ජනතා මූලස්ථානය පිටුදැකීමේ ආදීනව

නව පළාත් පාලන ඡන්ද ක්‍රමයේ සමහන් කළ නොහැකි ආරාවුලක් තිබෙන බව මේ වනවිට එම ආයතනවල බලය පිහිටුවමින් තිබෙන ආකාරයෙන් පෙනී යයි. මෙතෙක් කලක් ඕනෑම පළාත් පාලන ඡන්දයකින් ජයගත් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට නගරාධිපති හෝ සභාපතිධුර හිමිවුණු අතර මෙවර එම විනිවිද පෙනෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම කණපිට හැරී තිබේ. පක්ෂ හැටියට තීන්දු ගත යුතු අවස්ථාවල පුද්ගලයන් හැටියට පුද්ගලික වුවමනා එපාකම් හා පුද්ගලික රුචි අරුචිකම් පදනම් කරගෙන තීරණ ගත් ආකාරයක් මෙවර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දක්නට ලැබිණි. ස්වාධීන මන්ත්‍රීවරුන්ට නම් පුද්ගලික තීරණ ගත හැකිය. එහෙත් පක්ෂයක සාමාජිකයකු වීම යනු හා එම පක්ෂයෙන් තේරී පත්වුණු සභිකයකු වීම යනු අදාළ පක්ෂයේ ප්‍රතිපත්ති හා අරමුණු සමග බැඳී සිටිය යුතු තත්ත්වයකි. විශේෂයන්ම ජනවරමක් භාවිත කරමින් සිදුකරන කටයුත්තකදී පක්ෂයේ නියාමයන්ගෙන් පරිබාහිරව ක්‍රියාකිරීමට අවකාශය සැලසී තිබීම නව ඡන්ද ක්‍රමය තුළ පිළිගත නොහැකි කාරණයකි. ඒ අනුව නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය විසින් අනුචිත ස්වාධීනත්වයක් සභිකයන්ට හිමිකරදී ඇති බවත් පෙනේ.

ගාල්ල නගර සභා ඡන්දයේදී එජාපය 14ක් සහ පොදුජන පෙරමුණ 13ක් සභික ධුර දිනා ගත්හ. එහෙත් එජාපයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහායෙන් ගාල්ල නගරාධිපති ධුරයට පත්වූයේ පොදුජන පෙරමුණේ නියෝජිතයෙකි. මෙහි බරපතළම තත්ත්වය උදාවූයේ මීගමුවේදීය. එජාපය සභික ධුර 19ක් ලබා ගනිද්දී පොදුජන පෙරමුණ ලබාගෙන තිබුණේ 16කි. එහෙත් පොදු ජන පෙරමුණට ශ්‍රීලනිපයෙන් පත්වූ සයදෙනාගෙන් සිව්දෙනකුගේ සහාය ලැබී පොදුජන පෙරමුණේ නියෝජිතයා නගරාධිපති ධුරයට පත්වූයේය. මෙම ක්‍රමයටම අරණායකදී පොදුජන පෙරමුණේ සභික ධුර 14ක් ලබාගෙන තිබුණු නමුත් 10ක් ලබාගත් එජාපයට ශ්‍රීලනිපයේ හා ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබී එජාපයට අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිමිවිය. දෙහිවල-ගල්කිස්ස නගර සභාව සඳහා එජාපයත් පොදුජන පෙරමුණත් සභික ධුර 19 බැගින් ලබාගෙන සමාන තත්ත්වයක් ඉසිලුවත් පොදුජන පෙරමුණට ශ්‍රීලනිප සහාය ලැබුණි. හැටන් – දික්ඔය සඳහා කුසපත් ඇදීමෙන් සභාපති ධුරයට පත් කැරිණි. හැටන් – දික්ඔය සඳහා කුසපත් ඇදීමට පෙර පොදු ජන පෙරමුණෙන් පත්වූ සෙන්දිල් සිවදර්ශනී මන්ත්‍රීවරිය එජාපයට සහායදීම නිසා දැඩි වාග් සංග්‍රාමයක් සිදුවනු දක්නට ලැබිණි. මාර්තු 28 වැනිදා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීමේදීද ගුටිබැට හුවමාරුවක් සිදුවූ බවට වාර්තා විය. මේ සියල්ල සිදුවන්නේ ජනතා සේවය වෙනුවෙන්ද? මේවා සිදුවන්නට බැරි දේවල් බවට පත්වන්නේ කැපුවත් කොළ, කැපුවත් නිල් යුගයේදීය. දැන් ඒ යුගය අවසන්ව ඇත. දැන් තිබෙන්නේ කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා බවට පත්කර ගැනීමේ යුගයයි. ඇතැම් ප්‍රදේශවලදී විශ්වාස කළ නොහැකි මට්ටමේ පරිවර්තනවලට සහාය දුන් මන්ත්‍රීවරුන්ට එල්ල වූ බරපතළ චෝදනාවක් වූයේ ඔවුන් මුදල්වලට විකිනුණු බවය. ඒ ගැන එක්විටම යමක් කිව නොහැකිය. එහෙත් ප්‍රාදේශීය ඡන්දයකින් ඉක්බිතිව ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව පිහිටුවන අවස්ථාවේදී මේ බඳු තත්ත්වයක් හටගැනීම රටේ අනාගතය ගැන මහත් අවිනිශ්චිතතාවක් ඇති කරන්නකි. පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු වීමට පෙර තිඹිරි ගෙදරදීම අල්ලස් හෝ දූෂණ චෝදනා ගණයට වැටෙන වරදක් පිළිබඳව සැකකටයුතු වීම යහපත් තත්ත්වයක් නොවේ.
පළාත් පාලන ඡන්ද ක්‍රමය නමින් කන්දක් විළිලා මී පැටවකු හෝ වැදූයේ මැතිවරණ දූෂණ අවම කරගැනීමටය. එහි වැය පක්ෂය සීමාකර ගැනීමටය. එහෙත් මනාප ක්‍රමයේදී සිදුවුණු අකටයුතුකම්, දූෂණ හා වියදම් වෙනත් ආකාරයකින් සිදුවනවිට එය නොසලකා හැරිය නොහැකි තත්ත්වයකි. අනෙක් අතට නව මැතිවරණ ක්‍රමය, පක්ෂවල අධිකාරිත්වයෙන් පිට ඕනෑම සභිකයකුට වල්බූරු නිදහසක් සඳහා අවකාශය සලසන්නක් නම් එය අනාගතයේදී පක්ෂ අවලංගුවීමේ අවදානමක්ද මතුකරන්නකි. අනෙක් අතට මේ තත්ත්වයට සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතුය. ඒ ඔවුන් පක්ෂය යනු ජනතා මූලස්ථානයයි යන මූලධර්මය පිටුදැක දිගුකලක පටන් කටයුතු කිරීමට පටන් ගෙන තිබෙන නිසාය.