සාලාවේ ගිනි නිවෙන්නේ කවදාද?

සටහන හා ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කොස්ගම සාලාවේ සිදුවූ හදිසි පිපිරීම හා ගින්න නිවී ගොස් බොහෝ කාලයක් වුවත් ඉන් විපතට පත් ජනතාවගේ ගින්න තවමත් නිවී නැති බවට ඕනෑ තරම් සාධක එම පෙදෙසේ දී අදටත් දැක ගත හැකිය. මෙරට සිදුවන බොහෝ විපත්වලට මැදිවන්නන්ට ටික දිනකින් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ සෙවීමට හෝ ඔවුන්ගේ ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීම යන කාරණා පිළිබඳ වගකිව යුතු බොහෝ දෙනාට කාලය සමග අමතකව යෑම දැන් අනිවාර්ය සිදුවීමක් බවට පත්ව තිබෙන බව පෙනේ. කෙසේ වෙතත් මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමෙන් විපතටපත් ජනතාව මෙන්ම 2016 වසරේ ජූනි 05 වන දින කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් විපතට පත් ජනතාව අද ඇදවැටී සිටින්නේ තමන් විසින්ම සිදු කර ගන්නා ලද විපතක ඵල විපාක තමන්ටම විඳදරා ගැනීමට සිදුවූවා වැනි තත්ත්වයකටය.

“මගේ ගරාජ් එකයි ගේයි දෙකම තිබුණේ මෙතැනයි. මෙතන කිසිම දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. නැති වුණු ගෙදරටයි, ගරාජ් එකටයි, ඒකේ තිබුණු බඩුවලටයි ඔක්කෝටම මට ලැබුණේ ලක්ෂ විසිපහයි. මේ හැමදේම ආපහු හදා ගන්න ඒ මුදල ප්‍රමාණවත් නැහැ. අපි තාම ඉන්නේ කුලී ගේක නිසා දිගටම කුලී ගෙවන්න ඕනෑ, කෑම වියදම් දරන්න ඕනෑ, ළමයි ඉස්කෝලේ යවන්න ඕනෑ, බෙහෙත් අරන් දෙන්න ඕනෑ ඒ කිසිම දේකට දැන් අපිට ආදායමක් නෑ. අපිට නිවාස කුලී දීමනාව ලැබුණේ මාස දෙකක් විතරයි. දැන් අවුරුදු දෙකකට ළං වුණා, තවම රස්සාවත් නැහැ. ආපහු මෙතන ඉන්න තැනක් හදාගෙන, ගරාජ් එකත් හදාගෙන වැඩ පටන් ගන්න ප්‍රමාණවත් මුදලක් අතේ නැතිව බැහැ. ලැබුණු වන්දි මුදලෙන් දරුවෝ දෙන්නා එක්ක මෙච්චර කල් කුලී ගේක ජීවත් වුණා. දැන් සේරම ආණ්ඩුවෙන් අත්හැරලා දාලයි තියෙන්නේ. අදටත් රස්සාව නැහැ. ගරාජ් එකේ වැඩ කළ ආයුධ ආම්පන්නවත් මොනවත් නැහැ. අනුන්ගේ තැන්වල වැඩ කරන්නත් බැහැ.“ සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිටම පිහිටා තිබූ කුමාරගේ රනිල් මහතාගේ නිවසත් ගරාජයත් තිබූ ස්ථානයේ අද තිබෙන්නේ හිස් බිමක් පමණි. පිපිරීමෙන් පසු එතැන සියල්ල ගිනිගෙන විනාශව තිබුණෙන් පසුව එහි වූ සුන්බුන් සියල්ල ද යුද හමුදාව විසින් ඉවත් කර තිබුණි. එතැන් සිට ඔවුන්ට කුලී නිවසක ජීවත්වීමට සිදු වුවත් මෙතෙක් ඔහුට තම ජීවනෝපාය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට හෝ නිවස ඉදිකිරීම ආරම්භ කර ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. පිපිරීමෙන් හානියටපත් නිවාස හා භාණ්ඩ සදහාත් ව්‍යාපාරිකයින් සඳහාත් වන්දි ලබා දුන්න ද ඇතැම් තක්සේරු කිරීම්වල සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් ඇතැම් අයට විශාල අසාධාරණකම් සිදුව තිබෙන බවට විපතට පත් වූ අය මැසිවිලි නැගූහ.

ඩී. ඒ. ස්වර්ණලතා මහත්මියගේ පුතුන් දෙදෙනාගේ නිවාස දෙක තිබුණේ එකිනෙකට ආසන්නවය. එක් පුතෙකුගේ කුඩා නිවුන් දරුවන් දෙදෙනා ද ඇතුලුව එම පවුල් කීපයේ අය තවමත් ජීවත් වන්නේ හානි වූ නිවාස අසල ඇති කූඩාරම් දෙකක් තුළය. එම කූඩාරම් ද මේ වන විට තිබෙන්නේ අබලන් තත්ත්වයේය. පිපිරීමෙන් හානියට පත් නිවාසවල දොරවල් පවා තවමත් නොවූ අතර, ඇතැම් බිත්ති සම්පූර්ණයෙන්ම කැඩී, පුපුරා ඉතා අනාරක්ෂිත තත්ත්වයක තිබුණි. ගෙබිම බොහෝ ස්ථානවල වළවල් සෑදී තිබුණි. එම නිවාස තිබුණේ කිසිසේත් ආරක්ෂිත ලෙස නොවේ. “පූර්ණ හානි කියලා හමුදාවෙන් කීවා. අපි තාවකාලිකව කුස්සිය හදාගෙන ඒකේ උයනවා. මේ ගෙට ලැබුණේ අට ලක්ෂ විසිපන්දාහක් විතරයි.“ ඇය සිය පුත්‍රයෙකුගේ එක් නිවසක් පෙන්වමින් කීවාය. එම නිවස ඉතා හොඳ තත්ත්වයේ නිවසක්ව තිබුණු බවට එහි බොහෝ සාධක තිබුණත් අද ඒ තුළ තිබුණේ ජීවත් වීමට සුදුසු වටපිටාවක් නොවේ. බිත්තිවල විශාල සිදුරු, පිපිරීම්,කැඩී බිඳී ගිය කොටස් එහි සෑම ස්ථානයකම පාහේ විය. “ඒ මුදල ප්‍රමාණවත් නැති නිසා අපි ගත්තේ නැහැ. පුතාගේ නිවුන් දරුවෝ දෙන්නා තාම මොන්ටිසෝරි යනවා. කූඩාරමේ ඉන්න නිසා ඒ දරුවන්ට අවුරුද්ද පුරාම අසනීපයි. මේක වුණ දවස්වල මගේ මහත්තයාගේ කකුලේ මහපට ඇඟිල්ල බෝම්බ කෑල්ලකට කැපුණා. එයාට දියවැඩියාව තිබුණ නිසා තුවාලය හොඳ වුණේත් නැහැ. ඒකට විෂබීජ ගිහින් හුගක් අමාරු වුණා. වකුගඩුවලටත් බලපෑවා. දැන් ඒ තුවාලය ආපහු යටින් හැදීගෙන එනවා. මේවා කල්පනා කරලා එයාට හාට්ඇටෑක් පවා ආවා. මේ ගේ හොඳ ලස්සනට හදලා, සීලිං දාලා, ෆෑන් දාලා හොඳට තිබුණා. අනෙක් ගෙට ලක්ෂ පහයි ගණනක් පාස් වුණත් ඒකත් සම්පූර්ණයෙන්ම කඩලා හදන්න වෙනවා. ඒත් අපි මහත්තයා අසනීපවෙලා ජයවර්ධනපුර නවත්තලා ඉන්නකොට ඒ මුදල අරන් ඒ දේවල් වෙනුවෙන් ඒකෙන් වියදම් කළා. අපිට අසාධාරණකම් ගොඩක් වුණා. අපි කිසිම කෙනෙක්ගෙන් සහනයක් නැහැ.“ ඔවුන්ගේ අනෙක් නිවසේ බිත්ති ද ඇතැම් ස්ථානවල සම්පූර්ණයෙන්ම කැඩී තිබුණි. තවත් බිත්ති දෙබෑ වී තිබුණි. තවත් තැන්වල විශාල සිදුරුය. සෑම තැනම පාහේ පුපුරා ගොස්ය. ඒවා කෙසේවත් ජීවත් වීමට සුදුසු ස්ථාන නම් නොවීය. තවත් මෙවැනි නිවාස ගණනාවක් එම ප්‍රදේශයේ දැක ගත හැකිය. තවත් බොහේ දෙනා තමන්ට සිදුව තිබෙන අසාධාරණකම් පිළිබඳ මැසිවිලි නැගුහ. විනාශ වූ ඇතැම් නිවාස සාදා වැඩි කාලයක් ගත නොවූ ඒවාය. ඒවා වෙනුවෙන් සාධාරණක් ඉටු නොවන විට නැවත ඒ වෙනුවෙන් ධනය ශ්‍රමය වැය කිරීමට සවියක් ඒ බොහෝ දෙනාට තිබුණේ නැත.

“ගේ ඉස්සරහා කාමරය සම්පූර්ණයෙන්ම පිච්චිලා තිබුණා. ඒ නිසා ඉස්සරහ බිත්තිය සම්පූර්ණයෙන්ම හදන්න ඕනෑ කියලා හමුදාවෙන් ඒ කාමරේ ඉතිරි බිත්ති කෑලි කැඩුවා. ඒ වුණාට හැදුවේ නෑ, කඩලා දාලා ගියා. වහලේ ෂීට් ගැහුවා. ඒත් දැන් මැදින් පහත් වෙලා, වහිද්දී හැම තැනම තෙමෙනවා. මුලින් කියලා තිබුණේ ලැබෙන වන්දි හමුදාව අයකරගෙන හමුදාවෙන් හදලා දෙනවා කියලායි. මුලින්ම අපිට වන්දිය නිර්දේශ කරලා තිබුණේ තුන්ලක්ෂ අසූහතරදාහයි. ඒත් මේ ගේ හදන්න ඒ මුදලින් බැහැනේ. මුළු ගේම තැනින් තැන කැඩිලා, හැම තැනම වළවල්, සමහර බිත්ති සම්පූර්ණයෙන්ම කැඩිලා, අනෙක් බිත්තිත් හැම තැනම පුපුරලා, ජනේල කැඩිලා, උළුවහු කැඩිලා, පොළොව හැම තැනම බොල් වෙලා. අපි අභියාචනා ඉදිරිපත් කළාම නැවත වන්දිය පන්ලක්ෂ තිස්දාහක් විධියට සංශෝධනය කර තිබුණා. ඒත් මේ විනාශ වෙච්ච ඒවා හදන්න ඒ මුදල ප්‍රමාණවත් නැති නිසා අපි වන්දි මුදල ගත්තේ නැහැ. නැවත ඉල්ලීම් කළත් ඒ අය නැවත ආවේ නැහැ. මේ ගේ හදන්න මගේ පුතා තනියම හම්බ කරලා සෑහෙන වියදම් කළා. අපිට දැන් ආයේ හදන්න විධියක් නැහැ. භාණ්ඩවලට දුන්න වන්දිය අපි ගත්තා. නිවාස කුලී දීමනාව ලෙස දුන්න රු.50000 ලැබුණේත් එක් වාරයක් විතරයි. අපිට වුණේ ලොකු අසාධාරණයක්. දැන් මේක අපි කරගත් විනාශයක් වගේ තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.” ඒ වෝල්ටර් නාගහවත්ත මහතාය. ඔවුන්ගේ නිවසේ ගෙබිම වූ ගැඹුරු වළවල්වල් නිසා අනතුරු සිදු විය හැකි බැවින් ඒවාට වැලි පුරවා තිබුණි. නිවසේ සෑම ස්ථානයකම වූයේ හානි වීම්ය. එහෙත් තවමත් ඔවුන් ජීවත් වන්නේ ද එම අනාරක්ෂිත තත්ත්වයක පවතින නිවසේමය. තම ශ්‍රමය ධනය වැය කර ඔවුන්ට හැකි උපරිම යහපත් හා අලංකාර ලෙස තනා ගත් නිවස අද පවතින්නේ අබලන් තත්ත්වයකය. ඒ ඔවුන්ට වූ ස්වභාවික විපතක් හෝ ඔවුන් විසින්ම සිදුකරගත් දෙයක් නොවේ. එහෙත් වසර දෙකකට ආසන්න කාලයක සිට ඔවුන්ගේ නිවාස,බඩු භාණ්ඩ පමණක් නොව යහපත් සෞඛ්‍ය තත්ත්වය ද සැනසීම ද ආරක්ෂාව ද යන සියල්ල ඔවුන් වෙතින් පලා ගොස් තිබෙන බවට ඕනෑ තරම් සාධක එහි තිබුණි.

සාලාව යුද හමුදා කඳවුරේ සිට මීටර් දෙසීයක පමණ දුරින් පදිංචිව සිටින ජූඞ් ප්‍රසන්න මහතාගේ පවුලට අත්ව තිබුණේ එවැනිම දුක්ඛිත තත්ත්වයකි. ඔහුගේ නිවසේ බිත්ති කැඩී විශාල සිදුරක් නිර්මාණය වී තිබූ එක් තැනක් ආවරණය කර තිබුණේ විනාශයෙන්ම කැඩී ගිය අල්මාරියක කොටස් තබමිනි. වර්ෂා අවස්ථාවල ඉහළ මාලයේ කොන්ක්‍රීට් වහල කැඩී ඇති තැන්වලින් ඇතුළට පැමිණෙන ජලය කැඩී ගිය ජනේලයක් තුලින්ම ඉවතට ගලා යන ආකාරයට ඉටි රෙද්දක් රදවා තිබුණි. “අපේ නිවසට වුණු හානියට නිසි වන්දි මුදලක් ලැබුණේ නෑ. ලැබෙන කෙනාට ලැබුණා. ඒත් ලැබිය යුතු අයට තමන්ගේ ගේ හදා ගන්න මුදල් ලැබුණේ නෑ. මේ කම්බිත් කඩාගෙන ඇතුලට බැහැලා තියන ස්ලැබ් එකට පැච් දාගන්න කියලා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් කියනවා. මේ කොස් උළුවහු කැඩිලා විනාශවෙලා. ඒවාටත් කෑලි අල්ලලා පැච් දාන්න කියලා ඒ අය කියනවා. ඒ අය ඇවිත් අපට කියලා යන්නේ එහෙම කතායි. ගේ තැනින් තැන වළවල්, බිත්ති හැම තැනම පුපුරලා, සමහර බිත්ති බිමට යනකම්ම පැලිලා. මට මුලින් තක්සේරුව එවලා තිබුණේ රු.55000ක් විතරයි. පස්සේ නැවත ඉල්ලීම් කළාම ඒක ලක්ෂ පහමාරක් කළා. මාස කීපයකට පස්සේ ඒ මුදලට කැමති වෙන්න කීවත් මම ඒ අයට කීවා මේ සිද්දවෙලා තියන හානිය හරියට බලලා නිවැරදි තක්සේරුවක් කරන්න කියලා. ඒ අය නැවත රු.55000ක් වැඩි කරලා තිබුණා. මේ ස්ලැබ් එක හැම තැනම කැඩිලා, බිත්ති හැම තැනම කැඩිලා, හැම තැනම පුපුරලා, හැම තැනම බොල්වෙලා විනාශ වෙලා තියනවා. තුන් සැරයක් තක්සේරු කරලා ලක්ෂ හයහමාරක් කියනවා. මේක එක්වරම නිවැරදිව තක්සේරු කරන්න පුළුවන්කම තියෙද්දී ඒ අය තුන්වරක් තක්සේරු කළත් තවමත් නිවැරදි තක්සේරුවක් වුණේ නැහැ. ෂීට් තිබුණ වහලේ කොටස්වලට වෙලාවේ හැටියට වැස්සෙන් බේරෙන්න හමුදාවෙන් ෂීට් ටික තියලා ගියා. ඒවා ලී දාලා ආයේ මුල ඉඳලා හදන්න වෙනවා. අපි මානව හිමිකම් කොමිසමට දැනට පැමිණිලි කරලායි තියෙන්නේ. අපිට කළ දේට අපි නඩු දානවා. දැන් වෙන කරන්න දෙයක් නැහැ. “ජූඞ් ප්‍රසන්න මහතා කීවේ දැඩි කණස්සල්කිනි. ඔහු තම කුඩා දරුවන් ද සමග සිටියේ සුරක්ෂිත පරිසරයක නොවේ.

මෙම ගැටලු සම්බන්ධව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතටපත් ජනතා එකමුතුවේ උප සභාපති බන්දුල පද්මකුමාර මහතා කරුණු දැක්වූයේය. “මෙම අවි ගබඩාව පිපිරීමෙන් මේ ප්‍රදේශයේ මුරුතගම, සාලාව, කොස්ගම බටහිර යන ග්‍රාම නිලධාරී වසම් තුනේ පවුල් 2200කට පමණ විවිධ මට්මේ හානි සිදු වුවත් ඉන් පවුල් 400කගේ පමණ ගැටලු තවමත් විසඳිලා නැහැ. ජනතාවගේ ගැටලුවක් ගැන දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් විමසුවත් ඔවුන් කියන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳිලා ඉවරයි අදාළ ලිපි ගොනු දැන් වහලා කියලා. ඒත් තවත් හාරසියයකගේ පමණ නොවිසඳුණු ගැටලු තියෙනවා. සිදුවීම වෙලා දින 15ක් තුළ සියලු තක්සේරු කිරීම් සිදුකර අවසන් කළා. අර්ධ හානි වූ ඇතැම් නිවාස සඳහා නිවැරදි තක්සේරුවක් නොකිරීමෙන් සාධාරණ වන්දි නොලැබීම නිසා ඒ නිවාස තවමත් ඉදිකිරීමට නොහැකිව තිබෙනවා. මෙය පිපිරීමක් නිසා මීට වඩා විද්‍යාත්මක තක්සේරුවක් සිදුවිය යුතුයි. සමහර අය ගෙවල් හදාගන්න සූදානම් වෙද්දී ඒ ලබා දුන් වන්දිවලින් හදන්න බැරි තරම් හානි විශාල ප්‍රමාණයක් සිදුවී තිබෙන බව දැනගන්න ලැබී තිබෙනවා. සමහර අයට වන්දි මුදල් ප්‍රමාණවත් වුණා. ඒ නමුත් සාධාරණයක් නොවූ අය ඉන්නවා. පළමුවරට සිදු කළ තක්සේරුව විද්‍යාත්මක ක්‍රමවේදයකට නිවැරදිව සිදු කළා නම් මේ දේ වෙන්නේ නැහැ. මේ ගැන විමසද්දී තක්සේරු නිලධාරීන් කියන්නේ නඩු දාගන්න කියලායි. අපි දැන් නඩු දාලා තියෙනවා. පිපිරීමෙන් හානියට පත් වුණු මගේ තට්ටු තුනක ගොඩනැගිල්ල පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලයෙන් තක්සේරු දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දුන්නා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ තෙවරක්ම එම වාර්තාවේ පිටපතක් මම තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියත්ලබා දුන්නේ නෑ. ඒ අය කියනවා ඒක තෙවන පාර්ශ්වයේ වාර්තාවක් නිසා අපි ළඟ නැහැ ඒක තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කියලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියනවා අපි ළඟ නැහැ තක්සේරු දේපාර්තමේන්තුවෙන් ඉල්ලන්න කියලා.“

ඔවුහු සියලුම ආගමික නායකයන් ද හමුවී මෙම ගැටලු සම්බන්ධව දැනුවත් කර ආගමික නායකයන් හරහා ජනාධිපතිවරයා, අගමැතිවරයා ආදී සියලු පාර්ශ්වයන් දැනුවත් කර තිබුණි. ඒ අනුව මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආගමික නායකයින් විසින් ද ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ නමුත් විසඳුම් නොලද බව ඔවුහු පැවසූහ. අදාළ අමාත්‍යාංශ, ආයතන, නිලධාරීන් හා දේශපාලනඥයින් වෙත යමින් ද ඔවුහු තමන්ට වූ විපතට සහන සෙවීමට දීර්ඝ කාලයක සිට බොහෝ උත්සාහයන්හි යෙදෙති. එහෙත් අසාධාරණයට ලක්වූවන්ගේ හඬට සවන් දෙමින් විධිමත් අයුරකින් නිසි විසඳුමක් ලබා දීමට මෙතෙක් කටයුතු සිදු කර නැත.

පිපිරීම නිසා පූර්ණ හා අර්ධ හානියට පත් රථවාහන සඳහා තක්සේරු සිදු කර ඒ සම්බන්ධව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලිපි මගින් දන්වා තිබුණ ද මෙතෙක් එම රථවාහන සඳහා කිසිදු වන්දි මුදලක් ලබා දී තිබුණේ නැත. එමෙන්ම විනාශ වූ කෘෂි භෝග හා පශු සම්පත් සඳහා මෙතෙක් වන්දි ලබා දී තිබෙන්නේ කොටසකට පමණක් බවට ඔවුහු චෝදනා කරති. ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරය අහිමිව තිබූ කාල සීමාව තුළ වූ ව්‍යාපාරික අලාභය ගණනය කිරීම හෝ ඒ සඳහා වන්දි ලබා දීම සිදු නොවූ බවට සාලාවේ ව්‍යාපාරික ප්‍රජාව ද චෝදනා කරති. තවමත් ඒ ඇතැම් ව්‍යාපාරික ස්ථාන ඉදිවෙමින් පවතී. ගින්නෙන් විනාශ වූ රන් භාණ්ඩ හා මුදල් තක්සේරු නොකළ අතර භාණ්ඩ තක්සේරුවේ ද යම් යම් ගැටලු පවතින බව ද ඔවුහු පෙන්වා දෙති. සාලාව නගරයේ කුලී පදනම මත ව්‍යාපාරික ස්ථාන ලබාගෙන ව්‍යාපාර කළ අය සඳහා 2016 වසරේ දෙසැම්බර් 30වන දාට පෙර ඉදිකර ලබා දෙන බවට එකඟව තිබූ කඩ කාමර පේළිය මෙතෙක් ද ඔවුන්ට ලබා දී තිබුණේ නැත. යුද හමුදා කඳවුරට අයත්ව තිබූ භූමියේ එම කඩ පේළිය තවමත් මන්දගාමී ලෙස ඉදිවෙමින් පවතින බව දක්නට ලැබුණි. හමුදා කඳවුරට අයත්ව තිබූ ඉඩමෙන් අක්කර පහක් සාලාව නගර සංවර්ධන සැලැස්ම යටතේ සාලාව නගරයට වෙන් කර තිබුණත් එම කොටස තවමත් පිපිරීම සිදුවූ දිනවල ලෙසම දිස්වේ. “විපතට පත් වුණේ ග්‍රාම සේවා වසම් තුනක ජනතාවයි. ඒ නිසා අදාළ පාර්ශ්වයන් කැඳවා සාක්ච්ඡා කර එකඟතාවකට පැමිණෙන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ. අදාළ රාජ්‍ය නිලධාරීන් කිසිවෙක් මේ ගැටලුවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. අදාළ ලිපිගොනු වසා දැමූ බව කියනවා. අපි මේ අසාධාරණය සම්බන්ධව මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. වන්දි වෙනුවෙන් පුද්ගලිකව වන්දි නඩු ගොනු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.” ඒ බන්දුල පද්මකුමාර මහතාය.

මෙම ගැටලු සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය ලෙකම් දිල්හානි කපුගේ මහත්මියගෙන් කළ විමසීමේ දී ඇය සදහන් කළේ සාලාවේ සිදුවූ හානිවලට තක්සේරු කළ මුදල් ලබා ගැනීමට එකග වූ අයට ලබා දී අවසන් අතර එම තක්සේරු මුදලට එකග නොවූ පිරිසට ලබා දීමට නොහැකිවූ බවයි. ඔවුන් එකගතාවය ඵල කරන ඕනෑම මොහොතක එම මුදල් ලබා දිය හැකි බවත් එලෙස වන්දි මුදල් ලබා නොගත් අයගේ තොරතුරු නැවත ආපදාකළමනාකරණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන බවඇය පැවසුවාය.“එකගතාවයට පත් නොවීම හේතුවෙන් නිවාස 60ක් සදහා වන්දි මුදල් තවම ගෙවා නැහැ. ඒ වගේ ම භාණ්ඩ හානි සදහා තක්සේරු මුදලට එකග නොවීම නිසා 44 දෙනෙකුගේ තවම ගෙවා නැහැ. ඒ හැම දෙනාගේම අභියාචනා තක්සේරු දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙනවා. කෘෂි හානි සදහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා තක්සේරු කර එවා තිබෙන 147ටම වන්දි මුදල් ගෙවා තිබෙනවා. විනාශ වූ රථවාහන සදහා මෙතෙක් ගෙවා නැහැ. ඒ සදහා මෙතෙක් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කුලී පදනම මත ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින් 35 දෙනෙකුට කඩකාමර ලබා දීම සඳහා තෝරා්ගෙන තිබෙනවා. එම කඩ කාමර ප්‍රමාදවීම සම්බන්ධව මම ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කර තිබෙනවා.”

විපතට පත් පිරිස සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයකට සහභාගී වෙමින් 2016.06.10 වන දින හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ, අලාභහානියට පත් නිවාස සහ දේපොළ කඩිනමින් අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් කටයුතු කරන රජයේ ආයතන, අමාත්‍යාංශ, ප්‍රාදේශීය සභා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහා යුද හමුදාවේ සහය උපරිමයෙන් ලබාදෙන බවත්ය. එමෙන්ම විපතට පත් ජනතාවගේ නිවාස සියල්ල යථා තත්ත්වයට පත් කරන තුරු යුද හමුදාව එම ප්‍රදේශවලින් ඉවත් නොවන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් සිදුවීම වූ මුල් කාලයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් යුද හමුදාව ඉතා කැපවීමෙන් කටයුතු කරනු පෙනුන ද වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සමග එම කටයුතුවලින් යුදහමුදාව ද ඉවත් වී බොහෝ කල්ය. මෙම හදිසි පිපිරීම අවස්ථාවේ මිනිසුන් දිවි බේරාගත්ත ද ඇතැම් මිනිසුන් දැන් සිටින්නේ අනාරක්ෂිත පරිසරයන් තුළය. එමෙන්ම කිසිවෙකු මත නොයැපුණු ඔවුහු තමන් වෙත පැමිණි මෙම නොසිතූ විපත හේතුවෙන් අද අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටී සිටිති.