නඩුවක්විසඳීමට ගත වන කාලය අවු : 17 යි නඩු විසඳීමේ පමාව නිසා ඇති වන සංස්කෘතිය

බැසිල් ප්‍රනාන්දු

නඩු විසඳීමේ පමාව පිළිබඳ ගැටලුව ලංකාවේ මුල් බැසගත් සමාජ ව්‍යාධියක් සේ පවතී. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා තීරණාත්මක පියවරක් විය හැකි පනත් කෙටුම්පතක් දැන් පාර්ලිමේනතුවේ සාකච්ඡාවට බඳුන්ව ඇත. එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථා විරෝධී කිසියම් අංගයක් ඇත් ද යන්න ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දී විවාදයට භාජනය වෙමින් පවතී. මෙම පනත් කෙටුම්පතින් ඉදිරිපත් කර ඇති මූලික යෝජනාව එනම්, ලංකාවේ මහාධිකරණවල නඩු ඇසීම, නඩුව පටන් ගත් දිනයේ සිට අවසානය දක්වා නොකඩවා එදිනෙදා නඩු ඇසිය යුතු ය යන්න මෙම පනත් කෙටුම්පතේ හරය වේ. මෙසේ එදිනෙදා නොකඩවා නඩු ඇසීම යෝජනා කර ඇත්තේ වංචා, දූෂණ හා රජයේ දේපළ සූරා කෑම වැනි අංශවලට පමණක් වුවත්, එදිනෙදා අඛණ්ඩව නඩුවක් අසා අවසන් කිරීම යන මූලධර්මය මෙම සුවිශේෂ අංශ කෙරේ පමණක් වූවත්, නෛතික යුතුකමක් බවට පත් කිරීම, සියලු ම බරපතළ අපරාධ සම්බන්ධයෙන් එදිනෙදා නඩු ඇසීමේ සම්ප්‍රදාය ලංකාව තුළ නැවත වරක් ස්ථාපිත කිරීමට හේතු වනු ඇතැයි සාධාරණව සිතිය හැකි ය. එම නිසා සාකච්ඡාවට භාජනය වෙමින් පවතින නෛතික කෙටුම්පත, තත්කාලීන ලාංකීය සමාජය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක් පවතින බව පිළිගත හැකි ය.

නඩු ඇසීම පමා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ දැනට ඇති තත්ත්වය සමාජයට අහිතකර පමණක් නොව අතිශය විනාශකාරී ප්‍රතිඵල ඇති කර තිබෙන අගතිගාමී පුරුද්දක් ලෙස සැලකීම නිවරැදි ය. පොදුවේ සමාජය පුරාම පැතිරී ඇති ප්‍රධාන සංකල්පයක් බවට පත්ව ඇති සාධනීය සේවය ලාංකීය ජනතාවට අහිමි වී ඇතිවා පමණක් නොව නඩු ඇසීමේ පමාව තුළින් අස්ථාවර වූ සමාජයක් නිර්මාණය වී තිබෙන බව පැහැදිළි ය.

ස්ථාවර සමාජය සහ පමා වී නඩු ඇසීම අතර ඇති සම්බන්ධය

බරපතළ අපාරාධ මර්දනය කර ගැනීම ස්ථාවර සමාජයක් ඇති කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියකි. ඇත්තෙන් ම ස්ථාවර සමාජයක් යනු රටේ සිදු වන අපරාධ නිසා අවුල් තත්ත්වයකට පත් නොවුණු සමාජයකි. අපරාධ අධික වූ විට සමාජයක පවතින සියලුම අංශයන් අවුල් සහගත තත්ත්වයකට පත් විය හැකි ය. තත් කාලීන ලාංකික සමාජය තුළ එවැනි අස්ථාවර තත්ත්වයක් පවතී. එම අස්ථාවරත්වය අරාජිකත්වය දක්වා ව්‍යාප්ත වී ඇති බව දැන් බොහෝ දෙනෙකු පිළිගන්නා මතයයි.
බරපතළ අපරාධ යන්න තුළින් විවධාකාර ක්‍රියාකාරීත්වයත් නම් කළ හැකි ය; මිනිස් ජීවිත පිළිබඳව ඇති කරන තර්ජන ඉන් එක් අංශයකි. මිනී මැරුම්, බරපතළ තුවාල කිරීම්, ජීවිත නැති කිරීමට තැත් කිරීම් ආදිය එම මිනිස් සිරුරට අදාළ අපරාධ වේ.

දේපළ පිළිබඳ ආරක්ෂාවට විරුද්ධව සිදු වන අපරාධ ද බොහෝ වශයෙන් පවතී. මංකොල්ලකෑම, හොරකම, අන් සතු දේ නීති විරෝධී ආකාරවලින් අත්පත් කර ගැනීම, කූඨ ලේඛන සකස් කොට දේපළවල අයිතිය පිළිබඳව බරපතළ විකෘති කිරීම, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම ආදී වශයෙන් දේපළවලට අදාළව කෙරෙන අපරාධ නම් කළ හැකි ය.

රාජ්‍ය හෝ පුද්ගලික අංශයනට අදාළ වැඩ කටයුතු පුද්ගලික ලාභය සඳහා පාවිච්චි කිරීම තුළින් මතු වන අපරාධයන් ද විශාල වශයෙන් පවතී. රජයේ දේපළ පුද්ගලිකව පරිහරණය කිරීම, රාජකාරියට අදාළ වැඩ කටයුතුවලින් පුද්ගලික ලාභ ලබා ගැනීම, රජයේ කොන්ත්‍රාත් අයුතු ලෙස යොදා ගනිමින් පුද්ගලික ලාභ අත්පත් කර ගැනීම ආදී වශයෙන් රාජ්‍ය හා පුද්ගලික දේපළ සම්බන්ධයෙන් සිදු විය හැකි අපරාධ ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ද, දූෂණය සහ වංචාව පිළිබඳ අදාළ පනත් තුළින් ද නිර්වචනය කොට ඇත.

රජයක් වෙනුවෙන් කළ යුතු වගකීම් පැහැර හැරීමත්, එම පැහැර හැරීම මඟින් රටේ වැසියනට හානි කර හා අලාභදායක වන සේ කටයුතු කිරීම ද සාපරාධී ක්‍රියාවන් ය.
රජය වෙනුවෙන් යම් කටයුත්තක් කිරීම සඳහා නිලධාරියෙකුට පවරා ඇති බලතල අයුතු ලෙස භාවිත කරමින් යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායම්වලට අලාභදායී හෝ හානිකර වූ ක්‍රියාවන්හි යෙදීම ද සාපරාධී ක්‍රියාවන් අතර තවත් අංශයකි. මෙම අංශයෙහිලා සිදු කළ හැකි අපරාධ රටේ නීතිය තුළින් ප්‍රකාශයට පත් කොට ඇත.

සාපරාධී ක්‍රියා මර්දනය සහ පුද්ගලික ආරක්ෂාව

රජයක් සතු ප්‍රධානතම යුතුකම වන්නේ සමාජයේ ජීවත් වන සැමරට වැසියෙකුගේම සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කර දීම ය. මේ අනුව රජය සියලුම ජනතාවගේ ආරක්ෂකයා බවට පත් වේ. ජනතාව ආරක්ෂා කිරීම රජයන් සතු පරම යුතුකම වේ. ඇත්තෙන් ම, රජයක් මිනිසුන් විසින් නිර්මාණය කර ගන්නේ සමාජයක ජීවත් වීමේ දී එක් අයෙකුට විරුද්ධව කටයුතු කිරීම තුළින් විවිධ හානි හා අලාභ ඇති වීම වළක්වාලීමට බලය ඇති රාජ්‍ය නිලධාරීන් පැවතිය යුතු ය. විශේෂයෙන් ම රටක පොලිස් සේවයේ ප්‍රධාන යුතුකම වන්නේ මෙවැනි හිරිහැර කිරීම්වලින් ජනතාව මෙන් ම එකිනෙක පුද්ගලයා ආරක්ෂා කර දීම ය. ආරක්ෂාව පිළිබඳව මේ ප්‍රධාන යුතුකම මොනයම් ආකාරයකින්වත් හෝ පැහැර හැරීමට රජයකට නුපුළුවන. ජනතාවගේ ආරක්ෂාව සපයාලිය හැකි ආකාරයෙන් නීතින් සකස් කර ගැනීමත්, සකස් කර ගත් නීතින් ක්‍රියාවට නැංවීමත් රජයේ පරම යුතුකම වේ.

අධිකරණය සහ අපරාධ මර්දනය

අපරාධ මර්දනය කිරීම සඳහා කෙළින් ම ක්‍රියා කරන සංස්ථාව පොලීසියයි. එහෙත්, පොලීසියෙන් කෙරෙන ක්‍රියා නිසි ලෙස අධීක්ෂණය කිරීම කෙරෙන්නේ අධිකරණය මාධ්‍ය කොට ගෙන ය. පොලීසිය අපරාධ පිළිබඳ පැමිණිලි ලියා ගන්නා හා ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය සංස්ථාව වේ. එහෙත් මෙම රාජ්‍ය සංස්ථාවට සාධාරණ ආකාරයකින් ක්‍රියාත්මක විය හැක්කේ අධිකරණයක් විසින් කෙරෙන නඩු ඇසීමේ ක්‍රියාමාර්ගය තුළිනි. මේ නිසා අධිකරණයේ නඩු ඇසීමේ ක්‍රියාදාමයත්, සමාජයක අපරාධ මර්දනය හා ස්ථාවරත්වයත් අතර ඉතා දැඩි සම්බන්ධයක් ඇත. අධිකරණය සමස්ත රාජ්‍ය සංස්ථාව නිසි ලෙස අධීක්ෂණය නොකළහොත් ඒ නිසා සමස්ත අපරාධ මර්දනය කිරීමේ ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයකට පත් වේ. එම අවුල් සහගත තත්ත්වය නිරාකරණය කර දීමට වෙන කිසිදු සංස්ථාවක් නැත. අධිකරණය අකාර්යක්ෂම ආකාරයට කටයුතු කළ හොත් එම නිසා සමාජය තුළ සිදු වන සියලුම ක්‍රියා විශාල වශයෙන් අවුල් සහගත තත්ත්වයට පත් කළ හැකි ය. නඩු ඇසීමේ ක්‍රියාවලිය ඉක්මනින් සිදු නොවුණ හොත් රටේ පවතින දහසකුත් ආරවුල් නිරාකරණය කර ගත නොහැකි ආරවුල් බවට පත් වේ.
එසේ රටේ ආරවුල් උග්‍ර කරන සංස්ථාවක් බවට ලංකාවේ අධිකරණ බවට පත්ව ඇත්තේ නඩු ඇසීමේ ක්‍රියාවලිය වගකිය යුතු ආකාරයකින් සහ සාධාරණ ආකාරයකින් සිදු කිරීමට ලංකාවේ මහාධිකරණවලට නොහැකිව තිබීම නිසා ය.

ලංකාවේ මහාධිකරණවල දැනට පවතින මෙම අකාර්යක්ෂමතාවට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නඩුවක් එක දිනක සිට තවත් දිනකට කල් දැමීම මාර්ගයෙන් නඩුවක් විසඳීමට යන කාලය අවුරුදු 17ක් පමණ දිග්ගැස්සී තිබීමෙනි. අවුරුදු 17ක් වනාහී වැඩිහිටි අයෙකුගේ ජීවිතයේ විශාල කාලයකි. එවැනි කාලයක් පුරා නඩු ඇසීම් පමා කිරීම් තුළින් සමාජයේ ඇති දහසකුත් ආරවුල් නිරාකරණය නොවී පැවැත්මට මාවත පෑදී ඇත.

මේ නිසා අධිකරණ සංශෝධන නෛතික කෙටුම්පත ඉක්මනින් සම්මත කර ගැනීමත්, ඉන් පසු හැකි ඉක්මනින් එය ක්‍රියාවට නැංවීමත් ඒ සමඟම එදිනෙදා අඛණ්ඩව නඩු ඇසීමේ සම්ප්‍රදාය සෑම මහාධිකරණයක් තුළ ම නැවත පැළපැදියම් කිරීම තුළින් ලංකාවේ අපරාධ පාලනය කර ගැනීමට හැකි හා ස්ථාවර සමාජයක් බවට පත් වීම ඉක්මන් කර ගත හැකි ය.