රාවය

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට යටවුණු හෝමාගම මිනිස්සු

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට යටවුණු හෝමාගම මිනිස්සු

නිමල් අබේසිංහ

ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන SMAP නම් ව්‍යාපෘතිය යටතේ හෝමාගම කටුවන පිංබිම හා කටුවාන කර්මාන්තපුරය හරහා දාම්පෙ තාක්ෂණික නගරය කරා යෝජිතව තිබූ මාර්ගය එම ප්‍රදේශයෙන් ඉවත් කර තම නේවාසික භූමිය හරහා සකස් කිරීමට සූදානමක් ඇති බව හෝමාගම රවුම්පාර ප්‍රදේශවාසීහු පවසති.
පිංබිම හරහා යෝජිතව තිබූ මාර්ග සංවර්ධනයට අදාළව මැනීම් කටයුතු හා ඉඩම් එළිපෙහෙළි කර තිබියදී හදිසියේ එම මාර්ගය වෙනස් කර කටුවාන රවුම් පාර පුළුල් කර මාර්ග සංවර්ධනය කිරීම විමතියට කරුණකි.

කලින් යෝජනා කර තිබූ පිංබිම හරහා දිවෙන මාර්ගයට එක නිවසක් පමණයි, ඉවත් කිරීමට නියමිතව තිබුණේ. එහෙත් රවුම් පාර පුළුල් කර මේ මාර්ගය සංවර්ධනය කළොත් මේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ නිවෙස් 50ක් විතර කැඩෙන බව ස්ථිරයි. මේක හරිම අසාධාරණයක්. රවුම් පාර පදිංචිකරුවෙකු වන ටී.කේ. පේමචන්ද්‍ර කියයි. ඒ විතරක් නම් මදැයි. මේ වගේ ව්‍යාපෘති කරන කොට ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන්න ඕනෑ නේ. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රාදේශීය ලේකම්වරයාටත් මේ ගැන දන්වල නැහැ.”
ඔහුගේ කතාව සත්‍යයකි. හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඒ.ජී.එස්. කන්නන්ගරගෙන් රවුම් පාර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ගැන ලියුම්කරු විමසූ විට ඔහු පැවසුවේ තමන් එබන්දක් නොදන්නා බවයි.
පුදුමය වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ විසින් මෙම මාර්ගයේ මිනුම් කටයුතු කිරීම සඳහා පී.එම්. සුනිල් නමැති මිනින්දෝරුවරයාට බලය පවරා ලිපියක් නිකුත් කර තිබීමයි. ඒ අනුව මෙම මිනින්දෝරුවරයා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා අමතා යවන ලද ලිපියකින් මාර්ගය සංවර්ධන කරන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලා තිබීමයි. ඒ අනුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි රංජිත් තලාකොටුව රවුම් පාර ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයන් මේ ගැන දැනුවත් කර ඇතත්, වැඩි පිරිසක් දැනුවත් කර නැත.
මේ තත්ත්වය යටතේ බලයලත් මිනින්දෝරු ජී.එම්. සුනිල් එම ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන්ම වගේ මැනුම් කටයුතු කර තිබේ.
“මිනින්දෝරුවා ඇවිල්ලා මනින්න හදන කොට අපි ප්‍රශ්න කළා. එයා කීවා ග්‍රාමසේවක මහත්තයට දැනුම්දීලා තියෙන්නේ කියලා. අපි කීවා අපිට නම් එයා දැනුම්දීමක් කරලා නෑ කියලා. එතකොට කීවා ඉඩම මනින්න දෙන්න, නැත්නම් මට මේ ඉඩම හිස් ඉඩමක් විදියට තමයි නම් කරන්න වෙන්නේ කියලා. ඊට පස්සේ මම අකමැත්තෙන් වුණත් ඉඩම මනින්න ඉඩ දුන්නා. රවුම් පාර පදිංචිකරුවකු වන සුරත් විතාරණ තමන්ගේ අවනඩුව ප්‍රකාශ කළේ එලෙසය.

සිදුවෙන ක්‍රියාවලිය දෙස විමසුමෙන් බලද්දී සැඟවුණු රහසක් තිබෙන බව හොඳින්ම පෙනෙයි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි රංජිත් තලාකොටුව මැදිහත්වී ඇත. අනෙක් කරුණ වන්නේ ග්‍රාම නිලධාරිවරයා මේ ගැන සිය ප්‍රධානියා වන ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් නොකිරීමයි. මේ ගැන ග්‍රාම නිලධාරියාවරයාගෙන් විමසූ විට ඔහු කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ හෝ මෙහි ප්‍රතිඵලයක් වන්නේ හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලැබීමයි.
මාර්ග සංවර්ධනය නිසා නිවාස අහිමි වන පිරිස පසුගිය දිනෙක මහ නගර හා බස්නාහිර පළාත් අමාත්‍ය චම්පික රණවක මුණගැසී ඇත්තේ තම දුක්ගැනවිල්ලට විසඳුමක් ලබාගන්නා අටියෙනි. ඇමතිතුමාට අපේ ගැටලුවට විසඳුමක් දෙන්න කිසිම වුවමනාවක් තිබුණේ නෑ. එයා කීවේ රටේ සංවර්ධන වැඩවලට ජනතාව සහයෝගය දක්වන්න ඕනෑ කියලයි. අපි සංවර්ධනයට විරුද්ධ නෑ. ඒත් ඒවායේ සංවර්ධන වැඩවලදී ඒ ප්‍රදේශවල පදිංචිකරුවන්ට හානියක් නොවන විදියට වැඩ කරන්න ඕනෑ නේද? ඇමතිතුමා පිළිගන්නේ එයාගේ නිලධාරීන් කියන එක විතරයි. අඩුම වශයෙන් ඇමතිතුමා මේ ප්‍රදේශයට ඇවිත් අපි කියන කතාව ඇත්තද නැත්තද කියලා හොයල බලන්නවත් ඕනෑ. එහෙම නැතිව නිලධාරීන් දෙන උපදෙස් කියන දේවල් ඉස්මුදුනින් පිළිගන්න ජනතා නියෝජිතයෙකුට වටින්නේ නෑ. රවුම් පාර ගම්වැසියෝ කියති.

මේ මිනිසුන්ගේ චෝදනාවේ සත්‍යයක් ඇති බව ලියුම්කරු අත්දැකීමෙන්ම දනී. ඒ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කොල්ලුපිටියේ කුපර්ස්හිල්හි පදිංචිකරුවන් අරබයා ක්‍රියාකර ඇති ආකාරය අනුවය. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කොල්ලුපිටියේ කුපර්හිල්ස්හි පදිංචිකරුවන්ට නැති අනුකම්පාවක් ධම්මික පෙරේරා නමැති ව්‍යාපාරිකයාට දක්වමින් කුපර්ස්හිල්හි නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් බදු දී තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ක්‍රියා කරන්නේ එතරම් ජනතා හිතවාදීවය.
සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රදේශයක සංවර්ධන කාර්යයක් සිදුකරද්දී අදාළ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා සම්බන්ධවෙමින් එම සංවර්ධන කටයුතු සිදුකිරීම රජයක පිළිවෙතයි. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියට එකී නීතිරීති අදාළ නැති බව පෙනෙයි. ඊට හොඳම නිදසුනක් සැපයිය හැකිය. ඒ හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් නිවාස ඉදිකිරීමක් වෙනුවෙන් ලබාදී ඇති අනුමැතියයි. නිවෙස ඉදිකෙරෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධනය කිරීමට සූදානම් වන රවුම් පාර අසලමය. ඉඩමේ අයිතිකරුවා එම්.බී. සිරිමල්ය. අනුමත කරන ලද නිවාස සැලසුමේ අංකය 3849්ය. අවසරය ලබාදී තිබෙන්නේ 2017 ඔක්තෝබර් 10 දිනදීය. රවුම් පාර සංවර්ධනය පිළිබඳව ප්‍රාදේශීය සභාව දැනුවත් වී තිබුණේ නම් ඔවුන් මෙවැනි ඉදිකිරීමකට අවසරයක් නොදෙනු ඇත. සමහරක් විටෙක යෝජිත මාර්ගය හෝමාගම පිංබිම හරහා ඉදිකෙරෙන බව ඔවුන් දැන සිටි බැවින් මෙම ඉදිකිරීමට ඔවුන් අවසරය දුන්නා විය හැකිය.
කෙසේ වුවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට හිතු හිතූ විදියට මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්හි යෝජිත මාර්ග වෙනස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ කෙසේද යන ගැටලුවද මෙහිදී පැන නගියි.

වහාම සොයා බලන්නම්
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ

දාම්පෙ කාර්මික නගරයට ප්‍රවේශ මාර්ග තුනක් අපි හඳුනාගෙන තිබුණා. ඒ මාර්ගවලින් වඩාත් සුදුසුම සහ අවම හානියක් සිදුවෙන මාර්ගය විදියට හඳුනාගෙන තිබෙන්නේ ඔය රවුම් පාර ඔස්සේ යන ප්‍රවේශ මාර්ගයයි. මෙය 2015 ආරම්භ කරපු ව්‍යාපෘතියක්.

2015 ආරම්භ කළා නම් ප්‍රාදේශීය සභාව මේ ගැන දැනගෙන ඉන්න ඇති නේද?

ඔව්.

ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මේ සම්බන්ධ රැස්වීම්වලට සහභාගි වුණා. එහෙම නම් ප්‍රාදේශීය සභාව රවුම් පාර අයිනේ නිවෙසක් ඉදිකරන්න 2010 ඔක්තෝබර් 10 වැනිදා අවසර දීලා තියෙන්නේ කොහොමද?

ඒ ගැන හොයල බලන්නම්.

ඒ නිසාම ඔබ මේ ව්‍යාපෘතියට පත් කළ මිනින්දෝරුවරයා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට ලිපියක් යවමින් ප්‍රදේශවාසීන් දැනුවත් කරන්න ඉල්ලා සිටිනවා. ප්‍රදේශයේ නිසි බලධාරියා ප්‍රාදේශීය ලේකම් ඔහු. කොහොමද ප්‍රාදේශීය ලේකම් දැනුවත් නොකර ග්‍රාම නිලධාරියාට ලියුම් යවන්නේ මේක නීති විරෝධියි නේද?

මම ඒ ගැන දන්නේ නැහැ. වහාම සොයා බලන්නම්.