රාවය

මනිලාල් නිදොස් වෙයිද?

මනිලාල් නිදොස් වෙයිද?

ඒ.වික්‍රමසූරිය

ක්‍රීඩා ඇමතිවරයා පාපන්දු ක්‍රීඩාව වෙනුවට පාපන්දු සංගමය බේරා ගැනීමේ අරගලයක නියැලී ඇති බවපෙනේ. ඔහුට අනුව පාපන්දු සංම්මේලනයේ බලධාරීන්ට හොඳ සැලසුම් ඇත. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් නොමැතිය. මේ නිසා මුදල් පවා සොයා දීමට ඇමතිගේ අභිප්‍රායය.

ඇමතිවරයා සංගම් තෝරාගෙන ඒවාට වැඩි ඇඟෑලුම්කම් පෑම ක්‍රීඩාවේ පැවැත්මට නොව විනාශයට හේතුවක් බව කිව යුතුය. පාපන්දු යනු ක්‍රිකට්වලට වඩා මුදල් ගලා ආ තැනකි. අදටද එය එසේමය. පාපන්දු ක්‍රීඩාවට එදා සිට සිදුවූයේ මුදල් අහේනිය නොව සැලසුම් නැතිකමය. ඇමති අද ඒ දෙක පටලවා ගෙන ඇති සැටිය.
එහෙත් කිව යුත්තේ ඇමති පටලවා ගත් එකම දේද මෙය නොවන බවය. හිටපු සභාපතිගේ පිහිටෙන් පුටුවේ හිඳගත් වත්මන් සභාපති අනුර සිල්වා මුලින්ම කළේ තමන් නැගි ඉණිමගට පයින් ගැසීමය. එනම් හිටපු සභාපතිව එළවීමය. මේ එළවීම පිටුපස සිටී යෝධ හෙවනැල්ල මනිලාල් ප්‍රනාන්දු බව අපි මුල සිටම කියුවෙමු.

මනිලාල් මහතාට අනුර දුටු සැණින් තම වැඬේට කියාපු බඩුව අනුර බව වැටහුණි හිටපු සභාපති රංජිත් රුද්‍රිගු සිතාගෙන සිටියේ අනුර තමන්ගේ මිනිසකු බවය. සියලු හිතලු ඉවත අනුර කළේ මනිලාල් සමග එක්ව රංජිත් එළවන්නට ක්‍රියාකිරීමය. මෙහිදි ක්‍රීඩා ඇමතිවරයාද සිට ගත්තේ අනුරගේ පැත්තේය. ක්‍රීඩා ඇමතිවරයා පැති නොගත යුතු වුවද ඔහු කරන්නේම එයය.
මෙහිදී කිව යුත්තේ රංජිත් සිටිනවාද අනුර සිටිනවාද නොව ක්‍රීඩාවට යහපතක් වනවාද යන්නය. අනුරට උවමනා වූයේ ඔහුගේ පැවැත්ම හදා ගැනීමය. රැකියාවක් නොමැති ඔහු ජීවනෝපායක් හරි කර ගැනීමය. එයට පාපන්දු පුටුව පිහිට බව ඔහු දැක්කේය. කලක් රංජිත්ගෙන් යැපුණු ඔහු පසුව මනිලාල්ගෙන් යැපුණේය. මනිලාල්ට අනුර ලවා කරගත හැකි බොහෝ දේ ඇති බැවින් ඔහු රංජිත්ට වඩා වැඩි වටිනාකමකින් අනුර වැළඳ ගත් බව සැබෑය. ඒ ඇයි? අප කල්පනා කළ යුත්තේ එයය. අද එක්ස්කෝ කමිටුවේ වැඩිපුර සිටින්නේ මනිලාල්ගේ අයය. මේ අය අනුර පාපන්දුවට මෙලෝ මළදානයක් නොකරන බව නොදන්නේද? එසේ නම් දැන දැන නිහඬව ඉන්නේ ඇයි? ස්වෙච්ඡාවෙන් ආ තනතුරට එක් ලක්ෂ පනස් දාහක මාසික දීමනාවක් (වැටුපක්) ලබා දෙන්නට කටයුතු කළේ ඇයි? අනුර ගොනාට අන්දවා තමාගේ ගැලවුම හදා ගන්නටය. එනම් තමාට එරෙහිව ඇති ගැටලු නිරාකරණයට කර ගන්නටය.

මනිලාල්ට විරුද්ධව එෆ්.සී. අයි.ඩී එකේ පවා විමර්ශන සිදු කැරිණි. ඒ විගණන වාර්තා පදනම් කරගෙනය. එය රංජිත් සභාපති සමයේ වූ දෑය. විගණකාධිපති වාර්තාවක් පසු බිම්කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෙත එකල පැමිණිල්ලක් යනුයේ පාපන්දු සංගමයේ බරපතළ වංචා සිදු වී ඇති බැවින් ඒ ගැන වහාම පරීක්‍ෂණයක් කරන ලෙසය. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කරනුයේ ඒ බව එවකට පාපන්දු සංගමයේ සභාපති ලේකම් වෙත දැනුම් දීමය. ඔවුන් එහිදී කියා ඇත්තේ ඒ ගැන විධිමත් පරීක්‍ෂණයක් කරන ලෙසය. මේ රංජිත් රුද්‍රිගුගේ කාලයයි. මේ පරීක්‍ෂණ ඔහුගේ මෙහෙය වීම යටතේ වූ බව මනිලාල්ගේ විශ්වාසයයි. එය එසේ වූවා යැයි සිතමු. එසේ නම් ඔහු එළවා දැමීමට අනුරට මනිලාල් උදව් කිරීම සාධාරණය. දැන් මේ එකට එක කිරීමේ අරමුණ රංජිත් යවා අතපිහදා ගැනීමද? දැන් අනුරගේ ඩියුටිය අහවරද? අපගේ අදහස තවමත් නැත යන්නය. අනුර ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය තවම ගෙවා නැති බවය. දැන් එසේ නම් ඊළඟ ඉලක්කය කුමක් විය හැකිද?
දැනට විය හැකි නරකම දේ නම් රංජිත්ගේ කාලයේ හිතාමතාම මනිලාල්ගෙන් පළි ගැනීමට මේ චෝදනා ඉදිරිපත් කර ඇති බැවින් මහා සභාවක යෝජනාවක් ලෙස ගෙනවිත් පෞද්ගලික පළිගැනීමේ ගිණුමකට දමා එය නිශේධනය කර තමන් සුදනතු වීමට උත්සාහ කළ හැතිය. ඊට අනුර පාලනය මරුය. එෆ්.සී.අයි.ඩී පරීක්‍ෂණ පවා බාලගිරි දෝෂයට හසු වී ඇත. එබැවින් කමිටුව හරහා හෝ නිවැරදි වීම ලොකු ජයග්‍රහණයක් විය හැකිය. ඒ දේවල් මෙවැනි පඹ සභාපතිලා ලවා කරගත හැකිය. මේ විය හැකි දෙයකි.
ඇමතිවරයා බොරු සැලසුම් ගැන උදම් ඇණුවට වත්මන් පාපන්දු නිලධාරීන්ට වුවමනා මනිලාල් බේරා ඔහුට ඕනෑ ලෙස ක්‍රියා කර ඊළඟ වාරයේ ඔහුගේ පුතා බලයට ගෙන ඒමටය. ඒ ඇරුණු කොට පාපන්දු බලධාරීන්ට ඇති සැලසුමක් නැත. එහෙත් ඇමති ලොකු කතා කියමින් සිටී. අපට ඒවාට හිනාවෙනු හැර වෙන කුමක් කළ හැකිද?