රාවය

කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ?

කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ?

සුනන්ද දේශප්‍රිය

පසුගිය විසිතුන්වනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම් කරමිනි. එමෙන්ම දැකිය හැකි තවත් වැදගත් වර්ධනයක් වූයේ කවුන්සිලයෙහි ආන්තික අදහස් දරන ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල පිරිස්හි ක්‍රියාකාරිත්වයද ඉහළ යාමයි.
ශ්‍රී ලංකාවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය එකතැන පල්වෙමින් ඇති බවට අවධාරණය කරමින් මාර්තු 21 දින මහ කොමසාරිස් සෙයිඞ් වෙනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබද සාකච්ජාවක්ද පැවැතුනි. මෙම සාකච්ජාවෙහිදී 2014 සහ 2015 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෙන ඒමට මූලික වූ රටවල් හතර යළි එක්ව ප්‍රකාශයක් කිරීම විශේෂ සිදුවීමක් විය.
එම රටවල් හතර නම් ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව යන රටවල්ය. 2014 මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයෙහි 25වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් අන්තර් ජාතික පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම ඇතුළු යෝජනා සහ නිර්දේශ ගණනාවක් ඇතුළත් යෝජනාව ගෙන එන ලද්දේ එම රටවල් හතර විසිනි. එම යෝජනාව 25/1 නමින් හැදින්වෙයි.
2015 ඇතිවූ ආණ්ඩු වෙනසින් පසු ශ්‍රී ලංකාණ්ඩුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා දෙවසරක් කල් ඉල්ලා සිටිමින් එම වසරෙහි සැප්තැම්බර් මාසයේ පැවැති 30වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව 30/1 නමින් හැඳින්වෙයි. ශ්‍රී ලංකාවෙහි විධිමත් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදමයක් ඇති කරන බවට ආණ්ඩුව පොරොන්දූ වූයේ එම යෝජනාව මගිනි.

අනතුරුව 2017 මාර්තු මාසයේදී , ලංකාණ්ඩුව යළිත් වතාවක් ඒකාබද්ධ යෝජනාවක් ගෙන එමින් කියා සිටියේ තමන් තවදුරටත් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවයි. එම 2017 යෝජනාව 34/1 නමින් හැඳින්වෙයි.

පසුගිය 21 දින කවුන්සිලයේ 37වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ගෙන ඒමට පුරෝගාමී වූ රටවල් හතර එක්ව මෙසේ කියා සිටියහ:
“අපි ශ්‍රී ලංකාවෙහි ඇතිව තිබෙන මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයන් සතුටින් පිළිගනිමු. ශ්‍රී ලංකාණ්ඩුව එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාදාමයන් සමග සාධනීය ලෙස කටයුතු කිරීමත් සාමය ගොඩ නැගීමේ මූලිකත්ව වැඩ සටහනට දෙන සහයෝගයත් අපේ සතුටට හේතු වෙයි….
“මෙම පියවරයන් අගය කරන අතරම අපි අපේක්ෂිත ඉදිරිගමන මන්දගාමී වී තිබීම ගැන කණස්සල්ල පළ කරමු. ශ්‍රී ලංකාව විසින් දෙන ලද පොරොන්දු ඉටු කිරීම තවමත් බොහෝ දුරටම ඉතිරිව තිබේ. යම් යම් ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිය බලය අයුතු ලෙස පාවිච්චිකරන බවට ඇති වාර්තා ගැන අපි සැළකිළිමත් වෙමු. අන්තර්-වාර්ගික ප්‍රචණ්ඩත්වයන්ද සුලුතර ප්‍රජාවන්ට එරෙහි ප්‍රහාරයන් සහ වෛර ප්‍රකාශනයන්ද ගණනාවක්ම ඇතිව තිබීම තැතිගන්වන සුලුය. ඒ විසින් පෙන්නුම් කරන්නේ සංහිඳියා ප්‍රයත්නයන්හි අත්‍යාවශ්‍යතාවයි.
30/1 දරණ යෝජනාවට සම දායකත්වය සැපයීම මගින් ශ්‍රී ලංකාව පිළිගත් පරිදි, ව්‍යවස්ථා සංශෝධනයක් හරහා දේශපාලන අධිකාරය බෙදා හැරීම, විරස්ථායී සංහිඳියාවකටත් යළි ප්‍රචණ්ඩත්වය සහ අයුතුකම් සිදුවීම වැළැක්වීමටත් අත්‍යවශ්‍ය අංගයකි. සියලු ප්‍රජාවන්ට අයත් අතුරුදන්වූවන්ගේ පවුල් පිළිතුරු අපේක්ෂාවෙන් ඕනෑවටත් වඩා කාලයක් ගත කර තිබේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය නොපමාව සම්පූර්ණයෙන්ම සක්‍රීය කරන ලෙසත් 30/1 දරණ යෝජනාවෙන් එකඟ වූ අනෙක් සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවීමට අර්ථවත් පියවර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිමු. පලදායක ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ යුද හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම් තවදුරටත් නිදහස් කිරීම, විශ්වාසය සහ බලාපොරොත්තු ඇති කිරීමට හේතු වනු ඇත.

අධිෂ්ඨානවත් නායකත්වයක් සහ පැහැදිලි ක්‍රියාකාරීත්වයක්

කාලරාමු ඇති කිරීම මගින් මෙම ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ සහ යුක්ති න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගිය හැකිය. එමගින් සියලු ශ්‍රී ලංකිකයින්ගේ සහාය ඇතිව දිගු කාලීන සංහිඳියාව සඳහා පියවර ගත හැකිය.

අතීතයෙහි පැවැති බෙදීම් කරා ආපසු නොයෑමට ඓතිහාසික අවස්ථාවක් ශ්‍රී ලංකාවට තවම තිබේ.ශ්‍රී ලාංකිකයින්ට අයත් ආරක්ෂාව, සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතය දිනා ගැනීම පිණිස 34/1 සහ 30/1 දරණ යෝජනාවන්හි අඩංගු ප්‍රතිසංස්කරණ ඉටුකිරීම උදව්වනු ඇතැයි අපි ස්ථිරවම විශ්වාස කරමු.”
එම ප්‍රකාශය වැදගත් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යළි ඒකාබද්ධ මතයක් දැක්වීමට මෙම රටවල් හතර ඉදිරිපත්වීමත් ට්‍රම්ප් ජනාධිපතිධූරය යටතෙහිද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2012 සිට දක්නට ලැබූ පිළිවෙතම තවම පවත්වා ගෙන යන බව පෙනී යන නිසාය. එම ප්‍රකාශය කියා සිටින්නේ ශ්‍රී ලංකාවට තවමත් 2015 ජනවාරියෙහිදී උදා වූ ඓතිහාසික අවස්ථාව තවම පවතින බවයි. එමෙන්ම මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් දෙන ලද පොරොන්දු ඉටු කිරීමට අසමත් වුවහොත් ඇතිවිය හැති අනිටු විපාක සම්බන්ධයෙන්ද එම ප්‍රකාශය ඉඟි කරයි.
ඇත්ත තත්ත්වය නම් ජිනීවාහි බොහෝ ප්‍රධාන පෙළේ තානාපති අංශ ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන වර්ධනයන් ගැන දෙගිඩියාවකින් පසුවන බවයි. ශ්‍රී ලංකාව කොයිබටද යන ප්‍රශ්නය එහිද ඇසෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. එහි පමණක් නොව යුරෝපීය පාර්ලිමේන්තුව සහ යුරෝපීය කොමිසම පිහිටි බ්‍රසල්ස්හිදී ද එම ප්‍රශ්නය ඨීඡූ සහනයද අදාළ කරගනිමින් වඩා වැඩි උනන්දුවකින් යුතුව විමසිල්ලට ලක්වෙයි.

මෙවර පැවැති 37වන සැසිවාරයට සහභාගි වූ ආන්තික අදහස් දරණ දෙමළ ඩයස්පෝරා පිරිස් සහ එවැනිම සිංහල ඩයස්පෝරා සහ දේශීය පිරිස් තමන්ගේ සමාන්තර රැස්වීම් ගණනාවක්ම පැවැත්වූහ. මෙම රැස්වීම්හිදී බෙහෝ කොට සිදුවූයේ දෙපාර්ශ්වය අතර ඝෝෂාකාරී මත දැක්වීම්ය. මෙවැනි සමාන්තර රැස්වීම්හි අරමුණ විය යුත්තේ තානාපති සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම වුවත් දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් සිදුකරමින් සිටින්නේ ස්වයං-වින්දනාත්මක ක්‍රියාකාරිත්වයක් පමණකි.
දෙමළ ඊලාමයෙහි ජිනීවාහි සහ බ්‍රසල්ස්හි නියෝජිතයා ලෙස පෙනී සිටින තරුණ ක්‍රියාධරයකු විසින් ලොව විවිධ තැන්හි පවත්නා සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාර සමඟ හවුලේ සමාන්තර රුස්වීම් කිහිපයක්ද පවත්වන ලදී. එම රුස්වීම්හිදී ශ්‍රී ලාංකික දෙමළ ක්‍රියාධරයෝද අදහස් දැක්වූහ. තවද හිටපු ලෙප්ටින්නට් කර්නල් සරත් වීරසේකරගේ කණ්ඩායමට ශරීරාරක්ෂකයින් වැනි සිංහල ඩයස්පෝරාවේ දහ පහලොස් දෙනෙකුද එක්ව සිටියේ ය.

මේ අතරවාරයේ වෙනත් සැසිවාරයන්හිදී මෙන් නොව මෙවර ආණ්ඩුවේ නියෝජිත පිරිසට ජනාධිපතිවරයාගේ නියෝජිතයකුද ඇතුළත් විය. ඒ අමාත්‍ය සරත් අමුණුගමය. ඉන් පෙන්නුම් කැරුණේ ආණ්ඩුවේ නියෝජිත පිරිස ජනාධිපතිවරයා නියෝජනය නොකරන බවයි. එමෙන්ම 30/1 සහ 34/1 යෝජනා සම්බන්ධයෙන් තමා බැඳී නැතැයි දැන් සිරිසේන ප්‍රකාශ කරන බවද වාර්තාවේ. ජනාධිපතිවරයාගේ වෙනම නියෝජිතයකු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් කිරීම මගින් මෙරට වර්ධනය වන රනිල්- සිරිසේන විරසකය අන්තර් ජාතික තලය කරාද පැතිරී තිබුණි.
2015 ජනවාරි අපේක්ෂා සහ පොරොන්දු උඩියටිකුරු කිරීමට සමත්වන බව පෙනෙන අප්‍රේල් 04දා විශ්වාස භංග යෝජනාව කරා අප ගමන් කරමින් තිබෙන වටපිටාව එවැනිය. එක අතෙකින් යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතු බවට වන අන්තර් ජාතික බලපෑම් යළි කේන්ද්‍රගතවන සහ රනිල් – සිරිසේන ආණ්ඩුවේ දෙපත් නයි වරණය ඉහළ යන සහ ආන්තික ජාතිකවාදී පිරිස් වඩා සක්‍රීය වන වාතාවරණයකදීය.

සිරිසේන එන්න එන්නම යුද උන්මාදවාදී සිංහල ජාතිවාදය කරා ඇදී යමින් තිබේ. ඔහුගේ පරිවාරයේ සිටින ඥානසාර මහතෙර, මහ මහසෝනා බැලීමට සිර ගෙදරට පවා ගියහ. එමගින් ඔහු පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ලක්ෂ 11ක අතර වන ලක්ෂ තුන ඉක්මවන කඳුරට දෙමළ නැගෙනහිර මුස්ලිම් ජන්ද නැතිකර ගනිමින් සිටී. තොන්ඩමන්, හිස්බුල්ලා සහ අතාවුල්ලා බුලත් කොළයෙන් ද තරඟ කළ නිසා ලද ජන්දය. ගතානුගතිකත්වය කරා ඇදී යන සිරිසේන මුහුණු පොත සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මාපියන් තමන්ට ලියුම් එවූ බවද කියයි.
අනෙක් අතට ගාලු නගර සභාවේ එජාපයෙන් ජය ලද මුස්ලිම් අපේක්ෂකයින් හත් දෙනෙකුම රාජපක්ෂ සමඟ එක්වී එජාපය බලයෙන් පිටමං කළේය. මීගමුවෙහිදී ද එජාප මුස්ලිම් නියෝජිතයා ජන්දය දුන්නේ රාජපක්ෂගේ ලංසා පවුලටය. මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එජාපය සමඟ තවදුරටත් එක්ව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ගොඩ නැගෙන බවයි. එජාපය ජය ලද පුත්තලමෙහි මුස්ලිම් කොන්ග්‍රසය බලය අල්ලා ගත්තේ එජාප නොවන අනෙක් නියෝජිතයින්ගේ සහයෙනි. පශ්චාත් දිගන මුස්ලිම් දේශපාලනය වික්‍රමසිංහගෙන් ඉවතට ඇදී යයි. විශ්වාස භංගයෙහි දී රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්නේද නැත්ද සම්බන්ධයෙන් දෙමළ සන්ධානයද බෙදී ගොස් ඇත. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනාගතයට ඉහළින් ඩැමොක්ලීස්ගේ අසිපත එල්ලෙයි.

ශ්‍රී ලංකාව යළි දේශපාලන අරාජිකත්වය අභිමුවට ගමන් කරන්නේ සුළුතර ප්‍රජා විරෝධී ප්‍රචණ්ඩත්වයන් සහ ඉදිරියට නොයන ප්‍රතිසංස්කරණ සහ යුක්ති ක්‍රියාදාමය නිසා බිඳී යන දේශීය සමාජ දේශපාලන විශ්වාසයන් සහ සන්ධානයන්ද ඉහළ යාමට නියමිත අන්තර් ජාතික තෙරපුම්ද ඇතිවය.
කවර රටකට වුවත් මේ නම් සොහොන් ළකුණුය.

බුදුසරණ වෙනුවට අබසරණ යන දේශපාලකයින් සිටින රටකට කුමන මඟුල් ළකුණුද?