රාවය

අපරාධකාරයන්ගේ කැඩපත The Godfather – ලෝකයේ අංක දෙක

අපරාධකාරයන්ගේ කැඩපත The Godfather – ලෝකයේ අංක දෙක

රසික ගුණවර්ධන
සිනමා රසිකයන්ට අනුව ලෝකයේ දෙවැනි ස්ථානය දිනාගෙන තියෙන්නෙ The Godfather. ෆ්රැන්සිස් ෆෝඞ් කොපොලා ගේ චිත්‍රපටියක් වන මෙයට පැය දෙකකුත් විනාඩි පනස් අටක ධාවන කාලයක් හිමියි. චිත්‍රපටියෙ අධ්‍යක්ෂවරයා වෙන ෆ්රැන්සිස් ෆෝඞ් කොපොලාව ලෝකය හඳුනගන්නෙ මේ චිත්‍රපටිය හරහා. මෙය ලෝකයේ අංක දෙක බවට පත්වෙන්නෙ IMDb දර්ශකයෙ 9.2 අගයක් සඳහන් කරමින්. එමෙන්ම චිත්‍රපටිය මේ වෙනකොට උපයගෙන තියන මුදල ඩොලර් මිලියන දෙසිය හතලිස් පහත් දෙසිය අසූහයත් අතර පමණ වෙනවා. මේ චිත්‍රපටිය කොච්චර සාර්ථකද කියනව නම්, The Godfather නමින් තවත් චිත්‍රපට බොහොමයක්ම නිම වුණා. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එම වසරේ Academy Awards උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අනුසැකසූ තිරරචනය යන සම්මාන තුනම හිමි කරගන්නවා. තවත් නිර්දේශ වීම් රාශියකුත් ලබනවා.
මේ චිත්‍රපටයේ විශිෂ්ට බව ගැන සැබෑම ඇමෙරිකානු අපරාධ කල්ලි සාමාජිකයන් පැවසූ අදහස්වලින්ම පෙනී යනවා. ඇතැමෙක් මෙය නැරඹූ පසුව ඒ තුළ තමාද සිටි බව පවසා තිබෙනවා. තවෙකෙක් පවසා ඇත්තේ මේ චිත්‍රපටය තමාගේ ජීවිතයටම බලපෑමක් කළ බවයි. තවත් සමහරෙක් මෙය නැරඹීමෙන් පසුව මෙහි දැක්වෙන ප්‍රධාන චරිතය වන වීටෝ කොර්ලියෝනි අනුකරණය කිරීමටත්, ඔහුගේ කථා විලාසයට අනුගත වීමටත් කටයුතු කළ බව පවා සඳහන්. කොටින්ම මේ චිත්‍රපටය අපරාධ කල්ලියක යථා ස්වභාවය එකෙහෙළා හෙළිදරව් කරන්නා වූ ඉතාමත්ම තාත්වික සහ යථාර්ථවාදී වූවක් බව පෙනී ගියා.
කැමරාව, ආලෝක කරණය සහ සංගීතය අතිනුත් ඉහළින්ම ඉන්න චිත්‍රපටියක්. 1972 වගේ කාලෙන නිපදවෙන චිත්‍රපටියේ ආලෝක කරණය අතිශයින් සුනසියි චිත්‍රපටිය පුරාම තියන අහංකාර භයානක බව තව තවත් තීව්‍ර කරන්ඩ අඳුරු රූප රාමුවල සංයමයෙන් කරන අර්ථබාහුල්‍ය ආලෝක කරනය සැබෑ ලෙසම උපකාරී වෙනවා.
ලෝකයේ දූෂිත නොවන සිස්ටම් එකක් නැති තරම්, තියනවා කියලා අවුරු හරි කීවත් ඒ පුංචි තැනක හරි කුණු වෙච්ච බවක් නැති වෙන එකක් නෑ. අපි කුණු වෙලා නෑ හරි දූෂිත නෑ හරි කියන්නේ සාපේක්ෂව, එකකට එකක් සාපේක්ෂව.
ෆිල්ම් එකේ කතා කරන්නෙ මෙන්න මේ මේ දූෂිත බව ගැන, දූෂිත බවින් නිදහස් නොවීමට තියන සාධාරණීකරණක් ගැන. පාලකයෝ වගේම පාලිතයෝත් කොච්චර මේ දූෂිත බවට ඇලුම් කරනව ද?. ඒ ඇලුම් කිරීම් නිදහස්වීමට තියන නොහැකියාව නිසාම උපදින්නක්ද, එහෙම නැත් නම් ගූඪ මිනිස් චෛතසිකවල තවත් එක ස්වරූපයක් ද කියල විග්‍රහ කරගන්ඩ තියන හොඳම දේ ෆිල්ම් එක කියවන එක.
සමාජ බලය, මුදල් බලය සහ දූෂණ මත යැපෙන ඇමරිකාවෙ නිව්යෝක් නගරයේ වෙසෙන බොහොම දරදඬු මැර පවුලක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. කතාව පටන්ගන්නෙම විවාහ උත්සවේට එන මරණ කොන්ත්‍රාත්තුවකින්. ඒක හරි අපූරු ආරම්භයක්. අපි මේ ලෝකෙ මංගල්‍යයක් වගේ ජීවත් වුණාට ඒකට යටින් තියන මූසල මරණයට අපි නොදැනුවත්වම නිර්ව්‍යාජව ප්‍රේම කරනව. අන්න ඒ නිසාම සමහරු මැරෙන්ඩ ආසකරද්දි සමහරු මැරෙන්ඩ අකමැතියි. මොකද මිනිස්සු ප්‍රේමය විඳින්නෙ ගොඩක් අශිෂ්ට විදිහට, හැබැයි ප්‍රේම කරන්නෙ ගොඩක් ශිෂ්ඨ විදිහට. ( ශිෂ්ඨ සහ අශිෂ්ඨ කියන්නෙ ඊනියා සංස්කෘතිකයෙ පෝෂකයක්.) එතනින් එහාට කතාව පුරාම ගලාගෙන යන්නෙ මාෆියා ගේම්. ඔහොම ගලාගෙන යන කතාවෙ හැරවුම් ලක්ෂය වෙන්නෙ මයිකල්. මයිකල් කියන්නෙ මැර පවුලේ බාලයා. පවුල මැර වුණත් මොකද ඔහු නම් මැරයෙක් නෙවෙයි. රජයේ හමුදාවෙ යුධ විරුවෙක්!. කොහොමින් කොහොම හරි මේ යුධ විරුව තමන්ගේ පවුල වෙනුවෙන් මැරයෙක් වෙනවා. මැරයෙක් වෙලා නවතින්නෙ නෑ. ගෝඞ් ෆාද(ර්) කෙනෙක් වෙනව. හැබැයි ඔහු මේ බව සෑබෑව තුළදි විශ්වාස කරන්නෙ නෑ. ක්‍රියාව තුළ දි විශ්වාස කරනව. තමන්ගෙ බිරිඳට සත්‍යවාදී බවේ පොරොන්දුව දීල. ගෝඞ් ෆාද(ර්) ගෙ ස්වරූපය ඇයට පේන්ඩම දොර වහලා ඇගෙන් වසන් කරනවා. අපි දන්නවා දේශපාලකයෝ දූෂිතයෝ කියලා හැබැයි දොර වහන හින්දා අපි විශ්වාස කරන්නෑ.
The Godfather,ගඳ ගහන කුණු වෙච්ච දේශපාලනය, ආර්ථිකය, සමාජ ක්‍රමය සියුම්ව ස්පර්ෂ කරන ලෝකයේ ඉහළින්ම රැඳිය යුතු ම සිනමාපටයක්. මෙය සුක්ෂම සමාජ විවරණයක්.