ක්ෂිර ස්නානයේ රාම නවාමි සැමරුම

සටහන හා ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

හිරු රැස් කොළඹ අලුත් හෙට්ටිවීදියට එබිකම් කියන්නටත් ප්‍රථම එහි යන එන්නන්ගේ සවන් මත රාව දුන්නේ ඉමිහිරි භජන් ගී රාවයකි. අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුණු බාල තරුණ මහලු කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම රංචු රංචු විටින් විට ඒ බජන් ගී නාදය දෙසට ඇදුණෝය. මේ කොළඹ අලුත් හෙට්ටිවීදියේ සායි බාබා කෝවිලෙහි රාම් නවාමි උත්සව දිනය විය. එහි පැමිණෙන්නෝ පහළ මාලයේ වූ විශාල ශ්‍රීරධි සායි පිළිරුව අභියස තබා තිබූ කුඩා ශ්‍රීරධි සායි පිළිරුවත් රන් පැහැ සත්‍ය සායි පිළිරුවත් කුඩා රිදී සහ රන් පැහැ කිරි කලවලින් නැහැවූහ. බොහෝ දෙනා එහි ආවේ තවත් කිරි ද රැගෙනය. මේ බොහෝ දෙනා ඒ අසල වූ අනෙක් ශාලාව වෙත ගොස් සායි බාබාගේ ඡායාරුවක් ඉදිරියේ පහන් දල්වා ප්‍රාර්ථනා කළෝය. කිරි කළවලින් පිළිරූ නාවා ඒ ඉදිරියේ ශාලාවේ හිඳ බොහෝ වේලා ස්ත්‍රෝත්‍ර කිවූහ. පහළ මාලය ශ්‍රීරධි සායි බාබාටත් ඉහළ මාලය සත්‍ය සායි බාබාටත් වෙන් කළ ස්ථාන බව එහි වූ එක් එක් විශාල පිළිම සාක්ෂි දැරුවේය. මේ විශේෂ දිනයේ සත්‍ය සායි බාබාගේ කුඩා පිළිරුවක් සහ ශ්‍රීරධි සායි බාබාගේ කුඩා පිළිරුවක් පහළ මාලයේ එක් තැනෙකට පැමිණ තිබුණේ මේ විශේෂ පූජා වෙනුවෙන්ම විය.
“රාම දෙවියන්ගේ උපන්දිනය රාම නවාමි උත්සවය ලෙස සැලකෙනවා. ඒ නිසා මේ දිනයේ දී හින්දු කෝවිල්වලත් මෙම උත්සවය පැවැත්වෙනවා. ඒවායේ රාමාගේ පිළිම කිරිවලින් නැහැවීම සිදු වෙනවා. සායි බාබා කෝවිල්වලත් එම දිනයේ ශිර්ධි සායි බාබා හා සත්‍ය සායි බාබාගේ පිළිම කිරිවලින් නැහැවීම සිදු කරනවා. ශිර්ධි සායි බාබා ඉපදුණු ඉන්දියාවේ ශිර්දිවලත් සත්‍ය සායි බාබා ඉපදුණු පුත්තපාර්තිවලත් මෙම රාම නවාමි උත්සවය වාර්ෂිකව අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. මේ වසරේ එම උත්සවය යෙදී තිබෙන්නේ මාර්තු 25වන දාටයි. ඒ නිසා විශේෂයෙන්ම ඉන්දියාවේත් අනෙක් සමහර රටවලත් අද දිනයේ මේ උත්සවය ඉතාම ඉහළින් සමරනවා. මෙහි සායි බාබාවරු දෙදෙනෙකුගේ ප්‍රතිමා තිබෙනවා. එයින් ශිර්ධි සායි බාබා කියන්නේ සත්‍ය සායි බාබාගේ ඉහත ආත්මය කියලායි විශ්වාස කරන්නේ. ශිර්ධි සායි බාබා උත්පත්තිය ලබන්නේ 1838 දීයි. එතුමා 1918 දී සමාධි වුණා, ඒ කියන්නේ මිය ගියා. ඉන් වසර 8කට පසු එනම් 1926 දී සත්‍ය සායි බාබා උත්පත්තිය ලබනවා. පසුව 2011 දී සත්‍ය සායි බාබා සමාධි වුණා. නැවත වසර 11කට පසු තවත් සායි බාබා කෙනෙකුගේ උත්පත්තියක් තිබෙන බවට විශ්වාස කරනවා.” අලුත් හෙට්ටිවීදියේ පිහිටි ශ්‍රී සත්‍ය සායි බාබා මධ්‍යස්ථානයේ සභාපති වන උදයනායගන් මහතා මෙම රාම නවාමි උත්සවය පිළිබද එලෙස පැහැදිලි කළේය. උත්සවය දිනට පෙර සිට දින හතක් රාම පිළිබඳ කතා කියවමින් පූජා පැවැත්වීම ද මේ හා සමගාමීව සිදු වන කටයුත්තකි.

ටිකෙන් ටික හිමිදිරිය වියැකී යද්දී සායි කෝවිල වෙත පැමිණෙන බැතිමතුන්ගේ තද බදය ද කෙමෙන් වැඩි වී තිබුණි. ඔවුන් විවිධ ආගම් ජාතීන් නියෝජනය කළ අය වූහ. උත්සවයේ ප්‍රධානම අංගයක් වූ පිළිම කිරිවලින් නැහැවීම වෙනුවෙන් සැදුණු පෝළිමක් ද ඒ වන විට නිර්මාණය ව තිබුණි. තවත් බොහෝ දෙනා ශාලාවේ හිඳ ස්තෝත්‍ර මුමුණති, විශාල පිළිම වෙත යමින් වන්දනා මාන කරති.
“මුලින්ම මේ සායි බාබා මධ්‍යස්ථානය තිබුණේ කොළඹ බාබර් විදියේයි. පසුව යුද කලබල එක්ක ස්ථානය වෙනස් වුණා. පසුව මෙතැනට ගෙන ආවා. නව ගොඩනැගිලි ඉදිවුණා. වත්මන් ජනාධිපතිවරයා මෙම නව ගොඩනැගිලි විවෘත කිරීම් සඳහා පැමිණියා. මුල් කාලයේ මෙහි තිබුණේ සායි බාබා පිංතූර විතරයි. පසු කාලයේ ඉන්දියාවේ සිට මේ පිළිරූ ගෙන ඒම සිදු වුණා. ළමා කාලයේ සිට මම සායි මධ්‍යස්ථානයට පැමිණෙනවා. ඒ කාලයේ මෙහි පන්ති සඳහා සහභාගී වුණා. පසු කාලීනව මෙහි කමිටු සාමාජිකයෙකු බවට පත් වුණා. අද රාම නවාමි දවසයි. මේ දිනය ශිර්ධි බාබාගේ බැතිමතුන්ටත් ඉතාම වැදගත් දිනයක්. මේ උත්සවය ලෝකයේ සෑම රටකම පාහේ සමරනවා. විශේෂයෙන් එය ඉන්දියාවේ ශිර්ධිවල එම උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සමරනවා. එම උත්සවය ලංකාවේත් බොහෝ ආගමික ස්ථානවල ඉහළින් සමරනවා. එය දීර්ඝ කාලයක සිට මෙම සායි මධ්‍යස්ථානයේත් පැවැත්වෙනවා. උදෑසන සිට දහවල් දොළහ පමණ වන තෙක් ශිර්ධි සායි බාබාගේ සහ සත්‍ය සායි බාබාගේ පිළිරූ කිරිවලින් නැහැවීම සිදු කරනවා. ඉන් පසු භජන් පූජා පැවැත්වීම සිදුවෙනවා. බාබා ප්‍රසාදම් ලෙස දිවා ආහාරය ලබා දීමෙන් මෙම උත්සවය අවසන් කරනවා.” ඒ එහි මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන ආර්. කෞෂිගන් මහතාය.
දහවල් දොළහ පමණ වන විට එම භූමිය අතුරු සිදුරු නොමැතිව බැතිමතුන්ගෙන් පූර්ණ ව තිබුණි. ඒ වන විට පිළිම කිරි දියරෙන් නැහැවීමට බැතිමතුන්ට ලබා දී තිබූ කාලය ද නිමා වෙමින් තිබුණි. රත් පැහැ වස්ත්‍රයෙන් සැරසුණු පූජකයින් කිහිප දෙනෙකු ඉතිරි පූජා කටයුතු මෙහෙයවීමට සැරසී සිටියහ. ශාලාවේ ඉදිරි කොටසේ පිළිම ඉදිරි පිට භජන් ගී ගායනයට සැරසුණු පිරිස හිඳ ගත්හ. සර්පිනා, තබ්ලා, තාලම් ආදී වාද්‍ය භාණ්ඩ ද ඒ අතර විය. විවිධ වයස් කාණ්ඩ නියෝජනය කළ මෙම කණ්ඩායමේ භජන් ගී රාවය සමග ශාලාවේ බිම හිඳ සිටි අන් සියල්ලෝ ද තාල ඇල්ලූහ. මේ නාදයන් සමග පූජක පිරිස තම කටයුතු ආරම්භ කළහ. ඔවුහු නැවතත් කුඩා පිළිරූ ද්විත්වය රන් හා රිදී බඳුන්වල පිරවූ කිරි දියරෙන් නැහැවූහ. ඉන් පසු ජලයෙන් ද පළතුරු මිශ්‍ර ආහාරවලින් ද පැණි, දොඩම් යුෂ, ජලය ආදී ලෙස වාර ගණනාවක් මේ පිළිම නැහැවීම සිදුවිය. බොහෝ වේලාවක් එම පූජා කටයුතු සිදු කළ පසු රැගෙන ආ ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් එම පිළිම සරසා ඔටුනු පළන්දා මල් මාලාවලින් සැරසූහ. අවසානයේ ඒවාට ආහාර පිළිගන්වා පූජාව අවසන් කළෝය.
ඒ අතර පායාස නමින් හඳුන්වන සව් මිශ්‍ර ප්‍රනීත කැඳ බැතිමතුන් වෙනුවෙන් පිළියෙල වී තිබුණේ ප්‍රතිමා දෝවනය කරන ලද කිරි ද යොදා ගනිමිනි. පායාස පානයෙන් අනතුරුව බැතිමතුන් බිම එලූ පැදුරු මත හිඳ දානය වැළඳූහ. සායි කෝවිලේ රාම නමාමි උත්සවය එලෙස නිමාව සනිටහන් කළේය.
“මම බෞද්ධ කෙනෙක්. ඒත් පොඩි කාලයේ ඉඳලා අපි සායි බාබා වෙනුවෙන් පුද පූජා කළා. පස්සේ කාලයේ මට මේ ස්ථානයේ පූජකයෙකු ලෙස සම්බන්ධවෙලා කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මෙතැන සේවය කරන කිසිම කෙනෙක් මුදල් බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතැනින් සිදුවන්නේ සේවයක්. මේ හරහා ගොඩාක් සමාජ සුබසාධන වැඩ සිදු වෙනවා. ඒ සියල්ල නොමිලයේ සිදුවෙනවා. ඉරිදා දිනවල ළමයින්ට නොමිලයේ පන්ති පැවැත්වෙනවා. මාසයකට වරක් මහරගම අපේක්ෂා රෝහල ආදී තැන්වල රෝගීන්ට ආහාර ලබා දෙනවා. වෛද්‍ය සායන පැවැත්වෙනවා. එවැනි කටයුතු රාශියක් මෙතැනින් සිදුවෙනවා. බොහෝ දෙනාගේ අධාර උපකාර මත ඒ දේවල් සිදුවෙනවා. මෙතැන සේවය කරන සියලුදෙනා ඉතාම සතුටින් තමන්ගේ ශ්‍රමය ධනය මේ වෙනුවෙන් කැප කරනවා. දැන් ලංකාවේ විවිධ ප්‍රදේශවල සායි බාබා කෝවිල් තියෙනවා. මෑතක දී යාපනය පේදුරුතුඩුවේත් සායි බාබා කෝවිලක් විවෘත වුණා. විවිධ ආගම් අදහන අය මෙහි එනවා. සමහර අය උදේ රාජකාරිවලට යන ගමන් පුරුද්දක් විධියට ඇවිත් යනවා.” එම සායි බාබා කෝවිලෙහි පූජකයෙකු ලෙස සේවය කරන විමලනාත් එලෙස පවසන්නේය.
බාලවිකාශ් අරනෙරි පාඨසාලෙයි ලෙස ඉරිදා දිනයන්හි එහි පැවැත්වෙන පාසලේ ළමයි 65ක් පමණ අධ්‍යාපනය ලබති. එක ශ්‍රේණියේ සිට දහය ශේණිය දක්වා පැවැත්වෙන එම පන්තිවල පාසල් විෂය නිර්දේශයේ අඩංගු විෂයන් මෙන්ම හින්දු, කතෝලික, බෞද්ධ, ඉස්ලාම් ආදී ආගම් සියල්ල පිළිබඳ ද මූලික දැනුමක් ලබා දීම සිදුවේ. එහි ගුරුතුමියක් පැවසූයේ මෙවන් කතාවකි. “සියලුම ආගම්වල ඉගැන්වීම් සත්‍ය බවත් ඒ සියලුම ආගම්වලින් කියැවෙන්නේ ආදරය කරුණාව වැනි යහපත් දේ බවත් ළමයින්ට තේරුම් කර දෙනවා. දරුවන්ගේ හිත් කුඩා කාලයේ සිට යහපත් දේට යොමු කළ යුතුයි. සෑම ආගමක්ම අදහන අය සමග එක්ව සිටිය යුතු බව ඒ අයට ඉගැන්විය යුතුයි. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ආදී සෑම ආගමකටම අයත් විශේෂ උත්සව මේ දරුවන් සමග අපි මෙහි සමරනවා. භික්ෂූන් ගෙන්වා ධර්ම දේශනාත් පවත්වනවා. කුමන ආගමක් ඇදහුවත් එම ආගමට අනුව යහපත් ලෙස ජීවත් වන ලෙස සායි බාබාතුමන්ලාගේ ඉගැන්වීමයි. තමන් දෙවියෙකු නොවන බැවින් තමන්ට වන්දනා නොකරන ලෙසත් කැමති ආගමක් අදහන ලෙසත් තමන් ගුරු කෙනෙකු පමණක් බවත් සායි බාබාගේ ඉගැන්වීමයි.” අධ්‍යාපනය සඳහා පැමිණෙන දරුවන්ට තේ සහ දිවා ආහාරය එහි නොමිලයේ සපයනු ලබයි. සෑම ආගමකම සංකේත සහිත විශාල දැව මුවා ආසනයක් ද එම ශාලාවේ එක් කොණක තබා තිබුණි. සියලුම ආගම් සඳහා එහි ඉඩක් වෙන් වී තිබුණි. එහි ශ්‍රිරධි සායි බාබා වැඩ සිටින බවට ද ඔවුහු විශ්වාස කරති.