රාවය

The Shawshank Redemption – ලෝකයේ අංක 1 වීම

The Shawshank Redemption –  ලෝකයේ අංක 1 වීම

රසික ගුණවර්ධන

The Shawshank Redemption චිත්‍රපටය මේවන විට ලෝකයේ අංක එක ලෙස පිළිගැනීමට ලක්වන චිත්‍රපටියයි. මෙය IMDb ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකට තේරී පත්වී ඇත්තේ IMDb දර්ශකයේ 9.3 වැනි ඉහළ අගයක් පෙන්වමිනි. මෙය වර්ෂ 1994 දී තිරගත වන අතර ෆ්රෑන්ක් ඩැරබෝන්ගේ විශිෂ්ට අධ්‍යක්ෂණය කි. පැය දෙකයි මිනිත්තු විසි දෙකක් පුරා ධාවනය වන චිත්‍රපටිය විශිෂ්ටතා සම්මාන පනහකට නිර්දේශ වී ඇති අතර එයින් හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගනය ඇතුලු සම්මාන දහ අටක් දිනාගෙන ඇත. මෙයම චිත්‍රපටියේ විශිෂ්ටත්වය පිළිබඳව හොඳම උදාහරණයකි. එපමණක් නොව චිත්‍රපටියට ලැබී ඇති විචාරක ප්‍රතිචාර ප්‍රතිශතය සියයට අනූ අටක් තරම් විශාල ප්‍රමාණයකි. මේ සඳහා මෝගන් ෆ්‍රීමෑන්, ටිම් රොබින්ස්, බොබ් ගුන්ටන් වැනි විශිෂ්ට රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවෙති.
චිත්‍රපටියේ කතාව දිග හැරෙන්නේ අනියම් සම්බන්ධයක් නිසා සිදුවන මිනීමැරීමකට බැංකු නිළධාරියකු සිරභාරයට නියම වීම තුළිනි. කතාව එතැන් පටන් දිග හැරෙන්නේ බන්ධනාගාරය තුළ ය. සිරකරනු ලැබූ ජීවිතවල අශිෂ්ටත්වය තුළ ශිෂ්ටත්වයක් පැල පදියම් කිරීමට චිත්‍රපටිය පුරා උත්සාහ කරනු ලබයි. එහෙත් ඒ සානුකම්පිත දෘෂ්ඨියකින් හෝ වෙනත් ආකාරයක සුමට ක්‍රමවේදයකට නොවේ. ඒ චිත්‍රපටිය ගලාගෙන යන කර්කෂ ධාරව සමගම මුසු කරමින්ය. ඒ හරහා මතු කරවනා සත්‍ය යථාර්ථයට වඩා දුර නොවේ.
සිරකරුවන්ගේ ලිංගික ජීවිතය, කෘත්‍රිම සමාජීකරණය, ශිෂ්ට වන අශිෂ්ටත්වය හා අවසානයේ මේ සියල්ලම අධිපතිත්වය හමුවේ බිමට සමතලා වීම සිනමාපටය හරහා අපූරුවට මතුකරනු ලබයි. මේ සියල්ලටම පදනම දමා ගන්නේ සිරගත කරන බැංකු නිළධාරියා හරහාය.
සිරකරුවන් අතර “චරිතයක්” වීමට අවශ්‍ය යැයි බලාපොරොත්තු වන කිසිදු සුදුසුකමක් ඔහුට ඇත්තේ නැත. ඔහු කලාකරුවෙකි. පොත් කියවන සාහිත්‍ය කාරයෙකි, අනෙකා ගැන හිතන මානව දයාව ඇත්තෙකි. ඔහු ගැලපෙන්නේ සිර මැදිරියකට නොව ආශ්‍රමයකටය. චිත්‍රපටිය පුරා අපට බැංකුකරුගේ චරිතයේ ඊට එහා දෙයක් පෙන්වන්නේ නැත. ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ මුදල් වංචාවන්ට සහාය දේ. ඒ ඔහුගේ මූල්‍ය දැනුම හරහාය. එහෙත් ඔහු ඒ හරහා ලබා ගත්තේ එක් වරක් බියර් බෝතල් කිහිපයක් තමන්ට නොව සිය මිතුරන්ට ය. ඉන් එහාට ඔහු කිසිදු ලැබීමක් නිළධාරීන්ගෙන් ලබන්නේ හෝ ඉල්ලා සිටින්නේ නැත. ඔහු දිගින් දිගටම ඔහු පිළිබඳව විශ්වසනීය ස්වරූපයක් ඇති කරවීමට උත්සාහ ගනී. එහෙත් එය විටක ඔහුම පලුදු කර ගනී. එහෙත් නිළධාරීන්ට ඔහු කෙතරම් වැදගත්ද යත් ඔහුට නිදහස් වීමට තිබූ අවස්ථා පවා ඔවුන් විසින්ම අහුරා දමයි.
විටෙක චිත්‍රපටිය අතරතුර ඔහු ගේ සටන්කාමී ස්භාවයක් මතු කරවයි. මෙය සමස්තය පිළිබඳව ලබාදෙන ඉඟියක් වැනිය. කෙසේ හෝ චිත්‍රපටියේ මුල් කාර්තුව පුරා ද දෙවන කාර්තුවේ අවසානය දක්වාමද ඉලක්ක ගත කරන්නේ බැංකුකරුගේ හිතුවක්කාරී, හැමෝම ගැන හිතන අපූරු එහෙත් සිර මැදිරියෙන් පිටත ජීවිතය වෙතටය.
චිත්‍රපටියේ අවසානයේ ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන්නේ අපූරු තැනකටය. බැංකුකරුගේ සැබෑව, එනම් ඔහුගේ සිර කුටියේ කතාව පවසන්නේ අවසාන ජවනිකා කිහිපයේ ය. එය චිත්‍රපටයේ සමස්තය කැටිකර දැක්වීමකි.
මිනිසුන් විටෙක කුරිරුය, ඔවුන්ම විටෙක ප්‍රේමණීය ය, විටෙක මානව හිතවාදීය, විටෙක ත්‍රස්තවාදීය, විටෙක අලසය, විටෙක ක්‍රියාශීලීය. එනම් මිනිසා අසීමිතය. එය පරිපූර්ණත්වයට ටිකක් මෙහා නැවතුනකි. කියන්නේ ඒ කතාවයි. එහි ගැඹුරයි.
The Shawshank Redemption චිත්‍රපටිය ලෝකයේ හොඳම චිත්‍රපටිය වීමට ඕනෑ තරම් සුදුසුකම් සපයා ඇත. ආලෝකකරණය, කැමරාකරණය, රංගනය යනාදී සියල්ලම සමග ප්‍රේක්ෂකයා මුසුකර අල්වා තබා ගැනීමට චිත්‍රපටිය සමත්ය. මෙය චිත්‍රපටිලෝලියෙකු නැරඹිය යුතුම චිත්‍රපටියකි. හොයාගෙන බලන්න.
තමා සමග ලිංගික සබඳතා පැවැත්වීමට උත්සහ ගන්නා කල්ලියකට බැංකුකරු මෙසේ කියයි.
“උන්ට කියන්ඩ මම සමලිංගිකයෙක් නෙවෙයි කියලා”
ඔහුට ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි.
“උනුත් සමලිංගිකයෝ නෙවෙයි!…”