රාවය

19 ව්‍යවස්ථා සංශෝධනය, වර්තමාන දේශපාලන අර්බුදය හා අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම

19 ව්‍යවස්ථා සංශෝධනය, වර්තමාන දේශපාලන අර්බුදය හා අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම

මහාචාර්ය උපුල් අබේරත්න

මේ කෙටි ලිපියේ අරමුණ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනිත කරනු ලැබූ දේශපාලන වටපිටාවේ මෙතෙක් සාකච්ඡාවට ගෙන නොමැති පැති කඩක් ගැන සාකච්ඡා කිරීමය. ඒ අර්බුදයේ විවිධ අංශ ගැන විවිධ විද්වතුන් විසින් දැනටමත් සාකච්ඡා කර තිබෙන නමුත් අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමුව නැත. එබැවින් මේ සාකච්ඡාව ඊට සීමා වේ.
මේ ව්‍යවස්ථානුකූල අර්බුදයට, සමීප අනාගතයේදී හෝ දිගු අනාගතයේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වනු ඇත. එය නොබෝ දිනකින් මතු වන බවට ලකුණු ද පහළව තිබේ. එක් අර්ථයකින් ගත් කල මෙය බිහිව තිබෙන්නේ ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ පවතින නායකත්ව අභිවාදනය හා රටේ ඉහළම දේශපාලනික තනතුර වන ජනාධිපති ධුරයේ නියමිත වාර ගණන සේවය කළද බලය හා එම බලය අතහැර වෙනත් යහපත් සමාජ ක්‍රියාකාරකම් කිරීමට අකමැති බලය මත්තේම ගැටෙන හිටපු ජනාධිපතිනිය හා ජනාධිපතිවරුන් හේතුවෙනි.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වන චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්‍ෂ යන දෙදෙනාම ඉහත කී අර්බුදයේ කොටස්කාරයෝ වෙති. මහින්ද රාජපක්‍ෂ වර්තමාන අග්‍රාමාත්‍යවරයාට තම දේශපාලන විජිගීෂාව ප්‍රදර්ශනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් සංකේතාත්මකව කථානායකවරයා වෙත බාරදුන්නේය. මේ තත්ත්වය හමුවේ මතුවන ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට පත් වීමට නුසුදුසු වූවකු අග්‍රාමාත්‍ය තනතුරට සුදුසු වන්නේද යන ව්‍යවස්ථානුකූල ගැටලුවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30වන වගන්තිය රාජ්‍යපාලනය අරබයා භාර දුර වගකීම් සමුදායක් ජනාධිපතිවරයාට පවරා දේ. ඒ අනුව ඔහු රාජයේ නායකයා, විධායකයේ නායකයා, ආණ්ඩුවේ නායකයා හා සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණදෙන නිලධාරියා හෙවත් සේනාධිනායකයාවේ.

සෘජු මහජන ඡන්දයෙන් තෝරා ගනු ලබන ජනාධිපතිවරයෙකුට ධූරකාල දෙකකට එය සීමා කරනු ලැබ ඇත්තේ සමුහාණ්ඩුවාදී දේශපාලන සිද්ධාන්තයක් වන හැකි ප්‍රමාණයට මහජන පරිමණ්ඩලයේ පවතින වැදගත්ම තනතුරට තේරී පත්ව හැකි පමණ දොරටු විවර කිරීම හා එක් පුද්ගලයකු සදාකාලිකව බලයේ සිටීම නිසා දේශපාලන ක්‍රමය හා පාලන සංස්ථා පරිහානියට පත් වීම වැලැක්වීම යන උත්තුංග පරමාර්ථවලිනි. 18 වන ව්‍යවස්ථා සංශෝධය මඟින් ධුරකාල දෙකක සීමාව ඉවත් කරනු ලැබූ වද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් එය ධුරකාල දෙකකට සීමා කර තිබේ. මේ අනුව යම් අයෙකුට ජනාධිපති ධුරයට පත් විය හැක්කේ වාර දෙකකට පමණි. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම දේශපාලන ආශාව ප්‍රදර්ශනය කරමින් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූයේ අග්‍රාමාත්‍ය තනතුරට සිහින දකිමිණි. ඒ අවස්ථාවේදී අප මතු කියනු ලබන අර්බුදය මතු නොවූයේ ඔහු අවශ්‍යකරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන බහුතරයක් දිනා ගැනීමට අපොහොසත් වීම නිසාය. මේ අර්බුදය නැවතත් කරලියට පැමිණ තිබේ. ඒ වර්තමාන අග්‍රාමාත්‍ය වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව හරහාය. මෙහිදී මේ අර්බුදය වටහා ගැනීමට නම් ජනාධිපති තනතුරට අදාළ සෙසු විධිවිධාන සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිය විය යුතුය.

ඕනෑම රජයක ව්‍යවස්ථා නිර්මාපකයෝ දේශපාලන ක්‍රමයක මතු විය හැකි අර්බුද සම්බන්ධයෙන් පූර්වයෙන් කල්පනා කරති. පූර්ව කල්පනය කර එවැනි අර්බුද නිරාකරණය සඳහා අවශ්‍ය කරන විධිවිධාන යොදති.

ශ්‍රී ලංකා රාජ්‍යයේ වැදගත්ම දේශපාලන තනතුර වන ජනාධිපති තනතුර අරබයා මතු විය හැකි එවැනි අර්බුද කිහිපයක් සම්බන්ධයෙන් ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ අය පූර්ව කල්පනා කර තිබේ. එසේ පූර්ව කල්පනය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවර පැවැත්ම සඳහා ගෙන තිබෙන විධිවිධාන රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබේ. රටේ වැදගත්ම දේශපාලන තනතුර දරන තැනැත්තාට රජයට සම්බන්ධ තම කාර්යභාරය කර ගෙන යාමට අපොහොසත් වන අවස්ථා හා නුසුදුසු වන අවස්ථා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වගන්තියට අනුව ජනාධිපතිවරයා සිය කැමැත්තෙන්ම තම ධුරයේ කටයුතු ඉටු කිරීම සඳහා සුදුසු තැනැත්තෙකු පත් කර ගැනීමට සිදු වන අවස්ථාවක් දක්වා තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා රෝගීවීම, රටෙන් බැහැරව සිටීම හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා ජනාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කළ හැකිය. ජනාධිපතිවරයා තම ධුරයේ වැඩ බැලීම සඳහා කථානායකවරයා පත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය තනතුර හිස්ව හෙවත් පුරප්පාඩුව පවතින්නේ නම් හා ඔහුට එයට අවස්ථාව නොමැත්තේනම් පමණි. (ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම රටෙන් බැහැරව සිටීම වැනි තත්ත්වයකදී) තදනු බද්ධ වගන්තිය 2 අනු ව්‍යවස්ථාව හෙවත් වගන්තියට අනුව වැඩ බලන ජනාධිපතිවරයකුගේ අවශ්‍යතාව මතුවේ. ඒ ජනාධිපතිවරයා සිය කැමැත්තෙන් නොව වෙනත් අවශ්‍යතා මත වැඩ බලන ජනාධිපතිවරයකුගේ අවශ්‍යතාව මතු වන අවස්ථාවකි.

ඒ අනුව අග්‍රවිනිශ්චයකාරවරයා කථානායකවරයාගේ අදහස් විමසා ජනාධිපතිවරයාට යම් කාලපරිච්ඡේදයක් සඳහා ධුරය දරන ජනාධිපතිවරයාට තම ධුරයේ බලතල හා වගකීම් ඉටු කිරීමට නොහැක්කේ නම් ඒ බව තීරණය කොට කථානායකවරයාට දැන්විය යුතුය. කථානායකවරයාට දැන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් විය යුතු අතර අග්‍රාමාත්‍ය තනතුරේ වැඩ බැලීම සඳහා වෙනත් කැබිනට් අමාත්‍යවරයෙකු පත් කළ යුතුය. ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව මේ අදාළ පරිච්ඡේදය නිශ්චිතව දක්වා නොමැත. ඇතැම් විටක මේ තාවකාලික පරිච්ඡේදය දිගුකාලින එකක් විය හැකි බවද මෙහිදී සිහි තබා ගත යුතුයි.

ජනාධිපති තනතුර හිස් වන අවස්ථාව 38 වගන්තිය මගින් දක්වා තිබේ. ඒවා නම් ධුරය දරන ජනාධිපතිවරයා මිය යාම, කථානායකවරයාට අමන්ත්‍රණය කොට අත්සන් යොදා යවන ලිපියකින් ඉල්ලා අස්වීම, ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම හමාර වීම, ජනාධිපති තනතුරට තේරීපත් වූවකු සචෙතනිකව මාස දෙකක් ඇතුළත තනතුරේ වැඩ බාර නොගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා නිසි පරිදි තේරීපත්ව නැතැයි තීරණය කිරීම හා දෝෂාභියෝග යෝජනාවකින් ධුරය දරන ජනාධිපතිවරයා තනතුරෙන් නෙරපා හැරීම යනු ඒවාවේ. මේ හැම අවස්ථාවකදීම වැඩ බලන ජනාධිපතිවරයකු අවශ්‍ය වන අතර ව්‍යවස්ථාවට අනුව ප්‍රමුඛත්වය පිරි නැමෙන්නේ අග්‍රාමාත්‍ය තනතුර දරනු ලබන තැනැත්තාටය.

වර්තමාන දේශපාලන සංදර්භය හමුවේ මතුව ඇති ව්‍යවස්ථානුකූල අර්බුදය වන්නේ දෙවරක් ජනාධිපති තනතුර දැරූ තැනැත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත් වී අග්‍රාමාත්‍ය තනතුරට පත් විය හැකි බවට බැලූ බැල්මට ඉඩ තිබෙන බවය. මේ සිතුවිල්ල මත රටේ දේශපාලන ක්‍රියාකාරීත්වය සිදු වන බවද පෙනේ. ලියුම්කරුගේ අදහස වන්නේ ජනාධිපති තනතුර දෙවරක් දැරූ අයෙකුට අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමට ව්‍යවස්ථානුකූල හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවය.

මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැක්කේ අධිකරණය හරහා ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ලබා ගැනීමෙනි. මේ ගැටලුව අර්ථකථනය කරද්දී අධිකරණයට ද සිදුවන්නේ මුලධාර්මික (principled) තීන්දුවක් ගැනීමටය. මා මුලධාර්මික තීන්දුවක් යනුවෙන් අදහස් කරන්නේ ව්‍යවස්ථාවේ සාරය ගැන අවධානය යොමු කොට ගනු ලබන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයකටය. අපේ අසල් වැසි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ආදර්ශය සපයා තිබේ. එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දු රැසකින් එරට ව්‍යවස්ථාවේ සාරය උල්ලංඝණය වන සුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ සිදු කළ නොහැකි ආරක්‍ෂිත විධිවිධාන ඇතැයි ප්‍රකාශ කර තිබේ.

මේ තත්ත්වය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හෝ චන්ද්‍රිකා කුමාරතුංගට අග්‍රාමාත්‍ය තනතුරට පත්වීම වළක්වා ලන විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබෙන බව පැහැදිලිය. එසේ වන්නේ ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වී මහජන ඡන්දයෙන් තේරී පත් වීමට ඉඩ අහුරා ඇති ව්‍යවස්ථාවකින් වක්‍රාකාරයෙන් ජනාධිපති තනතුරේ වැඩ බැලීමට සිදුවන හා එසේ සිදු වෙතැයි පූර්ව කල්පනය කර තිබෙන තත්ත්වයක් තුළ තනතුරට පත් වීමට නුසුදුසු අයෙකුට එම තනතුරේ වැඩ බැලීමට හා බලතල හා වගකීම් ඉටු කිරීමට සිදු වීම මහජන පරමාධිපත්‍යය උල්ලංඝණය කරන අනීතික හා අසීලාචාර සදාචාර විරෝධී තත්ත්වයක් වන හෙයිනි. මේ අනුව වර්තමාන ජනාධිපතිවරයාට ද රාජ්‍ය වගකීමක් තිබේ. එනම් දෙවරක් ජනාධිපති තනතුරට තේරීපත්ව හෝ එම තනතුර දරා සිටී තැනැත්තෙකුට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටිමයි.