රාවය

ලබන සතිය සහ දේශපාලන ගිනිකෙළි

ලබන සතිය සහ දේශපාලන ගිනිකෙළි

ජයදේව උයන්ගොඩ

එන සතිය සමකාලීන ලංකාවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් දේවල් සිදුවන සතියක් බව පෙනේ. එහි ඇති විශේෂත්වය නම්, එය වැදගත් සතියක් වන බව කල්තියාම කියන්නට හැකිවීමයි. සමහර සති, කල්තියා ඒවායේ වැදගත්කම ගැන සිතාගැනීමටවත් නොහැකි, එහෙත් සිදුවීම් සිදුවූවායින් පසුව එහි වැදගත්කම අපට පෙනුණ සතිය. උදාහරණ වශයෙන් ඊයේ පෙරේදා සිදුවූ දිගන – තෙල්දෙණිය සතිය ගනිමු. එය දේශපාලන වශයෙන් වැදගත් සතියක් වනු ඇතැයි කවුරුවත්, කිසිසේත් සිතුවේ නැත. ලබන සතිය ඒ ආකාරයේ එකක් නොවේ – එය වැදගත් සතියක් වන බව මේ සතියේම අපි දනිමු.

ලබන සතිය වැදගත්වීම ගොඩනැගෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව වටාය. එය සම්මත විය හැකිද, නැද්ද යන්න තවමත් පැහැදිලි නැත. එය සම්මත වූවත් නැතත්, එය වෙතින් ප්‍රකාශයට පත්වන දේශපාලන ඇඟවීම් ඉතා වැදගත් ඒවාය. ඒවා කිහිපයක් විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
පළමුවැන්න, මෙම විශ්වාසභංග යෝජනාවට මූලාශ්‍ර දෙකක් පවතින්නේය යන කරුණයි. එම මූලාශ්‍ර දෙක නම් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලනිපයයි. ඒකාබද්ධ විපක්ෂය, අගමැතිවරයාට විරුද්ධව ගෙන එන මෙම විශ්වාසභංග යෝජනාව, විරුද්ධ පක්ෂයක් සාමාන්‍යයෙන් සිදුකරන දේශපාලන ක්‍රියාවකි. ආණ්ඩු පක්ෂය දුර්වල කිරීම හා ආණ්ඩුව බිඳ වැටීමට ක්‍රියාකිරීම සඳහා ඕනෑම අවස්ථාවක් ප්‍රයෝජනයට ගැනීම, පාර්ලිමේන්තු ප්‍රධාන විරුද්ධ පක්ෂය සාමාන්‍යයෙන් කරන දෙයකි. විශ්වාසභංග යෝජනාව ජයගැනීම ඔවුන් අපේක්ෂා කරන්නේ නැත. මේ අවස්ථාවේදී ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජය කර ආණ්ඩුව තමන් අතට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා එතරම් උනන්දුවක් දක්වන බවක්ද නොපෙනේ.

දෙවැනි මූලාශ්‍රය අගමැතිවරයා හවුලේ නායකත්වය දෙන ජනාධිපති සිරිසේන මහතා ශ්‍රීලනිපයයි. මෙම විශ්වාසභංග යෝජනාව දේශපාලන වශයෙන් අසාමාන්‍ය ස්වභාවයක් ගත්තේද, අසාමාන්‍ය දේශපාලන ප්‍රතිඵල ඇති කිරීමට සමත් වන්නේද එබැවිනි. ශ්‍රීලනිපයේ සහයෝගය ලැබුණහොත්, එජාපයට එම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමටද හැකියාව තිබේ. එහෙත් එම හැකියාවද දැන් නිශ්චිත නැති බව පෙනේ. එයට හේතුව නම්, විශ්වාසභංග යෝජනාව සාර්ථක කිරීමට, ජනාධිපතිතුමාගේ පාර්ශ්වය, ඒකාබද්ධ විපක්ෂයටත් වඩා උනන්දුවෙන් කටයුතු කරන බව පෙනී යාමයි. විශ්වාසභංග යෝජනාව වටා තිබෙන දේශපාලන බලතරගය සහ අරගලය වඩාත් තියුණුවෙමින් පවතින්නේ මේ නිසාය.

මේ නිසාම, අප්‍රේල් 04දා විවාදයට ගෙන ඡන්දය විමසන විශ්වාසභංග යෝජනාව, සම්මත වුවද, පරාජය වුවද, ඒ දෙකින් කවර ප්‍රතිඵලයක් ඇති වුවත්, ඇත්තටම සිදුවීමට ඉඩ තිබෙන්නේ දැනට ඉදිරියට යන බලඅරගලයේ තවත් අලුත් සහ සිදුවීම් බහුල අලුත් පරිච්ඡේදයක් ආරම්භවීමයි.

අවුරුදු මාසයේ පළමු සතියේම ඇතිවන මෙම දේශපාලන ගිනිකෙළි මොනවා විය හැකිදැයි අනුමාන කිරීමට දැන් අපි උත්සාහ ගනිමු.
විශ්වාසභංග යෝජනාව ජයගතහොත්, අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වන්නේ නැත. අගමැතිවරයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගැනවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන්නේ නැත. තිබෙන්නේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගැනය. අගමැතිවරයා ඉල්ලා අස්විය යුත්තේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ විටය. මෙම තර්කය මත, තමන් මෙම විශ්වාසභංගයෙන් පරාජය වුවත්, අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවීමට රනිල් වික්‍රමසිංහ මහතාට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ තිබේ. එය සම්මත වුවත්, ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුද නැත. මන්දයත්, දැනට තිබෙන්නේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් නොවන හෙයිනි. මෙය ආණ්ඩුවටත් විරුද්ධ විශ්වාසභංගයක් බව ඇතැමුන් කියන නමුත් ඒ බව විශ්වාසභංග යෝජනාවේ නිර්මාතෘවරු ඍජුවම නොකියති. අනෙක් අතට රාජ්‍ය පාලනයේ පදනම් කාරණා සම්බන්ධයෙන් අගමැතිට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක්ද විය යුතුය.

එහෙත්, විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත්, අගමැති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඇති දේශපාලන අවකාශය සම්පූර්ණයෙන්ම වාගේ අහෝසි වනු ඇත. එවිට ඔහු ඉල්ලා අස්නොවන්නේ නම්, ඔහු අස්කර, පාර්ලිමේන්තුවේ බහුතරයේ සහයෝගය ඇතැයි තමන් විශ්වාස කරන වෙනත් කෙනෙකු අගමැති වශයෙන් පත්කිරීමේ අසාමාන්‍ය පියවර ගැනීමට ජනාධිපති සිරිසේන මහතා තීරණය කළහොත් අප ඒ ගැන පුදුම විය යුතු නැත. එවැන්නක් සිදුවීමට තමන් අගමැති වශයෙන් පත්කරන පුද්ගලයාට පාර්ලිමේන්තුවේ බහුතරයේ සහයෝගය ඇත්තටම තිබීමම අවශ්‍ය නැත. තිබිය යුත්තේ එම පුද්ගලයාට බහුතරයේ විශ්වාසය ඇතැයි විශ්වාස කිරීමට ජනාධිපතිතුමාට හැකිවීම පමණි. එසේ කළහොත් ජනාධිපතිතුමා බොහෝවිට උත්සාහ ගනු ඇත්තේ ශ්‍රීලනිපයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් ඒ සමගම එජාපයේ මන්ත්‍රීන් පිරිසකගේත් සහයෝගය තමා අලුතෙන් පත්කරන අගමැතිවරයාට ලබාදීමයි. මේ පියවර සඳහා ජනාධිපතිතුමා දැනටමත් කටයුතු කරගෙන යන්නේ නම් ඒ ගැනද අප පුදුමවිය යුතු නැත. දැනට ලංකාවේ තිබෙන දේශපාලන බලඅරගලය කොතරම් තියුණු එකක්ද යත්, හැම පාර්ශ්වයක්ම සෑම අනපේක්ෂිත අවස්ථාවකට පවා මුහුණදීමට දැන්ම පටන් සූදානම් වනවා ඇතැයි අපට අනුමාන කළ හැකියි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් අස්වීම සහ අස්කිරීම යන අවස්ථා දෙකම, එජාපය දේශපාලන පක්ෂයක් ලෙස මහත් අර්බුදයකට ඇද දමන්නක් වීම අනිවාර්ය වනු ඇත. එජාප නායකයා වශයෙන් තවදුරටත් රැඳී සිටීම රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලනික මෙන්ම චර්යාධාර්මික වශයෙන්ද නොහැකි වනු ඇත. දැනට පෙනෙන පරිදි ක්‍රියාවලීන් දෙකක් මෙතැනදී සිදුවිය හැකිය. පළමුව, නව නායකත්වය සඳහා එජාපයේ දෙවැනි පෙළේ නායකයන් අතර මහා බලතරගයක් ඇතිවීමයි. රනිල් සහ රනිල් විරෝධී පාර්ශ්ව අතර තරගය උත්සන්නවීමට බොහෝ විට ඉඩ තිබේ.
දෙවැනි ක්‍රියාවලිය නම්, රනිල් විරෝධී අලුත් එජාප නායකයෙකු පත්කිරීමට, ජනාධිපති සිරිසේන මහතාද උනන්දුවීමයි. සිරිසේන මහතා දැනට තිබෙන බව පෙනෙන රනිල් විරෝධයේ තර්කණයට තර්කණය මෙලෙස දිගටම ඇදීයෑමට ඉඩ තිබේ. එයට ප්‍රධාන හේතුව, අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ හෝ ඉවත්වීමට බලකරනු ලැබූ හෝ රනිල් වික්‍රමසිංහ ඉන්පසුව තපස් රැකීමට වනගත නොවන බව ජනාධිපතිතුමාද හොඳින් දන්නා බැවිනි.

විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් සිදුවිය හැක්කේ මොනවාදැයි දැන් අපි ඊළඟට බලමු. ජයගත්තත්, එජාපයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය පවතිනු ඇත්තේ දුර්වල තත්ත්වයකය. අගමැති ධුරයේ දිගටම සිටින අතරම, එජාප නායකත්වයෙන් ස්වේච්ඡාවෙන් ඉවත්වීමේ විකල්පය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හොඳම දේශපාලන විකල්පයයි. පක්ෂයේ අර්බුදයක් ඇති නොවන පරිදි පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමත්, නායකත්ව මාරුව සාමකාමීව සිදුකිරීමටත්, එලෙස ලැබෙන අවස්ථාව ප්‍රයෝජන නොගතහොත්, එජාපය කැඩී බිඳී යෑම වැළැක්විය නොහැකි යථාර්ථයක් වනු ඇත.

විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත්, ඇතිවන අනෙක් ප්‍රතිඵලය නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දැනට තිබෙන බලඅරගලයෙන්, ජනාධිපතිවරයා සෑහෙන පමණ දුර්වලවීමයි. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග ජනාධිපති සිරිසේන මහතා දැනට සිදුකරන බලතරගයේදීද එතුමාගේ තත්ත්වය දුර්වල වනු ඇත. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ සමග එක් පැත්තකින්ද, මහින්ද රාජපක්ෂ සමග තවත් පැත්තකින්ද බලඅරගලයකට සම්බන්ධ වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාට, තම ඉදිරි දේශපාලන උපාය මාර්ග ගැන ඉතා පරෙස්සමෙන් සිතා බැලීමට සිදුවෙනු ඇත.

ඉහත අප කෙටියෙන් හඳුනාගන්නේ ඉදිරි සතියේ සිදුවිය හැකි දේශපාලන ගිනිකෙළි කිහිපයක් පමණි. තවත් ඒවා මතුවනු දැකීමට ඉදිරි දින කිහිපය තුළදී අපට හැකිවනු ඇත. ඒ සියල්ල මැද්දේ ස්ථිරව සිදුවනු බවට පෙනෙන එක දෙයක් තිබේ. එය නම් අප්‍රේල් 04දායින් පසුව ලංකාවේ දේශපාලනය, එදිනට පෙර තිබුණු තත්ත්වයෙන් තවදුරටත් නොතිබෙනු ඇත යන්නයි. පවත්නා සභාග ආණ්ඩුවේ ස්වභාවය, එහි අභ්‍යන්තර බල සම්බන්ධතා, දේශපාලන පක්ෂවල ඉරණම සහ ඉදිරියේදී මතුවන දේශපාලන ගකිකත්ව යන සියල්ලෙහිම මෙම පරිවර්තනය දැකිය හැකිවනු ඇත. ඇත්තට මේ සියල්ලෙන් පෙනෙන්නේ, ලංකාවේ සමකාලීන දේශපාලනනය අලුත් පරිවර්තනීය අවධියකට සම්ප්‍රාප්ත වී තිබෙන බවයි. එක් අවධියක සිට තවත් අවධියක් කරා සිදුවන මෙම පරිවර්තනය සාමකාමීව, ප්‍රචණ්ඩත්වයෙන් තොරව, පාර්ලිමේන්තුව ඇතුළතම සිදුවන්නේ නම්, එය කෙතරම් අඩුපාඩු තිබුණත්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණතභාවය පෙන්වන අවස්ථාවක්ද වනු ඇත.
මේ අතර පුරවැසියන් වන අප කළයුත්තේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩල්යේ සියලු ඇමතිවරුන්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි.