දොඩං ‘මහ සිකුරාදා’ ලියූ මිනිසා

විමලනාත් වීරරත්න

දොඩං සමුගත්තේ නොමැකෙන සැමරුම් රැසක් සහෘදයන් තුළ ඉතිරි කරමිනි. ඔහු සැබෑ අරුතින්ම පත්තරකාරයෙකි. අනෙක් අතට හෙතෙම තනිකර පත්තරකාරයෙකුද නොවුණේය. වර්තමාන පත්තරකාරයන්ට නැති සාහිත්‍යකරුවකු වීමේ මහා ලාභය ඔහුට තිබුණි. නිර්මාණශීලී ලේඛකයෙකු පත්තරකාරයකු බවට පත්වීමේ මහා ලාභය දැනෙන්නේ ලියන විට නොව ඔහු ලියන දේවල් පාඨක ප්‍රජාව විසින් කියවන විටය. දොඩං ලියූ දේවල් කියවන විට ඔහු තුළ පත්තරකාරයෙකුට වැඩි මිනිසෙක් සිටිනු පාඨකයන්ට දැනුණේය.
ඔහු ජාතිකවාදී පත්තර ගුලාවක ගිලී ගිය පත්තරකාරයකු ලෙස ඇතැමෙකුට පෙනී යා හැකිය. එය සපුරා ඇත්තක් නොවේ. ඔහු ව්‍යාවෘත සාහිත්‍ය ලෝකය පිරික්සීමේදී දොඩං ප්‍රගතිශීලී පත්තර ලේඛකයකු හා අන්තර් වාර්ගික පැවැත්මෙහි ශික්ෂිත මිනිසකු බව පෙනී ගියේය.
‘දැල බිඳුම’ දොඩං ලියූ සාර නවකතාවකි. ඉහත කී ශික්ෂිත මිනිසා දැල බිඳුමෙහි සිටියේය. දිවි පුවතේ පරිවර්තන රැසකට මුහුණ දෙන මිනිසකුට ශික්ෂාව රැකීම අසීරු වැඩකි. එහෙත් දොඩං සේ ම දොඩං නිමැවූ චරිතයෝ ඒ අසීරු මාවතේ නොසැලුණෝය.
තමා වැඩ කරන පුවත්පතෙහි කටයුතු සිදුවන ආකාරය ගැන රසවත් ලිපියක් තම පුවත්පතටම ලිවීමට සෑම ලේඛකයකුටම අවකාශය නොසැලසෙයි. බොහෝවිට පුවත්පතේ සංවත්සරයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවකදී එම වරම ලැබෙන්නේ විශේෂාංග සංස්කාරකවරයාටය. දොඩං දිවයින ඉරිදා සංග්‍රහයේ කීර්තිමත් විශේෂාංග කර්තෘවරයෙකි. දිවයිනේ එබඳු වැදගත් අවස්ථාවකදී සති අන්ත පුවත්පතේ කටයුතු සිදුවන ආකාරය, විවිධාකාරයෙන් ඊට උපකාර වන සගයන්ගේ මැදිහත්වීම යනාදිය ප්‍රාසාංගික ස්වරූපයෙන් ලිවීම දොඩංට භාර විය. පිටුවක් පුරා ඔහු ලියූ සටහන සමකාලීන පත්තර සගයන්ට අද පවා මතක නැතිවන්නට විදියක් නැත.
එහි මාතෘකාව ‘මහ සිකුරාදා’ යන්නය. දිවයිනේ අවසන් පිටු සකස් කරන්නේ සිකුරාදාටය. ඔහු ලියූ එම සටහන පුවත්පතේ සතිඅන්ත කටයුතු සිදුවන ආකාරය ගැන ලියවුණු හොඳම සටහනකි.
චන්ද්‍රසිරි දොඩංගොඩ නම් වූ පත්තර භූමිකාවේ වීර්යවන්ත භූමිකාවකට ප්‍රවිෂ්ටව සිටි මිනිසා යළි අපට හමුනොවන බව නම් සහතිකය. එහෙත් දොඩං යනු අප නිබඳ ලුහුබැඳිය යුතු මිනිසකු බව නම් පැහැදිලිය.
දොඩං ඔබට සුබ ගමන්!