් සෘජුවම හෝ වක්‍රව දේශපාලකයකු ළඟ සිටින බව තහවුරු කරගත හැකිය. පොලිසියට මේවා මැඩලීම එදා සිට අද දක්වාම අපහසු වූයේ එබැවිනි. එය හෙටද එසේමය. එවන් කල සමාජය උන් උන් හෝ මරාගන්නවා නම් අගෙයි කියන්නේ එබැවිනි. එහෙත් එයද පාතාල ගණයේම සිතුවිල්ලකි. දැන් සමාජය පාතාල ගත වී ඇත. දේශපාලනයද ඒ වළේමය. මෙයින් ගොඩ ඒමට ලේසි නැත. මන්ද රටම පාතාලයේ ගිලී ඇති බැවිනි.