රාවය

මධුර චාරිකා මිනිසත්බව සොයා යන චාරිකාවක්

මධුර චාරිකා මිනිසත්බව සොයා යන චාරිකාවක්

චම්මින්ද වෙලගෙදර

අපේ ගෙදර ඉස්සරහ තිබුණ බට්ටා ලන්තෑරුමක්. බට්ටා ලන්තෑරුමට කියන්නේ ලොකු ලාම්පුවේ පුංචි එකට. අපි ඉස්සර පික්චර් බලන්න ගියේ ගලේවෙල විජේපාල මහත්තයාගේ “ස්වර්ණ සිනමා” ශාලාවට, අද එතන තියෙන්නේ කඩ පේළියක්. අපේ ගමේ උපාලිලා එක්ක තමයි අපේ තාත්තා මාවත් යවන්නේ. මං මේ බට්ටා ලන්තෑරුම අරන් යන්නේ හැන්දෑවේ පහට හයට විතර හොඳට එළිය තියෙද්දී. ඔක්කෝම මට හිනාවෙනවා. හරියට නාගරිකයෝ ඉදිරියේ ගමෙන් ආව මිනිහෙක් නොදන්නා දෙයක් කළාම මෝඩයා කියලා කියනවා වගේ. හැබැයි පික්චර් එක බලලා එන්නේ නවය හමාරට නැත්නම් දහයට. සමහර දෙමළ පිචර් හරි දිගයි. ඒකට ආවේ වැඩිපුර දෙමළ චිත්‍රපට. හැබැයි යද්දී හිනාවුණු අය ආපසු එද්දී ආවේ අර බට්ටා ලන්තෑරුමේ එළියෙන්.
අපිට එදා බලපු චිත්‍රපට තවමත් මතකයි. මේ තරම් තාක්‍ෂණය දියුණුව නොතිබුණත් එම චිත්‍රපටවල ‘සිනමාව’ තිබුණ නිසා විශේෂයෙන්ම ප්‍රේක්‍ෂකයා තමන්ගේ ගෞරවනීය දායකයා බවට ඔවුන් සිතුවා. පස්සේ සිනමාව ගැන කියවද්දී හදාරද්දී තමයි ඒවායේ ව්‍යාකරණ අපිට අහුවුණේ. ලියෝ තෝල්ස්තෝයි කලාව යනු කුමක්ද කියන තැන ඒක හරි අපූරුවට කියනවා.
“කලාව වූ කලී අන්‍යයන් ආසාදනය වන්සේ ස්වකීය වේදිතයින් අන්‍යයන් තුළ ජනිත කරන මානව ක්‍රියාවලියකි.” මෙන්ම මේ මානවීය ගුණය එදා බලපු බොහෝ චිත්‍රපටවල තිබුණා. ඒවා හුදු සෙලෝලයිට් රූප බවට පත් නොවුණේ අන්න ඒ කාරණය නිසයි. ඒකම තමයි තවමත් ඒවගේ හොඳ චිත්‍රපට අපට මතක තියෙන්නේ. චිත්‍රපට කියන්නෙත් කිසියම් පරිචයක්. කෙනෙකුගේ පරිකල්පනය ප්‍රේක්‍ෂකයාගේ පරිකල්පනයත් සමග බද්ධවෙලා එය ප්‍රතිරාවයක් නංවන පරිකල්පනයක් බවට පත් කර ගන්නට පුළුවන්නම් එය නිර්මාණාත්මකව රැක ගන්නට පහසුයි. ඇට්කින්සන් නම් විචාරකයා එය එදා දුටුවේ අපි මහා කලාකරුවන්ගේ ඇස්වලින් අපි නුදුටු ලොවක් දකිනවා කියලයි. නිර්මාණකරුවෙකුගේ සිත පිළිසිඳ ගත් රූ රටාවන් රූපණවේදය සමග ගලපා ඔහු සම්මාදම් කරවා ගන්නා රූපණවේදීන්, ශබ්ද මාධ්‍යය ආලෝකය, පසුබිම් සංගීතය හා කැමරාව මගින් කලාව හා අවකාශය අතර දියත් කරවීමෙන් ඔහු ප්‍රේක්‍ෂක සිත් නම් වේදිකාව මතට පිවිසෙයි.
උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වූ ‘මධුර චාරිකා’ කතාව මතුවන්නේ කඳුකරයේ අල ගොවියෙකුගේ ජීවන වෘතාන්තය මතිනි. ඔහු යහපත් ජීවිතයක් ගත කරන, සම්මතයට අනුව සමබර පවුලක ප්‍රධානියෙකි. ඔහුට කුඩා දරුවෝ දෙදෙනෙකි. යුතුකම් ඉටු කරන සාම්ප්‍රදායික බිරිඳක් ද සිටී. නුවරඑළියේ ජීවත් වන, හැමදෙනාම අල වවන මෙවන් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන බව එයින් ගම්‍යමාන නොවෙයි. ඒ අතරින් මතුව එන්නේ හැටේ දශකයේ මෙරට චිත්‍රපටවල රඟ පෑ පැරණි නළුවෙකි. ඔහු දැන් නළුවෙකු නොවේ. අල ගොවියාගේ පියා වන ඔහු, සිය දරු මුණුබුරන්ගේ සෙවණේ ජීවත් වෙමින් සිනමා පත්තර බලමින් අතීතයේ රස මුසුතැන් අත්විඳ ගන්නා වයෝවෘද්ධයෙකි. විල්සන් වන ඔහු සිය අතීතය සේ ම තේ කඩයේ මිතුරන්ගේ විහිළු තහළු මැද ජීවිතය අභිරමණය කරන්නේ එය චමත්කාරයක් බවට පෙරළා ගනිමිනි. සිනමාව සමරන උත්සවයක් ගැන පුවත්පතකින් දකින ඔහු, තමා රඟපෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන දා සිය මුණුබුරා සමඟ අගනුවර ඒමට පිටත් වෙයි. බසය කැඩීම, ත්‍රිරෝද රියදුරාගේ ප්‍රමාදය නිසා ඔහු පැමිණෙන විට පිළිගැනීමේ උත්සවය හමාර වී චිත්‍රපටය ප්‍රදර්ශනය වෙයි. චිත්‍රපටය නරඹා එළියට එන ඔහු හඳුනාගන්නේ එහි රඟපෑ තවත් පැරණි නිළියක විසින් පමණකි.

එදින රාත්‍රියේදීම යළිත් බස් නැවතුම්පල වෙත යන විට තම ගමට යෑමට තිබූ බස් රථය පිටත්ව ගොස් ඇති බැව් විල්සන් නම් වූ මෙම වයස්ගතයාට දැනගන්නට ලැබේ. ඊළඟ බස්රිය ඇත්තේ පසුදා පාන්දරය. ගත යුතු ක්‍රියා මාර්ගයක් ද නොමැති වූ හෙයින් පසු දා පහන් වන තුරු මුණුබුරා සමග බස් නැවතුම්පලේ රැඳී සිටීමේ තීරණයක් ගැනීමට ඔහුට සිදුවේ. එහෙත් මෙම රාත්‍රිය බියකරුය. අහස ගිගිරුම් දෙමින් වැසි වසින්නට පටන් ගනී. සීතල ද අධිකය, තම ශරීරයේ වෙනසක් ද විල්සන්ට දැනෙන්නට පටන් ගනී. කුඩා මුණුබුරාට ද අසරණ වෙනවා හැරෙන්නට, අසනීප වූ තම සීයා වෙනුවෙන් කළ හැකි දෙයක් ද නොවීය.

මෙහිදී ගණිකාවක්, ඇගේ තැරව්කරුවා මෙන්ම තවත් කීපදෙනෙකු ද අසනීප වූ විල්සන්ගේ උදව්වට පැමිණේ. නමුත් දයාවෙන් හා අනුකම්පාවෙන් පමණක් මරණය පරාජය කළ හැකිද? අනුකම්පාව හා දයාව හැර තවත් දේවල් අපගේ ජීවිතයට අවශ්‍ය නොවන්නේ ද? ජීවිතයක සැබෑ අවසානය මරණයෙන් පමණක් කෙළවර වෙයිද? රාජ්‍ය අනුග්‍රහයේ ඇති සැබෑ අරුත කුමක්ද?

කලාකරුවන් ගැන විවිධ නිර්මාණ මගින් විටෙන් විට සිනමාකරුවන් ද කතා කොට ඇත. එහිදී ආචාර්ය මහගම සේකරයන්ගේ ‘තුංමං හන්දිය’ බොහෝ දෙනෙකුගේ මතකයට එන්නකි. එහි අබීලීනු සේම උදයකාන්තගේ මධුර චාරිකාවේ “විල්සන්” ද දිගු කාලයක් අපගේ මතකයේ රැඳී සිටිනු ඇත. මහා දිගු වේලාවක් කතා නොකරන උදයකාන්ත විල්සන්ගේ චරිතය හරහා මහා දිගු ඛේදවාචකයක වෘත්තාන්තයක් අපට ඉදිරිපත් කරයි. සියුම් සෝපාහාසයක් සමඟ ඔහු ගොතන සිත්තම අයිසින් සමඟ තැවරූ පාන් පිටි ගොඩක් නොවේ.

සිය මතක සොඳුරු සටහන් සමඟ ජීවිතයේ අවසන් භාගයේ නිරාමිස සෞන්දර්යය චාරිකාවක යෙදෙන විල්සන් නම් වූ සිනමා ශිල්පියා හරහා ඉදිවෙන ඔහුගේ ලෝකය හා පටු සීමාවක් වුවත් එමඟින් ප්‍රේක්‍ෂකයා විසල් තලයකට ගෙන යාමට මෙහිදී උදයකාන්ත සමත්වීම මේ චිත්‍රපටයේ සුවිශේෂත්වය වෙයි. එම භූමිකාව රඟන හේමසිරි ලියනගේ මෙතෙක් සිය සිනමා ජීවිතයේ සේ ම තථ්‍ය ජීවිතයේ ද ලද බොහෝ සන්තුෂ්ටිය සේ ම දුක්ඛ දෝමනස්සයන් ද අටපත එකට සිඳ පෙරා අප අතට දෙයි. එබැවින් එම රංගන වඩිය, ඇත්තෙන්ම නිර්මාණශීලී රංගන වේදියෙකුගේ අපූර්ව සිනමා සත්කාරයක් ප්‍රේක්‍ෂක ජනයාට ලබා දීමකි. එසේම සිනමාවේ දැවැන්තයන් වූ ගාමිණී, ජෝ, ටෝනි, රවීන්ද්‍ර වැනි රංගධරයන් සිනමාවට කළ ඇතැම් ස්මරණීය රංගනයන් තවමත් අප අතර ඇති බව මුරගා කීමකි. සිය මධුර චාරිකා මගින් උදයකාන්ත කිසියම් සිහිනයක් සැබෑ කර ගන්නට ගන්නා තැත ඔහු යළිත් පූර්වාපර සන්ධි ගලපමින් ප්‍රේක්‍ෂකයා ඉදිරියේ සැබෑවක් බවට පත් කරයි. උදයකාන්ත මෙහිදී නිරතුරුව වෙහෙසෙන්නේ කෙමෙන් මිනිසා වෙතින් දුරස් වන මිනිසත්බව යළිත් ඔවුන් අතරට ගෙන ඒමටයි. එහිදී ඔහු එය පෝස්ටරයක් කර නොගැනීම මෙහි ඇති විශේෂත්වයයි. එබැවින් ඔහු මැද මාවතේ තවත් සිනමාකරුවකු ලෙස ලඝු කිරීමට මම අකමැත්තෙමි. එසේ කිරීම නිර්මාණකරුවෙකුගේ භූමිකාවට වැට කඩොලු ගසා ගාල් කරවීමකි.

අල ගොවියාගේ බිරිඳගේ පීතෘ ස්නේහය, ගමේ කඬේ සගයන්ගේ අහිංසක විහිළු, පුංචි එකාට සුළුදිය බෑමට යෑමට අවැසි වීමේදී කොන්දොස්තරගේ ස්වභාවික සැර, එහෙත් අවසරය, තේ කඬේදී පිටින් ගෙනා කෑම අනුභව තහනම ඉවත් කරන මුදලාලි, කැඩුණු බසය හදාගෙන මගියා රස්තියාදු නොකරන ලංගම රියැදුරා, පමා වුණත් අමතකව ගිය කුඩය ආපසු රැගෙන එන ත්‍රිරෝද රථ රියදුරා, ඔහු බේරා ගන්නට මහ රෑ වුවද රෝහලට කැඳවාගෙන යන්නට පැමිණෙන පැරණි නිළියගේ මුණුබුරා හා ඔහුගේ මිතුරු වෛද්‍යවරයා, පිටකොටුව බස් නැවතුමේදී විල්සන් රෝගාතුර වෙනු දකින වීදි ස්ත්‍රීන්ගේ අයිතිකරුවා හා බෙහෙත් පෙති දෙමින් ඔහු රෝහල් ගත කරවන්නට උත්සාහ කරන වීදි සරනාලිය යන මේ සියලුම චරිත ඔස්සේ උදයකාන්ත අපට ඇන ඇන කියන වැදගත් යමක් වෙයි. එනම් මිනිසත්කම සොයා යෑම, මානවීයත්වය මතු කිරීම හා අපි ඔවුනොවුනට ප්‍රේම කිරීමයි.

මේ සිනමාපටය පුරාම ඔහු සොයන්නේ මිනිස්කමයි. එම මිනිස්කම ගලායෑමට සැලැස්වීම කලාකරුවෙකුගේ නොව නිර්මාණකරුවෙකුගේ වගකීමයි. එය සටන් පාඨයක් කර නොගන්නා උදයකාන්ත, නිර්මාණාත්මකව හැකිතාක් සරලව ආශ්වාදනීය හා ආකර්ෂණීය ලෙසින් ද ප්‍රක්‍ෂේපණය කිරීමට ගන්නා උත්සාහය ප්‍රසන්නය. එම කාර්යය සාර්ථක කර ගැනීමට ඔහුට හේමසිරි ලියනගේ, නලින් ප්‍රදීප් උඩවෙල, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, මාදනී මල්වත්තගේ, ළමා නළු සුදම් කටුකිතුලේ, සරත් චන්ද්‍රසිරි වැනි නළු නිළියන් ලබාදෙන්නේ විශාල තල්ලුවකි.