ජයසිරිගේ සමුගැනීම නිදහස හා මරණයෙහි තේමාත්මක ගැඹුර

උදේනි සරත්චන්ද්‍ර

නූතන සිංහල කාව්‍ය ක්ෂේත්‍රය පෝෂණය කළ ප්‍රබුද්ධ කවීන් අතර විමල් දිසානායක කිවිඳුන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මීට ඉහත ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහ අටක් පලකළ ඔහුගේ ප්‍රථම ආඛ්‍යාන කාව්‍යය වන්නේ “ජයසිරිගේ සමුගැනීම” කාව්‍ය කෘතියයි. මෙම කෙටි ආඛ්‍යාන කාව්‍යය එක සුස්මට කියවා හමාර කළ හැකි වුවත්, එහි ඇති ගුරු අරුත් වටහා ගැනීමට නම් කිහිපවරක් පරිශීලනය කළ යුතුවේ. එසේ පරිශීලනය කල කල්හි, මෙම ආඛ්‍යාන කාව්‍යය සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරන බුද්ධිගෝචර කාව්‍ය කෘතියක් ලෙසින් හඳුනාගත හැක.

මෙම කාව්‍ය කෘතිය ආඛ්‍යාන කාව්‍යයක ලක්ෂණ විද්‍යමාන කළද, පැහැදිලි ආඛ්‍යානයක් වෙනුවට සංකල්ප රූප හා ධාරණා තුළින් විදාරණය වන නිදහස හා මරණයෙහි තේමාත්මක ගැඹුර රැගත් කාව්‍ය කෘතියකි. මෙම කාව්‍ය කෘතිය පුරා විහිද යන්නේ ජින්පෝල් සාත්‍ර, ඇල්බට් කැමු වැනි දාර්ශනිකයන්ගේ පොත්පත් නොතිත් ආශාවෙන් යුතුව කියැවීමෙන් ජයසිරි පෙළුෑ මානසික සංකර්ෂණයෙන් වික්ෂිප්තව සිය නිදහස කෙරෙහිත්, මරණය කෙරෙහිත් දැරූ ආකල්පයෙහි පිහිටා කටුගස්තොට පාලමින් මහවැලි නදියට පැන සියදිවි හානි කර ගැනීමේ කතා පුවතයි.

පියසිරි ගමේ පාසැලෙන් සිය මිතුරු ගුණසේන මල්දෙණිය සමග නුගවෙල මැදි විදුහලට ඇතුළත්ව පේරාදෙණි සරසවි වරම් ලබා සරසවියට ගොස් දේශපාලනයට පිවිස අපේක්ෂා භංගත්වයට පත්ව සරසවි ඉගෙනුමෙන් පසු, වයඹ පළාතේ පාසැලක ගුරු පත්වීමක් ලබා ගත්තේය. එහිදී පද්මා නමැති විද්‍යා ගුරුවරියක සමඟ පෙමින් බැඳුනද, කටකතා ගොන්නක් නිසා ඇසුර මාස ගණනාවකට සීමා විය. ඉන්පසු ඔහු තනිකඩ ජීවිතයකට එළඹෙන්නේ “විරාගයේ” අරවින්ද මෙනි. රජයේ පාසැලෙන් අස් වූ පියසිරි කටුගස්තොට විදුහලක ගුරුවරයෙකු ලෙස සේවය කරද්දී, සිසුවෙකුට ලේ ගලනතුරු පහරදීම නිසා රැකියාව අහිමි විය. පසුව ඔහු ජීවිතාවසානය දක්වා ජීවත් වුයේ මහනුවර ටියුෂන් පන්ති පවත්වමිනි.

මෙම වෘත්තාන්තය ආඛ්‍යාන කාව්‍යයක් බවට පත් කිරීමේ දී විමල් දිසානායක කිවිඳුන් විසින් උපයුක්ත ආඛ්‍යාන රීතිය ඔහු සිය පෙරවදනේ සඳහන් කරන පරිද්දෙන් “ සංකල්ප රූපාත්මක ආඛ්‍යාන කාව්‍ය” ගණයට අයත්ය.

ජයසිරිගේ ජීවිතයෙහි අවසාන පැය විසිහතර ඇතුළත ඔහු ලියු පුද්ගල සටහන් ඇසුරෙන් විරචිත මෙම කාව්‍ය කෘතිය තුළින් ඔහු ජීවිතය, මරණය හා නිදහස ගැන දැරූ ආකල්ප මොනවට පැහැදිලි වේ.

ආඛ්‍යාන කාව්‍යයේ පාදමේ සිට මෙම කාව්‍ය කෘතිය විමසීමේදී මෙම කාව්‍ය කෘතිය මැනවින් වටහා ගැනීම සඳහා මෙහි දැකිය හැකි කාව්‍ය ලක්ෂණ හයක් සනිදර්ශිතව සඳහන් කරනු කැමැත්තෙමි.

ඉන් පළමුවන ලක්ෂණය නම්, මෙම කාව්‍යයෙහි දක්නට ඇති බන්ධන චාතූර්යයි. විමල් දිසානායක කිවිඳුන් විසින් යොදා ගන්නා විවිධ අරුත් තල රැගත් යෙදුම් තුළින් කාව්‍ය කෘතිය රසාවේක්ෂණ ශක්තියෙන් අලංකාර වී ඇත. ඒ බැව් සනාථ කිරීම සඳහා පහත කාව්‍ය ඛණ්ඩය ගෙනහැර දක්වමි.

“රහසක් සඟවා ගෙන සිටින්නෙකු සේ
ඉදිමුණු සඳ මඬල අහසෙහි බබළයි
මුදු රැස් පතුරා පාලම අවට
මම හාත්පස බලමි
අත් වනන ගං දිය දෙස බලමි
නිහඬ සතුටක් එක දිගට පිපෙයි
තව මොහොතකින් ගං දිය
මා උඩින් ගලනු ඇත
කන්කලු ගීතයක් මෙන් ”
(පිටුව 13)

මහවැලි ගඟට පැන සියදිවි නසාගන්නා ජයසිරි මරණයේ සුන්දරත්වය දකින අයුරු මින් විශද වෙයි. මෙහි දී කවියා විසින් යොදා ඇති යෙදුම් තුළින් නිසල බවත්, ගීතවත් බවත් හැඟුම් කාරක ලෙසින් මතුව එයි.

මෙම කාව්‍ය කෘතියේ දෙවන ලක්ෂණය වන්නේ සංකල්ප රූප භාවිතයේදී කවියා දක්වා ඇති ශූරත්වයයි. මේ සඳහා චිරන්තන කාව්‍ය භාෂාවෙන් ඔහු ලබා ඇති පෝෂණය බෙහෙවින් බලපා ඇත . මේ බවට පහත සඳහන් කාව්‍ය ඛණ්ඩ නිදසුන් සපයයි.

“ ගසක එල්ලී නිශ්චලත්වය
මළ මිනියක් සේ ඉදිමෙයි ”
(පිටුව 19)

“ ඉර හඳ තරු හා දේදුණු
එක්වර ගුවනත දිලෙමින්
සැණකෙළියක පෙර නිමිති ද
වා ගැබ තුළ මතුවනු ඇත ”
(පිටුව 14)

මෙම කාව්‍ය කෘතියේ තෙවන ලක්ෂණය වන්නේ කවියේ ආත්මය භාෂාව බැවින් මුලු කාව්‍ය කෘතිය පුරා රූපකාර්ථවත් රමණීය කවි බසක් භාවිතා කිරිමයි. පහත සඳහන් නිදසුන් බලනු මැනවි.

“ වැකි හා උපමා රූපක
මා කිය වු කවි පොත්වල
කවන්ධ රූ විලාසයෙන්
සිතුම් කරළියේ රඟ දෙයි
නව නාටක බිහි කරමින් ”
(පිටුව 26)

“ ඇගේ මිණි පහන් නෙත්
රන් වන් පැහැය
කිකිණි සිනා හඩ
දැනු ත් සිහිවෙයි
මතකයෙහි දොර හැරී ”
(පිටුව 27)

විමල් දිසානායක කිවිඳුන්ගේ කාව්‍ය සමුච්චයන් විමර්ශනය කරන විට පැහැදිලිව දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ඔහු නිරතුරුවම බස හැසිරවීමෙහිලා දක්වන අපූර්ව කුසලතාවයි. එය ඔහු ළඟා කරගෙන ඇත්තේ නිසඟ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය තුළිනි.

මෙම කාව්‍ය කෘතියේ සිවුවන ලක්ෂණය වන්නේ සමස්ත කාව්‍ය කෘතිය පුරා විහිදයන පෞද්ගලික භාව ප්‍රකාශනයයි. මේ තුළින් ජයසිරිගේ පුරුෂාර්ථ හා චර්යා ධර්මත්, ඔහුගේ මානසික ආතතියක් විශද වේ. ඒ බවට නිදසුන් ගෙනහැර දක්වමි.

“පබසර මිණිතර අතර
මියුරු ගී සරක් පැතිර යයි
ජීවිතයෙන් සමුගන්නා
ලෝකයෙන් සමු ගන්නා
රන්වන් මොහොත එළඹ ඇත දැන් ”
(පිටුව 37)

මෙම කාව්‍ය කෘතියේ පස්වන ලක්ෂණය වන්නේ කාව්‍ය නිර්මාණයේ දක්නට ඇති සංකීර්ණත්වයයි. මෙම කාව්‍ය ආඛ්‍යානය සංකල්ප රූප හා ධාරණා තුළින් විකසනය වන බැවින් පියසිරි පෙළුෑ මානසික සංකර්ෂණය බොහෝ පද්‍ය තුළින් පිළිඹිඹු වේ. පියසිරිගේ මරණය සුඛාන්තයක් ලෙසින් ඔහු දුටුවද ඔහුගේ කළණ මිතුරු ගුණසේන මල්දෙණිය එය දකින්නේ අපගේද දුඃඛාන්තයේ කොටසක් ලෙසිනි.

“ මරණයෙ සෙවණැල්ල වැටී
ඇත හැම සිතුවිල්ලක් මත
මම ඒ ගැන බිය නොවෙමි ය
එය මත මා සතුට පිපෙ යි
දැවැන්ත පියුමක් විලසට ”
(පිටුව 25)

මෙම කාව්‍ය කෘතියේ හයවන ලක්ෂණය වන්නේ ජයසිරි සිය නිදහස උතුම් කොට සැලකු අයුරුත්, මරණය ආදරයෙන් වැළදගත යුතු සුන්දර වේදයිතයක් ලෙස ඇදහූ අයුරුත්ය. අප විඳින ඝොරතර ජීවිතය ජය ගත හැක්කේ තමාගේ ඉරණම තීරණය කිරීමේ නිදහස තම අතට ගැනීමෙන් බවත්, ජීවිතයට අර්ථය සපයන්නේ මරණය බවත්, ජයසිරි ඇදහූු බැව් මෙම ආඛ්‍යානය තුළින් පිළිඹිඹු වේ. ඒ බැව් ඔහු පවසන්නේ මෙවදන් වලිනි.

“ මගේ දිවිය දෑතට ගෙන
මට කීකරු මැටි පිඬක් සේ
මට රිසි ලෙස හසුරුවමි
මගේ නිදහස රිවි මඬලක් මෙන්
නැගෙනු ඇත රැය මැද”
(පිටුව 14)

විමල් දිසානායක කිවිඳුන්ගේ “ජයසිරිගේ සමුගැනීම” ආඛ්‍යාන කාව්‍යය අපගේ භාවේන්ද්‍රිය මතින් ඉපිද බුද්ධින්ද්‍රිය අමතන සංකල්ප රූප හා ධාරණාවන්ගෙන් යුත් කාව්‍ය ගුණයෙන් අනූන ප්‍රශස්ත කාව්‍ය කෘතියක් බැව් සඳහන් කළමනාය.