සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ඔබේ මතය කුමක්ද?

වින්ද්‍යා ගමගේ / දිනී ජයසේකර

රට තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය අරාජක තත්ත්වයකය. රටේ සියලු ප්‍රධාන නායකයින් එකට එකතුවී රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් සඳහා වැඩසටහනකට එකඟවී එය ක්‍රියාවට නැඟීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගත යුතු යැයි අපි සිතමු. දැන් පවතින අර්බුදය ජයගත හැක්කේ එවැනි පියවරකිනි. ඒ ගැන ඔබ දරන අදහස කුමක්ද?
රටේ විද්වත් කොටස් නියෝජනය පරිදි නියෝජිත නියැදියකින් අප එම ප්‍රශ්නය විමසුවෙමු. පහත පළවනුයේ ඊට ඔවුන් ලබාදුන් පිළිතුරුය.

සර්වපාක්ෂික විය යුත්තේ අවබෝධයෙනුයි
නීතිඥ ජනක එදිරිසිංහ

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කලින් අපි සර්ව පාක්ෂික කියන පදනමට එකතු වෙන හැම කණ්ඩායමක්ම මොකද්ද රටේ මූලික ගැටලුව සහ සර්වපාක්ෂික විය යුතු රටේ මූලික අවශ්‍යතාව මොකද්ද කියන එක ගැනත් අවබෝධයක් ලබන්න ඕනෑ.
දැන් මට තියෙන ප්‍රශ්නෙ සර්වපාක්ෂික එකඟතාවකට යන්න ඉස්සරවෙලා මේ කණ්ඩායම් අතර නිවැරදි හඳුනාගැනීමක් තියෙනවාද? ප්‍රමුඛතාවක් අනුව මෙන්න මේකයි අනිවාර්යයෙන්ම කළයුත්තේ කියන එක ගැන ඔවුන්ට අදහසක් තියනවද? මම දැනට දකින් නැහැ එහෙම නිශ්චිත හඳුනාගැනීමක් තියෙනවා කියලා. පදනමක් නැති පරාසයක් තුළ අපි කොහොමද සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්නේ.
රට අරාජිකයි කියන කොට අරාජිකත්වය කියන එකටත් විවිධ තේරුම් තියෙනවා. එකක් දේශපාලන අරාජිකත්වය. දෙවනුවත්, තෙවනුවත් සමාජ අරාජිකත්වය සහ ආර්ථික වශයෙන් අරාජිකත්වයට පත්වීම. එතකොට අරාජිකවීමේදී මේ නොයෙකුත් එක එක දිශාවන්ට දිවෙන ප්‍රශ්න තියෙනවා. දැන් දේශපාලන නායකත්වය ස්ථිර වුණත් මිනිසුන්ට බලපාන රටේ ආර්ථික ව්‍යුහය පරිපාලනය කරගන්න ඒ දේශපාලන අධිකාරියට බැරිනම් එතනදි මිනිස්සු තේරුම් ගන්නවා පාලකයෝ හිටියට රට අරාජිකයි කියලා. ඒකට විසඳුම් දෙන්න පාලකයන්ට ශක්තියක් නැහැ කියලා. එතකොටත් මිනිස්සු කියන්නේ රට අරාජිකයි කියලා. ඒ නිසා රට අරාජිකයි කියන්න ඉස්සරවෙලා අරාජික වුණේ කොතනින්ද කියන එක තේරුම් බේරුම් කරගන්න ඕනෑ. බහුවාර්ගික, බහු පක්ෂ තියෙන බහු ආගම් තියෙන රටකට සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රමයක් තමයි ඉතාම වැදගත්. එහෙත් එතනට එන්න ඉස්සර සර්වපාක්ෂික ක්‍රමය අවශ්‍ය වන්නේ කුමන ජාතික ව්‍යවසනයට මුහුණ දීම සඳහාද කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි.
වර්ෂ 1937 ලංකාවෙ පළමු අයවැය දේශනය කරනවා ඩී.බී. ජයතිලක මහත්මයා විසින්. එදා ඒ මහත්මයා කියනවා “මේ සභාවේ මන්ත්‍රීවරුන්ට මම අධ්‍යාපනයේ ඇති වැදගත්කම කියා තිබෙනවා. ඒත් ඔවුන් කිසිවිටකත් ඒවා ගැන උනන්දු වුණේ නැහැ. රටකට විය හැකි ව්‍යසන අතරින් භයානකම හා ලොකුම ව්‍යසනය වන්නේ හරිහමන් විදිහේ අධ්‍යාපනයක් නැති මිනිසුන් අතට ඡන්ද බලය ලබාදීමෙන් ඇතිවන රාජ්‍ය පරිපාලනයේ ව්‍යසනයයි” කියලා.. දැන් අපේ රටේ සාක්ෂරතාව අතින් ගත්තාම ඉතා ඉහළයි. එහෙත් 1937 කීවේ අධ්‍යාපනය ගැන. අධ්‍යාපනය නැති මිනිසුන් අතට ඡන්ද බලය යෑමෙන් වැරදි තීරණ ගන්නවා කියන හේතුව නිසයි එදා එතුමා එහෙම කීවේ. ඒකෙන් රටක් විනාස වෙන්න පුළුවන් කියන එකයි එතුමා අදහස් කළේ. හැබැයි කිසිවිටකත් 1937 ඉඳලා මේ වන තෙක් අධ්‍යාපනය ලබාදෙන්න ක්‍රමයක් හැදුවෙ නැහැ ලංකාවේ. මං එහෙම කියන්න හේතුව වෙන්නේ අපි ලංකාවේ ද්විතීයික අධ්‍යාපනයේදී අධ්‍යාපනය නෙවේ වර්ධනය කරලා තියෙන්නේ. ඉගෙනීම. ඉගෙනීම සහ අධ්‍යාපනය අතරෙ වෙනස කවදාවත් තේරුම් නොගැනීමේ භයානක ප්‍රතිඵලයක් තමා අපි මේ 2018 වර්ෂයේදී අත් විඳින්නේ. ඒ නිසයි ටකරංවලටයි, වැසිකිළි පෝචිචිවලටයි, බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි ඡන්දෙ දෙන්නේ.
ඇයි අපි සර්වපාක්ෂික ක්‍රමයක් කැඳවන්නේ? මොකද්ද අපේ දැක්ම? යන මේ කරුණු කිහිපය ගැන අපි මුලින් තීරණය කර සිටිය යුතුයි සහ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අපිට පොදු ප්‍රශ්නයක් තිබිය යුතුයි. ඇයි අපි සර්වපාක්ෂික ක්‍රමේකට යන්නේ කියලා ඒ ගැන, කතා කරන අය දන්නවාද? අපි සර්වපාක්ෂික වෙන්න ඕනේ රටේ මූලික ප්‍රශ්න හඳුනාගෙන, ඒවා පිළිබඳ පක්ෂ අතර එකඟතාවක් හදාගත්තට පසුවයි.
අපේ රටේ ප්‍රධාන පක්ෂ කීපයක් තියෙනවා. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනික එක්සත් ජාතික පක්ෂය. තෙවනුව ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. මේ සියල්ල ප්‍රධාන පක්ෂයන්නේ. ඒත් අපිට තියෙන ප්‍රශ්න කතා කරපු එක දේශපාලන පක්ෂයක් ඉන්නවාද? නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි එන්න එන්න ආර්ථික කිඳාබැස්මකට යනවා කියන එක. ඇයි අපි එහෙම ආර්ථික කිඳාබැස්මකට යනවා කියලා කියන්නේ. ඊයේ අපේ සල්ලිවලින් රුපියල් 150ක් දීලා ගත්ත ඩොලර් එක අද වෙනකොට රුපියල් 158ක් දීලා ගන්න ඕනෑවෙලා තියෙනවා. එතනදි අපිට විදේශ විනිමය නැති ප්‍රශ්නයක්නෙ තියෙන්නේ. ඔත්තේ සංඛ්‍යාවලට අගයක් නැතිවීම. ඒකට මොකද්ද විසඳුම කියලා කියන්න එකම දේශපාලන පක්ෂයකටවත් සැලැස්මක් තියෙනවද?
අපි මුලින්ම සර්වපාක්ෂික ක්‍රමවේදය ගේන්න කලින් බලන්න ඕනෑ මේ ක්‍රමවේදය මොකටද ගේන්නේ කියලා. නැතුව මේ ක්‍රමවේදය ගේන්නේ වර්තමාන ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේනගේ පොදුජන පෙරමුණේ අර්බුදයට නම්, වර්තමාන ජනාධිපති මෛතීපාල සිරිසේන, පොදුජන පෙරමුණ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ අර්බුදයට නම් මේ දෙක තුනම මැද්දේ නැග එන ජාතිවාදය කියන කාරණයට නම් ඒ කියන්නේ ඒ ඒ සිද්ධි දාමයක් මිසක සිද්ධිවල පසුබිමේ තියෙන හේතුව හොයාගෙන නැහැ. එතනදි තවම හේතුව හොයාගෙන නැත්නම් මේ සර්වපාක්ෂික ක්‍රමයත් නිකන් පුහුචින්තනයක් විතරයි. ඒ නිසා සර්වපාක්ෂික ක්‍රමයක් අත්‍යවශ්‍යයි. ඊට වැඩිය අත්‍යවශ්‍ය සැබෑ ප්‍රශ්නය මොකද්ද, ජාතික ප්‍රශ්නය මොකද්ද කියලා තේරුම් ගත්ත සර්වපාක්ෂික ක්‍රමවේදයක්.

පිළිතුර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවේ
දියකඩුවේ සෝමානන්ද හිමි

මට හිතෙනවා ලංකාව අද මුහුණ දී සිටින අරාජිකත්වය මත සර්වපාක්ෂික ආණ්ඩුවකින්ම පමණයි අපිට විසඳුමක් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේ. මොකද ඵෙතිහාසික අර්ථයෙන් නූතන දේශපාලනඥයාගේ භූමිකාව අවසන් වෙලා තිබෙනවා. සාර්වපාක්ෂික ආණ්ඩුවක් පත්වූ පමණින්ම සියල්ල නිමාවට පත්වෙන්නේ නැහැ. ඒඒ විෂයන්වල ප්‍රමාණිකයන් හරහා, ඒ ගොල්ලෝ කරන කටයුතු අධීක්ෂණය කරගැනීමේ නෛතික රාමුවක් බලගතු ලෙස දෙවන පාර්ශ්වයක් විසින් කරගත යුතුවෙනවා. උදාහරණයක් හැටියට ගතහොත් අධිකරණ පද්ධතියේ ගරා වැටීම සර්වපාක්ෂික ආණ්ඩුව යටතේ බුද්ධිමත් කණ්ඩායමක් විසින් අධීක්ෂණය කළ යුතු වෙනවා. රට පාලනය කරන්නත් කරන කටයුතු තවදුරටත් ඒ විදිහට වෙන්න නම් ඒ වගකීම් බුද්ධිමතුන් තුළ තිබෙන තාක්කල් පාලනය කරන්නන්ට හැකිවෙනවා. නිවැරදි මාර්ගයකට ළං වෙන්න. මෙතනදී එන ප්‍රතිතර්කයක් හැටියට මට පෙනෙනවා, මේ තරම් දූෂිත පාලකයෝ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගුවම එකට එකතුවෙලා හොරකම් කරයිද? කියන එක. ඒත් සර්වපාක්ෂිකව කල්පනා කළ තැන්වල ඉතාම පිරිසිදු මිනිස්සු නොවෙයි දේවල් කල්පනාවට ගන්නේ. උදාහරණයක් ගත්තොත් දකුණු අප්‍රිකාව වගේ රටක එකට එකතුවුණේ විශාල පරිහාණියකට ගිය මිනිස්සුයි. එහෙත් ඔවුන් හොඳ අධීක්ෂණයකින්, සැළකිය යුතු මට්ටමේ වෙනසක් ඇති කරගන්න සමත් වුණා. අපිත් ඒ විදිහට එක මේසයක ඉඳිමින් කල්පනා කරන අතරතුර ඒ ඒ විෂයන් අධීක්ෂණයට බුද්ධිමත් පිරිස් පත්කරගන්නට හැකි වුණොත් ඒ කරන දේ නෛතිකව තහවුරු කරගන්න හැකි වුණොත් එය රටට සුබදායක වේවි.

වඳුරන්ට ඉනිමට බැඳිය යුතු නෑ
කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

වර්තමානයේ පවතින අර්බුදය මම දකින්නේ කෘත්‍රීම අර්බුදයක් ලෙසයි. මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ බලවේග විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් තමයි වර්තමානයේ මතුවෙලා තිබෙන්නේ. දේශපාලන අස්ථාවරභාවය ගැන කථා කළොත්, දැනට ආණ්ඩුවක් නැති වෙලා නැහැ, මේ වන විටත් ආණ්ඩුවක් තිබෙනවා. විධායක බලතල සහිත ජනාධිපති ධුරයකුත් තිබෙනවා. ඒ නිසා විපක්ෂය විසින් නිර්මාණය කරන ලද කෘත්‍රීම අර්බුදයක් තමයි අද ජාතික අර්බුදයක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. ඒක මේ ආණ්ඩුවේ දුර්වලතාවක්. මේ ඒකාබද්ධය කියන්නේ විපක්ෂයේ සුළුතර කණ්ඩායමක්. සුළුතර කණ්ඩායමක් විසින් නිර්මිත කෘත්‍රීම අර්බුදයක් ජාතික අර්බුදයක් බවට පත්වුණේ මේ ආණ්ඩුවේ තිබෙන දුර්වලතාවය නිසා.
විශේෂයෙන්ම ජනාධිපති හා අගමැති අතර ගැටුම නිසා සම්මුතිවාදී ආණ්ඩුවක එහෙම ගැටුමක් තිබුණත් ඒවා එළිදරව් වෙන්න බැහැ. මේ වර්තමාන ආණ්ඩුවේ සිටින නායකයින්, දෙවන පෙළ, තුන්වන පෙළ සිටින නායකයින්ට සාමුහික වගකීම පිළිබඳ සම්ප්‍රදායවත් අවබෝධකර ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා මී හරකයි, එළ හරකයි වගේ තමයි මේ සම්මුතිවාදී ආණ්ඩුව දෙපැත්තට අදිනවා. එළහරකා ගොඩට අදිනවා. මී හරකා මඩට අදිනවා. මෙවැනි දුර්වල සම්මුතිවාදී ආණ්ඩුවක් පැවතීම තමයි පෙර කියූ අර්බුදය, කෘත්‍රීම වශයෙන් මතු කළ අර්බුදය, ජාතික අර්බුදයක් බවට පරිවර්තනය වුණේ. ඒ නිසා මම හිතන්නේ නැහැ මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයයි කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙවෙත් 2015 ජනවාරි පළවා හැරි බලවේගයත් මේ ආණ්ඩුවට ඇතුළත් කර ගැනීමට වෙනවා. ඒක ඒ ගොල්ලන්ට පාලමක් වෙනවා මිළඟට බලය අත්පත් කර ගැනීම සඳහා වඳුරන්ට ඉනිමං බැන්ඳා වාගේ වැඩක්. ඒ නිසා මගේ අදහස මේ තිබෙන ආණ්ඩුව, දෙපාර්ශ්වය අතර තිබෙන ගැටුම නිරාකරණය කරගනිමින් ඉදිරි මාස 18ත් මේ ආණ්ඩුව මේ විදිහටම ක්‍රියාත්මක වුණොත් තමයි අපිට ඊළඟ මැතිවරණයේදී වත් පරාජිත බලවේගය නැවත බලයට පත් නොවීමට අවශ්‍ය කරන දේශපාලන පසුබිම නිර්මාණය කරගැනීමට පුළුවන් වෙන්නේ. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ අදහස රාජපක්‍ෂවාදය තහවුරු කිරීමට ගෙනෙන අදහසක් විදිහටයි මම දකින්නේ.

මගේ යෝජනාව සුළු පක්ෂවලින්ස ර්වපාක්ෂික අගමැතිවරයෙක්
මහාචාර්ය ලියනගේ අමරකීර්ති

සර්වපාක්ෂික ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක් හරි කියලා කියන දෙය මං හිතන්නේ ලංකාවේ එහෙම එකක් අවශ්‍ය වන තත්ත්වයක් දැනට නැති වුණත් ළඟදීම මතුවෙන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම අපේ රට යම්කිසි මූල්‍ය අර්බුදයකට පත්වෙලා, රටේ ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා මේ තිබෙන තත්ත්වයේ හැටියට. සර්වපාක්ෂික ආණ්ඩු හදන එක හොඳයි, එහෙත් ඒවයේ අරමුණ කුමක්ද කියන එකයි මුලින්ම වැදගත් වෙන්නේ. අපේ රටේ දැන් තිබෙන තත්ත්වය හැටියට ඒ වගේ සර්වපාක්ෂික ආණ්ඩු හැදෙන්නේ ඉතාම සටකපට, අවස්ථාවාදී දේශපාලන ගණන් බැලීම් අනුව උදා:- ලෙස බලය රැකගැනීමට, චෝදනාවලින් නිදහස්වීමට, හොරකම්, දූෂණ, වංචා තවදුරටත් කරගෙන යෑමට. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුව ඇති කරන්නේ මොන අරමුණින්ද කියන එක ඉතා වැදගත්.
දැනට දේශපාලන සමාජය එනම් දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුවේ සිටින සහ නොසිටින දේශපාලන කණ්ඩායම් ඇසුරෙන් එහෙම යෝජනාවක් ඇවිල්ලා නැහැ. එහෙම නම් ‘අර කලින් කියූ අවස්ථාවාදී දේශපාලන ගණන් බැලීම්වලින් තොරව සර්වපාක්ෂික ආණ්ඩුව කොයි වගේ කාලයකටද කියන එක ගැන, ව්‍යවස්ථාමය අනුබලයක් ඇති, ව්‍යවස්ථාවක් තරම්ම ප්‍රබල නීතිමය ලේඛනයක් යටතේ තමා එකතු වෙන්න අවශ්‍ය වෙන්නේ. නැතිනම් වෙන්නේ බලයක් තිබෙන කණ්ඩායම් අනෙක් කණ්ඩායම් සල්ලි දීලා ගන්න එක, අල්ලස් ගන්න එක, කොන්ත්‍රාත් ලබාදෙන පොරොන්දුව යටතේ ගන්න එක, ඊළඟ ඡන්දෙදි අපේ පක්ෂයේ නාමයෝජනා දෙන්නම් කියල ගන්න එක වගේ දේවල් තමා සිදුවන්නේ. එහෙම නොවන නීතිමය එකඟතාවකට එන තත්ත්වයකට යන්න වෙනවා. රටේ අනාගතය, ජනතාව යන කාරණා ගැන මීට වඩා ජාතික වගකීමකින් එකතු විය යුතුයි. එහෙත් අපේ රටේ තමන්ගේ පක්ෂය හා තමන්ගේ දේශපාලන අනාගතයට වඩා උඩින් රට තබන තත්ත්වයක් තවම ඇවිත් නැහැ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල බැලුවහම අපිට පෙනෙන්නේ මෙවැනි රට අංක එකට තබා එකතුවෙන දේශපාලන ව්‍යාපාරයක් ඇතිවෙන්න තිබෙන ඉඩ සෑහෙන අඩුයි කියන එකයි. ප්‍රධාන පක්ෂ දෙක අතර තිබෙන පසමිතුරුකම එන්න එන්න වැඩිවෙලා ඒ දෙක අතර ඝට්ටන වේගයෙන් වැඩිවෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඊළඟට සර්වපාක්ෂික ආණ්ඩුවක් වගේ එකතු වෙනවා නම් පාර්ලිමේන්තුවේ ඉන්න සුළුතර දේශපාලන පක්ෂ සහ දූෂණ, වංචා, මිනීමැරුම්, රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධව චෝදනා අඩු, ජනතාවට විශ්වාස කළ හැකි සුළු පක්ෂවලට තීරණාත්මක බලයක්, බලවත් ඇමතිකම් එහෙම දීම අවශ්‍යයි.
වඩාම හොඳ ක්‍රමය තමයි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි එනම් යූඑන්පී, ශ්‍රී ලංකා සහ මහින්ද කණ්ඩායම හා මෛත්‍රී කණ්ඩායම යන පක්ෂවල දැනට ඉන්න ප්‍රධාන නායකයො කිසි කෙනෙක් අගමැතිකම්, ජනාධිපතිකම් නොගෙන ඒ පක්ෂවල දෙවන පෙළ සහ සුළු පක්ෂවල සර්වපාක්ෂික අගමැතිවරයෙක් පත්කර ගැනීම වඩාත් හොඳයි. මේ අගමැති ධුරය සඳහා සිංහල අයෙක්ම අවශ්‍ය නැහැ. එහෙම වුණොත් මිනිසුන්ට වැටහෙනවා මේ එකතුවෙලා තිබෙන්නේ තමන්ගේ දේශපාලන ගණන් බැලීම්වලට නොවෙයි රට ඉදිරියට තැබීමටයි යන්න.
ඊළඟ අපේ රටේ තිබෙන ප්‍රශ්නය තමයි අපේ රටේ අගමැති, ජනපති තනතුරු වැනි බලවත් තනතුරු ලබාගත් අය පාර්ලිමේන්තුවෙන් තුලනයට හා සංවරණයට ලක් නොවන නිසා එය බරපතළ ගැටලුවක් වෙනවා. මොකද සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ විපක්ෂයේ විපක්ෂයක් නැතිව යන තත්ත්වයක්. එයත් සැලකිය යුතු භයානක තත්ත්වයක් කියලයි මම හිතන්නේ. කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ගැටලු තිබුණත් යම්කිසි ආකාරයේ විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මකවීම ඉතා හොඳ දෙයක්. සර්වපාක්ෂික ආණ්ඩුවකින් සිදුවෙන්නේ විපක්ෂය නමැති වැදගත් සංරචකය පාර්ලිමේන්තුවෙන් එළියට තල්ලුවීමයි. එවිට එළියේ ඉන්න කණ්ඩායම්වලට තමයි විපක්ෂයේ කාර්යභාරය කිරීමට සිදුවන්නේ.
ඊළඟ භයානකකම තමා සර්වපාක්ෂික ආණ්ඩුවක් තිබියදී රාජ්‍ය මර්දනකාරී තත්ත්වයකට පත්වුණොත් එය ඉතා දරුණු මර්දනීය රාජ්‍යයක් බවට පත්වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙය ඉතාම කල්පනාවෙන් කළයුතු දෙයක්. ඒ නිසා මගේ අදහස සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් දැනට සිටින සාමාන්‍යයෙන් අගමැති, ජනාධිපතිවීමට සිටින ප්‍රධාන චරිත අයින්වෙලා දෙවන පෙළ පිරිසක් ලෙස පාලනය කළ යුතුයි. නැතිනම් තිදෙනෙකුගෙන් හෝ කිහිපදෙනෙකුගෙන් යුතු අග්‍රාමාත්‍ය මණ්ඩලයක් වගේ පිරිසක් අතට තීරණාත්මක බලය එන සර්වපාක්ෂික ආණ්ඩුවක් උචිතයි.