මම මතුවුණේ නුගය පාමුල සිදුරෙන් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී සන්ඬේ ටයිම්ස් සම කර්තෘ – ඉක්බාල් අතාස්

පිළිසඳර – සුනිල් ජයසේකර
ඡායා :ඩී.කේ නිලුපුල් චමින්ද

ඉක්බාල් අතාස් කියන මාධ්‍යවේදියා බිහිවන්නේ කොහොමද?
අවුරුදු 50කට ඉස්සර ඒ කියන්නේ 1965 මා කොළඹ ටෙක්නිකල් කොලේජ් එකේ අලෙවි කළමනාකරණ පාඨමාලාවක් හැදෑරුවා. ඒ කාලයේ මගේ උනන්දුව තිබුණේ ඒ පැත්තට. ඒ අතර ලේක්හවුස් වාර්තාකරුවෙක් ලෙස කටයුතු කළ මාගේ මිත්‍රයෙක් හිටියා. එදා ඔහු කරපු දේවල් දැකපු මට මාධ්‍යවේදියෙක් වෙන්න යම් උත්තේජනයක් ඇතිවුණා. ඒ අනුව සන් පුවත්පතේ අලුත්ගම වාර්තාකාරයා ලෙස බැඳෙන්න මමත් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළා. ඔවුන් ඒ සඳහා මා තෝරාගත් නිසා අලුත්ගම බේරුවල පදනම් කරගෙන පොඩි පොඩි වාර්තා සන් පුවත්පතට යොමුකළා. ඔය අතරේ එක සිදුවීමක් වුණා. ඒ තමයි කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ගාලුපාරේ වාහන ගමන් කළේ ලොකු නුග ගහක් පාමුල තිබුණ සිදුරක් අතරින්. ඒක විශාල නුගයක්. එක්තරා දවසක ඒ ගහ වැටුණා. මම ඒ ගැන වාර්තාවක් සකස් කරලා ප්‍රවෘත්ති කර්තෘට දුන්නා. ඔහු ඒක අතට අරගෙන මගේ දිහා බලලා ඇහුවා මේ නමින් වාර්තා ලියන්නේ ඔබ ද කියලා. මම ඔව් කිව්වාට පස්සේ ඔහු ඒ කොළ ටිකත් අරන් ඇතුළට ගියා. තවත් කෙනෙකුට මාව පෙන්නලා මොනවාද කියනවා මම දැක්කා. එතකොට එකපාරටම මගේ හිතට ආවේ කවුරුහරි මා ගැන වැරදි අදහසක් කියලා වෙන්න ඇති කියලා. මම ඕන දේකට හිත හදාගත්තා. විනාඩි කිහිපයකට පසු ඔහු ඇවිත් මගෙන් ඇහුවා හෙට ඉඳලා කාර්යාලයට ඇවිත් වැඩකරන්න පුළුවන්ද කියලා. මම කිව්වා හෙට ඉඳලා එන්න නම් බැහැ, සතියකින් පසුව එන්නම් කියලා. සන් පුවත්පතේ වාර්තාකරුවෙක් ලෙස සේවයට බැඳුණේ ඒ විදියට.
ඒ කාලයේ පඩි කොහොමද?
රස්සාවට එන්න යන්න ගමන් වියදම්වලට විතරක් රුපියල් 24ක් වියදම් වුණා. පළමුවන මාසේ දීමනාව රුපියල් 18යි. මොකද ලියන ප්‍රමාණයටයි මුදල් ලැබුණේ. එක ලයින් එකකට ගෙව්වේ සත 04යි. ඉතිං ඒ වගේ දුෂ්කරතා මැද තමයි මුල් කාලයේ වැඩ කළේ. ඒ විතරක් නෙමේ සමහර සිදුවීම් වාර්තා කරන්න ගිහින් කාර්යාලයට එනකොට හවස් වෙනවා. ඒ වාර්තාව ලියලා බාරදෙන කොට රෑ වෙනවා. එතකොට ගෙදර යන්න වෙන්නේ රෑ දහයාමාරේ කෝච්චියේ. එහෙම ගිය ඇතැම් දවස්වල මට නින්ද ගිහින්. අලුත්ගම කෝච්චිය නැවැත්තුවාට පස්සේ ගාඞ් කෙනෙක් ඇවිත් තමයි මාව ඇහැරවන්නේ. ඉතිං දර්ගා ටවුමට යනකල් පයින් තමයි යන්න වුණේ.
සන් පත්තරේ ඔබට පැවරූ මුල්ම වගකීම් සහගත කාර්යය කුමක්ද?
මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කිරීමේදී ආයතනයෙන් පවරන සෑම කාර්යයක්ම ඉතාම වැදගත්. එහෙත් 70 ගණන්වල මුල් කාලයේදී දෙමළ දේශපාලන පක්ෂ ආවරණය කිරීමේ වගකීම මට පැවරුවා. එය මගේ ජීවිතයේ එක් වැදගත් සංධිස්ථානයක් විදියටයි සලකන්නේ. ෆෙඩරල් පක්ෂයේ නායකයින් ද ඇතුළු ප්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලනඥයින් හඳුනාගන්නටත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් වැදගත් සබඳතා ගොඩනගා ගන්නටත් එමගින් මට අවස්ථාවක් උදාවුණා.
උතුරේ තරුණ නැගිටීමක පෙර නිමිති ඔබ දැක්කේ කොයි කාලයේද?
මගේ මතකයේ විදියට 76 දී විතර දොරෙඅප්පා ඝාතන සිද්ධිය තමයි පළමු සංඥාව. පස්සේ පොලිස් නිලධාරීන්ට පහරදෙමින් ඔවුන්ගේ රයිෆල් පැහැරගෙන යාම්, බැංකු මංකොල්ල වැනි සිදුවීම් හරහා එවැනි ලකුණු තව තවත් පහළ වුණා. පස්සේ අසූ ගණන්වල මුල් කාලයේදී මම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ඉන්දීය නිල සංචාරය ආවරණය කරන්න දිල්ලියට ගියා. එහිදී මම දැක්කා ‘ඉන්දියා ටුඬේ’ පුවත්පතේ පළ කරපු වාර්තා. ලංකාවේ දෙමළ තරුණයන් විසින් පවත්වාගෙන යන පුහුණු කඳවුරු ගැන එහි ඡායාරූප ද සමග වාර්තා කර තිබුණා. ඒ අනුවත් ලංකාවෙන් ලැබුණ අනෙකුත් තොරතුරු අනුවත් තත්ත්වය බරපතළ වියහැකි බව මා තේරුම් ගත්තා.
මුළු රටම විතරක් නෙමේ ජාත්‍යන්තර මට්ටමෙන් පවා ඉක්බාල් අතාස් යන චරිතය කෙරෙහි අවධානයක් මුලින්ම යොමුවන්නේ සන් පුවත්පතේ ආරක්ෂක තොරතුරු වාර්තාකරු ලෙස ඔබ කටයුතු කිරීම නිසයි. එහිදී දෙමළ සන්නද්ධ සංවිධාන හා ඒවායේ නායකයින් සමග දැනහැඳුනුම් ඇතිකර ගන්න අවස්ථාද ලැබෙන්න ඇති. ඒ මොන කාලයේද?
ලලිත් ඇතුලත්මුදලි ජාතික ආරක්ෂක ඇමති කාලයේදී, උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යාමට අපට අවසර දුන්නා. විශේෂයෙන්ම මට අවසර දුන්නා. ඉතිං මා උතුරේ යුද හමුදා කඳවුරුවලට නිතර ආවා ගියා. අන්තිම හමුදා කඳවුර දක්වාම ගියා. එක වරක් කර්නල් විජය විමලරත්න උතුර භාරව සිටියදී මා යාපනයේ කොටුව හමුදා කඳවුරට ගියා. ඒ කාලයේදී යාපනය දිසාපති නිල නිවාසය දෙමළ සටන්කාමීන් විසින් සිය මූලස්ථානය බවට පත්කරගෙන තිබුණා. මට එතැනට යන්න ඕන වුණා. එහිදී මා දන්නා ගුවන් හමුදා නිලධාරියෙක් මාවත් හෙලිකොප්ටරයකට නංවාගෙන යාපනය දිසාපති කාර්යාලයට ඉහළින් පියාසර කළා. එතකොට අපි දැනගත්තා අපට පහළ සිට වෙඩි තියන බව.
මාධ්‍ය ජීවිතයේ ප්‍රථමවරට මුහුණ දුන් අනතුරුදායක අත්දැකීම ඒකද?
ඇත්තටම පළමුවෙන්ම අනතුරුදායක අත්දැකීමකට මුහුණ දුන්නේ ඊට පැයකට විතර පස්සේ. එදා අපේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළේ බර්ටි මෙන්ඩිස්. අපි දෙන්නා යාපනය කොටුවේ ඉඳලා පුස්තකාලය දෙසට යද්දි එකපාරටම දෙපැත්තකින්ම වෙඩි තියන්න පටන් ගත්තා. කොටුවේ ඉඳන් හමුදාව වෙඩි තියනවා. පුස්තකාලය පැත්තේ ඉඳන් දෙමළ සන්නද්ධ තරුණයින් වෙඩි තියනවා. ඒ මැද අපි දෙන්නා අත්දෙක උස්සගෙන ඉන්නවා. එකපාරටම දෙපැත්තම වෙඩි තියාගන්න එක නැවැත්තුවා. ඒ සමගම බංකරයක් ඇතුළේ ඉඳලා එළියට ආපු සන්නද්ධ දෙමළ තරුණයෙක් අපට එන්න කියලා අත වනන සංඥාවක් දුන්නා. අපි එතැනට ගිහින් අපි කවුරුන්ද යන්න හඳුන්වා දුන්නට පස්සේ මුලින්ම අපට ලැබුණේ සීතල කොකාකෝලා බෝතල් 2ක්. පුදුමේ කියන්නේ එතකොට යාපනය නගරය විදුලිය විසන්ධි කරලා සෑහෙන කාලයක් වෙනවා.
එදා නායකත්ව මට්ටමේ හිටපු දෙමළ සන්නද්ධ සටන්කාමීන් ඔබට හමුවුණාද?
එදා අපි නැවතුනේ ඥානම් හෝටලයේ. එතකොට තමයි මම දැනගත්තේ පිටකොටුව බස්නැවතුම්පළ අසල විශාල බෝම්බයක් පිපිරිලා කියලා. ඒ නිසා උතුරේ යම් කලබලයක් වියහැකි යැයි මට හිතුණා. පසුවදා ආරංචි වුණා චාවකච්චේරි පැත්තේ හමුදාව ප්‍රහාරයක් එල්ල කරන බව. ඔය අතරේ තමයි යාපනයේ ප්‍රාදේශීය සන්නද්ධ නායකයා මට මුණ ගැහෙන්නේ. එහෙත් මතුව තිබෙන තත්ත්වය තුළ ඔහුට මා සමග වැඩි වේලාවක් කතා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඔය අතරේ යාපන නගරයට ඉහළින් හෙලිකොප්ටරයක් ගමන් කරමින් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මට තේරුණා තත්ත්වය හොඳ නැති බව. පසුවදාම අපි නැවත කොටුව හමුදා කඳවුරට ආවා. ඒ එනකොටත් කලින් වර වගේම දෙපැත්තම වෙඩි තියාගත්තා. ඒත් වාසනාවකට කරදරයක් වුණේ නැහැ.
ඔබට ප්‍රභාකරන් හමුවන්න අවස්ථාවක් ලැබුණා නේද?
ඉන්දීය හමුදාව ආපු කාලයේ එක් සටන් විරාම කාලසීමාවකදී මට ප්‍රභාකරන් හමුවන්න අවස්ථාවක් ලැබුණා. මගේ ඇස් දෙකම බැඳලා කිසිවක්ම නොපෙනෙන විදියට තමයි ඔහු ළඟට මා රැගෙන ගියේ.
එදා ප්‍රභාකරන් ගැන මොකද හිතුණේ.
මම බලාපොරොත්තු වුණාට වඩා මිනිහා ටිකක් කොටයි. අපි කතා කර කර ඉන්න කොට පිපුරුම් සද්දයක් ඇහුණා. ඒ වෙලාවේ ප්‍රභාකරන් එකපාරටම ගැස්සෙනවා මම හොඳටම දැක්කා. මම තේරුම් ගත්ත විදියට ඒ සද්දේ ආවේ ඉන්දීය හමුදා කඳවුරු භූමියකින්.
මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව සැලකීමේදී යුද වාර්තාකරණයේ ඇති අභියෝගය ඔබ දකින්නේ කොහොමද?
පළමුවෙන්ම කියන්න ඕන මාධ්‍යයට අදාළ අනෙකුත් ක්ෂේත්‍රයන් ආවරණය කරනවාට වඩා යුදමය තත්ත්වයක් ආවරණය කිරීම සංකීර්ණවූත්, විශේෂවූත්, ක්‍රියාවලියක්. එය විනෝදාස්වාදය හා දැනුම උදෙසා කරන වාර්තාකරණයට එහා ගිය දෙයක්. මිනිස් ජීවිත හා රටක ආරක්ෂාව සහ පැවැත්මට තීරණාත්මක ලෙස අදාළ වන ක්‍රියාවලියක් ලෙස තමයි මම යුද වාර්තාකරණය දකින්නේ. ඒ තුළ තිබෙන සුවිශේෂි තත්ත්වය තමයි යම් දෙයක් කියද්දී ඊට සම්බන්ධ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් බොහෝවිට අතෘප්තිමත් වෙන එක. ඒ නිසා විවිධ මත නිර්මාණය විය හැකියි. අභියෝගද මතුවිය හැකියි. මගේ අත්දැකීම් අනුව කිවයුතු වැදගත්ම දෙයක් තිබෙනවා. එනම් හමුදාවට අදාළව සැලකීමේදී ඔවුන්ගේ අදහස් හා මතය බොහෝ කාලයක් යනතුරු නිවැරදිව බාහිර ලෝකයාට සන්නිවේදනය වුණාද කියන ප්‍රශ්නය අදටත් මට තිබෙනවා. අවසාන කාලයේදී වුණත් එය පරිපූර්ණ ලෙස සිදුවුණේ නැහැ. ඒ නිසා තමයි ජිනීවාවල මතුවන යම් යම් කරුණුවලට අදාළව අද පවා පිළිතුරු දෙන්න සිදුවෙලා තිබෙන්නේ. අනෙක් අතට ඕනෑම යුදමය තත්ත්වයක් වාර්තා කිරීමට අදාළව විධිමත් පුහුණුවක් ලබාගත යුතුයි. එහෙත් ලංකාවේ එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඒ වුණාට ඉරාකයේදී හා ඇෆ්ඝනිස්ථානයේදී ඇමරිකා හමුදාව ඒ දේ කළා. ඒ නිසා අපිට වුණේ අප විසින්ම පනවා ගත් සීමාවන් තුළ සිටිමින් එම කටයුත්ත සිදුකරන්නයි.
යුද්ධයට සම්බන්ධ දෙපාර්ශ්වයේ සැකයට ඔබ ලක්වූ අවස්ථා තිබුණද?
අනිවාර්යෙන්ම තිබුණා. ඒ නිසා බොහෝ ප්‍රශ්නත් ඇතිවුණා. එහෙත් කිසිම දවසක මා සේවය කළ ආයතන වන දවස පුවත්පත් ආයතනය හෝ ටයිම්ස් ආයතනය මාව සැක කළේ නැහැ. මගේ කර්තෘවරයා සැමවිටකම මා කෙරෙහි විශ්වාස කළා. ඒ වගේම මගෙන් සේවය ලබාගත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිසිවක් මාව සැක කළේ නැහැ.
යුද වාර්තාකරුවෙක් හා විශ්ලේෂකයෙක් ලෙස ඔබ අත්දුටු අමිහිරිම දේ කුමක්ද?
ජීවිත හා දේපළ විනාශයට අමතරව හොරකම. මේ යුද්ධය තුළ සැබැ රණවිරුවන් රටට ප්‍රදර්ශනය වුණා වගේම යුද්ධයෙන් ජීවත්වන මුදලාලිලා පිරිසක් ද ඇතිවුණා. හොඳම උදාහරණය මිග් යානා ගනුදෙනුව. ඒ හෙළිදරව්ව කළ නිසා මටත් රටින් පැනලා ගිහින් මාස ගණනාවක්ම හැංගිලා ජීවත් වෙන්න සිදුවුණා.
දශක ගණනාවක් පැවති ලංකාවේ යුද ගැටුම පසුපස විදේශීය ඔත්තු සේවා කොතරම් දුරට සක්‍රීය ලෙස මැදිහත්වීම් කළාද?
සෑහෙන සම්බන්ධයක් තිබුණා. ඊට හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව මෙවැනි තත්ත්වයක් පිළිබඳව පූර්ණ අවධානයක් යොමුකිරීම ඒ ඒ රටවලට ද වැදගත්වීම, අනෙක යුද්ධය හේතුවෙන් ඒ ඒ රටවලට සරණාගතයන් ලෙස යන අපේ අයගේ ප්‍රශ්නය. එවැනි බොහෝ නියෝජිත ආයතන හා ඒවාට සම්බන්ධ පුද්ගලයින් මා සමග ද සාකච්ඡා කර තිබෙනවා. ඒ සබඳතාව නිසා ඒ අයගෙන් මමත් බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම ඔබට එක උදාහරණයක් කියන්නම්. එක් බි්‍රතාන්‍ය යුද විශේෂඥයෙක් මා සමග කතා කරමින් සිටින අතරතුර මට ෆැක්ස් පණිවුඩයක පිටපතක් පෙන්වා ඒ ගැන මගේ අදහස විමසා සිටියා. ඒක කියවද්දි මට මතක් වුණා එල්ටීටීඊ එකේ නිවේදනවල ස්වභාවය පරිගණක අක්ෂරකරණයේදී පේලි අතර වන දුර පිළිබඳව පවා මට සිහිපත් වුණා. ඒ වගේම ඒ තුළ අන්තර්ගත එක් හෝඩුවාවක් මගේ ඇහැට අසුවුණා. ඒ මත ගොස් රටට ඉතා වැදගත් හෙළිදරව්වක් කරන්නට මට අවස්ථාවක් ලැබුණා. ඒ මොකක් ගැනද දන්නවාද? අර සිම්බාබ්වේවලින් ඇණවුම් කළ තවමත් අපේ රටට නොලැබුණ මෝටාර් තොගය ගැන. ඒ වගේම අමතක කරන්න එපා එල්ටීටීඊයේ පරාජය සඳහා ඔවුන් සෑහෙන්න මැදිහත්වීමක් කර ඇති බව.
අවසන් යුද ගැටුම අවස්ථාවේදී යුද පිටිය තුළ දී ඔවුන් සක්‍රීයව ලබාදුන් දායකත්වයක් තිබෙනවාද?
මම හිතන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ බව සඟවන්නත් අමාරුයි.
යුද විශ්ලේෂකයෙක් ලෙස ඔබට මුහුණදීමට සිදුවූ බිහිසුණුම අත්දැකීම කුමක්ද?
මගේ ගෙදරටම ඇවිල්ලා මාව ඝාතනය කරන්න ගත් උත්සාහය. ඒ අයට උසාවිය දඬුවම් දුන්නා. ඒත් නව රජය ආවට පස්සේ අභියාචනාධිකරණයෙන් එම තීන්දුව වෙනස් වුණා. ඒ ගැන නම් මගේ හිතේ යම් සැකයක් තිබෙනවා.
ඔබට ඒ කාලයේ විශේෂ ආරක්ෂාවක් පවා දුන්නා නේද?
ඔව්. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ නිර්දේශ මත මට කමාන්ඩෝ සෙබළුන්ගේ ආරක්ෂාවක් ලබා දුන්නා. ඇත්තටම ඔවුන් මගේ ආරක්ෂාව උදෙසා විශාල කැපකිරීමක් කළා. ඒත් එක දෙයක් කියන්න ඕන. ඒ අය අතර සිටි එක් අයෙක් සිදුකළ රාජකාරිය තමයි මගේ කටයුතු ගැන ඉහළට වාර්තා කිරීම. ඒක සාමාන්‍ය දෙයක්. ඕනම VIP කෙනෙක්ට පවා යොදවන ආරක්ෂකයින් අතර එවැනි අයෙක් සිටිය හැකියි.
ලංකාවේ යුද්ධය වාර්තා කළ දේශීය යුද වාර්තාකරුවන් හා යුද විශ්ලේෂකයින් අතර ඔබට ඉහළම පිළිගැනීමක් හා අවධානයක් හිමිවීමට විශේෂ හේතුවක් තිබුණේ යැයි ඔබ විශ්වාස කරනවාද?
මා අවධානය යොමුකළ කරුණුවලට අදාළව පරිපූර්ණ සොයා බැලීමක් කරන්න මට අවශ්‍ය වුණා. ඒ හැර වෙනත් රහසක් එතැන තිබුණේ නැහැ. හැබැයි මෝඩකම් නොකරන්න පරිස්සම් වුණා.
ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් ඔබට දැක්වූ ප්‍රතිචාර කෙබඳුද?
ඉතා හොඳ සබඳතාවක් තිබුණා. අප අතර යම් ගැටලුවක් මතුවූයේ නම් ඒ ගැටලු මතුවුණේ මම ආරක්ෂක අංශවල දූෂණ පිළිබඳව හෙළිදරව් කිරීමේදීයි. ඒ නිසා ඇතැමුන් විවිධාකාරයෙන් පළිගන්න පෙළඹුණා. මගේ නිවසේ සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා කියලා සංවිධානත්මක ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා. ඉතිං ලොකු ලොකු පුද්ගලයින් පවා ඒකට රැවටිලා මගේ නිවසට ඇවිත් ගණිකාවන් ලබාගත හැකිද කියලා විමසීම් කළ අවස්ථා තිබුණා.
ලංකාවේ පැවති යුද්ධය ජාවාරමක් කරගන්නට වැඩියෙන්ම කටයුතු කළ පුද්ගලයින් අතර පෙරමුණේම සිටින්නේ දේශපාලකයන්ද? ආරක්ෂක අංශ නිලධාරීන්ද? නැත්නම් රාජ්‍ය නිලධාරීන් ද?
ඔය කියන තුන්ගොල්ලොම ඉන්නවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශවල හිටපු මැදිපෙළේ නිලධාරීන්.
ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ඔබට ප්‍රශංසා කළ අවස්ථා නැද්ද?
මොකද නැත්තේ. සමහර ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලින් පස්සේ ඇතැම් නිලධාරීන් මට විකල්ප මාර්ග වලින් දැනුම් දුන් දේවල් තිබෙනවා. අද ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී මම ඔබව විවේචනය කළා යැයි කියා සිටි අවස්ථාවල් ද තිබෙනවා. මොකද ඔවුන්ටද දේශපාලකයන් ඉදිරියේදී මාව විවේචනය කරන්න සිදුවුණත් ඔවුන් දැන සිටියා මා කරන්නේ වැදගත් කාර්යයක් බව.
ඔබට තොරතුරු ලබා දුන් අය ඒ දේ කරන්නට ඇත්තේ බරපතළ අවදානමක් බාරගෙන වෙන්න ඇති?
මම හොඳ උදාහරණයක් කියන්නම්. දවසක් එක් ප්‍රධාන පුද්ගලයෙක්ගෙන් මට පණිවුඩයක් ලැබුණා අද සවස වික්ටෝරියා පාක් එකට එන්න කියලා. ඒ වගේම ඔහු මට දැනුම් දුන්නා රතුපාට ෂර්ට් එකක් ඔහු ඇඳගෙන ඉන්නවා කියලා. ඉතිං මම ගියා. වැඬේ කියන්නේ එදා විහාරමහාදේවි එකේ එළිමහන් රංග පීඨයේ ජවිපෙ රැස්වීමක් තිබෙන දවසක්. සේරම හිටියේ රතු ෂර්ට්කාරයෝ.
ඔබේ ජීවන හා වෘත්තීය අත්දැකීම් ග්‍රන්ථාරූඪ කරන්නට අදහසක් නැද්ද?
ඇත්තටම මා ඒ දේ කරමින් සිටියා. සෑහෙන්න ලියලා තිබුණා. ඒත් ඒ කාලයේ මතුවූ තර්ජන සමග ඒ සියල්ල ගිනිබත් කළා. මොකද ඒක එදා ඔවුන් අතට ගියා නම් බරපතළ ප්‍රශ්න මතුවෙන්න තිබුණා.
නැවත එය ලියන්න උත්සාහ කරන්නේ නැද්ද?
ඒක හරි අමාරු වැඩක්. සමහර කරුණු දැන් මතකයට නගන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා.
ඔබේ ජනමාධ්‍ය ජීවිතයට මේ වනවිට අඩ සියවසක් ගතවෙලා. එදා මෙදා තුර කාලය තුළ ඔබේ සමීපතම ජනමාධ්‍ය මිත්‍රයින් කවුරුන්ද?
බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය අතර සිංහ රත්නතුංග හා ලුවි බෙනඩික්ට් වගේ ඉපැරණි මිත්‍රයින් ද සිටිනවා.
ඔබේ බිරිඳ ඔබට හමුවන්නේ සන් පත්තරයෙන් නේද?
ඔව්. ඇය ඒ කාලයේ සන් පුවත්පතේ සේවය කළා.
මට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට ඒ කාලයේ ජනමාධ්‍යවේදිනියන් අතර ඔබ ඉතා ආකර්ෂණයට ලක්වූ අයෙක්.
(මහ හඬින් සිනාසෙයි) තරුණ කාලය නේ. ඒක එහෙම වෙන්න එපැයි.
සිංහල යුවතියක් සමග විවාහ වන්නට සිතුණේ ඇයි?
මා තුළ ආගම් භේද නැහැ. අපේ ගෙදර බුදු ගෙයක් පවා තිබෙනවා. මා දෙවියන් නමදිනවා. ඇය බුදුන් වඳිනවා. ඒ නිසා අපේ ගෙදර සාමයට තුන්වන පාර්ශ්වයක් කැඳවන්න අවශ්‍යතාවක් නැහැ. සාමය, ආදරය, දෙවියන් යන මේ සියල්ලම තිබෙන්නේ සිත් තුළයි. මගේ බිරිඳට දුව ලැබුණ මොහොතේ මා ඇයට කිව්වා ඔබ මට වටිනා තෑග්ගක් දුන්නා. මමත් ඔබට තෑග්ගක් දෙන්නම්. අපේ දුව කුමන ආගමකට අයත් වියයුතු ද යන්න තීරණය කිරීම ඔබට බාරයි කියලා. ඇගේ තීන්දුව අනුව මගේ දුව බෞද්ධයෙක් ලෙස හැදී වැඩුණා. අද අප එක පවුලක් ලෙස ඉතාම සතුටින් ඉන්නවා.