රාවය

ජාතික විගණන පනත් කෙටුම්පත

ජාතික විගණන පනත් කෙටුම්පත

සරත් සී. මායාදුන්නේ
විශ්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.

බි්‍රතාන්‍යයන් අපගේ දේශය මුළුමනින් අත්පත් ගැනීමටත් වසර 16කට පෙර, එනම් 1799 ජනවාරි 24 වන දින පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විගණනයට අදාළව විධිවිධාන අපගේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට අද දක්වා සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකම සලසා ඇතත් ඊට අදාළ විශේෂ පනතක් මෙතෙක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික සැකිල්ලට අවශ්‍ය නිශ්චිත හා විස්තරාත්මක විධිවිධාන සලසා දීම සඳහා තිබිය යුතු පාර්ලිමේන්තු පණතක අවශ්‍යතාව දිගු කලක සිට පැවතිණ. ඒ අවශ්‍යතාව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කීර්තිමත් සභාපති වරයෙකු ලෙස දිගු කලක් සේවය කළ ගරු බර්නාඞ් සොයිසා මැතිතුමා දැඩිව අවධාරණය කර තිබිණ. ඒ පිළිබඳව තියුණු ලෙස අධ්‍යයනය කළ ඊට පසු රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙනුවෙන් තවත් කීර්තිමත් සභාපතිවරයෙකු වූ ඩබ්ලිව්. පී.බී. දිසානායක මැතිතුමා විසින් විගණන පනතක අවශ්‍යතාව යළි සනාථ කර එම විගණන පනතට ඇතුළත් විය යුතු ප්‍රධාන කරුණු අඩංගු විස්තරයක්ද 1985 වර්ෂයේදී පළමුවන පාර්ලිමේන්තුවේ 12 වන වාර්තාව තුළින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි. නැවතත් දිගු නිහඬතාවකට පසු 2003.12.30 දින ජාතික විගණන පනත් කෙටුම්පතක් එළි දක්වන ලදි. නීතිපති හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවල එකඟතාව මත 2005 වසර තුළදී අමාත්‍ය මණ්ඩලය එයට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දුන් නමුත් මුදල් අමාත්‍යාංශය ඇතුළු යම් යම් පාර්ශ්වවල මැදිහත්වීම නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. ඉන්පසු 2015 ජනපතිවරණයේ දින 100 වැඩසටහනේ ප්‍රධානම පොරොන්දුවක් ලෙස යළි මතුවූ මේ ජාතික විගණන පනත් කෙටුම්පත විවිධ හැලහැප්පීම්වලින් පසු 2018 මාර්තු 16 දින ගැසට් පත්‍රයේ පළකර ඇත.

ගැසට් පත්‍රයේ පූර්විකාවේ ‘විගණන සේවා කොමිසමේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහාද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහාද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පණත් කෙටුම්පතකි.’ යනුවෙන් පනත් කෙටුම්පතේ අරමුණ දක්වා ඇත. එම විධිවිධාන බලාත්මක වනු ඇත්තේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබ පනත් කෙටුම්පතෙහි 2 ඡේදයේ සඳහන් පරිදි ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළකරන ලද නියමයක් මගින් නියම කරන දිනයක සිටය. කෙසේ වුවද මෙම පනත පමාවන සෑම දිනයක් පාසාම විශාල හානියක් සිදුවේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153ආ (2) විධිවිධානය අනුව පාර්ලිමේන්තුව විසින් විගණන සේවා කොමිෂන් සභාවේ රැස්වීම් සඳහාද, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීම සඳහාද, ඒ හා සම්බන්ධ වූ හා අනුෂාංගික වූ වෙනත් කරුණු සඳහාද විධිවිධාන සලස්වන තුරු, විශේෂයෙන්ම විගණන සේවා කොමිෂන් සභාවේ රැස්වීම් පැවැත්වීමට හෝ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමට මෙම යෝජිත පනත බලාත්මක වන තුරු නොහැකිවන නිසාය. මෙම ලිපියෙන් අරමුණු කරනුයේ එම කෙටුම්පතේ ඇතුළත් කරුණු කිහිපයක් ගැන පාඨකයා දැනුවත් කිරීමය. එම කෙටුම්පත ගැන අවසන් තීරණ ගැනීම පාර්ලිමේන්තුවට අයත් නිසා ඒවා අවසන් විධිවිධාන නොවන බවද අප තේරුම්ගත යුතුව ඇත.

මෙම යෝජිත පනතට ඇතුළත් ප්‍රධාන කරුණු ශීර්ෂ 9ක් යටතේ දක්වා ඇත.

1. විගණකාධිපතිවරයා විසින් සිදු කරන විගණනවල විෂය පථය
මෙහි 3 වගන්තිය යටතේ විගණනවල විෂය පථය හඳුන්වාදීමට අමතරව 4 හා 5 වගන්ති යටතේ විගණකාධිපතිවරයාට මහජනතාවගෙන් ලැබෙන ලිබිත නියෝජන මත පරීක්‍ෂා කිරීමටද ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටද දේශීය හා ජාත්‍යන්තර විගණන ප්‍රමිති භාවිතයටද විධිවිධාන සලසා ඇත.

2. විගණකාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය
විගණනවලට අවශ්‍ය සාක්‍ෂි හා තොරතුරු ලබා ගැනීමටද, කැඳවීමටද, සහතික කරගැනීම් ලබා ගැනීමටද 154 (5) ව්‍යවස්ථාවේ දැක්වෙන බලතල සහ කර්තව්‍යවලට අමතරව රාජ්‍ය විගණනවලට අදාළ බාහිර පාර්ශ්ව වෙත ඇතැයි සැලකෙන සාක්‍ෂි හා තොරතුරු ලබා ගැනීමටද 6 සහ 7 වගන්ති යටතේ විධිවිධාන සලසා ඇත. රහස්‍යභාවයට අදාළ කරුණු පිළිබඳවද, 8 වගන්තිය යටතේ විගණකාධිපතිවරයා විසින්ම ඉටුකළ යුතු බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳවද එහි විශේෂ විධිවිධාන සලසා ඇත.

3. විගණකාධිපතිවරයා විසින් වාර්තා සහ ප්‍රකාශ ඉදිරිපත් කිරීම
පාර්ලිමේන්තුව වෙත විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළයුතු වාර්ෂික වාර්තා, ත්‍රෛවාර්ෂික වාර්තා, විශේෂ වාර්තා, සහ සම්පිණ්ඩන වාර්තා පිළිබඳවද පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තා ජාතික විගණන කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් නිකුත්කිරීම පිළිබඳවද 9-14 වගන්ති යටතේ විධිවිධාන සලසා ඇත. රජයේ ආයතන ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතු බවද, සඳහන් කර ඇති මූල්‍ය ප්‍රකාශ හා ගිණුම් විගණකාධිපතිවරයා වෙත දක්වා ඇති පරිදි ඉදිරිපත් කළයුතු බවද, ඒ අදාළ රජයේ ආයතන විගණන ගාස්තු ගෙවිය යුතු බවද 15-18 වගන්ති යටතේ වැඩිදුරටත් නියම කර ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, වෙනත් යම් නිශ්චිත ආයතන, කොමිෂන් සභා, සංස්ථා, රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් එහි කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරන සෑම සමාගමක් ආදී විවිධ ආයතන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළයුතු වාර්ෂික විසර්ජන ගිණුම්, ආදායම් ගිණුම් සහ අත්තිකාරම් ගිණුම්ද ඇතුළු මූල්‍ය ප්‍රකාශද වාර්ෂික කාර්ය සාධන වාර්තාද ආදිය පිළිබඳව මේ යටතේ විස්තරාත්මක විධිවිධාන සලසා ඇත.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉංග්‍රීසි අනුවාදයේ දැක්වුණු නමුත් සිංහල පිටපතේ ඇතුළත්ව නොතිබීම නිසා අර්බුදයක්ව මතුවුණු රාජ්‍ය සංස්ථාවක් විසින් එහි කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරන සෑම සමාගමක විගණනය විගණකාධිපතිවරයා වෙත පැවරීම සම්බන්ධයෙන් වූ අනියතතාවද ඉහත විධිවිධාන මගින් නිරවුල්ව තිබීමත් ඉහත සඳහන් බොහෝ ගිණුම් කටයුතු මෙතෙක්කල් කිසිදු පාර්ලිමේන්තු පනතකින් ආවරණය නොකර තිබීමේ දෝෂයත් මෙය තුළින් යම් ප්‍රමාණයකට විධිමත් කර තිබීම විශේෂ කොට අගය කළ යුතුව ඇත.

4. අධිභාර පැනවීම

පසුගිය කාලය තුළ බරපතළ අසාධාරණයක් ලෙසට විකෘති අර්ථකථනයන්ට ලක්වූ අධිභාර විෂය 19-23 වගන්ති යටතේ මූලික අරමුණට හානි නොවන ලෙස සංශෝධනය කර දක්වා ඇත. පවත්නා මුදල් රෙගුලාසි යටතේ නිලධාරීන්ට පමණක් අදාළ කර තිබූ අධිභාර කිරීම් ඇමතිවරයකුටද අදාළ වන ලෙසට ප්‍රසාරණය කර තිබීම මෙම යෝජිත පනත මගින්ද මෙතෙක් ආරක්‍ෂා වී ඇත. අවසාන අනුමැතිය දක්වාම එය කප්පාදු නොවිය යුතු බව පෙනේ.

යම් ගනුදෙනුවක් යම් ලිබිත නීතියකට පටහැනිව කර ඇති බවටත් එම ගනුදෙනුව මගින් ඊට සම්බන්ධ තැනැත්තන්ගේ වංචාවක්, නොසැලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතු කොට ගෙන යම් ඌනතාවක් හෝ පාඩුවක් සිදු වී ඇති බවටත් විශ්වාස කිරීමට විගණන සේවා කොමිෂන් සභාවට සාධාරණ හේතු පවතින අවස්ථාවකදී එම අදාළ වටිනාකම අධිභාර කිරීම සඳහා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙත මේ විධිවිධාන යටතේ වාර්තා කළ යුතුය. ඉන්පසු විනය බලධරයා විසින් ගනු ලබන විධිමත් විනය ක්‍රියාමාර්ගයකින් හෝ අධිකරණ ක්‍රියාවලියකින් හෝ අනතුරුව අදාළ යම් තැනැත්තෙකුගෙන් එක්ව හෝ වෙන් වෙන්ව හෝ අධිභාරය අයකරගැනීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට පැවරේ.
ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් අධිභාර ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ඊට අදාළ එක් එක් තැනැත්තන්ට නිසි ලෙස දැනුම් දී නියමිත කාලය තුළ නියෝජන ලැබීම් සලකා බලා අදාළ එක් එක් තැනැත්තන්ට අධිභාර සහතික නිකුත් කර අධිභාරය ගෙවිය යුතු දින සිට මාසයක් ඇතුළත අයකරගත යුතුය.

ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ අධිභාර තීරණයකින් අගතියට පත්වූවකුට අධිභාර සහතිකය ලැබුණු දින සිට එක් මාසයක් ඇතුළත එම තීරණයට එරෙහිව අධිභාර අභියාචන කමිටුව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සභාපතිවරයෙකු සහ තවත් සාමාජිකයන් 4 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් එම අධිභාර අභියාචන කමිටුවට පත් කළයුතු අතර එම කමිටුවට ජාතික විගණන කාර්යාලයේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ කිසිදු සාමාජිකයෙකු හෝ විගණකාධිපතිවරයා හෝ පත් නොකළයුතු බවද, එම කමිටුව විගණකාධිපතිවරයාගෙන් ස්වාධීනව කටයුතු කළයුතු බවද, අධිභාර අභියාචන කමිටුවට අභියාචනයට ඉඩදීම, නොදීම හෝ තීරණය සංශෝධනය කිරීම කළ හැකි බවද දැක් වේ.

කමිටුවේ තීරණයකින් සෑහීමකට පත් නොවන යම් තැනැත්තෙකුට එම අධිභාර දැනුම්දීම නිකුත් කළ දිනයේ සිට වැඩ කරන දින තිහක් ඇතුළත අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

අධිභාර හා උපචිත වූ පොලී මුදල් සියල්ල අවස්ථාවෝචිත පරිදි ඒකාබද්ධ අරමුදලට හෝ අදාළ පළාත් සභා පළාත් අරමුදලට හෝ අදාළ පළාත් පාලන ආයතන අරමුදලට හෝ බැර කළ යුතුව ඇත.

5. විගණන සේවා කොමිෂන් සභාව

විගණන සේවා කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳවද, සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍යයන් පිළිබඳවද, සභාවේ රැස්වීම් පිළිබඳවද 24-27 වගන්තිවල දක්වා ඇත. 28 වගන්තියෙහි දැක්වෙනුයේ කොමිෂන් සභාව විසින් බඳවා ගනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම කොමිෂන් සභාව සතු වියයුතු බවද, කොමිෂන් සභාවට සහ ජාතික විගණන කාර්යාලයට විගණන නොවන කාර්ය මණ්ඩලය පත් කෙරෙන බවද, කොමිෂන් සභාව විසින් බඳවාගනු ලබන්නන්ගේ වැටුප් සහ වෙනත් දීමනා සහ වෙනත් යම් ප්‍රතිලාභ, වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිසමේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව, කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු අතර එකී වැටුප් ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු බවද වේ.

6. ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනයට පෙර ජාතික විගණන කාර්යාලයක් සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයක් සඳහා නීතිමය විධිවිධාන නොවීය. කෙසේ වුවද එම කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය බලාත්මක වනුයේ යෝජිත පනත මගින්ය. මේ පිළිබඳ විධිවිධාන 29-37 වගන්ති යටතේ විස්තරාත්මකව දක්වා ඇත.

7. ප්‍රධාන ගණන්දීමේ නිලධාරියකුගේ සහ වගකීම

විධායකයේ ලේඛනයක් වන මුදල් රෙගුලාසි සංග්‍රහයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරි සහ ගණන්දීමේ නිලධාරි යන තනතුරු හඳුන්වා දී එහි මුරෙ 127 යටතේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරින්ගේද, මුරෙ 128 යටතේ ගණන්දීමේ නිලධාරින්ගේද වගකීම සඳහන් කර තිබුණද මේ දක්වා කිසිදු පාර්ලිමේන්තු පනතකින් එම වගකීම නීතිගත නොකර තිබීමේ දෝෂය නිවැරදි වී නොතිබිණ. 1985 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද පළමුවන පාර්ලිමේන්තුවේ 12 වන වාර්තාව මගින්ද, 2002 වර්ෂයේදී ලෝක බැංකුව දේශීය මූල්‍ය වගවීම් ඇගැයීම් වාර්තාව මගින්ද රාජ්‍ය මූල්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තු විධිවිධාන කිසිවක් නොතිබීමේ දෝෂය නිවැරදි වියයුතු බව අවධාරණය කර තිබිණ. මෙම යෝජිත පනතේ මෙම කොටස යටතේ යම් දුරකට හෝ පාර්ලිමේන්තු පනතකින් එම වගකීම නීතිගත කර තිබීම බෙහෙවින් අගය කළයුතුව ඇත.

38-41 වගන්ති යටතේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියකුගේ සහ ගණන්දීමේ නිලධාරියකුගේ වගකීම අනුඡේද ගණනාවකින් දක්වා ඇත. ඒ අනුව මූල්‍ය සැලසුම්කරණය, අභ්‍යන්තර පාලනය, පොත්පත් හා ගිණුම් නිසි පරිදි පවත්වාගෙන යාම, මූල්‍ය කළමනාකරණ තොරතුරු සැපයීමේ ක්‍රමවේදය සඵලදායී ලෙස සිදුවන බවට සහතික වීම, මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතිය සැකසීම, කාලීන සමාලෝචන, අවශ්‍ය සංශෝධන කිරීම, මූල්‍ය ප්‍රකාශ නිසි කලට සකසා ඉදිරිපත් කිරීම, විගණන විමසුම්වලට නිසි කලට පිළිතුරු සකසා ඉදිරිපත් කිරීම, අභ්‍යන්තර විගණනය නිසි පරිදි කරවීම, විගණකාධිපතිවරයාගේ අධිකාරය ලත් නිලධාරීන්ට අවශ්‍ය කාර්යාල ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදුවන බවට සහතික වීම සහ පැහැදිලිව පෙනෙන වංචාවක් හෝ යම් සාපරාධී ක්‍රියාවක් පිළිබඳව විගණකාධිපතිවරයා වෙතින් දැන්වීමක් ලැබුණ විට එම නීති විරෝධී හැසිරීම සම්බන්ධයෙන් හැකි විගස නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනයකට පැමිණිල්ලක් කළ යුතු වීම වැනි කරුණු ඊට ඇතුළත් කර ඇත.

විගණකාධිපතිවරයාගේ කළමනාකරණ විගණන වාර්තා සම්බන්ධයෙන් ගතයුතු පියවර, අභ්‍යන්තර විගණනය නිසි පරිදි කරවීම සම්බන්ධයෙන් ගතයුතු පියවර, විගණන හා කළමනාකරණ කමිටු සම්බන්ධයෙන් ගතයුතු පියවර ආදිය පිළිබඳව යෝජිත විධිවිධානද ඒ අතර වේ.

8. වැරදි සහ දණ්ඩන

විගණකාධිපතිවරයා හෝ ඔහුගේ අධිකාරය ලත් කවර හෝ තැනැත්තකු විසින් අදාළ පනත යටතේ කාර්ය හෝ කර්තව්‍ය ඉටු කිරීමට ඉල්ලා සිටිනු ලබන යම් අවශ්‍යතාවක් විගණිත ආයතනය සම්පූර්ණ කළ යුතු බවද, 42 (1) වගන්තියෙහි (අ)(ආ)(ඇ)(ඈ) පරිදි කටයුතු කරන සෑම තැනැත්තකුම වරදක් කරන අතර මහේස්ත්‍රාත්වරයකු විසින් ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමකදී රු: 100,000කට නොවැඩි දඩයකට හෝ මාස 06කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දෙකටම හෝ යටත් විය යුතුය.

43 වගන්තිය අනුව, කොමිෂන් සභාවේ හෝ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ආදියේ යම් නිලධාරියකුගේ තීරණයකට බලපෑම් කිරීම හෝ බලපෑම් කිරීමට තැත් කිරීම වරදක් වන අතර වරදකරු කරනු ලැබීමේදී රු: 100,000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු 03කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දෙකටම හෝ යටත් විය යුතුය.

9. සාමාන්‍ය

47-55 වගන්ති යටතේ, විගණන පුහුණු හා සංවර්ධන ක්‍රියා, කොමිෂන් සභාව විසින් රීති සැපයීම, විගණකාධිපතිවරයා විසින් මාර්ගෝපදේශ සැපයීම, නඩුවලින් ආරක්‍ෂාව, අන්තර්කාලීන විධිවිධාන, අර්ථ නිරූපණ ආදිය දක්වා ඇත.
කෙසේ වුවද මෙම යෝජිත පනත නිසි ඇගැයීමට හැකිවනුයේ විධිමත් අනුමැතිය ලැබෙන ආකාරය අනුවය. අර්ථවත් රාජ්‍ය විගණනයකට අවශ්‍ය ශක්තිය හා ස්වාධීනත්වය තහවුරු නොවුණහොත් එහි හානිය සමස්ත රාජ්‍ය සේවයට පමණක් නොව මුළු දේශයටම බලපානු ඇත.