රට වෙනස් කිරීම හා අධිකරණය

වික්ටර් අයිවන්

පළාත් පාලන මැතිවරණයට පෙර මැතිවරණ ක්‍රමයේ ඇති කරන ලද ප්‍රතිසංස්කරණ ගැන රටට විවේචනයක් තිබුණේම නැති තරම්ය. රටේ නාමධාරී බුද්ධිමතුන් හා පුරවැසි ව්‍යාපාරවල ප්‍රකාශයකයන් ඒ මගින් ඇති කර තිබෙන වෙනස්කම් ගැන කතා කළේ මහත් උද්දාමයකින් යුතුවය. සියලු දේශපාලන පක්ෂවලටද ඒ ගැන කිසිදු විවේචනයක් නොතිබුණි. මෙම නීති සම්පාදනය පළාත් පාලන විෂයෙහි මහා අවුලක් ඇති කිරීමට හේතුවීමෙන් නොනැවතී මැතිවරණ ප්‍රතිඵලය රටේ අරාජක තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇති බව කල්තියා ප්‍රකාශ කළේ පුනරුද ව්‍යාපාරය පමණය. පුනරුද ව්‍යාපාරයේ එම පුරෝකථනය මේ වනවිට ඕනෑවටත් වඩා සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය. රටේ නීති සම්පාදන විෂය තලය පමණක් නොව රටේ බුද්ධිමය තලයද දේශපාලන මතවාදී තලයද ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය.

මේ ලිපියෙන් කතා කරන්නට අපේක්ෂා කරන්නේ ඒ ගැන නොවේ. නැවත මා කතා කරන්නට යන්නේ ව්‍යුහමය වෙනස්කම් ඇතුළත් ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැනය. සියලු දේශපාලන නායකයන් එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා එකතැනට ගත්තද එවැනි වැඩසටහනක් සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට නම් අධිකරණයේ අනුමැතිය හා එකඟතාව අත්‍යවශ්‍යය. එහෙත් අපේ අධිකරණය තිබෙන්නේ සතුටුවිය හැකි යහපත් තැනක නොවේ. ස්වාධීන අධිකරණයක් ඇතිකර ගැනීමෙන් තොරව එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඉදිරියට ගෙන යා නොහැකිය. මා මෙම රචනයෙන් ප්‍රධාන කොට සලකා බලන්නට අදහස් කරන්නේ අලුත් නීති සම්පාදනයකට යාමෙන් තොරව ස්වාධීන අධිකරණයක් ඇතිකර ගැනීමට තිබෙන හැකියාව ගැනය. එහිදී මම පළමුව අධිකරණයේ ඇතිවී තිබෙන පරිහානියට බලපා තිබෙන හේතු ගැන සොයා බැලීමකට යන අතර ඉන්පසු අලුත් නීති සම්පාදනයකින් තොරව අධිකරණය ප්‍රතිසංස්කරණය කළ හැකිද යන ප්‍රශ්නය හා ඒ සඳහා යොදාගත හැකි ක්‍රමවේද මොනවාද යන්න ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි. මා මෙහිදී කරුණු සලකා බලන්නට යන්නේ සමස්ත අධිකරණය ගැන නොව ඉහළ අධිකරණය ගැන පමණය.

නීතිය මත පාලනය

නීතිය මත පාලනයක් (The Rule of Law) ඇතිකර ගැනීමට හැකිවන්නේ ස්වාධීන අධිකරණයක් ඇතිකර ගැනීමට හැකි නම් පමණය. නීතිය මත පාලනය නමැති සංකල්පයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ එක්සත් රාජධානියේ නීති විශාරදයෙකු වූ ඒ.වී. ඩයිසි (Dicey) ය. ඔහු එය විස්තර කරන්නේ රටේ සාමාන්‍ය අධිකරණයක් ඉදිරියේ සාමාන්‍ය ක්‍රමයකට අනුව පිහිට වූ නීතියක් ප්‍රත්‍යක්ෂ ලෙස උල්ලංඝනය කිරීමකින් හැරුණු විට මිනිසකුට දඬුවම් කළ නොහැකි බව හා දඬුවම් නොකළ යුතු බවය. ඔහු වැඩිදුරටත් කියන්නේ මොනම කෙනෙකුවත් නීතියට ඉහළින් නොසිටින බව හා සෑම මිනිසකුම ඔහුගේ තත්ත්වය හා නිලය කුමක් වුවත් නීතියට විෂය වන බව හා අධිකරණයට අවනත වන බවය. එහි තේරුම සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන බව හා සියලුදෙනා කෙරෙහි නීතිය බලපාන බවය.

සෑම මට්ටමකම නිල බලයක් ඇති දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් තමන් වෙත පැවරී තිබෙන බලතල සද්භාවයෙන් හා සාධාරණ ලෙසද, එම බලය ලබාදී තිබෙන අරමුණ වෙනුවෙන් නීතියට අනුකූලවද, එම බලතලවල සීමාව ඉක්මවා නොයන පරිදිද ක්‍රියාවේ යෙදීම නීතිය මත පාලනයක තිබිය යුතු වැදගත්ම ලක්ෂණයකි. නීතිය මත පාලනය පිළිබඳ මූලධර්මය වර්තමානයේදී ජාත්‍යන්තර නීතියටද එකතු වී තිබෙන දෙයක් ලෙස සැලකිය යුතුය.
ස්වාධීන අධිකරණයක් නීතිය මත පාලනයක් සඳහා නැතුවම බැරි කොන්දේසියකි. අධිකරණය ව්‍යවස්ථාදායක හෝ විධායකයේ ග්‍රහණයට හසුකරගත නොහැකි ස්වාධීන තත්ත්වයක තිබිය යුතුය. එසේම එම අධිකරණය ව්‍යවස්ථාදායකයෙන්, විධායකයෙන්, දේශපාලන පක්ෂවලින් මහජන බලපෑමට හෝ මාධ්‍ය බලපෑමට හෝ හිත මිතුරන්ගේ බලපෑමට යට නොවී නීතිය අනුව පමණක් ක්‍රියාකරන තත්ත්වයක තිබිය යුතුය. විනිශ්චයකරුවන් සාධාරණ සේ ම අපක්ෂපාත විය යුතුය. ඒවා ස්වාධීන අධිකරණයක තිබිය යුතු මූලික ලක්ෂණ ලෙස සැලකිය හැකිය.

අධිකරණ ක්‍රමය නූතන කිරීම

ලංකාව නූතන අධිකරණ ක්‍රමයකට පිවිසුණේ 1833දී ක්‍රියාත්මක කරන ලද කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණවල ඵලයක් වශයෙනි. ඊට පෙර තිබුණේ එක පොදු ක්‍රමයක් වෙනුවට ක්‍රම ගණනාවකි. යුරෝපීයයන් සඳහා එක් ක්‍රමයක්ද, ස්වදේශිකයන් සඳහා තවත් ක්‍රමයක්ද තිබුණි. ස්වදේශිකයන් සඳහා පැවති එම අධිකරණ ක්‍රමය තුළද උඩරට පහතරට වශයෙන් තවත් අතුරු ප්‍රභේද දෙකක් තිබුණි. තිබුණු අධිකරණයට අගවිනිසුරුවරයෙකු සිටියද රටේ ප්‍රධාන විධායකයා ලෙස සැලකිය හැකි ආණ්ඩුකාරයාටද විශාල අධිකරණ බලයක් තිබුණි. අනෙක් අතට අධිකරණයේ නායකයා ලෙස සැලකිය හැකි අගවිනිසුරුවරයා ආණ්ඩුකාරවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන විධායක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළේය.
කෝල්බෲක් ආණ්ඩුකාරයාට තිබූ අධිකරණ බලය නැති කොට අගවිනිසුරුවරයාට තිබූ ප්‍රධාන විධායක මණ්ඩලයේ නියෝජනය අහෝසි කොට අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් හා තවත් කනිෂ්ඨ විනිසුරුවරු දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයක් ඇති කොට අනෙකුත් සියලු පහළ අධිකරණ එම ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන තනි හා ලංකාවට පොදු එක අධිකරණ ක්‍රමයක් ඇති කළේය.

ඒ සමග වර්ග, කුල, ආගම්, පන්ති හෝ නිල භේදයකින් තොරව සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකිය යුතු තත්ත්වයක් ඇතිවිය. ඒ සමග හොඳ අධිකරණ ක්‍රමයක් ගොඩ නැගුණි. රටේ සිටි බලවත්ම පුද්ගලයා ලෙස සැලකිය හැකි ආණ්ඩුකාරයාට එරෙහිව පවා තීන්දුදීමට මැලි නොවන අධිකරණ ක්‍රමයක් ස්ථාපිත විය. බ්‍රේස්ගර්ඞ්ල් නඩුවේදී පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයා දෙන ලද නියෝගය නිතියට පටහැනි බව අධිකරණය තීරණය කළේය. ලංකාවට නිදහස ලැබීමට ආසන්න කාලය වන විට ලංකාවේ අධිකරණය කොතරම් ස්වාධීනව ක්‍රියාකරන තත්ත්වයකට පරිණාමය වී තිබුණේද යන්න ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

නිදහසින් පසු අධිකරණය

නිදහසත් සමග ලංකාවේ අධිකරණය ස්වදේශික වූ අතර එම ස්වදේශිකකරණය තුළ අධිකරණයේ යහපත් වර්ධනයක් වෙනුවට සිදුවූයේ පිරිහීමකි. ලැබුණු ස්වයං පාලනය මනා ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය තරම් දියුණු මනසක් ලාංකිකයන්ට නොතිබුණේය. ලාංකිකයා බාහිර පෙනුමෙන් නවීන වුවත් අභ්‍යන්තරික හරය වැඩසම් විය. සමාජයේ පැවති මෙම අඩු නොදියුණුභාවය අධිකරණය කෙරෙහි සේ ම එහි විනිසුරුවරුන් කෙරෙහිද බලපෑවේය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක අධිකරණයේ කාර්යභාරය පිළිබඳ වැටහීමක් දේශපාලන නායකයන්ට නොතිබුණා සේ ම අධිකරණ නිලධාරීන්ටද නොතිබුණි. අධිකරණය ස්වාධීනව ක්‍රියාකරන තත්ත්වයක තිබෙනවා දකින්නට දේශපාලන නායකයන් කැමති නොවූවා සේ ම අධිකරණය ස්වාධීන තත්ත්වයක තබාගැනීමේ උනන්දුවක් අධිකරණ නායකයන්ට හා විනිසුරුවරුන්ටද නොතිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ දේශපාලනඥයන් වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් පිළිබඳ අවබෝධයක් දේශපාලකයන්ට නොතිබුණු අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ තමන් වෙත පැවරෙන වගකීම් පිළිබඳව අවබෝධයක් අධිකරණ නිලධාරීන්ටද නොතිබුණි.
සිංහල රාජ්‍ය භාෂා පනත නිදහසින් පසු ලංකාවේ අධිකරණය උරගා බැලීමකට ලක්වුණු ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

කෝඬේශ්වරම් නඩුව

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව 1961දී නිකුත් කළ භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් සිංහල ප්‍රවීණතා විභාගය සමත් නොවී සිටින රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ උසස්වීම් හා වාර්ෂික වැටුප් වර්ධකය අත්හිටුවන ලදි. චෙල්ලයියා කෝඬේශ්වරන් රජයේ ලිපිකරුවෙකි. ඔහු සිංහල ප්‍රවීණතා විභාගයෙන් සමත් නොවී සිටීම නිසා ඔහුට ලැබෙන වාර්ෂික වැටුප් වර්ධකය ඔහුට ලැබුණේ නැත. තමන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව ඔහු කොළඹ දිස්ත්‍රික් උසාවිය හමුවේ රජයට එරෙහිව නඩුවක් පැවරුවේය. මෙම නඩුවේ ප්‍රධාන නීති උපදේශකයා වශයෙන් ක්‍රියා කළේ නීලන් තිරුචෙල්වම්ගේ පියාය. ඔවුන් ඉදිරියට ගෙනා තර්කය වූයේ කෝඬේශ්වරම්ගේ වාර්ෂික වැටුප් වර්ධකය අත්හිටුවීමට යොදාගෙන තිබුණ භාණ්ඩාගාර චක්‍රලේඛනය සේ ම 1956 සිංහල රාජ්‍ය භාෂා පනතද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තියට පටහැනි බවය.

එම නඩුවේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා එය ව්‍යවස්ථාවට අදාළ ප්‍රශ්නයක් කරගැනීමෙන් වැළකී රජයේ සේවකයකු රාජ්‍ය සේවයේ යෙදී සිටියදී වැටුප් ප්‍රශ්නයක් මත රජයට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බවට තර්ක කළේය. නඩුව විභාග කළ බර්ගර් ජාතික දිස්ත්‍රික් විනිසුරුවරයා (ඕ.එල්.ඩී. ක්‍රෙස්ටර්)ගේ තීන්දුව වූයේ රාජ්‍ය භාෂා පනත සේ ම එය පදනම් කොටගෙන මහා භාණ්ඩාගාරය නිකුත් කර තිබෙන චක්‍රලේඛනයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 1964 අප්‍රේල් 24 වැනිදාය.
රජය එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්නයට අදාළ ව්‍යවස්ථා ප්‍රශ්නය සලකා බලන තැනකට නොගොස් රජයේ සේවකයකු රජයේ සේවයේ සිටියදී වැටුප්වලට අදාළ ප්‍රශ්නයකට රජයට එරෙහිව නඩු පැවරිය නොහැකිය යන නීති මූලධර්මය මත පිහිටා දිස්ත්‍රික් උසාවියේ තීන්දුව නිෂ්ප්‍රභ කළේය. ඒ නිසා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව එක්සත් රාජධානියේ තිබෙන ප්‍රිවි කවුන්සලයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුට සිදුවිය.

කෝඬේශ්වරම්ගේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ආ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඊට ඈඳී තිබුණු ව්‍යවස්ථාමය ප්‍රශ්නය මග නොහැර එයද සලකා බැලිය යුතුව තිබුණි. අඩුම වශයෙන් ඒ මගින් දෙමළ ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනුදෙනු කිරීමට තිබෙන අයිතිය ලබාදීමට හේතුවන නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සමත් වී නම් භාෂා ප්‍රශ්නය ලොකු ලේ වැගිරීම් ඇති කරන ප්‍රශ්නයක් බවට පත්වීම වළකා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. රටේ තිබෙන ජනප්‍රිය මතවාදවලට යට නොවී නීතියට අනුකූලව සාධාරණ ලෙස කරුණු සලකා බැලීමට අවශ්‍ය අපක්ෂපාතීත්වය හා ධෛර්යය ඒ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණයට නොතිබුණු බව ඉන් තේරුම් ගත හැකිය. මෙම නඩු තීන්දුව දෙන කාලයේදී අගවිනිසුරු ධුරය උසුලන ලද්දේ හේම බස්නායක මහතාය. ඔහු අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බලවත් ප්‍රකාශකයකු බවට පත්විය. ඔහුගේ පාලන කාලයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ චින්තනය ඉන්ද තේරුම් ගත හැකිය.

අධිකරණයේ තටු කැපීම

අධිකරණය විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍යයට යටත් නැති එම ආයතන දෙකේ කටයුතු පරීක්ෂාවට ලක් කරන ස්වාධීන බලමණ්ඩලයක් ලෙස පවතිනවා දකින්නට ලංකාවේ දේශපාලන නායකයන් මුලසිටම කැමැත්තක් දැක්වූයේ නැතැයි කිව හැකිය. අධිකරණය ඍජු ලෙස හෝ අනියම් ලෙස ආණ්ඩුවට යටත් තත්ත්වයක තබා ගැනීම සියලු දේශපාලන නායකයන්ගේ පොදු අභිලාෂය වී යැයිද කිව හැකිය. අධිකරණ නායකයන්ද බලයට පත්වන ආණ්ඩුවලට යටහත් පහත් තත්ත්වයකින් ක්‍රියාකරන්නට කැමැත්තක් දැක්වූවා මිස අධිකරණ ස්වාධීන බලමණ්ඩලයක් බවට පත්කර ගැනීමට හෝ අධිකරණයට හිමිවිය යුතුව තිබුණු අතිරේක බලතල හිමිකර ගැනීමට උනන්දුවක් දැක්වූයේ නැත. නීතියේ පාලනය පිළිබඳ පරිණත දැක්මක් දේශපාලන නායකයන්ට පමණක් නොව, අධිකරණ නායකයන්ටද නොතිබුණි.

රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුන අතුරින් පාර්ලිමේන්තුවට උත්තරීතර තත්ත්වයක් හිමිකර දෙමින් විධායකය හා අධිකරණය යටහත් පහත් තත්ත්වයකට පත්කිරීම 1972දී සම්මත කරගන්නා ලද ව්‍යවස්ථාවේ දර්ශනය වී යැයි කිව හැකිය. ඒ සමග අධිකරණයට තිබූ පාර්ලිමේන්තුවේ අණ පනත් පරීක්ෂාවට ලක්කිරීමේ අයිතියද අහෝසි කරන ලදි. ඒ දේ කරන ලද්දේ ඒ කටයුතු සඳහා ව්‍යවස්ථා අධිකරණයක් ඇති කිරීමෙනි. එම ව්‍යවස්ථා අධිකරණය පාර්ලිමේන්තුවේ රබර් මුද්‍රාවක් වී යැයි කිව හැකිය. 1970-77 සමගි පෙරමුණු ආණ්ඩු කාලය තුළ අධිකරණයට කෙරෙන ඇඟිලි ගැසීම් ඉහළම මට්ටමක පැවතුණේ යැයි කිව හැකිය.

1977දී ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් ඇතිව බලයට පත්වූ පසුව 1978දී නව ව්‍යවස්ථාවක් ඇති කරන ලද අතර අධිකරණයට පමණක් නොව පාර්ලිමේන්තුවටද තිබුණු බලය හීන කොට රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපතිවරයා අතට පත් කිරීම එම ව්‍යවස්ථාවේ මූලික දර්ශනය වී යැයි කිව හැකිය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට වගකිවයුතු රාජ්‍ය නායකයකු නොවීය. එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා කවර වරදක් කළද ඔහුට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නොතිබුණි. අධිකරණයේ සිටි විනිසුරුවරුන් අතරින් තමන් කැමති විනිසුරුවරුන් උසස් කිරීමටත්, තමන් අකමැති විනිසුරුවරුන් පලවා හැරීමට හෝ ඔවුන්ගේ තත්ත්වය පහත් කිරීමටත් ව්‍යවස්ථාව ආයුධයක් ලෙස යොදා ගත්තේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදිනිය ලෙස සැලකිය හැකි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ අරමුණ ඇතිව ඇති කරන ලද ජනාධිපති කොමිසමට එරෙහිව ඇය අභියාචනාධිකරණයට ගොස් එම කොමිසමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත් අවස්ථාවේදී ජනාධිපති නව නීති සම්පාදනයක් මගින් එම තහනම් නියෝගය වලංගු නොවන දෙයක් බවට පත් කළේය. මේ කාලයේදී අධිකරණය විසින් කරන ලද බිහිසුණුම වරදක් ලෙස සැලකිය හැක්කේ පාලක පක්ෂයට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමතවිචාරණයක් මගින් දීර්ඝ කරගැනීමට ඉඩ හැරීමය. එම ක්‍රියාදාමය සමස්ත දේශපාලන ක්‍රමය විකෘති කිරීමට හේතුවූවා පමණක් නොව රට ප්‍රචණ්ඩ මාවතට තල්ලු කිරීමට බලපෑ වැදගත් හේතුවක් ලෙසද ක්‍රියා කළේය.
ජනාධිපති ජයවර්ධන අගවිනිසුරු ධුරයට ගෙනා ඔහුගේ මිත්‍රයා (නෙවිල් සමරකෝන්) ජනාධිපතිවරයාගේ පටු දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් ක්‍රියාකරනවා වෙනුවට අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරගැනීමේ දුෂ්කර උත්සාහයක නිරත විය. ඔහුගේ පාලන කාලය තුළ රජයෙන් අධිකරණයට එල්ල වූ තර්ජන ගර්ජන නොසලකා මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතුවන වැදගත් නඩු තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත්වූ අතර, නිදහසින් පසු එළැඹි කාලයේදී පළමුවරට අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයක් හා ගෞරවයක් ඇති කිරීමටද හේතුවිය. එහි ගෞරවය ලැබිය යුත්තේද අගවිනිසුරු නෙවිල් සමරකෝන්ටය.

ගෞරවය අහිමි කර ගැනීම

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කෙටි පාලන කාලය තුළ අධිකරණ විෂයේදී ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබුණේ ඔහුගේ තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ඇසෙමින් තිබුණු ඡන්ද පෙත්සම කෙරෙහිය. එහිදී ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉතා සියුම් ලෙස අධිකරණයට ඇඟිලි ගසමින් තමන්ගේ වාසියට හේතුවන තීන්දුවක් ලබාගැනීමට සමත් විය. ජනාධිපති ඡන්ද පෙත්සම් විෂයෙහි එම තීන්දුව ඉතාමත් නරක පූර්වාදර්ශයක් ලබාදෙන තීන්දුවක් ලෙස සැලකිය හැකිය.
එවැනි සීමාසහිතකම් තිබියදීත් ඉන්පසු එළැඹෙන චන්ද්‍රිකා පාලන කාලයේදී එහි අඩකට ආසන්න කාලයක් අවසන්වෙමින් තිබියදී අගවිනිසුරු ධුරයට සරත් නන්ද සිල්වා පත්වෙන තෙක් කාලය අධිකරණය මහජනයාගේ ගෞරවයට හේතුවී තිබුණු අධිකරණයේ ස්වර්ණමය කාලය ලෙසද සැලකිය හැකිය. එම තත්ත්වය කෙරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ විවිධ විනිසුරුවරුන් විසින් විශේෂයෙන්ම ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු විසින් ලබාදෙන ලද වර්ණවත් නඩු තීන්දු හේතුවී යැයි කිව හැකිය. මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා පාලකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට තිබෙන ඉඩ අහුරන මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා විකසිත කිරීමට හේතුවන නඩු තීන්දු ගණනාවක්ම දුන්නේය. ඔහුගේ සෙවණැල්ල ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි බලපෑ එම යුගය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීප්තිමත්ම යුගය ලෙස සැලකිය හැකිය.

අධිකරණයේ ගමන් මග ජනාධිපති චන්ද්‍රිකාගේ බලවත් විරෝධයට හේතුවී තිබුණු අතර ඇය ශ්‍රේෂ්ඨාධිකරණය දැක්කේ තම පාලන බලය අස්ථාවර කිරීමට වෙර දරන බලවේගයක් වශයෙනි. අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. සිල්වා මහතා විශ්‍රාම යනවිට ජ්‍යෙෂ්ඨත්වය අනුව එම තනතුරට පත් කළ යුතුව තිබුණේ මාක් ප්‍රනාන්දු මහතාය. ජනාධිපතිනිය බියගැන්වීමට බලපෑ ප්‍රධාන චරිතය වූයේද ඔහුය. එම තත්ත්වය තුළ ඇතිවී තිබුණු අගවිනිසුරු පුරප්පාඩුව පිරවීම සඳහා තෝරාගත් පුද්ගලයා වූයේ නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා. නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වාද ඒ මොහොතේ සිටියේ බෙල්ල හිරකරගත් තත්ත්වයකය. ඔහුට එරෙහිව දූෂණ චෝදනා මත ඉදිරිපත් වූ පැමිණිලි දෙකක් (එක පැමිණිල්ලක් මගේය. අනෙක රසායන ඉංජිනේරුවෙකුගේය.) ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පරීක්ෂණ දෙකක් ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබුණි. එවැනි තත්ත්වයක් යටතේ එම පරීක්ෂණ දෙක අවසන් වන තෙක් ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම සුදුසු දෙයක් නොවූවත් සරත් නන්ද සිල්වා ජනාධිපති චන්ද්‍රිකාගේ විශ්වාසවන්ත සගයෙකු වීම නිසා ඔහු ඇද වැටී සිටි දුෂ්කර තත්ත්වයෙන් ඔහු මුදාගන්නා අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු මගින් අනියම් ලෙස පාලනය කළහැකි තත්ත්වයක් දිනාගැනීම සඳහා සිය නීති උපදේශකයන්ගෙන් එල්ල වූ විරෝධයද නොසලකා ජනාධිපතිනිය සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළාය. ඇගේ එම හිතුවක්කාර ක්‍රියාව එක්සත් ජාතීන්ගේ අධිකරණ විෂය භාරව ක්‍රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතාගේද බලවත් විරෝධයට හේතුවිය.

ඒ සමග අධිකරණයේ අඳුරු යුගය ඇරඹුණේ යයි කිව හැකිය. ඔහු තමන්ට අවනත නැති විනිසුරුවරුන් නිහඬ කළේය. තවත් පිරිසකට අධිකරණයෙන් ඉවත් වී යන්නට බල කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයට එන වැදගත් නඩු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අතට පත් නොකොට තමාද ඇතුළත් කනිෂ්ඨ විනිසුරුවරුන් ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මගින් අසන තත්ත්වයක් ඇති කළේය. අධිකරණයේ චරිතවත්කමට තිබෙන පිළිගැනීම නැති කොට අධිකරණය ආණ්ඩුව ආරක්ෂා කරන දේශපාලන පළිහක් බවට පත්කර ගත්තේය. එම පාලන කාලය තුළ අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන හා විකෘති කරන අධිකරණයක් ලෙස ක්‍රියා කළේය.

අගවිනිසුරු ධුරයේ සිටි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙන් පහකිරීම සඳහා අනුගමනය කරන ලද නීති විරෝධී සාහසික පිළිවෙත ඉන්පසු එළැඹෙන මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී අධිකරණ විෂයෙහි දක්නට ලැබෙන බිහිසුණුම ක්‍රියාදාමය ලෙස සැලකිය හැකිය. ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සඳහා පැවති පාර්ලිමේන්තු පරීක්ෂණය සිදුකරන ලද්දේ ස්වභාවික යුක්තියේ සියලු මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කෙරෙන ආකාරයකටය. ඇය එම පරීක්ෂණයෙන් ඉවත්වයාමෙන් පසුව එම පරීක්ෂණයට එරෙහිව නියෝගයක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට ගිය අතර පාර්ලිමේන්තු පරීක්ෂණයට එරෙහිව අභියාචනාධිකරණය දෙන ලද තහනම් නියෝගය පාර්ලිමේන්තුව භාරගත්තේ නැත. ඉන්පසුව පරීක්ෂණය අවසන් කිරීමෙන් පසුව ඊට එරෙහිවද අධිකරණය තහනම් නියෝගයක් පනවනු ලැබුවත් එම තහනම් නියෝගයද පාර්ලිමේන්තුව භාරගත්තේ නැත. අවසානයේ ඇය අගවිනිසුරු තනතුරෙන් පහකරන ලද්දේ නීතියට පටහැනි ඉතා රළු පරුෂ ආකාරයකටය. ඉන්පසු එම පුරප්පාඩුව පුරවන ලද්දේද ගෞරවයට හේතුවූ පුද්ගලයෙකුගෙන් නොව බරපතළ චෝදනා එල්ල වී තිබුණු දූෂිත පුද්ගලයෙකුගෙනි. මොහාන් පීරිස්ගේ පාලන කාලය තුළ අධිකරණය පැවතියේ ආණ්ඩු පක්ෂයේ ශාඛාවක තත්ත්වයකය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අගවිනිසුරු ධුරයේ සිටි මොහාන් පීරිස් තනතුරෙන් පහකරන ලැබූවත් එය සිදුවූයේ විධිමත් ආකාරයකට නොව සටකපට ආකාරයකටය. ඒ හැර අධිකරණයේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුනොවූ අතර ඒ සඳහා වන කිසිදු යහපත් දැක්මක් යහපාලන ආණ්ඩුවට නොතිබුණේ යැයි කිව හැකිය.

අශීලාචාරත්වය

ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් නිසා රටේ දීර්ඝකාලීන අශීලාචාරත්වයක් ඇතිවූ අතර, එම අශීලාචාර වටාපිටාවද අධිකරණය විකෘති කොට දූෂ්‍ය කිරීමට වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. මෙම අශීලාචාර කාලයේදී නීතියේ බලය වෙනුවට තුවක්කුවේ බලය රජ කළේය. මේ කාලයේදී මහා පරිමාණයෙන් පුද්ගලයන් පැහැර ගැනීම්ද, අතුරුදන් කිරීම්ද සිදුවිය. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට වධහිංසා කරන වධකාගාර ක්‍රමයක්ද ක්‍රියාත්මක විය.

සාමාන්‍ය නීතිය යටතේ අධිකරණ අනුමැතිය නැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම ඔවුන් වධහිංසාවට ලක් කිරීම, ඔවුන් මරා දැමීම බරපතළ වරදක් වුවත් මෙම අශීලාචාර කාලයේදී ඒවා වැරදි ලෙස සැලකුණේ නැත. හදිසි නීතිය හා ත්‍රස්ත විරෝධී අණ පනත් රජයේ ආරක්ෂාව සඳහා නීතියට පටහැනිව ක්‍රියාකරන්නට අවශ්‍ය බලය පොලිසියට හා හමුදාවට ලබාදී තිබුණි. සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 24ක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත් හදිසි නිතිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ අයිතිය පොලිසියට හා හමුදාවට හිමිවිය. සැකකටයුතු මරණවලදී එම පරීක්ෂණ අධීක්ෂණය කිරීමේ වගකීම මහේස්ත්‍රාත්වරුන් වෙත පැවරුණද හදිසි නීතිය යටතේ මළ සිරුරක් අධිකරණය වෙත යොමු නොකොට ආදාහන කිරීමේ බලය උසස් පොලිස් නිලධාරීන්ට හිමිවිය.

එම අශීලාචාර කාලයේදී රටේ මහා පරිමාණයෙන් සිදුවූ නීති විරෝධී ක්‍රියාකාරකම්වලට අනුමැතිය හා අනුග්‍රහය ලබාදෙන පිළිවෙතක් අනුගමනය කරන්නට අධිකරණයට සිදුවිය. ඒ මගින් අධිකරණයේ හෘදය සාක්ෂිය විකෘති කිරීමක් හා දූෂ්‍ය කිරීමක් සිදුවිය.

(ඉතිරි කොටස ලබන සතියේ)