පිට්ටනියට ගිය කළ

ජගත් ප්‍රේමචන්ද්‍ර

මේ ගෙවී යන්නේ බිග් මැච් වසන්තයයි. කොළඹ කැළැඹූ බිග් මැච් උණ මේ වන විට ගම ආක්‍රමණය කරමින් සිටී. මේ උණුසුම ශ්‍රී ලාංකිකයන්ට ම ආවේණික වූවක් බැවින් අම්බලන්ගොඩ ප්‍රදේශවාසීන් ද එහි වෙනසක් නොමැතිව විඳීමට සූදානම් ව සිටී.
එහෙත් මේ වන විට අම්බලන්ගොඩ ක්‍රීඩකයන්ට, ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සිදුව තිබෙන්නේ අම්බලන්ගොඩ තරග උද්යෝගය ද කර පින්නාගෙන මොරටු පුරයට පිවිසීමට ය.
ඒ මීට වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කඩා බිඳ දමා ඇති අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය පිළිසකර කිරීමට කිසිදු බලධාරියෙක් කටයුතු නොකිරීම හේතුවෙනි. මීට පෙර අවස්ථා ගණනාවක දී ම මේ බැව් මාධ්‍ය මගින් වරින් වර පෙන්වා දී තිබුණ ද කෙන්ද දුටු බලධාරීන් කන්ද දුටුවේ නැත.
අප නැවතත් මේ ක්‍රීඩාංගණයට සිදුවූ වින්නැහිය ගැන සටහන් තබන්නේ බලධාරීන්ගේ ක්‍රියාවන් කෙරෙහි විරෝධය දක්වනු වස් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ අසාධාරණය ගැන රට හමුවේ තැබීමට ය. අප ඊට ප්‍රථම අම්බලන්ගොඩ ක්‍රීඩා වපසරිය ගැන සැකෙවින් දැනුවත් වෙමු.
අම්බලන්ගොඩ නගරය ක්‍රීඩාවන්ගෙන් කප් ගැසීමට පටන් ගන්නේ පිහිනුම් ක්‍රීඩාවෙනි. එහි පරතෙරට ම ගිය ක්‍රීඩකයෝ වෙති. බැඞ්මින්ටන්, මලල ක්‍රීඩාව සහ මේසපන්දු ක්‍රීඩාවෙන් ද එසේ ය. ඒත් මේ කතාව ක්‍රිකට් ගැන බැවින් එහි දක්ෂතා දැක් වූවෝ ගැන සටහන් නොතබමු.
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අජිත් ද සිල්වා කොළඹ පැමිණ ක්‍රිකට් ගසන්නට පන්නරය ලබන්නේ අම්බලන්ගොඩිනි. ඒ පළමු වැනියා වෙමිනි. ඔහු ආරම්භ කළ ගමන මේ වනවිට උපුල් තරංග සේ ම දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත්වෙමින් ගෙන ගොස් තිබේ. ඊට අමතර ව එක්දින කණ්ඩායම නියෝජනය කළ සමන් ජයන්ත ද මේ වෙද්දී ක්‍රිකට් පිටියේ පෙරළිකාරයන් වී සිටින සම්මු අශාන් සහ නිපුන් රංසික ද අම්බලන්ගොඩ නිෂ්පාදනයන් ය.
මොවුන්ට අමතර ව අම්බලන්ගොඩ නම දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියට ගෙන ගිය ක්‍රීඩකයෝ බොහෝ දෙනෙකි. ක්‍රිකට් පාලකයෝ, ක්‍රිකට් විනිසුරුවන්, ක්‍රිකට් තරග තීරකයෝ සහ තවත් නොයෙකුත් අංශයන් හි හිනි පෙත්තට පැමිණි බොහෝ දෙනෙකි. මේ සියලු දෙනා ක්‍රිකට් මුල් පොත කියවන්නේ අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී ය.
අද දවසේ වූව ද ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය ආක්‍රමණය කිරීමට බලා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අම්බලන්ගොඩ දක්ෂයන් අතර සිටී. එහෙත් ඔවුන් මේ වෙද්දී මුහුණ දෙන ප්‍රමුඛත ම ප්‍රශ්නය වී ඇත්තේ පුහුණුවීම් හෝ කිරීමට ක්‍රීඩාංගණයක් නොමැති වීම ය. මේ විනාශය කළෝ කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොකළ නගර සභා පාලකයෝ බැව්ය චෝදනාව.
අද ඔවුන් ගලේ පැහැරූ බළලුන් සේ ය. ආරංචිය අනුව නම් මේ ක්‍රීඩාංගණයේ නවීකරණය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇස්තමේන්තු කළ මුදල රුපියල් ලක්ෂ 100කි. ඒ තණ තීරු තුනක් ද ඇතුලත්ව ය. එහෙත් පාලනයේ නිරත ප්‍රධාන නිලධාරීයෙක්ගේ ඇල්මැරුණ ක්‍රියා කලාපයන් හේතුවෙන් මේ දේ හි ප්‍රමාදයක් පවතින බවයි පැවැසෙනුයේ.
ක්‍රීඩාංගණය කඩා බිඳ දැමීමේ කටයුතු ද සිදු වූ අයුරු ද මෙහි සටහන් නොතැබීම අඩුවකි. ක්‍රීඩාංගණය නවීකරණය වීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් වෙන් කෙරෙන මුදල රුපියල් ලක්ෂ 103කි. එම මුදල ලැබූ විගසින් නගර සභා නිලධාරීන් සිදු කරනුයේ තිබෙන මුදලින් ක්‍රීඩාංගණය කඩා බිඳ දැමීම ය. අදටත් පවතිනුයේ එකී මුදලින් සිදු කරනු ලැබූ විනාශය ම පමණි.
මේ විනාශයේ තරම කෙතෙක් ද යත් පසුගිය නගර සභා මැතිවරණයේ දී හිටපු නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමේ ප්‍රධාන පොරොන්දුවක් වී තිබුණේ බලයට පත් ව මාස දෙකක් ඇතුලත ක්‍රීඩාංගණය නවීකරණය කර ප්‍රදේශයේ ක්‍රීඩකයන් වෙත බාර දෙන බවකි.
දැන් පත් ව ඇත්තේ ඔවුන් ය. වර්තමාන සභාපති තනතුර හිමි ව ඇත්තේ ද හිටපු නගරාධිපතිවරයා වෙත ම ය. ඔහු කෙරෙහි අම්බලන්ගොඩ නගරවාසී සියල්ලන්ගේ ම බලාපොරොත්තුවේ දෑස් යොමුව තිබේ. ඒ මේ විනාශ කෙරුණු ක්‍රීඩාංගණය යළි යථා තත්ත්වයට පත් වෙනු ඇතැයි යන බලාපොරොත්තුවයි.
“මේ ක්‍රීඩාංගණය විනාශ වීම පිටුපසින් අපේ පාසල් ක්‍රීඩාවන් ද විනාශ වෙමින් පවතිනවා. ඊට මේ අත්තනෝමතික ක්‍රියාව සිදු කළ බලධාරීන් වග කිව යුතුයි. අපිට අද අම්බලන්ගොඩ නගරයේ ප්‍රධානතම සැණකෙළිය වන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මොරටුව නගරයට ගෙනියන්න වෙලා තිබෙන්නේ මේ ක්‍රීඩාංගණය විනාශ කිරීම හේතුවෙන්. මේ තත්ත්වය ගැන තවත් ඉවසා සිටීමෙන් ඵලක් නැහැ. අප වර්තමාන නගර සභා පාලකයන් කෙරෙහි විශ්වාසයෙන් පසුවෙනවා. ඔවුන්ගේ පොරොන්දුව ඒ ආකාරයෙන් ම ඉටු කරාවි කියා. අපි ඒ වෙනුවෙන් මාස 4ක කාලයක් ඉඩ දෙනවා. එසේ නොවුණොත් අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් හතරේ සිටින දස දහසකට වැඩි ළමුන්ගේ ගෙවල්වලින් එක තණකොළ ගහ බැගින් හෝ ගෙනැවිත් මේ ක්‍රීඩාංගණයේ පැළ කරන බව අදාළ බලධාරීන්ගේ දැන ගැනීමට පවසනවා…’ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද සහ ධර්මාශෝක විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති හමුවේ දී ධර්මාශෝක විද්‍යාලයීය විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා පැවැසුවේ ය.
මෙහිදී අදහස් දැක් වූ විද්‍යාල දෙකේ නායකයන් වන සචිඳු උද්දීපන සහ නිමේෂ් මෙන්ඩිස් ද පැවැසුවේ ක්‍රීඩාංගණය නොමැති වීමෙන් ඔවුන් පසුගිය කාලයේ මුහුණ දුන් අපහසුතා සම්බන්ධයෙනි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ද අඩු ම තරමින් පුහුණු කිරීම් කිරීමට හෝ සුදුසු තත්ත්වයට ක්‍රීඩාංගණය පිළිසකර කර දෙන ලෙසයි.
සැබැවින් ම එය ද ඔවුන් ට මේ වෙද්දි ප්‍රමාණවත් ව තිබේ. ඒ ඔවුහූ පුහුණුවීම් සඳහා වෙනත් ප්‍රදේශවල ක්‍රීඩාංගණ භාවිත කිරීමේ දී වන අමතර වියදම් හේතුවෙනි. අනෙක් අතට මේ ක්‍රීඩාංගණයේ තත්ත්වය සැලකිල්ලට ගත් ඇතැම් ක්‍රීඩාංගණ බලධාරීන් කබල රත්වෙන විට තමන්ගේ රොටිය ද රත්කර ගන්නා න්‍යායේ නිරත වෙමින් ක්‍රීඩාංගණ තරග ගාස්තු ද වැඩි කරමින් ඔවුන්ට බරක් දුණි. මුදලේ අගය ම බැලුවා මිස පිටියේ අවශ්‍යතාවන් වෙනුවෙන් හුණු කූරක් හෝ ලබා නොදෙමිනි.
කෙසේ වෙතත් මේ හේතුව නිසා අම්බලන්ගොඩ ක්‍රීඩකයන්ට ක්‍රිකට් තරග සමයක් සඳහා වෙන් කරන මුදලේ විශාල වැඩි වීමක් සිදුව තිබීම ද හිසරදයකි.
අම්බලන්ගොඩ පුරවරය යනු මෙරට ක්‍රිකට් පිටියට බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ දායාද කළ නගරයකි. එපමණක් නොව මලල ක්‍රීඩකයෝ ද අනෙකුත් ක්‍රීඩාවල ප්‍රමුඛයෝ ද එදා සේ ම අද දවසේ දී ද රටට දායාද කරති. එහෙත් ලැබෙන හෝ ලැබූ පහසුකමක් නැත. මේ ක්‍රීඩාංගණය පෙර පැවැතියේ ද ප්‍රාථමික තත්ත්වයේ ය. අද ඊටත් හපන් ය.
මෙහි වෙනසක් සිදු වෙනුයේ කවදා ද?