රාවය

ශීඝ්‍රගාමී තාක්ෂණයට අනුගතවීමේ දුෂ්කරතාව

ශීඝ්‍රගාමී තාක්ෂණයට අනුගතවීමේ දුෂ්කරතාව

ප්‍රභාෂ්වර

අන්තර්ජාලය බිහිවීමට පෙර යුගවලදී යම් පාලකයෙකුට සිය නාමය ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් කිරීම සඳහා විශාල සහ බලවත් යුද හමුදාවක් අවශ්‍ය විය. මහා ඇලෙක්සැන්ඩර්, එවැනි යුද ආක්‍රමණ හරහා ඉතිහාසගතවූවකු ලෙස සැලකිය හැකිය. ඉතිහාස ලේඛනගත කිරීම පිණිස එකල පුස්කොළ පොත් භාවිතයට ගැනිණි. පසුකලෙක, පුවත්පත් හා සිනමාව ඔස්සේ පැරණි දේවල් සජීවී චිත්ත රූප මැවෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කරනු ලැබීය. මෑත ඉතිහාසය වනතුරුම යමෙකුට ලේඛකයෙකු වී තම අදහස් ලෝකයට සන්නිවේදනය කිරීම සඳහා ඊට පොත් ප්‍රකාශකයකු සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍ය සාධකයක්ව තිබුණි. එහෙත් අද අන්තර්ජාල සබඳතාවක් සහිත පරිගණකයක් හෝ ස්මාට් දුරකතනයක් හිමි ඕනෑම කෙනෙකුට තමාගේම බ්ලොග් එකක් හරහා ගෝලීය මට්ටමේ ලේඛකයෙකු වීමේ අවස්ථාව පැහැදිලිවම විවර වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. ට්විටර් නම් සමාජ මාධ්‍ය ජාලය කාර්යක්ෂම ලෙස භාවිත නොකළේ නම් තමාට ඇමරිකාවේ ජනාධිපති ධුරය හිමි නොවන වග පසුගියදා එරට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. අසාධාරණ ලෙස තමාට මඩගසන මාධ්‍යයන්හි නිරුවත සිය ඡන්දදායකයන් අබියස නිරාවරණය කිරීම පිණිස හෙතෙම ‘ට්විටර්’ නිතරම භාවිත කරන වග ට්‍රම්ප් අවධාරණය කරයි.

තාක්ෂණ විප්ලවය

ඩිජිටල් විප්ලවයේ තීව්‍ර මොහොත එළැඹියේ 2007 වසරේදීය. ලැප්ටොප් පරිගණකයකින් ඉෂ්ට සිද්ධ කරගත හැකි සියලු අවශ්‍යතා, කුඩා ස්මාර්ට් ජංගම දුරකතනයකින් සම්පූර්ණ කරගැනීමේ හැකියාව තම පාරිභෝගිකයාට උදාකරමින් ඇපල්, ‘අයිෆෝනය’ ලොවට හඳුන්වා දුන්නේ 2007දීය. 3ඨ තාක්ෂණය ඔස්සේ තමන්ට අවශ්‍ය පොත්පත් තම ඩිජිටල් පුස්තකාලයට බාගත කිරීමේ අවස්ථාව, ඇමේසන් ආයතනය සිය පාඨකයන්ට තිළිණ කළේ 2007දීය. 2007, ට්විටර් මාධ්‍ය ජාලය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ වසර ලෙසද සැලකිය හැකිය. චෙස් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් පුද්ගලයා පිළිබඳ වන අපූරු කතාව මෙහි සැකෙවින් සටහන් කිරීම වටී. ‘චෙස්’ පිළිබඳව එහි නිර්මාතෘවරයා එකල විසූ රජතුමාට එම ක්‍රීඩාවේ විචිත්‍රත්වය විස්තර කළ විට, ඉන් පැහැදුණු රජා ඔහුට කැමති ‘වරයක්’ ඉල්ලන්නැයි නියම කළේය. චෙස් ලෑල්ලේ පළමු කොටුවට එකවී ඇටයක්ද, දෙවැනි කොටුවට දෙකක්ද, තුන්වැනි එකට හතරක්ද වශයෙන් වැඩිවන හැමකෙකටම දෙගුණයකින් වී ඇට වැඩිවන ලෙස තමන්ට ධාන්‍ය පිරිනමන්නැයි චෙස්කාරයා රජාගෙන් ඉල්ලුවේය. ලෑල්ලේ කොටු හැට හතර තුළ ඒ ආකාරයට ධාන්‍ය දෙගුණය වශයෙන් වැඩිවීම සුළු දෙයක් යැයි රජතුමාට සිතුණද එය ඉලක්කම් විස්ස ඉක්මවන (ක්විස් මිලියන 18ක් වැනි) සිතාගත නොහැකි තරම් ධාන්‍ය ප්‍රමාණයක් වග හෙළිදරව් වුණු පසු රජාට තරු විසිවිය. ඉන්ටෙල් ආයතනයේ සම නිර්මාතෘ ගෝඞ්න් මුවර්, 1965දී මෙසේ කීය. ‘මයික්‍රොචිප්වල බලය හා වේගය අධික ලෙස වැඩිවීම හේතුවෙන් හැම වසරකදීම පරිගණකවල දත්ත සැකසුම් ශක්තිය දෙගුණයකින් ඉහළ යෑම නොවැළැක්විය හැකිය.’ පසුකලෙක මුවර් මෙය මඳක් සංශෝධනය කරමින් පැවසුවේ, පරිගණකවල සැකසුම් බලය වසර දෙකකට වරක් නියත වශයෙන්ම වැඩිවන බවත්, ඒවායේ මිලද දිගුකාලීනව පහළ යන බවත්ය. පසුගිය වසර 50 තුළ මෙය සැබැවින්ම සිදුවුණු නිසා මෙකී අනාවැකිය ‘මුවර්ගේ නියමය’ ලෙස විද්‍යාත්මක පදනමකින් ලොව තුළ ස්ථාපිත විය.

වේගවත් වෙනස

ධාන්‍ය පිළිබඳ වූ චෙස්කාරයාගේ ඉල්ලීම රජතුමාට නොවැටහුණා සේ, අද සිදුවෙමින් පවතින වේගවත් තාක්ෂණික පරිවර්තනය බහුතරයක් ලෝවාසීන්ට වටහාගත නොහැක. එහෙත් මේ ඩිජිටල් පරිණාමයට අනුගතවන්නා නියත වශයෙන්ම ලොව ජයගන්නා අයෙක් යැයි නොබියව කිව හැකිය. මේ ශීඝ්‍රගාමී තාක්ෂණික පෙරැළිය ගැන ඇමරිකාවේ ජාතික ආරක්ෂක සරසවියේ සැලසුම්කරණය පිළිබඳ මහාචාර්ය ලින් වෙල්ස්, මෙසේ පවසයි. “සාම්ප්‍රදායික විදියට අපි ප්‍රශ්නයක් දෙස බැලුවේ යම් රාමුවක් තුළ ඉඳගෙනයි. ඊට පස්සේ නවීන ක්‍රමයට අනුව, රාමුවෙන් පිටතට විත් ඒ දෙස බලන්න අපි පුරුදු වුණා. වර්තමානයේ සිදුවෙමින් පවතින අතිධාවනකාරී ඩිජිටල් විප්ලවයත් සමග රාමුවේ ඇතුළ හෝ පිට සිට බලමින් කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොහැකියි. මන්ද, සිදුවෙමින් පවතින වේගවත් වෙනස නිසා රාමුව කියන සංකල්පයම පූර්ණ වශයෙන් අහෝසි වී ගොස් තිබෙනවා. ලෝකයේ ලොකුම බැංකුව ලෙස සැලකෙන ‘බීට් කොයින්’හි ඇසට නොපෙනෙන ඩිජිටල් මුදල් මිස කාසි හෝ නෝට්ටු දක්නට නොමැත. ලොව ලොකුම ටැක්සි කොම්පැණිය වන ‘උබර්’ සතුව කිසිදු වාහනයක් නැත. අලිබබා ලොව විශාලතම සිල්ලර වෙළෙන්දා වුවද, ඔවුන් තොග ලේඛනයක්/ඉන්වෙන්ටි්‍රයක් පවත්වා ගෙන යන්නේ නැත. සංචාරකයන්ට නවාතැන් පහසුකම් සපයන ගෝලීය ප්‍රමුඛයා වන ‘එයා බී ඇන්ඞ් බී’ සතුව කිසිදු හෝටලයක් නොමැත. ලොව දැවැන්තම මාධ්‍ය හිමිකරුවා ෆේස් බුක් වුවද, ඔවුහු ඒ තුළ පුවත් හෝ කතා නිර්මාණය නොකරති. ලොව දෙස බැලීමට අප මෙතෙක් යොදාගත් ‘රාමුව’ වාෂ්ප වී ගොස් ඇති වග ඉහත කී උදාහරණවලින් පමණක් වුව අවබෝධ කරගත හැකිය. පුරාණ කාලයේදී, තාක්ෂණය නිසා මිනිසුන්ගේ ජීවිත වෙනස් වූයේ ඉතා සෙමිනි. 11 වන සියවසේ විසූ අයෙකු, 12 වන සියවසට අයත් කෙනෙක් සමග සැසඳීමේදී එම ජීවිතවල මහා වෙනසක් දක්නට නොලැබුණි. වර්ෂ 1900දී වුව නව තාක්ෂණ වෙනස්වීම්වලට අනුගතවීම සඳහා අවුරුදු දහයක්, පහළොවක් වැනි කාලපරාසයක් මනුෂ්‍යයාට හිමිව තිබුණි. යම් නිපැයුමක් නව අදහසක් ඔස්සේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ව්‍යාපාරිකයකුට වසර 20ක් සඳහා පේටන්ට් බලපත්‍රයක් එම නිෂ්පාදන භාණ්ඩය වෙනුවෙන් පිරිනැමුණේ මෙකී න්‍යාය නිසාය. එහෙත් අද ව්‍යවසායකයකු එලෙස ඉදිරිපත් කරන තාක්ෂණික මෙවලම, තව වසර 05ක් හෝ 03ක් ඇතුළත අභාවයට යෑම නොවැළැක්විය හැකිය. මන්ද, ඊට වඩා දියුණු මෙවලමක් වෙනත් කෙනෙක් ඉක්මනින් නිර්මාණය කරන හෙයිනි.

හැඩ ගැසීම

1971 නිෂ්පාදිත, ඉන්ටෙල් ආයතනයේ මුල් මයික්‍රොචිපය වන 4004, වත්මන් වෙළෙඳපොළ තුළ ඇති ඉන්ටෙල් චිප් එක හා සැසඳීමේදී එය ක්‍රියාකාරීත්වය අතින් 3500 ගුණයකින්ද, බලශක්ති පිරිමැස්ම අතින් 90,000 ගුණයකින්ද වැඩි අතර පිරිවැය අතින් 60,000 ගුණයකින් අඩුය. මෙකී මුවර්ගේ නියමයට අනුව, ෆොක්ස්වැගන් ඉබ්බා හැඩයේ මෝටර් රථය දියුණු වී නම් එය පැයට හැතැප්ම තුන් ලක්ෂයක වේගයෙන් ගමන් කළ යුතුය. එපමණක් නොව පෙට්‍රල් ගැලුමකින් හැතැප්ම මිලියන 02ක් (එනම් සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ජීවිත කාලයම) ගමන් කිරීමේ හැකියාව ඊට ලැබෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. 2006දී කලඑළි දුටු P5 3 නමැති සුපිරි පරිගණකය ස්ථානගත කිරීම සඳහා ටෙනිස් පිටියක් තරම් වූ විශාල ඉඩක් අවශ්‍ය විය. එහි මිල ඩොලර් මිලියන 55ක් වූ හෙයින් P5 3 භාවිත කළේ ධනවත් රටවල් කිහිපයක් පමණි. දෛනිකව නිවාස 800ක් එළිය කළ හැකි තරමේ විදුලි බල්බයක් P5 3 සඳහා එකල වැය විය. අද P5 3 වර්ගයේ සුපිරි පරිගණකයක මිල පවුම් 200කි. ශ්‍රී ලංකා මුදලින් නම් එය රුපියල් 44,000කි. සිදුවී ඇති වෙනස මෙයින් වටහාගත හැකිය. චිප් එක සෑදී ඇත්තේ ඉලෙක්ට්‍රොණික සංඥා වේගයෙන් එහා මෙහා යැවිය හැකි ට්‍රාන්සිස්ටරයකිනි. එහි ඇති ස්විච් මගින්, බටයක් හරහා විදුලිය ගමන් කරන ආකාරයට තඹ වයර් ඔස්සේ ඉලෙක්ට්‍රෝන මුදා හැරේ. මෙම ස්විච් හා තඹ කම්බි කුඩා වෙන තරමට ඉතා සියුම් ලෙස ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය මෙහෙයවිය හැකිවේ. මේවායේ ප්‍රමාණය කුඩා කර, අවම බලශක්තියකින් ක්‍රියාත්මක කළ හැකි හුරුබුහුටි ඩිජිටල් මෙවලම් නිපැයීමට පරිගණක විද්‍යාඥයන්ට හැකියාව ලබා දුන්නේ නැනෝ තාක්ෂණයයි. ගුවන් යානයක ඇන්ජිමේ දෝෂයක් වෙත් නම් අනතුරක් සිදුවීමට පෙර සංවේදක හරහා එය දැනගැනීමේ හැකියාව ගුවන් නියමුවාට ලැබෙන්නේ මෙකී තාක්ෂණය නිසාය. ජපානයේ විශාල සත්ව ගොවිපොළ සඳහා නව තාක්ෂණය හඳුන්වා දුන්නේ ෆියුජිට්සු සමාගමයි. එළදෙනකගේ ‘සරු කාලය’ එළැඹ ඇති වග උගේ සිරුරට සම්බන්ධ කොට ඇති සංවේදකය මගින් ගොවියාගේ ජංගම දුරකතනය වෙත සන්නිවේදනය කෙරේ. එවිට ගොවි මහතා අදාළ එළදෙන කෘත්‍රිම සිංචනයට බඳුන් කරයි. මෙම තාක්ෂණය හරහා සත්ව ගොවීන්ගේ ආදායම ඉහළ නංවන්නට ෆියුජිට්සු සමාගමට හැකිවිය. ලොව පුරා විවිධ පාර්සල් බෙදාහරින ඇමරිකානු සමාගමක් වන .ඪඡී. දෛනිකව ගැනුම්කරුවන් මිලියන 09ක් වෙත මිලියන 17කට වැඩි පාර්සල් බෙදාහරී. ඪඡී හි හැම වාහනයකම සංවේදක 200ක් පමණ සවි කොට තිබේ. වාහනයේ වේගය, එය ගමන් කරන රට, ගම හා මාවත කුමක්ද, රියදුරු තම ආසන පටිය පැළඳ සිටීද යන මෙකී නොකී තොරතුරු මධ්‍යම පාලන මැදිරියේ සිටින අයට නිවැරදිව දැකගත හැක්කේ නව ඩිජිටල් තාක්ෂණයේ බලමහිමය නිසාය.

අප කොතැනද?

ඇමරිකාවේ ස්මාර්ට් ගොවිපොළවල් සඳහා නව තාක්ෂණික දැනුමෙන් හෙබි කෘෂි කළමනාකරුවන් 68700ක් 2026 වනවිට අවශ්‍ය වේ. එරට කෘෂිකළමනාකරුවකුගේ මාසික වැටුප ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් ලක්ෂ 8 1/2කි. 2026 සඳහා පරිගණක ඉංජිනේරුවන් 53,000ක් ඇමරිකාවට ඕනෑ වනු ඇත. පරිගණක ඉංජිනේරුවකුට මාසිකව රුපියල් ලක්ෂ 11ක් උපයාගත හැකිය. බර වාහන රියදුරන් සඳහා වත්මනෙහි ඇමරිකාව තුළ ඇති පුරප්පාඩු සංඛ්‍යාව 113,800කි. බර වාහන රියදුරකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 05කි. 2026 වන විට ඇමරිකාවට හෙදියන් 437,000ක් අවශ්‍ය වනු ඇත. නිල ඇඳුම්, ආහාරපාන හා නවාතැන්ද නොමිලේ හිමිවීමෙන් පසුව එරට හෙදියකගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 9කි. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ටැබ් ලබාදීමේ වැඩපිළිවෙළ යහපාලනය විසින් අතැර දමා තිබේ. ‘සයිටම්’ වර්ජනවලින් වැසී ගොස් යළි ආරම්භ වුණු විශ්වවිද්‍යාල, අනධ්‍යයන සේවකයන්ගේ උද්ඝෝෂණ නිසා නැවතත් වැසී ඇත. මේ ලියුම්කරු සේවය කරන පෞද්ගලික ආයතනය, 2006 වසරේ සිට මහපොළ හා වෙනත් ශිෂ්‍යාධාර නොලබන (අඩු ආදායම්ලාභී) සරසවි සිසුන් 50ක් වෙත ලැප්ටොප් පරිගණක හා රුපියල් 50,000ක වාර්ෂික ශිෂ්‍යත්ව මුදලක් හැම වසරේදීම පිරිනැමුවද 2016න් පසු එම වැඩසටහන නවත්වා දැමීමට තීරණය කළේ එම ධනස්කන්ධය, සාමාන්‍ය පෙළින් හා උසස් පෙළින් හැලෙන පාසල් සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණුව පිරිනැමීම පිණිස වැය කිරීම කාලෝචිත යැයි සිතූ හෙයිනි. කීර්තිමත් විදෙස් සරසවිවලට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල, ඔවුන්ගේ විෂය මාලාව වසරින් වසර වෙනස් කරන්නේ ලෝකය තුළ සිදුවන තාක්ෂණික විප්ලවයට අනුව තම සිසු සිසුවියන්ගේ නිපුණතා තීව්‍ර කළ යුතු නිසාය. විෂය අධ්‍යයනයෙන් ඉවත් වී පාරට පැමිණෙන රාජ්‍ය සරසවිවල සිසුන් කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය තහනම් කළ යුතු බවයි. යල්පැනගිය රාමුවක් ඇතුළට වී ළිං මැඬියන් මෙන් සිතන මොවුන්, වත්මනෙහි එම රාමුවම නිෂ්ක්‍රීය වී ඇතැයි නොදනී. අපි රැකියා විරහිත උපාධිධාරීන් බිහිකරන අතරතුර, අනෙක් ආසියානු රටවල් ඉහත කී පුරප්පාඩු පිරවීමට වහ වහා ක්‍රියාකරනු ඇත.