අත්දැකීමෙන් මිස ජයක් නැත.

ඕස්ටේ්‍රලියාව බලා යන හැත්තෑනවයක් වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වඩා හොඳ අත්දැකීම් ලබා එම වැදගත් බවත් පදක්කම් බලාපොරොත්තුව අවම බවත් ක්‍රීඩා ඇමතිවරයා මාධ්‍යයට පවසා තිබුණි. මේ ගෙවෙනුයේ ඇමතිවරයාගේ තුන්වන වසරය. කාලය දිගුවීමත් සමග ඇමතිවරයාට යථාර්ථය වැටහෙමින් ඇති බව පෙනේ. ඇමති ආ මුල් කළ ඔහු සිතුවේ ඔලිම්පික් පදක්කම් වුව දිනීම කජු කනවා වගේ කියාය. එහෙත් දැන් දැන් එය එලෙස නැති බව ඇමතිට වැටහී ඇත. ප්‍රශ්නය වන්නේ මෙවර නොව කාලයක පටන් අප අත්දැකීම් ලබන්නටම විදෙස් ගත වීමය. ජයග්‍රහණ දිනෙන් දින ඈත් වීමය. එය 2020 දී ඔලිම්පික් වලදීද අපට අත්විඳිය හැකිය. එසේනම් මේ අත්දැකීම් හී ප්‍රයෝජන ගන්නේ කවදාද?
ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර ශක්තිමත් බැඳිමක් අවැසි වන්නේය. මේ දෙක දෙපැත්තට යෑම එතරම් සුබදායක නොවේ. මාධ්‍යයවලට ඒවා ප්‍රවෘත්ති වුවද ක්‍රීඩාවට අසුබ ලකුණකි.
මේ නිසා මේ දෙක සුහදව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලින් පසු හෝ දීර්ඝ කාලීන සැලසුම් සකස් කළ යුතුවේ. එසේ නොවී ක්‍රීඩාවෙන් පදක්කම් ලැබේ යැයි සිතිය නොහැකිය. රට තුළ ඇති අරාජික ස්වරූපයට ක්‍රීඩාව තුළද පවතී. සංගම්හි කචල් කෙළවරක් නොපවතී. එහෙව් පසුඹිමක අපට රට ගොස් තරගවලට සහභාගී වනවා හැර කළ හැකි කිසිවක් නොපවතී. මෙය කාලයක පටන් හැදුණු ලෙඩකි. එය සුව කිරීමට දයාසිරි ඇමතිවරයා ළඟද බෙහෙත් නැති බව පැහැදිලිය.