ජනපතිතුමනි! වයඹ පොල් ඉඩම් කට්ටි කර අවසන්.

රසික ගුණවර්ධන

පොල්, පසුගිය කාලය පුරාම රටේ කතාබහට ලක් වූ මාතෘකාවකි. එයට හේතුකාරණා සැපයුවේ පොල් හිඟයයි. ඒ හේතුවෙන් පොල් ආනයනය කිරීම් පිළිබඳවද කතාබහට ලක්වුණි. ඒ අනුව ලංකාවේ පොල් හිඟයට විසඳුම් සෙවීම වැදගත් වේ. එහෙත් පොල් හිඟයට විසඳුම් සෙවීම පසකින් තබා තිබෙන පොල් ඉඩම්ද කට්ටි කර විකිණීම ජයටම සිදුවේ. මෙය වැඩි වශයෙන් සිදුවන්නේ ලංකාවේ වැඩිම පොල් ඵලදාවක් සපයන වයඹ පළාත තුළය. අප කුරුණෑගල, කුලියාපිටිය ආදී ප්‍රදේශවල සංචාරය කළ විට දුටුවේ, විශාල වශයෙන් කැබලි කර විකුණන පොල් ඉඩම්ය. ඒවා සිදුකරන්නේ ප්‍රසිද්ධ දේපළ වෙළෙඳාම් සමාගම්ය. සරුසාර පොල් ඉඩම් මෙසේ විනාශ කර දැමීම ඛේදජනකය. බලධාරීන් මුණිවත රැකීමද, මුදලට යටවීම ද, පවතින නීතියේ හිදැස් ද මෙසේ පොල් ඉඩම් කට්ටි වීම තව තවත් දිරිමත් කරන කාරණා බවට පත් වී තිබේ.

පටලා නොගැනීමට,

පොල් ඉඩම් කට්ටි නොකළ යුතු යැයි හෝ පොල් ඉඩම් කට්ටි කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු යැයි, යන්න මෙහිදී අදහස් නොවෙයි. ජාතික අවශ්‍යතාවන් මත වාණිජමය වටිනාකම් ඉහළ, ඉඩම්වල පොල් වගාවන් පැවතිය ද ඒවා ඉවත් කිරීම ගැටලුවක් නොවේ. එසේ නොමැතිව නාගරිකව පිහිටා ඇති විශාල පොල් ඉඩම් වාණිජ අවශ්‍යතාවන් උදෙසා යොදා ගැනීම වැරදි හෝ නොකළ යුතු යැයි යන අන්තවාදී අදහස සමග සමපාත වන අදහසක් මේ ලිපිය හරහා සාකච්ඡා නොකෙරේ. එසේම සරුසාර නොවන, පවත්වාගෙන යාම ම විශාල වියදමක් වන කනාටු පොල් ඉඩම් කට්ටි කිරීමේ ගැටලුවක් නැත. එහෙත් විශාල ඵලදාවක් ලබාගත හැකි, දේශීය පොල් ඵලදාවට දැනෙන බලපෑමක් කරන පොල් ඉඩම් කට්ටි කිරීම සිදු නොවිය යුත්තකි. ග්‍රාමීයව පිහිටා ඇති, මහා විශාල වාණිජ වටිනාකමක් නැති, එහෙත් සරුසාර පොල් ඉඩම් කට්ටි කිරීම් දැන් ඉතා සරුවට සිදු වේ. මෙය නොවිය යුතුය, වැළැක්විය යුතුය. මේ ලියැවෙන්නේ සරුසාර පොල් ඉඩම් කට්ටි කර රටේ පොල් නිෂ්පාදනය අනතුරේ හෙලීම පිළිබඳ කතාවේ ඇතුළු පැත්තයි.
ඉඩම් කැබලි කිරීම මගින් ප්‍රමුඛතම තර්ජනය එල්ල වන්නේ ආහාර භූමිවලටය. එනම් ඉඩම් කැබලි කිරීම නිසා එතෙක් පැවති කෘෂිකාර්මික ඉඩම් තවදුරටත් නොපැවතීම හෝ සීමා වීම සිදුවේ. මේ ඔස්සේ රටේ නිෂ්පාදනය පහළ යන අතර රට ආහාර අර්බුදයක් කරා මෙහෙයවනු ලබයි. මක්නිසාදයත් නේවාසික බිම් කොටස් නැවත කිසිදු විටක වගාවන් සඳහා යොදා නොගන්නා බැවිනි. එවිට ඉහළ යන ජන සංඛ්‍යාවට ආහාර සැපයීමට ඉතිරිවන්නේ ඉතා සුළු භූමි ප්‍රමාණයකි. එසේම වගාකරුවන් වගාබිම්වලින් ඉවත්වීමටද ඉඩම් කැබලි කිරීම වක්‍රාකාර ලෙස හේතුවේ. ඉඩම් කුඩා වන තරමට පාලනය ලෙහෙසි වේ යැයි ඇතැමෙකුට තර්ක කළ හැකි වුවද එය එසේ නොවේ. භූමිය කුඩා වූ විට විශාල ආදායමක් ලබාගත නොහැකිය. මේ හේතූන් නිසාම උද්ගත වන තවත් ගැටලුවක් නම්, ලාභ ලබා ගැනීම උදෙසා නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවීමයි. කෙසේ වෙතත් කුඩා ඉඩම්වලින් සැලකිය යුතු තරමේ ලාභයක් ලැබිය නොහැකි නිසාම බොහෝ ඉඩම් හිමියෝ විශේෂයෙන් පොල් වගාව උදෙසා වැඩි කැමැත්තක් නොදක්වති. මේ නිසාම ඔවුහු නේවාසික බිම් සඳහා සිය වතු විකිණීමට ක්‍රියා කරති.

පොල්

රටේ පොල් ඵලදාවෙන් සියයට හැත්තෑ පහක පමණ ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගනී. රටේ සමස්ත පොල් පරිභෝජනය සඳහා සහ අපනයනය සඳහා ගෙඩි මිලියන 3700ක පමණ අවශ්‍යතාවක් පවතී. (වාර්ෂික ඒක පුද්ගල පොල් පරිභෝජනය පොල් ගෙඩි 116 කි.) අවශ්‍යතාව මෙසේ වුවත් පසුගිය වසර හැට පහට එහා කාලය පිරික්සා බලන විට පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවා ගොස් ඇත්තේ අවස්ථා තුනකදී පමණි. ඒ අනුව දිගින් දිගටම පොල් වගාව පැවතියේ අර්බුදයක බව පැහැදිලිය. පොල් කර්මාන්තය හරහා යැපෙන්නන් ප්‍රමාණය අටලක්ෂ තිස්පන්දහසක් පමණ වේ. ඒ අනුව සැලකිය යුතු ප්‍රමාණයක් සිය ජීවිකාව සපයා ගන්නේ පොල් වගාවෙනි. ඒ නිසා පොල් ඉඩම් කට්ටි කිරීම මගින් අහිමි වන රැකියා ප්‍රමාණයද ඉහළ අගයක් ගනී. එසේම මේ වන විට පොල් වගාවෙන් උපයන ශුද්ධ විදේශ විනිමය රුපියල් බිලියන තිස් දෙකක් පමණ වේ. දිනෙන් දින කට්ටි වන පොල් ඉඩම් නිසා සිදුවනුයේ ඒ විනිමය ප්‍රමාණය ඉහළ යෑම නොව පහළ යෑමයි.
ශ්‍රී ලංකාව පුරා විහිදී පැතිරී ඇති පොල් ඉඩම් ප්‍රමාණය අක්කර දස ලක්ෂයකට ආසන්නය. ඉන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් එනම්, අක්කර පන්ලක්ෂයක් පමණ පිහිටා තිබෙන්නේ වයඹ පළාත තුළය. රටේ සමස්ත පොල් ඉඩම් දස ලක්ෂය තුළින් නිපදවෙන පොල් ඵලදාව ගෙඩි මිලියන 2700කි. ඒ ඵලදාවෙන් ගෙඩි මිලියන 1400කට වඩා වැඩි ප්‍රමාණයක් වයඹ පළාත තුළින් සපයනු ලබයි.
කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම ආදී ප්‍රදේශවල ඔබට සංචාරය කිරීමට අවස්ථාව උදාවී ඇත්නම් ඔබට ඕනෑතරම් ඉඩම් විකිණීමේ බැනර් පුවරු දැකගත හැකිය. ඒවා බොහෝ විට පසුබිම් කරගන්නේ සරුසාර පොල් ඉඩම්ය. වයඹ පළාත තුළ පිහිටා ඇති පන්ලක්ෂයකට ආසන්න පොල් ඉඩම් ප්‍රමාණය කුට්ටි කෙරෙන්නේ මේ කියන බැනර් මගින් කැරෙන ප්‍රචාරයෙනි. කට්ටි කිරීම් මීට පෙර සිදු කෙරුණේ, පළාතේ සිටි ඉඩම් ව්‍යාපාරිකයන්ගේ මාර්ගයෙන්ය. එමගින් පළාතේ මුදල් පළාත තුළම ගැවසීම සිදුවිය. ඒ නිසා ප්‍රදේශයේ ආර්ථිකයට ඒ තරමේ හානියක් සිදු නොවුණි. එහෙත් වර්තමානය වන විට ඒ සඳහා කොළඹ විශාල දේපළ සමාගම් එකතු වී සිටී. එහිදී පළාතේ දේපළ විකුණන මුදල් ගලායන්නේ විශාල සමාගම් වෙතටය. පළාතේ ආර්ථිකමය ක්‍රියාවලියට එහි උපකාරයක් සිදු නොවේ.

අධික ලාභය නිසා පොල් ඉඩම් කට්ටි කිරීම සිදුවන්නේ ඉතා ශීඝ්‍රයෙනි. මේ වන විට වයඹ පළාත තුළ පොල් ඉඩම් කට්ටි කිරීම සඳහා ලියාපදිංචි වී ඇති සමාගම් ප්‍රමාණය එකසිය දහයක් පමණ වීම ම එම ස්වභාවය වඩ වඩාත් තීව්‍ර කරවයි. ‘සංවර්ධනය කර විකුණන ඉඩම්’ ලෙස හුවා දක්වන මෙම ඉඩම් මගින් පරිසරයට එල්ල වන තර්ජනය අතිමහත්ය. කුට්ටි කරන ඉඩමේ පොළොව මුළුමනින් නිරාවරණය කරනු ලබයි. ඒ නිසා පස සෝදා යයි. ස්වාභාවික උල්පත් සේම වාරි මාර්ගද සිඳී යයි. ඇළ මාර්ග අවහිර වේ. කුඹුරු ඉඩම් ගොඩ වීම සිදුවේ. මෙවැනි ඝෘජු සහ වක්‍ර උපද්‍රව රැසකට මුහුණදීමට සිදුවීමේ ප්‍රතිවිපාක ඉඩම් ගැනුම්කරුවන්ටම කාලයත් සමග විඳින්නට සිදුවීම බොහෝ දෙනෙකු අමතක කරන කාරණාවයි.
“දැන් පර්චස් විස්ස විස්ස වෙන් කළහම පර්චස් විස්ස ගානෙ වැසිකිළි වළකුයි, ළිඳකුයි හැදෙනවා. එතකොට ඉබේම පොළොවේ වතුර මට්ටම පහළ යනවා. ඒක මිනිස්සුන්ටත් බලපානවා, ගස් කොළන් වලටත් බලපානවා.” ඒ ජෙරාඞ් ඇන්ටනී මහතාය. ඔහු වයඹ කප්රුක සුරැකීමේ සංවිධානයේ සිවිල් ක්‍රියාකාරිකයෙකි.

වයඹ

මෙසේ දිගින් දිගටම සිදුවන පොල් ඉඩම් කට්ටි කිරීම වැඩි වශයෙන් වයඹ පළාත තුළ සිදුවීම නිසා එය වළක්වා ගැනීම උදෙසා වර්ෂ 2003දී වයඹ පළාත් සභාව තුළ පොල් ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ අදහසින් අතුරු ව්‍යවස්ථාවක් පළාත් සභාවේ සම්මත කර ක්‍රියාත්මක කිරීම සිදුවිය. එම අතුරු ව්‍යවස්ථාව සකස් කරන ලද්දේ පළාත් සභාවේ සහ රේඛීය අමාත්‍යාංශවල පළාත් මට්ටමේ ප්‍රධානීන් හා ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන්ද සම්බන්ධ කර ගනිමින්ය. ඒ නිසා ඒ ව්‍යවස්ථාවට අනුව සාරවත් පොල් ඉඩම් කැබලි කිරීම වැළැක්වීම සඳහා සාර්ථක ලෙස ක්‍රියාත්මකවීමට හැකියාව තිබුණි. අදාළ අතුරු ව්‍යවස්ථාවට අනුව පොල් ඉඩමක් කැබලි කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත යුතු බවට වගන්තියක් ඇතුළත්ව තිබුණි. ඒ හරහා පොල් වගාව හා පොල් ඉඩම්වල තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ඇති පොල් වගා කිරීමේ මණ්ඩලය නිවැරදි නියාමනයකින් යුතුව පොල් ඉඩම් ආරක්ෂා කිරීම සිදු කරනු ලැබීය.
එහෙත් පසුව එනම් වර්ෂ 2014දී සිදුවන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොල් මණ්ඩලයට පැවරී තිබූ අවසර දීමේ බලය පළාත් කොමසාරිස් වෙතට යොමු කරනු ලබයි. ඉන් මතු නැවත 2015දී ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන අතර ඒ හරහා පොල් ඉඩම් කැබලි කිරීමට තිබුණු සියලු බධාවන් ඉවත් කරනු ලබයි. එනම් ඒ යටතේ සරුසාර පොල් ඉඩම් පවා කැබලි කිරීමට අවසරය ලබාගත හැකිවී තිබේ. හොඳින් පිරික්සා බලන විට මේ සංශෝධනය කාලීන අවශ්‍යතාවන්ට එහා ගිය කැබලි කරන්නන්ගේ අවශ්‍යතාවන් ඉටුකරන ස්වරූපයක් ගනී. එසේම පොල් ඉඩම් කැබලි කිරීමට එරෙහි ජනතා ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ මෙසේ ව්‍යවස්ථා සංශෝධන ඇති කළේ කුරුණෑගල ප්‍රබල අමාත්‍යවරයකුගේ අනියම් බිරිඳගේ අවශ්‍යතාව මත බවයි.

දූෂිතයි

මේ සියල්ල පිටුපස ඇත්තේ දූෂිත ගනුදෙනුය. රජයේ නිලධාරීන් සහ සභාපතිවරුන් සිටින්නේ අල්ලසට ගොදුරු වීය. “2010 පොල් වගා මණ්ඩලයට පත්වෙන සභාපතිගෙ වැඩ හින්ද තමයි ඉඩම් කුට්ටි කරන එක වැඩි වුණේ. එයාට ඉඩම් කැබලි කිරීමේ පාලක මණ්ඩලයේ සභාපතිකම නොතිබ්බට එයා තමයි පාලක මණ්ඩලය නියෝජනය කරන්ඩ පොල් මණ්ඩලයෙන් ගියේ. මෙයා පාලක මණ්ඩලයට යන්ඩ කලින් ඉඩම් ඇප්ලිකේෂන් ඇවිල්ලා තියන ඒවයේ මිනිස්සුන්ගේ ටෙලිෆෝන් නම්බර් හොයලා එයා පුද්ගලිකව කතා කරනවා. වෙන තැන්වල මිනිස්සු කතා කරලනේ සභාපතිගෙන් වැඩ කරවා ගන්නේ. අපේ සභාපති මිනිස්සුන්ට කතා කරලා වැඩ කරල දෙනවා. ඒවට කන්තෝරුවට එන්ඩ ඕනෙ නෑ, ගෙවල්වලට ගිහිල්ලම කරල දෙනවා. සමහරවිට සභාපතිගෙ ගෙදරට ගෙන්න ගන්නවා. බලන්ඩ මොන තත්ත්වයක් ඇති වුණාද කියලා. මෙයා 2010 ඉඳලා 2015 වෙනකන් වැඩ කළා. ඊට පස්සෙ පත්වුණු දෙන්නා මෙයා තරම්ම දූෂිත නෑ. මේ පුද්ගලයා තමයි පොල් මණ්ඩලයේ හිටපු දූෂිතම සභාපති. එසේ කියන්නේ පොල් අලෙවි මණ්ඩලයේ හිටපු ප්‍රාදේශීය කළමනාකරු කැනියුට් ඇන්තනී මහතායි. ඔහු පොල් ඉඩම් කුට්ටි කිරීම්වලට විරුද්ධව බොහෝ කාලයක පටන් සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියා කරයි.

නුසුදුසු අවසරය

පොල් ඉඩම් කට්ටි කිරීම සඳහා අවසර දීමට ප්‍රාදේශීය හා පළාත් මට්ටමින් කමිටු ද්විත්වයක් ක්‍රියාත්මක වන අතර මේ කමිටුවලට පොල් සම්බන්ධව දැනුමක් ඇති කිසිවෙකු හෝ සම්බන්ධ නොවීම ගැටලුවකි. පොල් ඉඩම් කට්ටි කිරීම සඳහා පොල් පිළිබඳව දැනුම සහිත පුද්ගලයකු කොතරම් වැදගත්ද යන වග පෙන්වීමට ඇන්ටනී මහතා ප්‍රකාශ කරන මේ ප්‍රකාශය වැදගත්ය.
“රටේ තියන පොල් ඉඩම් වර්ගීකරණය කරල තියනවා ී1ල ී2ල ී3ල ී4ල ී5 විදිහට. ඒ සුදුසු පොල් ඉඩම්. ඒ වගේම භ1ල භ2 වර්ග දෙකක් තියනවා. ඒ නොසුදුසු ඉඩම්. ී1 කියන්නේ ඉතාම සුදුසු ඉඩම්. මේ ඉඩම් බොහොම අල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. කොහොමහරි මේ විදිහට පොල් ඉඩම් ගැන අවබෝධයක් තියෙන්නේ පොල් ගැන අවබෝධයක් තියන පොල් මණ්ඩලයේ නිලධාරියකුට. එයාට පුළුවන් පොල් ඉඩමක් ගැන තීන්දුවක් ගන්ඩ. හැබැයි පළාත් පාලන නිලධාරියාට හරි, ඔහු යටතේ ඉන්න කෙනෙකුට හරි මේ අවබෝධය නෑ. ඒ හින්දා පොල් ඉඩම් කැබලි කරන්ඩ අවසර දෙන මේ ක්‍රමය හරහා විශාල විනාශයක් වෙන්නේ. අද මේ තත්ත්වයට ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැති අය මේකට එකතු වෙලා තියන හින්දා. දැන් ඉන්න වැවිලි කර්මාන්ත ඇමතිවරයගෙන් පොල් පැත්ත නියෝජනය වෙන්නේ නෑ. එයා නුවරඑළියේ දිස්ත්‍රික්කේ කෙනෙක්. එතකොට නුවරඑළියේ ප්‍රධාන වශයෙන් තේ තියෙන්නේ. මෙයා වැඩියෙන් ඒ ගැන බලන්නේ. පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් පරීක්ෂණ මණ්ඩලය, ඉඩම් කැබලි කිරීමේ පාලන මණ්ඩලය මේ සියලුම තැන්වල ඉන්නේ ඇමති පත් කරපු සභාපතිවරු. මේ ගොල්ලො පොල් දැක්කේ මෙහෙට ආවයින් පස්සේ.

වර්තමානය

කෙසේ වෙතත් වර්තමානයේ පවතින නීතියට අනුව පොල් හෙක්ටයාර් 4 ට (ආසන්න වශයෙන් අක්කර 10) වැඩි ඉඩම් කැබලි කිරීම සිදු කළ නොහැකිය. ඒ අනුව බැලූ බැල්මට විශාල පොල් වතු ආරක්ෂා වන ස්වරූපයක් දිස් වේ. එහෙත් මේ නීතියෙන් ද රිංගා යෑමට ඉඩම් කැබලි කරන්නන් ක්‍රියා කරන්නේ අපූරු ආකාරයකටය.
සාමාන්‍යයෙන් කැබලි කිරීමට අවශ්‍ය ඉඩම අක්කර 50ක් යැයි සිතන්න. මෙය පවතින නීතියට අනුව කැබලි කිරීම සිදු කළ හැක්කේ නොහේ. එවිට ඉඩම් කැබලි කරන්නන් ක්‍රියාත්මක කරන්නේ අපූරු ක්‍රමවේදයක්ය. ඔවුන් පුද්ගලයන් හයදෙනෙකුට පමණ ඉඩම ලියනු ලබයි. එවිට එක් අයෙකුට හිමිවන ඉඩම් ප්‍රමාණය අක්කර දහයට අඩුය. හෙක්ටයාර් 4 (ආසන්න වශයෙන් අක්කර 10) අඩු ඉඩම් කැඩීමට බාධාවක් නැති බැවින් එක් අයෙකු බැගින් ඉඩම් කැඩීමට නීතියෙන් බාධාවක් නැත. මෙය අනුගමනය කරමින් මොවුහු පහසුවෙන්ම අක්කර 50 පමණ පොල් ඉඩම් කට්ටි කිරීම සිදු කරති. එසේම පෙර සඳහන් කළ ආකාරයට විශාල දේපළ සමාගම් මේ ක්‍රියාවලිය පිටුපස සිටින නිසා මෙය පහසුවෙන් මුදල් මතින් සිදුවේ. එසේම මේ සරල ගැටවලට හසුනොවන රාජ්‍ය නිලධාරීන් සිටිය නොහැකිය. ඔවුන්ට ඒ ගැට, මුදලේ මහිමයෙන් පෙනෙන්නේ නැත.
අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි ලෙසම දුටුවේ අක්කර දහයට වඩා වැඩි පොල් ඉඩම් කට්ටි කරන ආකාරයයි. එනම් නීතිය පරයා යන ආකාරයයි. මේ පිටුපස සිටින්නේ රටේ ප්‍රබල දේශපාලන නියෝජිතයන්ගේ, භාරකාරයන්ගේ සහෝදර හිතමිත්‍රාදීන්ය. නොඑසේ නම්, ඔවුන්ගේ සමාගම්ය.
පොල් ඉඩම් කට්ටි කිරීම සිදුවන්නේ නේවාසික භූමි සඳහාය. එනම් නිවාස ඉදිකිරීම් සඳහාය. රටේ ජනගහනය ඉහළ යන තරමටම නිවාස අවශ්‍යතාද ඉහළ යන නමුත් ඊට සාපේක්ෂව රටේ භූමි ප්‍රමාණය ඉහළ යන්නේ නැත. ඒ නිසා පෙර ජනාවාස නොවූ ප්‍රදේශවල ජනාවාස බිහිකිරීමට සිදුවේ. මේ නිසා පොල් ඉඩම්ද මෙසේ නේවාසික භූමියට ගොදුරුවීම සිදුවී ඇත. ඒ අනුව පොල් ඉඩම්ද ආරක්ෂා කරගෙන නිවාස අවශ්‍යතාවට ද පිළියම් සැපයීමට නම්, සිරස් අවකාශය වෙත අවධානය යොමු කළ යුතුය. කොළඹ අවට තදාසන්න ප්‍රදේශවල හා ප්‍රධාන නගරවල සිරස් නිවාස ව්‍යපෘති දැකගත හැකි වුවද අප කතා කරන කුලියාපිටිය, කුරුණෑගල ආදී ප්‍රදේශවල විශාල වශයෙන් සිරස් නිවාස ව්‍යපෘති දැකගත නොහැකිය. මෙය අර්බුදයකි. මේ අර්බුදය ජය ගැනීමට නම් භූමි පරිහරණ ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය. ඊට රජය මැදිහත් විය යුතුය. නිවාස හිතු මනාපෙට සෑදීම වළක්වා රජයේ නියාමනයකින් යුතුව නිවාස ඉදිකිරීම් සිදුවිය යුතුය. මිනිසුන්ට ඇඳුම් නැතිව ගහක් කොළක් යට සිටිය හැකි වුවද ජලය හා ආහාර නැතිව ජීවත් විය නොහැකිය. ඒ නිසා ප්‍රමුඛවම ආහාර භූමි ආරක්ෂා කළ යුතුය. ඒ ආහාර භූමි ආරක්ෂාව සඳහා නියාමනයකින් තොර විනාශකාරී ඉඩම් කට්ටි කිරීම වැළකිය යුතුය. කෘෂිකාර්මික බිම් රැකගත යුතුය.

සරු ගස් කපලා නිසරු ගස් ඉතිරි කරනවා
ඉඩම් වාරිමාර්ග මහවැලි අමාත්‍යාංශයේ හිටපු කෘෂිකර්ම ආර්ථික විශේෂඥ – චන්ද්‍රසිරි නානායක්කාර

“මේගොල්ලෝ කරන්නේ හොඳ ගස් කපනව ඉස්සෙල්ලා. මොකද පොල් වගා මණ්ඩලයෙන් අවසරයක් ගන්ඩ ඕනෙ මේ ඉඩම කැඩීමට සුදුසුයි කියලා. කැඩීමට සුදුසු වෙන එක නිර්ණායකයක් තමයි ඵලදාව නිසරු ඉඩම් කියන එක. ඒ නිර්දේශය ගන්ඩ තමයි හොඳ ගස් කපලා නරක ගස් තියෙන්ඩ අරින්නේ. එතකොට ඉඩම කැඩීමට සුදුසු වෙනවා. කොහොමහරි ඉඩම් කැඩීමට වැඩියෙන්ම ලක්වෙන්නේ වයඹ. ඉඩම් කඩන්ඩ ඕනෙ, හරි. ඒත් එහෙම ඉඩම් කඩලා නැති වෙන ඵලදාව ගන්ඩ අනිත් ඒවා සංවර්ධනය වෙන්ඩත් ඕනෙ. එහෙම දෙයක් වෙන්නෙත් නෑ. එහෙම දෙයක් වෙන්නෙ නැත්තෙ ඒකට ගොඩක් කාලයක් යන හින්දා දැන් ඉන්න ආයෝජකයෝ මේකට කැමති නෑ. ඒගොල්ලන්ට ඕනෙ ක්ෂණික වැඩ. ආයෙ හොඳ වාරි තාක්ෂණ නෑ. ඒ වගේ දේවල් හින්දා අහිමි වෙන නිෂ්පාදන ප්‍රමාණය ගන්ඩ බෑ. එතකොට පොල් කර්මාන්තය ලොකු අර්බුදයකට ලක්වෙනවා. දැන් පොල් ක්ෂේත්‍රයම වැටිල තියෙන්නේ. මේ පොල් ඉඩම් කැඩීම හරහා වෙන්නේ තවත් අර්බුදයකට පොල් ක්ෂේත්‍රය මුහුණදෙන එක. දැන් නේවාසික ඉඩම් අවශ්‍යතාව ලොකුවටම තියෙනවා. ඒකට විසඳුම තමයි භූමි පරිහරණයේදී සමබරතාව පවත්වා ගන්න එක. ජාතික මට්ටමේ තීරණයක් ඕනේ. උදාහරණයක් විදිහට, මේක නගරාසන්න ඉඩමක් නිසා මේක වාණිජ අවශ්‍යතාවන්ට යොදා ගත්තට ප්‍රශ්නයක් නෑ. මේක ග්‍රාමීය නිසා මේක කඩන එක තේරුමක් නෑ කියලා. එතකොට ඒකට හොඳ පාලනයකින් භූමිය පරිහරණය කරන්ඩ පුළුවන්.”