සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න තිබුණේ 2015දියි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

නිමල් අබේසිංහ

අප්‍රේල් හතරවැනිදා පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නේ?

අපි දිනනවා. ප්‍රශ්නයක් නෑ. අපේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය දෙනවා. ප්‍රශ්නයකට තිබුණේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර තිබෙන පක්ෂය පිළිබඳ ප්‍රශ්න. අපි දැන් ඒ අය එක්ක කතා කරලා ඒ ප්‍රශ්න සමතයකට පත්කරගෙන තිබෙනවා. ඒ අය පක්ෂය තුළ වෙනස්කම් කීපයක් බලාපොරොත්තු වෙනවා. මේ 29 වැනිදා අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් තිබෙනවා. එතනදි මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා වහාම විසඳුමක් ගෙනෙන්න තීන්දුවකට එනවා. ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් ඇතිවෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළයි. මොකද මේ අය බෙදිලා ඡන්දය ප්‍රකාශ කිරීම තුළම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගැටුමක් නිර්මාණය වෙනවා. අපට කියන්න තිබෙන්නේ එජා පක්ෂයේ බෙදීමක් ඇති නොවන බවයි.

ඔබ විශ්වාසභංගය පරාජ කිරීමට දායක විය යුතු බව පැහැදිලියි. ඒ සමගම විශ්වාසභංගයට හේතු සාධක වූ කරුණු සොයා බැලීමත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ලෙස ඔබේ වගකීමක් නේද?

ඔව්. ඒක තමයි අපි 29 වැනිදා කතා කරන්නේ. ඒ ගැන සොයා බැලීමක් කරලා ඒවට උත්තර සොයාගන්න තමයි කටයුතු කරන්නේ.

පොදුවේ යහපාලන ආණ්ඩුව තුළ අකාර්යක්ෂම බවක් දක්නට ලැබෙනවා වගේම ජනවාරි 08 පොරොන්දු ඉටුවුණෙත් නෑ. මේ තත්ත්වය ගැන ඔබේ නිරීක්ෂණ කෙබඳුද?

යහපාලන ආණ්ඩුව අකාර්යක්ෂමයි කියන්න බැහැ. ඒත් ආණ්ඩුවේම සමහරු අපේ කකුලෙන් ඇද්දා. ජනාධිපතිතුමා සමග ආණ්ඩුවට එකතුවෙලා සිටින අය ජනාධිපතිවරණයේදී එතුමාට සතපහක උදව්වක් කරපු අය නොවෙයි. ඒ අය වැඩ කළේ එතුමාට විරුද්ධව. එවැනි අය තමයි දැන් ආණ්ඩුව සමග එකතුවෙලා වැඩ කරන්නේ. ඒ අයට යහපාලනය ගැන හැඟීමක් නෑ. අපි සහනාධාර දෙගුණ කළාට ඒවා අපේ පක්ෂයේ දිළිඳු ජනයාට ලැබුණේ නැහැ. ඒ අය මේ සහනාධාර දුන්නේ කලින් ගත්ත අයටමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක අවුරුදු 10ක් ආණ්ඩුව කළා. මහින්ද අවුරුදු දහයක් කළා. එතකොට අවුරුදු විස්සයි. මේ විස්සෙම අපේ පාක්ෂිකයන්ට සහනාධාර ලැබුණේ නෑ. යහපාලන ආණ්ඩුවෙනුත් ඒ අයට මේ ප්‍රතිලාභ ලැබුණේ නෑ. එවැනි තත්ත්වයක් තමයි දිගටම පැවතුණේ.

ආණ්ඩුකරණයේදී ජනාධිපති සහ අගමැති අතර ගැඹුරු අවබෝධයක් නොතිබුණ බවකුත් දක්නට ලැබෙනවා. ඊට හේතුව යහපාලන වැඩපිළිවෙළට න්‍යාය පත්‍රයක් නැතිකමද?

එහෙමම කියන්න බැහැ. එහෙම නොතිබුණා නම් අපි වැඩ කරන්නේ කොහොමද? අපි පොරොන්දු වූ විදියට තොරතුරු පනත ගෙනාවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා. ඒ වාගේම මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට තිබෙන වටපිටාව සකස් කළා. දැන් අතුරුදන්වීම් නෑ. සුදුවෑන් සංස්කෘතියක් නෑ. ඇත්තටම සිද්ධ වුණේ අපි කරන වැඩවලට ආණ්ඩුවෙ අයගෙන්ම බාධා එල්ලවීමයි. දැන් බලන්න හම්බන්තොට වරායේ ප්‍රශ්නෙ අවුරුද්දක්ම දිග්ගැස්සුණා. මේ වගේ බාධාවන් නිසා තමයි අපි වැඩ කරන්න ප්‍රමාද වුණේ.

මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට වාතාවරණයක් හැදුවා කීවාට අම්පාර දිගන වගේ සිද්ධීන් දිහා බලපුවහම එහෙම කියන්නේ කොහොමද?
ඒක ඇත්ත. එතනදි අපි දුර්වල වුණා කියලා පිළිගන්න වෙනවා. පොලිසිය ඒ අවස්ථාවේ කඩිනමින් ක්‍රියාකාරී වුණා නම් හානිය අවම කරගන්න තිබුණා. මුස්ලිම් ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන එක වැළැක්වීමට තමයි මේ සිදුවීම යට තිබෙන්නේ. හැබැයි මහනුවර ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව කලින් ඉතාම සහයෝගයෙන් ජීවත් වුණා. එදා හිටපු හමීඞ් ඇමතිතුමා වගේ අය ප්‍රදේශයේ සිංහල මිනිස්සු අතරත් ජනප්‍රිය වෙලා හිටියේ ඒ නිසයි. දිගන සිදුවීමත් සමගම වත්තේගම ඉස්ලාම් දේවස්ථානයකට බස්රථයකින් ඇවිත් පහර දුන්නේ පිටින් ආපු අයයි. මෙතන තියෙන්නේ මම අර කලින් කියපු දේශපාලනය තමයි.

යහපාලන වැඩපිළිවෙළ ජනතාව අතර ප්‍රබෝධයට ලක් නොවූ නිසා යළිත් රටවැසි ජනයාගෙන් කොටසක් රාජපක්ෂ දෙසට හැරෙමින් සිටිනවා. මුළු රටම යළිත් රාජපක්ෂ දිහාවට හැරුණොත් යහපාලන ආණ්ඩුව ඊට වගකිව යුතුයි නේද?

මට නැවතත් කියන්න වෙනවා යහපාලන ආණ්ඩුව රටට වැඩ නොකළා නොවෙයි කියන එක. සිද්ධ වුණේ අපි කරපු දේවල් ජනතාව අතරට නොයෑමයි. අනෙක පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂලාට ලැබුණ ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණයි. එතනදිත් කියන්න ඕනේ දෙයක් තියෙනවා. අපේ ඡන්දදායකයෝ මහින්ද දෙසට හැරුණා නොවෙයි. අප කෙරෙහි කිසියම් විරෝධයක් දැක්වූවා. අපි ඒක පිළිගන්න ඕනෑ. ඒ විරෝධය හඳුනාගෙන අපි වැඩ කරන්න ඕනෑ. ඒ සඳහා තමයි අප ක්‍රියාත්මක වෙන්න ඕනෑ.

මතුවී තිබෙන අරගලකාරී දේශපාලන වාතාවරණයට පිළිතුරක් ලෙස සර්වපාක්ෂික වැඩපිළිවෙළක් රාවය මේ දිනවල යෝජනා කරමින් සිටිනවා. ඒ ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

මම පෞද්ගලිකව එකඟයි. එවැනි වැඩපිළිවෙළක් දැනටමත් ප්‍රමාදයිද කියලත් හිතෙනවා. හරිනම් මෙය සිදුවිය යුතුව තිබුණේ 2015දියි. එක අතකින් දැනට තිබෙන්නෙත් සර්වපාක්ෂික ආණ්ඩුවක්ම තමයි. මේ ආණ්ඩුව තුළ පක්ෂ කිහිපයක්ම තිබෙනවනේ.

මේ ආණ්ඩුව සර්වපාක්ෂික සංකල්පයකින් ගොඩනැගුණ එකක් නොවනවා සේ ම පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂත් නියෝජන වෙන්නේ නැහැනේ.

ඔව්. ඒක ඇත්ත. ඒ වුණත් මේ යන විදියට දිනුමක් නැතිව උදම්වෙලා ඉන්න උදවිය මෙවැන්නකට කැමැතිවෙයිද කියලා සැකයක් තිබෙනවා. ඒ අය බලාගෙන ඉන්නේ තනියම ආණ්ඩුවක් පිහිටුවා ගන්නයි. කොහොම වුණත් සර්වපාක්ෂික වැඩපිළිවෙළක් තිබෙනවා නම් ඉතා හොඳයි. මම ඒකට කැමතියි. ජනාධිපතිතුමා මුල්වෙලා සියලුම පක්ෂ නායකයෝ කැඳවලා සාකච්ඡාවක් තියලා මේ කාර්යයට අතගහනව නම් හොඳයි. මේකට මුල්වෙන්න ඕනෑ ජනාධිපතිතුමා තමයි.