ග්‍රාමීය ආර්ථිකයේ යථාර්ථය

සරත් ප්‍රනාන්දු

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් දිළිඳුභාවයේ කටුකත්වයෙන් පීඩාවිඳිමින් සිටිති. දශක ගණනාවක් තුළ ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බව ඉවත් කර තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා විවිධ වර්ගයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. දශක ගණනාවකට පසුව ග්‍රාමීය ආර්ථිකයේ දිළිඳුභාවය වැඩි වර්ධනයක් සමග තිරසාර සංවර්ධනය මිරිඟුවක් බවට පත් ව ඇත.
ග්‍රාමීය ආර්ථිකයේ දිළිඳුභාවය වර්ධනය වෙමින් පවතින අතර තිරසාර සංවර්ධනය ළඟාවිය නොහැකි ඉලක්කයක් බවට පත්ව ඇත්තේ අප විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතීන් තුළ පවතින ප්‍රශ්න විසඳීමට සමත් ප්‍රායෝගික විසඳුම් නොවීමයි.

ග්‍රාමීය ආර්ථිකයේ දිළිඳුභාවය වර්ධන වීමට බලපාන හේතු සාධක ප්‍රධාන අංශ යටතේ වර්ගීකරණය කළ හැක.

1. මූල්‍ය සහ ප්‍රාග්ධන
2. වෘත්තීය නිපුණත්වය / සමාජ පිළිගැනීම
3. තාක්ෂණය / නවීන ක්‍රමවේද
4. නිෂ්පාදන පිරිවැය
5. නිෂ්පාදනයේ තත්ත්වය
6. කළමනාකරණය
7. වෙළෙඳපොළ
8. නිෂ්පාදන සඳහා වූ මිල
9. ග්‍රාමීය සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් සඳහන් නොවීම
10. අයෝග්‍ය පරිභෝජන රටාව සහ අවම ඉතුරුම්
11. පාරිසරික සහ සමාජීය බලපෑම්.

1. මූල්‍ය සහ ප්‍රාග්ධන අංශය

A. අධික ණය බර
B. ඉහළ පොළී අනුපාතය
C. ප්‍රායෝගික නොවන ණය කොන්දේසි
D. ඉතාමත් පාඩු මට්ටමක පවතින ඉතුරුම් ක්‍රියාවලිය.

2. වෘත්තීය නිපුණත්වය / සමාජ පිළිගැනීම
A. යෙදෙන වෘත්තියට අවශ්‍ය නිපුණත්වය නොමැතිවීම.
B. සමහර වෘත්තියයන් සඳහා සමාජයේ පිළිගැනීමක් නොමැතිවීම.
C. කාර්යක්ෂම නොවන පුහුණුකිරීමේ ක්‍රමවේද.
D. අත්දැකීම් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම.
E. කලාපයේ / ලෝකයේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැති වීම.

3. තාක්ෂණය / නවීන ක්‍රමවේද
A. නවීන තාක්ෂණය පිළිබඳ ඇති අල්ප දැනුම.
B. නවීන තාක්ෂණය භාවිතයට ඇති අකමැත්ත.
C. තාක්ෂණය භාවිතයෙන් ලබාගත නොහැකි ප්‍රතිලාභ පිළිබඳ අවබෝධයක් නොමැතිවීම.
E. නවීන තාක්ෂණය භාවිතයෙන් යෙදවුම් පිරිවැය අවමකරගත හැකි වීම පිළිබඳ අවබෝධයක් නොමැතිවීම.
D. තාක්ෂණය පිළිබඳ අවශ්‍ය දැනුවත් කිරීම/ අවබෝධය ලබාදීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම.
F. අප රටට ගැළපෙන තාක්ෂණය සංවර්ධනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිවීම.

4. නිෂ්පාදන පිරිවැය
A. සෑම නිෂ්පාදනයකම පිරිවැය ඉහළ මට්ටම පැවතීම.
B. යෙදවුම් පිරිවැය ඉහළ මට්මටක පැවතීම.
C. නිෂ්පාදන පිරිවැය පිළිබඳව සහ නිෂ්පාදන පිරිවැය පාලනය පිළිබඳ අවබෝධය නොමැති වීම
D. පෙර සහ පසු අස්වනු තාක්ෂණය භාවිත නොකිරීම.
E. නිෂ්පාදන ඇසුරුම් කිරීමේ දී / ප්‍රවාහනයේ දී සිදු වන නාස්තිය ඉතා ඉහළ මට්ටමක පැවතීම.

5. නිෂ්පාදනයන්හි තත්ත්වය
A. නිෂ්පාදනයන්හි තත්ත්වය උසස් මට්ටමක නොපැවතීම.
B. අතරමැදියන් විසින් ලාභය උපරිම කරගැනීම සඳහා තත්ත්වය උසස් මට්ටමකට පත්වීමට පෙර මිලදී ගැනීම.
C. ඵලදාව නෙලීම / ඇසුරුම් සහ ප්‍රවාහනය සඳහා නුසුදුසු ක්‍රමවේද භාවිතය.
D. උසස් තත්ත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කළ යුතු බවට ඇති අවබෝධය පහළ මට්ටමක පැවතීම.
E. පාරිභෝගිකයින් පවා භාණ්ඩයේ උසස් තත්ත්වයට වඩා භාණ්ඩයේ මිල පිළිබඳ සැලකිලිමත් වීම.
F. සාමාජයේ පුරවැසියන්ට උසස් තත්ත්වයේ ජීවන පැවැත්මක් පිළිබඳ මනා අවබෝධය අවම මට්ටමක පැවතීම.

6. කළමනාකරණය
A. නවීන කළමනාකරණ ක්‍රම භාවිතා නොකිරීම.
B. නවීන කළමනාකරණ ක්‍රම භාවිතයෙන් ලබාගතහැකි ප්‍රතිලාභ පිළිබඳ අවබෝධයක් නොමැතිවීම.
C. කළමනාකරණ දැනුම ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම.

7. වෙළෙඳපොළ
A. අසංවිධිත වෙළෙඳපොළ.
B. විශාල අතරමැදියන් සංඛ්‍යාවක් මැදිහත් වීම.
C. ඉල්ලුම සහ සැපයුම පිළිබඳ අවබෝධයක් නොමැති වීම.
D. පාරිභෝගික අවශ්‍යතා හඳුනා නොගැනීම.
E. වෙළෙඳපොළ කාලීන වෙනස්වීම් හඳුනා නොගැනීම.

8. නිෂ්පාදන සඳහා වූ මිල
A. කිසිදු නිෂ්පාදනයක් සඳහා සාධාරණ මිලක් නොමැති වීම.
B. විශාල අතරමැදියන් සංඛ්‍යාවක් ( 8 – 10) වෙළඳපොළ ක්‍රියාවලියට සම්බන්ධ විම.
C. අලෙවි මිලෙන් 20% පමණ අවම අගයක් නිෂ්පාදනයට ලැබීම.
D. පාරිභෝගිකයා ගෙවන මිලට සාධාරණ අගයක් නොලැබීම.
E. සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම.

9. ග්‍රාමීය සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් සඳහන් නොවීම
A. අපනයන වෙළෙඳපොළක් සහිත කෘෂි ඵලදාව සඳහා වෙළෙඳපොළක් නිර්මාණය නොවීම.
B. අගය එකතු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් පහත් මට්ටමක පැවතීම.
C. ආනයන ආදේශ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණය නොමැති වීම.

10. අයෝග්‍ය පරිභෝජන රටාව සහ අවම ඉතුරුම්
A. අත්‍යවශ්‍ය නොවන පරිභෝජන භාණ්ඩ ලබා ගැනීම.
B. අත්‍යවශ්‍ය නොවන පාරිභෝජන, අධික පොළී අනුපාත යටතේ ගෙවීමේ ක්‍රමයට ලබාදීමෙන් ග්‍රාමීය ජනතාව ණය උගුලක පැටලවීම.
C. ආදායමට සරිලන ජීවන පැවැත්මක් ගොඩනගා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබානොදීම.
D. ඉතාමත් පහත මට්ටමක පවතින ඉතුරුම්.

11. පාරිසරික සහ සමාජීය බලපෑම්.
A. අයහපත් කාලගුණික සහ දේශගුණික බලපෑම්.
B. පරිසර විනාශයේ ආදීනව පිළිබඳ අවබෝධයක් නොමැති වීම.
C. ගොවිතැනට සතුන්ගෙන් සිදුවන හානිය ඉහළ මට්ටමක පැවතීම.
D. දේශීය නිෂ්පාදන කෙරෙහි ඇති අකමැත්ත.
E. ආනයන මත යැපීමේ ආදීනව පිළිබඳව ඇති අනවබෝධය.

ග්‍රාමීය ආර්ථිකයේ තිරසාර සංවර්ධනය අඩාල වීමට මූල්‍ය සහ ප්‍රාග්ධන අංශයන්හි ඇති බලපෑම ඉතාමත් තීරණාත්මක සාධකයක් වේ.
ග්‍රාමීය ගොවීන් සහ කර්මාන්තකරුවන් අධික ණය බරින් පීඩාවට පත්ව ඇති අතර මෙම අයහපත් තත්ත්වයෙන් මිදීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් හඳුන්වා දීමට අපොහොසත්ව ඇත. ග්‍රාමීය ගොවීන් සහ කර්මාන්ත කරුවන් ණය උගුලෙන් ගලවා ගැනීම සඳහා පිහිටුවන ලද සංවර්ධන බැංකු ක්‍රියාකාරීත්වය ප්‍රායෝගික නොවීම සහ ළඟා විය නොහැකි කොන්දේසි මත ග්‍රාමීය ගොවීන් සහ කර්මාන්ත කරුවන් අධික පොළී සහිත ණය ලබා ගැනීම සඳහා යොමු වී ඇත. ණය සඳහා අය කරන අධික පොළී අනුපාතය ග්‍රාමීය අංශයේ ගොවීන් සහ කාර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමකට ගෙනයාමට හේතු සාධක වී ඇත. දේශීය රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන ලබන අධික ලාභය පොළී අනුපාතයේ බලපෑම මනාව පිළිබිඹු කරයි.
ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නම් සංවර්ධන බැංකු ක්‍රියාවලිය පූර්ණ ප්‍රති සංවිධානයකට යටත් කළ යුතුව ඇත.
වෘත්තීය නිපුණත්වය සහ සමාජීය පිළිගැනීම.
ශ්‍රී ලංකාවේ සෑම වෘත්තීයකම නිරත වන්නන් සඳහා අවශ්‍ය වෘත්තීය නිපුණත්වය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් නොවන බැවින් වෘත්තීය නිපුණත්වයෙන් තොර පුද්ගලයන් සේවයේ යෙදෙන බැවින් උසස් තත්ත්වයෙන් යුතු සේවාවක් ලබා දීමට අපොහොසත් වී ඇත. සපයනු ලබන සේවාව උසස් මට්ටමක පැවතීමට නම් අදාළ වෘත්තියේ යෙදෙන පුද්ගලයාට අවශ්‍ය වෘත්තීය නිපුණත්වය තිබීම අනිවාර්ය විය යුතු ය. වෘත්තීය අධ්‍යාපනය කාර්යක්ෂම සහ ප්‍රායෝගික නොවන බැවින් ලබා දෙන අධ්‍යාපනය උසස් මට්ටමේ වෘත්තීය නිපුණත්වයක් සහිත වෘත්තිකයෙකු බිහි කිරීමට අපොහොසත්ව ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ සෑම වෘත්තියකටම එක සේ අදාළ වේ.
ශ්‍රී ලාංකීය සමාජයේ තෝරාගත් වෘත්තීයයන් කිහිපයකට පමණක් ඉහළ පිළිගැනීමක් ඇති අතර බහුතර වෘත්තියන් සඳහා ඇත්තේ පහත් මට්ටමක පිළිගැනීමකි. ඉහළ අදායමක් උපදවන සමහර වෘත්තීයයන් සඳහා ඇති පහළ මට්ටමේ පිළිගැනීම එම වෘත්තීයයන් කරා තරුණ කොටස් ආකර්ෂණය කිරීමට නොහැකි වී ඇත. මෙම අයහපත් තත්ත්වය ග්‍රාමීය අංශයේ සංවර්ධනය පහළ මට්ටමක පැවතීමට ප්‍රබල සාධකයක්ව ඇත.
තාක්ෂණය සහ නවීන ක්‍රමවේද
ශ්‍රී ලංකාවේ සෑම අංශයකම භාවිත කරන තාක්ෂණය වර්තමානයේ ජාත්‍යන්තරව භාවිත වන නවීන තාක්ෂණයට වඩා දශක ගණනාවක් පැරණි වේ. වැඩි ඵලදායිතාවයත් සහිත නවීණ ක්‍රමවේද භාවිතයට දක්වන මැලිකම් නිෂ්පාදනයේ ගුණාත්මක භාවයට සහ පිරිවැයට ප්‍රබල බලපෑමක් සිදු කරයි. සමාජයේ ජන ජීවිතයට ප්‍රබල බලපෑම් කරන ප්‍රශ්න සහ ගැටලු දශක ගණනාවක් කිසිදු තිරසාර විසඳුමකින් තොරව අදටත් පවතිනු දැකිය හැක.
නවීණ තාක්ෂණය සහ ක්‍රමවේදයන් සමාජයට හඳුන්වා දීමට ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ හැකි විශ්ව විද්‍යාල ප්‍රජාව ද කටයුතු කරනුයේ ඒ පිළිබඳව කිසිදු වගකීමක් ඔවුනට නොමැති ආකාරයෙනි. රාජ්‍ය ආයතන වල කාර්යභාරය ද පවතිනුයේ ඉතාමත් පහළ මට්ටමක වන අතර රාජ්‍ය අංශයේ හඳුන්වාදීම් පිළිගැනීමට මැලිකමක් දැක්වීම ද ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්වී ඇත.
නවීන තාක්ෂණය සහ ක්‍රමවේද භාවිත නොකිරීම තුළින් සිදුවන බලපෑම පහත පරිදි වේ.
1. සම්පත් නාස්තිය
2. නිෂ්පාදන පිරිවැය ඉහළයාම
3. තත්ත්වයෙන් පහළ භාණ්ඩ හා සේවාවන්.