මැයි දින කල් දැමීම

සමන් සී. ලියනගේ

මහ නාහිමිවරු කළ ඉල්ලීම පිළිගනිමින් මැයි සැමරුම කල්දැමීමට ආණ්ඩුව තීරණය කළබව නිවේදනය වුවද, ඊට විරෝධය පළ කරන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මැයි දිනය කල් දැමීම පිටුපස සැඟවුණු අරුතක් තිබෙන බවය. එමෙන්ම ආගමික කරුණකට මුවා වී මෙරට වැඩකරන ජනතාව තුළ ආණ්ඩුවට එරෙහිව නැගෙමින් ඇති විරෝධය අනියම් ලෙස මැඩලන්නට යෙදු උපක්‍රමයක් බවය.
පහත පළවනුයේ ඒ පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහසය.

අපි මැයි දිනය සමරනවා
ඩී.මලවිසූරිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ආහාර,බීම, දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය
මැයි දිනය ලෝකයේ වැඩකරන ජනතාව තුළ සාමුහිකත්වය පිළිබඳව යම් හැඟීමක් ඇති කෙරෙන දිනයක්. ආණ්ඩුව අපේ රටේ වැඩකරන ජනතාවට ඒ අවස්ථාව අහිමි කරන්නයි සූදානම් වෙන්නේ. මහානායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීමට මුවාවෙලා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න උත්සාහ කරනවා. මේක ද්‍රෝහී ක්‍රියාවක්. මේක තමයි ධනේශ්වරයේ ක්‍රමය. අවාසනාවකට පන්ති හැඟීම නැති සමිති නායකයෝත් මේකට ආවඩනවා. අපි සූදානම් මැයි පළමුවැනිදාට ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්න. අපි දැනට ඒ ගැන වෘත්තීය සමිති සාකච්ඡාවක් ආරම්භ කරලයි තියෙන්නේ.

අපි එකහෙළාම විරුද්ධයි
ඊ.ඩබ්.යූ. ආර්. දිවාකර – සභාපති
රක්ෂණ සේවක සංගමය
හැමදාම වැඩකරන ජනතාවට විරුද්ධ ආණ්ඩු වැඩ කළේ ඔහොමයි. ඒත් එදා වෘත්තීය සමිතිවලට පුළුවන් වුණා ආණ්ඩුවල කම්කරු විරෝධී ක්‍රියාමාර්ගවලට විරුද්ධවන්න. තහනම් බිඳගෙන ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්න. මෙදාපාර ආගමික කරුණකට මුවාවෙලා රටේ වැඩකරන ජනතාවට එරෙහිව ගෙන තිබෙන මේ ක්‍රියාමාර්ගය පරාජය කරන්න අපි සියලු දෙනාම එක්විය යුතුයි.

අපි පස්සට යන්නේ නෑ
කේසර කෝට්ටේගොඩ – නියෝජ්‍ය ලේකම් ලංකා බැංකු සේවක සංගමය
ජේ.ආර්. චන්ද්‍රිකා මැයි දින තහනම් කළ අවස්ථාවල කම්කරු පන්තියට පුළුවන් වුණා පෙලිස් බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් කාගෙන ඒ තහනම බිඳින්න. ලාංකීය කම්කරු ව්‍යාපාරයේ අනන්‍යතාව සහතික කරන්න. ඇයි රනිල්, මෛත්‍රී ආණ්ඩුවේ මේ ද්‍රෝහි ක්‍රියාව අපිට පරාජය කරන්න බැරි. කිසිසේත්ම අපි කිසියම් ආගමකට අපහාස කරනවා නොවෙයි. වෙසක් පොහෝ දිනය තියෙන්නේ මැයි පළමුවැනිදාට දින දෙකකට පෙර. මේ හදන්නේ ආගමට මුවා වී වැඩකරන ජනයා මඩින්නයි.

ආණ්ඩුව තව කණේපාරක් කනවා
මයුර සේනානායක ප්‍රධාන ලේකම් ලංකා ප්‍රගති ගුරු සංගමය
මහින්ද රාජපක්‍ෂ, ආණ්ඩුවට හොඳ කණේපාරක් දුන්නා. දැන් ආණ්ඩුවේ කනේ අගුල් වැටිලා. මැයි දිනය පස්සට දැමීමෙන් ආණ්ඩුවට තවත් කනේ පාරක් කනවා. ජාත්‍යන්තර සැමරුම් දිනයක් ආගමික සිද්ධීන් මත පස්සට දැමීම රට අපකීර්තියට පත් කිරීමක්. මේක යහපාලනය කිව්වට මටනම් එහෙම පේන්නේ නෑ. දැන් කරන වැඩ රටම දන්නවා. මේ කරපු දේත් එහෙමයි. ආණ්ඩුවේ බැරිකං වහගන්නයි මේ හදන්නේ.

ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි
ලසන්ත කුමාර – උපසභාපති
ස්වාධීන තටාක සේවක සංගමය
රටක සංස්කෘතිමය වශයෙන් කරන ඉල්ලීමක් හෝ ගන්න තීන්දුවක් පිළිබඳව අපට ගැටලුවක් නෑ. හැබැයි ඉතින් ජාත්‍යන්තර කම්කරු දිනය වැනි ජාත්‍යන්තරව පිළිගත් දිනයක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නකොට හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩ දිය යුතුයි. මේක රටට කැලලක්. ජාත්‍යන්තර සම්මුතිවලට එකඟවෙලා, අත්සන් තබලා ජාත්‍යන්තරයෙන් ආධාර, ණය ගන්න ගමන් මේවගේ එකඟතා කඩකරන එක ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි.

අලුත් ගැටලු හැදීමක්
සමන් රත්නප්‍රිය – රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමය
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනත් දිනයකට දාපු එක ගැන අපි කොහෙත්ම එකඟ නෑ. මෙතනදී සංකේතවත් වෙන්නේ වැඩකරන ජනතා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන නොසැලකිල්ල. වෙසක් උත්සවය අපේ රටටත්, තවත් රටවල් කිහිපයකටත් බලපාන ආගමානුකූල දිනයක්. අපි ඒකට ගරු කරනවා. කම්කරු දිනය හැම ගෙදරකම හැම තැනම සැමරෙන්නේ නැහැ. ඒක රටේ පළාත් හෝ දිස්ත්‍රික් කිහිපයක පැවැත්වෙනවා.
මේ තීරණවලින් ආණ්ඩුව අලුත් ගැටලු හඳුනාගන්නවා කියලයි මට හිතෙන්නේ අදාළ පාර්ශ්ව සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලයි මෙවැනි තීන්දුවකට ආ යුත්තේ. ආණ්ඩුව එහෙම කළේ නැහැ.

අපි විරුද්ධ නෑ
එස්.රාමනාදන් – ප්‍රධාන ලේකම්
ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානයපොදුවේ බෞද්ධ ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීන්දුව ගන්න ඇති. මීට පෙරත් මෙහෙම තීන්දු ගත් අවස්ථා තියෙනවා. හැබැයි ඒ වෙන වෙන හේතු නිසා. ඒවගේම වෘත්තීය සමිති ඒ තහනම නොතකා මැයි දින සැමරූ අවස්ථාත් තියෙනවා. අපි මේ තීන්දුවට විරුද්ධ නෑ. මොකද බෞද්ධ ජනතාවට බලපාන ප්‍රශ්නයක් නිසා.

වරදක් නෑ
ඩී.ඩබ්. සුබසිංහ – ප්‍රධාන ලේකම්
ලංකා වෘත්තීය සමිති සම්මේලනය
අපේ රටේ මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ දේ සිද්ධවෙලා තියෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනත් දිනයක සැමරීමේ වරදක් මට පෙන්නේ නෑ. මේක තහනමක් නොවෙයිනේ. තහනමක් නම් ඒක කඩාගෙන වැඩකළ හැකියි. ඉතිහාසයේ එහෙම කළා. ඒවගේම ඒවට ආණ්ඩුව පොලිසිය, හමුදාව යොදවාගෙන ප්‍රතිචාර දැක්වූවා. දැන් මේ සමහර කම්කරු සමිති කලබලවෙලා තියෙනවා. මේක මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමකට අනුව ගනිපු තීන්දුවක්.

සෑම ක්ෂේත්‍රයක්ම අවදානමේ
චතුර සමරසිංහ – සම කැඳවුම්කරු
ස්වාධීන වෘත්තීය සමිති සන්ධානය
ලෝකයම එක්ව එක දිනයක සැමරිය යුතු දිනයක්. වෙනත් දිනයක් ඊට යොදා ගැනීම තේරුමක් නැති දෙයක්. ජාත්‍යන්තර කම්කරු දිනයේ නියම අර්ථය නොදන්නාකම නිසා හා හිතාමතාම කම්කරු දිනය මකා දැමීමට ගන්නා උත්සාහයක් ආණ්ඩුවට එරෙහිව, ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තින්ට විරුද්ධව නැගෙන වැඩ කරන ජනතා හඬ යටපත් කරන්න උත්සාහ නොගත යුතුයි. අද හැම රැකියා ක්ෂේත්‍රයක්ම අවදානමේ.

අපිත් කම්පෝ වගේ වැඩ
සිල්වෙස්ටර් ජයකොඩි – ප්‍රධාන ලේකම්
ලංකා වෙළෙඳ කර්මාන්ත හා පොදු කම්කරු සංගමය
1971 අප්‍රේල් කැරැල්ල වෙලාවේ සිරිමාගේ ආණ්ඩුව මේ වැඬේ කළා. අපේ හිටපු නායක බාලා කම්පෝ සහෝදරයා ප්‍රමුඛ සී.එම්.යූ ඒ තහනම් බිඳගෙන ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුවා.
මේ ආණ්ඩුවට වැඩකරන ජනතාවට මුහුණ දෙන්න බෑ. වැඩවර්ජනවලට, ශිෂ්‍ය පෙළපාළිවලට ගැහුවා කම්කරු අනපනත් අනතුරේ. මෙහෙම තත්ත්වයක් තුළ ඔය ප්‍රධාන පෙළේ පක්ෂවලට මැයි දිනය සමරන්න බෑ. ඒක සමරන්න පුළුවන් ස්වාධීන සංගම්වලට ඒ ගොල්ලෝ බැරියර් දානවා. අපි මේ උත්සාහයට ඉඩදෙන්නේ නෑ.

දුර්වලකම වසාගැනීමක්
නාත් අමරසිංහ – ප්‍රධාන ලේකම්
ලංකා වතුසේවා සංගමය
වැඩකරන පන්තියේ ශ්‍රේෂ්ඨ දිනය වෙනස් කරන්න රජය ගෙන තිබෙන තීරණය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ජාත්‍යන්තර දිනයක් කොහොමද රටක් විසින් වෙනස් කරන්න. තවත් පැත්තකින් හොඳටම පේන දෙයක් තමයි මෙයින් ආණ්ඩුව උත්සාහ කරනවා රටේ වැඩ කරන පන්තිය වෙනුවෙන් වූ ආණ්ඩුවේ වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටු නොකිරීම නිසා ඇතිවී තිබෙන තත්ත්වය වසා ගැනීමට. ඊට එරෙහිව නියත වශයෙන්ම මැයි පළමුවැනිදා නැගෙන කම්කරු හඬ වැලැක්වීම මේ මැයි දින තහනමේ සැඟවුණු අර්ථයක්.

ආගම පාවිච්චි කරලා
ටී.එම්.ආර්. රෂීඩීන්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලංකා කම්කරු සම්මේලනය
අද වැඩකරන ජනතාව දැනුවත්. එය වෙනත් දිහාවකට හරවන්නයි ආණ්ඩුව මේ හදන්නේ. අපේ රටේ එවැනි දේකට වඩාත් සුදුසු ආයුධය තමයි. “ආගම” මේ භාවිත කරලා තියෙන්නේ ඒක. අපි හැම ආගමකටම ගරු කරනවා. හැම ජාතියකටම ගරු කරනවා. ඒත් වෙසක් පොහෝ දින යෙදෙන්නේ මැයි පළමුවැනිදා නොවෙයි. ඒ නිසා සුපුරුදු පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්න පුළුවන්.