විගණනයට නිරීක්ෂණය වූ පොහොර ආනයනයේ සටකපටකම්

ලසන්ත රුහුණගේ

රසායනික පොහොර යනු අප රටේ වී වගාව හා අනෙකුත් වැවිලි භෝග සම්බන්ධයෙන් තවමත් බැහැර කළ නොහැකි අවශ්‍යතාවකි. මේ අවශ්‍යතාව වෙනුවෙන් රජය වාර්ෂිකව දරන පිරිවැය අතිවිශාලය. ඒ පොහොර සහනාධාරය යනුවෙන් නම්කර ගොවීන්ට ලබාදෙන ප්‍රතිලාභය හේතුවෙන්ය.

මේ පොහොර සහනාධාරය ගැන වසරකට කිහිප අවස්ථාවක් විවිධ කතා අසන්නට ලැබේ. ඒවා මාධ්‍ය මගින්ද අතිවිශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් ප්‍රචාරය කරනු ලැබේ. මේ කතා අතර බොහෝ විට ඇත්තේ පොහොර හිඟයක් පිළිබඳ කතාය. නැත්නම් පොහොර මිල ඉහළ යෑම ගැන කතාය.

එහෙත් පොහොර සහනාධාරය යටතේ රජය පොහොර මිලදී ගන්නා ක්‍රියාවලිය ගැන එම මාධ්‍ය ප්‍රචාරණයන්හිදී වාර්තාවන්නේම නැතිතරම්ය. ගොවීන් එම ක්‍රියාවලිය ගැන කරුණු එතරම් නොදැනීම එක් හේතුවක් විය හැකිය. අනෙක් ප්‍රධානතම හේතුව නම් ජනමාධ්‍යයට ඒ ගැන සොයන්නට එතරම් වුවමනාවක් නැතිකමය. මන්ද බහුතර ජනමාධ්‍ය න්‍යාය පත්‍රයට ඒවා අනවශ්‍ය ප්‍රශ්න වන නිසාය. මේ අනවශ්‍ය ප්‍රශ්න නිසා අනවශ්‍ය කරදරවලටද ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන නිසාය. ඉන් ප්‍රධානතම කරුණ වන්නේ දැන්වීම් ආදායමය.

කෙසේ හෝ පොහොර සහනාධාරය ලබාදීමේ ක්‍රියාවලිය ගැන අවධානය යොමුකිරීමේදී එය කාලාන්තරයක් තිස්සේ කරගෙන ආවේ නිශ්චිත මිලකට (වෙළෙඳපොළේ මිලට අඩුවෙන්) ගොවියාට පොහොර මිටියක් ලබාදීම මගින්ය. ඒ සඳහා යොදාගනු ලැබුයේ රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමය. පොහොර මිලදී ගැනීම වෙනුවෙන් මෙම සමාගම් දෙක වෙනුවෙන් ටෙන්ඩර් ක්‍රියාවලිය, තාක්ෂණික ක්‍රියාවලිය, කැබිනට් මණ්ඩල අනුමැතිය ආදිය කරනු ලැබූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්ය.

පසුගිය 2016 හා 2017 යන වර්ෂවලදී වසවිස නැති ගොවිතැන් නාමයෙන් පොහොර සහනාධාරය ලෙස රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීමට ගොවීන්ට ඍජු මුදල් ප්‍රදානයන් ලැබුණද රජය විසින් පොහොර ආනයනය කිරීම එලෙසම සිදුවුණි. මේ පොහොර මිලදී ගැනීමේ ක්‍රියාවලිය එතෙක් අනුගමනය කළ ක්‍රමවේදවලින් බැහැරව හා සුවිශේෂී කොන්දේසි සහිතව ක්‍රියාත්මක වන ආකාරය පසුගිය කාලය පුරා අප අවස්ථා රැසකදී වාර්තා කර ඇත. ඒ මගින් රජයට දරන්නට සිදුවී ඇති පාඩුවද සමහර සමාගම්වලට සුවිශේෂයෙන් සලකා ඇති ආකාරයද අප පෙන්වා දී ඇත්තෙමු.
අප පෙන්වා දුන් එම කරුණු පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවේද අවධානය යොමුවී ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් 2018 පෙබරවාරි 18 දින සහිතව විමසීම් අංක ්ඨඛරැක්‍රැ්ඨෂරැ2017රැ්ූරැ08 යටතේ කෘෂිකර්ම අමාත්‍යාංයේ ලේකම්වරයා අමතමින් යවා ඇති විගණන විමසුමෙන් පෙනේ. ගැනියුලා වර්ගයේ යූරියා මෙටි්‍රක් ටොන් 72,000ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2018 ජනවාරි 08 දින ගෙන්වීම මෙම විගණන විමසුමට නිමිත්ත වී ඇත.

එහිදී විගණනයට නිරීක්ෂණය වූ කරුණු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැන්නකි. 2017 යල කන්නය සඳහා ප්‍රිල්ඞ් වර්ගයේ යූරියා මෙටි්‍රක් ටොන් 18,000ක් සී/ස ක්වන්ටම් ෆර්ටිලයිස් සමාගමෙන් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 239.85 බැගින් ගෙන්වීමට සූදානම්ව තිබූ අවස්ථාවේ රජයේ පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් විසින් පූර්ව සුදුසුකම්ලත් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ප්‍රසම්පාදනය කිරීමේ ක්‍රමවේදය අත්හිටුවා එම ගෙන්වීම අත්හිටුවීම හා ඒ වෙනුවට ලේඛන මත ගෙවීම් (DA Terms) (ජාත්‍යන්තර වෙළෙඳාම් සිදුකරන ණයවර ලිපි නොවේ. මේ ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳාම් දැන් සිදුනොකරයි. ඒ එම ක්‍රමවේදයේදී සපයන්නාට අවදානම වැඩි නිසාය.) විවෘතව මිල ගණන් කැඳවා ඒ අනුව ඊට සුදුසුකම් ලැබූ එකම ආයතනය වන ජැට් හෝල්ඩින් සමාගමෙන් යූරියා මෙටි්‍රක් ටොන් 72,000ක් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 327.40කට ලබාගැනීමට කොන්ත්‍රාත්තුව පිරිනැමීම, අදාළ සමාගමේ රසායනාගාර විශ්ලේෂණ වාර්තා ව්‍යාජ බව කියමින් එම කොන්ත්‍රාත්තුව අත්හිටුවීම ආදිය සිදුවීම් මාලාවේ පළමු දිගහැරුම්ය.

ඉන්පසු 2017/2018 මහ කන්නය සඳහා යූරියා (ප්‍රිල්ඞ්) මෙටි්‍රක් ටොන් 36,000ක් අභියාචනා සඳහා අවස්ථාව ලබානොදෙමින් දින හතක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු ගෙන්වීමට අදහස් කරමින් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 316.20කට ඇග්‍රි කොමසිටිස් ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමට ලබාදීම හා පසුව එය අවලංගු කිරීම. එම අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි පොහොර හිඟයට විකල්ප දෙකක් යෝජනා කිරීම. එක් විකල්පයක් වශයෙන් පෞද්ගලික අංශය ආනයනය කරනු ලබන පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ආනයනය කරනු ලබන මිලටම ලබාගැනීම. කඩිනම් පොහොර සපයා ගැනීම සඳහා ලක් පොහොර සමාගම වෙත ලබාදී තිබූ උපදෙස් අනුව සුදුසු සැපයුම්කරුවකු සොයා ගැනීම යටතේ ඇග්‍රි කොමසිටිස් සමාගමෙන් පොහොර ලබාගැනීම යන දෙවන විකල්පය ආදී කටයුතු සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර අනුමැතිය ඉල්ලා තිබීම යන ඊළඟ දිගහැරුම්ය.

පොහොර මිලදී ගැනීමේ මේ සිද්ධිදාමය නිරීක්ෂණය කිරීමෙන් පසු විගණනය සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කඩිනමින් පොහොර ගෙන්වා ගැනීමට සුදුසු සැපයුම්කරුවකු තෝරා ගන්නා ලෙසට ලක් පොහොර සමාගමට උපදෙස් ලබා දුන්නා යැයි සඳහන්ව තිබුණද එවැනි උපදෙස් ලබාදීමක් පිළිබඳ කිසිදු තොරතුරක් විගණනයට ඉදිරිපත් නොවුණු බවයි.

එමෙන්ම ප්‍රිල්ඞ් වර්ගයේ යූරියා මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 316.20කට මෙටි්‍රක් ටොන් 36,000ක් මිලදී ගැනීමට ලබා දුන් ඇණවුමේ මිලටම මිලෙන් අඩු ග්‍රැනියුලා යූරියා මෙටි්‍රක් ටොන් 72,000ක් ලබාගැනීමට ඇණවුමක් ලබාදුන්නේ කුමන පදනමක් මතද යන්න ඔවුන්ගේ ප්‍රශ්න කිරීම වෙයි. තවද එම ඇණවුම ලබාදෙනවිටත් 2017/2018 මහ කන්නයේ අවශ්‍යතාව සඳහා පොහොර මෙටි්‍රක් ටොන් 36,000ක් ප්‍රමාණවත් බවට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා දන්වා තිබූ බව එහි සඳහන්ය. ප්‍රසම්පාදනයෙන් බැහැර කඩිනම් පොහොර 2017 දෙසැම්බර් 28 දින කොළඹ වරායට පැමිණෙන බව සඳහන් වුවද මෙටි්‍රක් ටොන් 72,000ක් වූ මුළු තොගයෙන් මෙටි්‍රක් ටොන් 50,000ක් පමණක් ඊට දින දහයකට පමණ පසු 2019 ජනවාරි 08 දින කොළඹ වරායට පැමිනුණු බවත්ය. එමෙන්ම ගෙන්වන ලද පොහොර තොගයෙන් රජයේ පොහොර සමාගම් දෙක නිකුත් කර ඇත්තේ මෙටි්‍රක් ටොන් 18,000ක් බවත් එය මුළු ප්‍රමාණයෙන් 25%ක් බවත් එහි අවධාරණය කර ඇත. වඩා වැදගත්ම නිරීක්ෂණයවන්නේ පොහොර ආනයනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා පොහොර මෙටි්‍රක් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 76.35 බැගින් අධි ගෙවීමක් සිදුවී තිබුණු බවයි.

මේ නිරීක්ෂණයන්ට අදාළව විගණනය කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අදහස් හා පැහැදිලි කිරීම් දින හතක් ඇතුළත ඉල්ලයි. ඒ පොහොර තොග ප්‍රසම්පාදන සැලැස්මට අනුව නියමිත කාලවකවානුව තුළ ගෙන්වීමට කටයුතු නොකිරීම, ටෙන්ඩර් මණ්ඩල තීරණ දිගින් දිගටම වෙනස් කිරීම නිසා සිදුවී තිබූ අධි ගෙවීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් පොහොර ආනයනය කිරීම, ඒ නිසා රජයේ මුදල් නිශ්කාර්ය ලෙස රඳවා තබා ගැනීමට සිදුවීම ආදිය ගැනය.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න මහතා සිය පිළිතුරු විගණනයට යැව්වේද නැද්ද හා පිළිතුරු යැව්වේ නම් එම පිළිතුරු මොනවාද යන්න පිළිබඳව දැනගැනීමට ඔහු දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

විගණනයේ නිරීක්ෂණ එසේ වුවද, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිළිතුරු කෙසේ වුවද රජය විසින් පොහොර සහනාධාරය ලෙස විකිණීමට හෝ බෙදාහැරීමට රටට පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය නම් ජනමාධ්‍ය ඔස්සේ මීට වඩා සාකච්ඡාවට භාජනය විය යුතුය යන්න අපගේ අදහසය. ඒ මේ සඳහා වැය කරන අතිවිශාල මුදල පිළිබඳව අවධානය යොමු කිරීමේදීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත අනුව පොහොර වෙනුවට ගොවීන්ට පොහොර මිලදී ගැනීමට පොහොර සහනාධාරය වශයෙන් මුදල් දුන් පසුගිය 2016 හා 2017 යන වර්ෂ දෙකේදී ඒ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 25699.1ක් හෙවත් සාමාන්‍ය ජනයාට දැනෙන භාෂාවෙන් නම් රුපියල් කෝටි 256.99කි. දළ වශයෙන් වසරකට රුපියල් කෝටි 125කට වැඩි මුදලකි. පොහොර සහනය වෙනුවෙන් මූල්‍ය ආධාර සඳහා එසේ වුවද වැඩි මිලට පොහොර මිලදී ගැනීම සඳහා නම් ඊට වැඩි මුදලක් රජයට වැයවන බව පෙනේ. මේ රුපියල් ශත ගනුදෙනු නොවන රුපියල් මිලියන බිලියන ගනුදෙනු නිසා එම ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශ්වයන් ඊට කැමැත්තෙන් සිටින බවට නම් සැක නැත. එම කැමැත්තේ ප්‍රතිලාභය යම් යම් අයගේ සාක්කුවලට ගියද ඒ වෙනුවෙන් අවසානයේ වැයවන්නේ දේශපාලකයන්ගේ හෝ නිලධාරීන්ගේ සාක්කුවේ මුදල් නොව පොදු ජනයාගේ මුදල්ය. ඒ නිසාම රජයේ පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේ සටකපටකම් සාකච්ඡාවට භාජනය විය යුතුමය. රට ගැන කැක්කුමක් ඇතැයි කියන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ටද ඒ සඳහා අවස්ථාව ඇත්තේය.