ජනයාට ඕනෑ මිදි කඩාගැනීමට ඉඩදෙන එජාපයකි

විමලනාත් වීරරත්න

රනිල් වික්‍රමසිංහ යනු එජාපය අපේක්‍ෂික අභිමානවත් සිහිනය බිඳ දමන නායකයෙක්ද? මේ වන විට අගමැතිවරයාගේ බරපතළම විවේචකයා ලෙස පෙනෙන රංගේ බණ්ඩාර පසුගිය දිනක ජේ.ආර්ගෙන් පටන්ගෙන පේ්්‍රමදාස ලලිත් හරහා ගාමිණී දිසානායක යන හිටපු නායකයන් සිහිපත් කොට කීවේ ඔවුන් හිටියානම් එය පක්ෂයට කොපමණ හොඳදැයි එජාප හිතවාදීන් පරිකල්පනය කරන බවය. ඒ සමගම රනිල් වික්‍රමසිංහ ගියා නම් එජාපයට කොපමණ හොඳදැයි යන්නත් එජාප පාක්ෂිකයන් කල්පනා කරන බවය. එසේ කීමට හේතු වී ඇත්තේ වික්‍රමසිංහ මහතා තිස්වතාවක් ඡන්දවලින් පරාජය වීම නිසාද? ජීවතුන් අතර සිටියා නම් ලලිත්ට ගාමිණීට වුව ඔවුන්ගේ සක්‍රීය දේශපාලන භාවිතයන් අනුව ඉක්මනින් බලයට පත්වන්නට තිබුණි. රනිල් නායකත්වයට පත්වීමත් සමගම පක්‍ෂය තුළ සංකීර්ණ තත්ත්වයකට මුහුණ දුන් නායකයෙකි. ඔහු පක්‍ෂයේ නායකත්වයට පත්වන විට එහි ප්‍රධාන නායකයෝ කිසිවෙක් නොසිටියහ. එය ඔහුගේ ආරම්භයට මන්දගාමී ස්වරූපයක් ලබාදුන් සිදුවීමකි. රනිල්ගේ නායකත්වයට ප්‍රබල පිටිවහලක් විය හැකි පදනමක් ඇති ප්‍රධානයන් කිහිප දෙනකු හෝ එවකදී පක්‍ෂය තුළ සිටියා නම් රනිල් වික්‍රමසිංහ තිස්වතාවක් නොපරදින්නට තිබුණි.

ඔහුගේ තෝරාගැනීම්

ජේ.ආර්ට, ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වැනි ප්‍රබලයන් සිටියත් රනිල් මෑත අවදියේ පවා වඩා වැඩි විශ්වාසයක් තබා ක්‍රියා කළේ මලික්, අකිල, සාගල වැනි අය කෙරෙහිය. බාහිරට පෙනෙන පරිදි ඒ බොහෝ දෙනෙකුට පළල් මහජන බලවේගවල සහයෝග නැත. ඒ අතරින් සමහරු ක්‍රියා කරනුයේ ළදරුවන් සේය. රනිල් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුව සිටි කිසියම් ජන පදනමක් තිබුණු සගයා වූයේ තිස්ස අත්තනායකය. එහෙත් රනිල් ඉතා නිවැරදි ලෙස, තිස්ස කළ අදුරදර්ශී හා ද්‍රෝහී ක්‍රියාව නිසා ඔහුට රස්නය මැකී ගිය පසු හෝ සමාවක් නම් නොදුන්නේය. තමා පත් කළ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙනුත් රනිල්ට එම ස්ථාවරයම දැරිය හැකි වූයේ නම් ඔහුට රටේ අතිබහුතරයකගේ ප්‍රසාදය හිමිවන්නට තිබුණි. එහෙත් රනිල් මුල සිටම ප්‍රයත්න දැරුවේ සිය පංති සගයා වන මහේන්ද්‍රන් බේරා ගැනීමටය. එමෙන්ම යළි තනතුරට පත් කිරීමටය. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂය තුළ තමාට එරෙහිව අර්බුදයක් මතු වන විට ප්‍රතිසංවිධානයක් කළ යුතු බව ජනමාධ්‍යයට කියයි. ඔහුගේ ප්‍රතිසංවිධානයත් හරි අපූරුය. තනතුරුවලට පත් කරන්නේ තම ප්‍රියතමයන්ය. මහලේකම් ධුරයෙහි ප්‍රශ්නයක් තිබේ නම් එම තනතුරට අකිල යෝජනා වෙයි. එය කැහි ගෑනි වෙනුවට හොටු ගෑනි තෝරා ගැනීමක් බව ඔහුට තේරෙනවාද? නැද්ද යන්න සිතාගත නොහැකිය. තිලක් මාරපන නීතිය හා සාමය ඇමතිධුරයෙන් ඉවත් කැරෙන විට එම තනතුරට සාගල දැම්මේය. අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරනවිට සාගල එම තනතුරෙහි අසාර්ථක නිසා ඔහු ඉන් ඉවත් කර තරුණ කටයුතු භාර කැරිණි. තරුණ කටයුතු භාර දීමට එජාපයේ තරුණයෙක් ඇත්තේම නැද්ද? රනිල් දකින පක්ෂයේ සිටින එකම තරුණයා සාගලද? මේවා පුදුම සහගත තේරීම්ය. මේ කරුණු අනුව බැලුවත් රංගේ බණ්ඩාරගේ මතය සාධාරණීකරණය කැරෙයි.

එසේ වූයේ ඇයි

බලයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මාර වැඩකාරයෙක් යැයි බොහෝ දෙනෙක් කීහ. ඒ බොහෝ දෙනෙක් අතරින් තවමත් එසේ කියන්නේ එක් අයකු පමණි. ඒ වික්‍රබාහු කරුණාරත්නය. රනිල් සමග පාසල් ගිය ඇමතිවරු පවා මහපොළොවට බැස වැඩකිරීමේ කලාව ලොක්කා නොදන්නා බව කියති. රනිල් ලංකාවේ සිටින සෙසු නායකයන් සමග සසඳා බලන විට ඉහළම පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ඔහු දියුණු රටක් හොඳින් පාලනය කරනු ඇත. එහෙත් දුප්පත් රටක් ගොඩගැනීමේ කලාව ඔහුට අභ්‍යාස නොකළැකි බව පෙනේ. ඔහු ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවේ. සාම ළැදි, ලිබරල් ඇවතුම් පැවතුම් ඇති අතිශයින්ම දැනුවත් සමාජයකට ආමන්ත්‍රණය කළ හැකි නායකයෙකි. එහෙත් ලංකාවට අවශ්‍ය සාමාන්‍ය ජනයා සමග ක්‍රියා කළ හැකි නායකයෙකි. ඉන් අදහස් වන්නේ මහින්ද රාජපක්‍ෂ වැනි ජනයාගේ බුරියටත් වියතක් විතර පහළ ප්‍රදේශයට ඇඟිල්ලෙන් ඇන කිති කවා ප්‍රශ්න අමතක කරවන මට්ටමේ නායකයෙකු නොව ඇත්තටම සාමාන්‍ය ජනයාගේ ප්‍රශ්න කෙරෙහි සංවේදි විය හැකි නායකයෙකි. රනිල් එම බිම් මට්ටමෙන් දුරස්ය. එජාපයේ පවා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෝ වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් සක්‍රීය නායකයකු ඉල්ලා සිටිති. රනිල්ගේ ලිබරල් චින්තන ආස්ථානය ජාතීන් අතර සමගියට හා සුහදතාවට උපස්ථම්භක වුවත් එමඟින් රටේ ජනයාගේ ප්‍රායෝගික ප්‍රශ්න ජයගත නොහැකි බව බිම් මට්ටමේ එජාප සාමාජිකයෝ තේරුම්ගෙන සිටිති. එජාපයට ඕනෑ පක්‍ෂය දිනවන නායකයෙක් විය යුතුය. එහෙත් පොදුවේ ගතහොත් රටට අවශ්‍ය වන්නේ රනිල්ගේ සාධනීය සංදර්භය සහිත ඔහුට නොහැකි වැඩ කොටස ඉටුකිරීමටත් හැකි නායකයෙකි.

77 එජාපය

රනිල් වික්‍රමසිංහ මහතා 77 දී පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වූවෙකි. එවකට එජාප නායකත්වය දැරු ජේ.ආර්. ජයවර්ධන භයානක අත්දැකීම් හා ප්‍රතිඵල අත්කර දුන් වෙළෙඳපොළ ආර්ථිකයට ගිය මුත් එම සංසිඳීමක් නැති ක්‍රමය තුළ පවා මිදි වැල අසල තරමක් හෝ උඩ පනින කෙනෙකුට මිදි ගෙඩියක් දෙකක් කඩා ගැනීමේ වරම ලැබිණි. මහ කොළඹ ආර්ථික කොමිසම වැනි ආයතන පිහිටුවා නිදහස් වෙළෙඳ කලාපය ස්ථාපිත කිරීම ආදී කටයුතු මඟින් ගම කරා මූල්‍ය සංසරණය සිදුවුණේය. එකල කා අතේත් මුදල් ගැවසෙන හා වියදම් කිරීමට බය නැති කාලයක් ලෙස බොහෝ දෙනෙක්ගේ ප්‍රසංශාවට ලක්වුහ. එහෙත් රට දිගු කාලීන ආර්ථික වැඩ සටහනකට හා රටට දීර්ඝ කාලීන ආර්ථික දර්ශනයක් ලබාදීමට ජේ.ආර් අසමත් විය. රට නිෂ්පාදන ආර්ථිකයට යොමු කිරීමට ඔහුට නොහැකි විය. දිගුකාලීනව ඵල දෙන කාර්මාන්ත ප්‍රමුඛව නිෂ්පාදන ක්‍රියාවලියක් රටෙහි නොපිහිටවුණි. රට අල්ලා ගත් ආර්ථික මූලෝපාය වූයේ බයි ඇන්ඞ් සෙල්ය. රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්ගේ අනුගාමිකයකු ලෙස අඩුම තරමින් ගමට ආර්ථිකය සංසරණය කරවන වැඩසටහනවත් අල්ලා නොගත්තේය. අරගෙන විකුණන ආර්ථිකයෙහිත් විකුණන කොටස පමණක් රනිල් ලබ්දියක් ලෙස වැළඳ ගත් බව පෙනුණි. එවිට ඔහුගේ ආර්ථික මූලෝපාය විය හැක්කේ රටෙහි තිබෙන දේවල් විකිණීම මිස අන් උපාය මාර්ගයක් නොවේ. විකිණීම ගැන ඔහු දෙවරක් නොසිතන මට්ටමට පත්ව සිටින්නේ ඒ ආවේශය නිසා විය හැකිය. රනිල්ට එජාපයේ පූර්වගාමියා මෙන් ගල්ඔයට මින්නේරියට යාමට නොහැකි විය හැකිය. එහෙත් බල ශක්තිය තොරතුරු තාක්‍ෂණය ප්‍රමුඛව නූතන ආර්ථික මාවත් කෙරෙහි ඔහුගේ ඇස හිස දිව යා යුතුව ඇත. ජනයා තුළ රනිල් මාර වැඩකාරයා යන අදහස පැන නැගුනේ එවැනි බලාපොරොත්තුවක්ද පෙරදැරිව බව මොන වරද තිබුණත් රනිල් වනන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නද පසක් කර ගත යුතුය.

විශ්වාසභංගය

පොදු ජන පෙරමුණ විසින් අගමැතිවරයාට එරෙහිව කථානායකවරයාට භාර දුන් විශ්වාසභංගයට කරුණු 14ක් අඩංගුය. එහි වැඩි ප්‍රමාණයක් ඇත්තේ මහ බැංකුවේ සිදුවූ වංචාකාරි ගනුදෙනුවට අදාළව වික්‍රමසිංහ මහතා චූදිතයකු බව කියවෙන කරුණුය. ඊට අමතරව තිබෙන බරපතළම චෝදනාව වන්නේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ඔහු මෑතකදී මහනුවර ඇතිවූ සිද්ධිය ඉක්මණින් සමථයකට පත් කර ගැනීම සඳහා ක්‍රියා නොකළ බවට එල්ල වන චෝදනාවය. ඒ මොහොතේ වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණු අවස්ථාවය. ඇතැමුන් කියන්නේ එම කටයුත්ත ප්‍රමාද කිරීම සඳහා අගමැතිවරයා හිතා මතාම මහනුවර ප්‍රශ්නය ඇවිළී යාමට ඉඩ දුන් බවය. අප එම චෝදනාව ඔහුට නොකරන්නේ වික්‍රමසිංහ මහතා කිසිසේත්ම ජාතිභේදවාදය අවුලවන නායකයකු නම් නොවන නිසාය එහෙත් ඔහුගේ පක්‍ෂයේ ඇතමුන්ගෙන් හා විරුද්ධ පක්‍ෂවලින් උක්ත චෝදනාව නැගෙයි. එබැවින් පිළිතුරු දිය යුත්තේද වික්‍රමසිංහ මහතාය. ඒ මහතාට එරෙහිව නැගී ඇති මහනුවර සිදුවීම්වලට අදාළ චෝදනාව හැරුණු විට අන් සියල්ල ඉතාම සාධාරණ හා තාර්කික බවද කිව යුතුවෙයි.
එජාපයෙන් 27 දෙනකු ඊට සහාය දෙන බව කියවුණත් මේ කිසිදු පක්ෂයක් හෝ මන්ත්‍රීවරයෙක් දැන් ජනතාව ඒසා විශ්වාස කරන්නේ නැත. මෙම 27 දෙනාගේ කතාවට පිළිතුරු වශයෙන් එජාපයේ බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා කියා තිබුණේ තමා ඇතුලු පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංගයේදී සහාය දෙන්නේ එතැන් සිට වැරදි හදාගැනීමට බවය. ඒ සඳහා එජාපය අභ්‍යන්තරයෙන් රනිල්ට ගැලවිය නොහැකි බලපෑමක් එල්ල කළ යුතුව තිබෙන බවත් එහි ප්‍රතිසංස්කරණවාදිහු පසක් කර ගත යුත්තෝය.

ප්‍රතිඵල

විශ්වාසභංගය ඉදිරිපත් කර තිබෙන්නේ පොදු ජන පෙරමුණ විසිනි. ඔවුහු ජනතා විශ්වාසය රක්ෂා කළ අය නොවෙති. මහජන විශ්වාසය යන්න බිංදුවටම දමා ඒකාධිපතිත්වයට රට ගෙන ගියහ. තමා වැරදි කළත් අනුන්ගේ වැරදිවලට විරුද්ධවීමටත් ඔවුන්ට අයිතියක් තිබේ. එහෙත් එසේ විරුද්ධ වන විට ඔවුන්ගේ ක්‍රියාවෙහි වලංගුභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතුවේ. විශ්වාසභංගය භාර දීමට ගිය පිරිස දෙස බැලීමේදී එම ප්‍රශ්නය මතු නොවේද?

සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක යන දෙදෙනාම කියා තිබුණේ විශ්වාසභංගයට විරුද්ධවීමට ශ්‍රීලනිපයට හේතුවක් නොමැති බවය. මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක වැට උඩ ඉඳගෙන ප්‍රකාශ නිකුත් කළෝය. රනිල් විශ්වාස භංගයෙන් පරාජය වුවහොත් බකල ගගහා ගිය යහපාලන ගමනත් එතෙකින් නවතියි. යළි ඒකාධිපති පාලනයකට රට නතුවන ප්‍රවේශයක් ඉන් සංඥාවීමටද පුළුවන. එබැවින් කළ යුත්තේ රනිල්ගේ සියලු වැරදි වසාගෙන විශ්වාස භංගය පරදවන එකද?

ජනමාධ්‍යයේ හා බුද්ධිමතුන්ගේ වගකීම

ජනමාධ්‍යයේ හා බුද්ධිමතුන්ගේ වගකීම විය යුත්තේ රනිල් එළවීම හෝ තබා ගැනීම නොවේ. ඔහු දේශපාලනඥයකු ලෙස ලිබරල් ගති පැවතුම් ප්‍රකට කරන අයකු නිසා ඔහුගෙන් කරගත හැකි හරයාත්මක දේවල් රට වෙනුවෙන් කර ගැනීම දක්වා රනිල් මෙහෙයවා ගැනීමය. නායකයන් අතරින් රනිල් මංගල වැනි අය හැර අන් සියල්ලන් තුළ ජාතිවාදී විභවයක් තිබේ. ඔවුන් ඡන්ද වෙනුවෙන් වෙන්දේසි කරන්නේද එම ජාතිවාදී ආස්ථානය බව පෙනේ. එජාපයේ සජිත් වැනි නැගී එන නායකයකු ගත හොත් ඔහු වැඩට යම් කාර්යශූරත්වයක් පෙන්නුවත් ජාතීන් අතර ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ ස්ථාවරයෙහි මහින්ද රාජපක්‍ෂගේ ස්ථාවරයට වඩා වෙනසක් නැත. නායකයකු ලෙස ජනාධිපතිවරයා ගැන සලකා බැලුවත් ඔහු ජාතිවාදී නැතත් ජාතිවාදී ප්‍රවණතාවන්ට දැඩි බියසුළු බවක් දක්වන්නෙකි. එමෙන්ම සංඝ සමාජයේ ඕනෑම අදූරදර්ශී ඇනවුමකට හිස සලන්නෙකි. එවැනි නායකයකුට රනිල් වැනි ලිබරල් නායකයකුගෙන් යම් හයියක් ලැබිය හැකිය. ප්‍රශ්නය ඇතිවුණේ එවැනි ප්‍රබල සහාවාසයක් මේ දෙදෙනාගේම අදුරදර්ශී බව නිසා ශූන්‍ය කර ගැනීමෙනි. රනිල් විශ්වාසභංගයෙන් දිනුවත් සමාජයට අත්වන ලොකු ලාභයක් නැත. එහෙත් පැරදුනහොත් රට අන්තවාදයක් කරා තල්ලුවිය හැකිය. එබැවින් ජනමාධ්‍ය හා මෙරට බුද්ධිමතුන් උත්සාහ කළ යුත්තේ මේ සංකීර්ණ තත්ත්වයට අතරමැදි පළදායක විසඳුමක් සොයාගැනීමටය. එසේ නොමැතිව විශ්වාසභංගයේ ජය හෝ පරාජය වෙනුවෙන් උසිගැන්වීම ජනමාධ්‍යයේ හෝ බුද්ධිමතුන්ගේ කාර්යයක් නොවිය යුතුය.