සුන්බුන් අතර රැජිණක් සාජිරාණි

ඉඳුනිල් උස්ගොඩආරච්චි

යුද්ධය අවසන්ව වසර නවයකට ආසන්න වුවත් තවමත් ජීවත්වීමට ආදායම් මාර්ග නොමැතිව වැළපෙන මිනිසුන් අපට ඕනෑ තරම් හමුවේ. ඒ අතර යුද්ධය විසින් සියල්ල අහිමි කර තිබුණත් කෙසේ හෝ තම වෙර වීරියෙන් ජීවිත ගොඩනගා ගත් මිනිසුන් ද සිටී. මේ එවැන්නියකගේ කතාවකි. ඇය අපට හමුවන්නේ පසුගිය දින කීපයක කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ අනුස්මරණ ශාලාවේ පැවති වෙළෙඳ ප්‍රදර්ශනයේ වූ එක් වෙළෙඳ කුටියක දීය. ඇය ක්‍රිෂ්ණදාස් සාජිරාණි ය.

ත්‍රාසජනක ගමනක්

“අපි පදිංචිවෙලා හිටියේ මුලතිව්, පුදුකුඩුඉරුප්පුවලයි. මගේ මහත්තයාත් එල්.ටී.ටී.ඊ එකට සම්බන්ධවෙලා හිටියා. යුද්ධය දරුණු වෙද්දී අපි පවුල් පිටින් එක තැනකට කොටු වුණා. ඒ වෙද්දී මගේ පුතාට අවුරුදු නවයයි. එල්.ටී.ටී.ඊ එකෙන් අපි කාටවත් යන්න ඉඩ දුන්නේ නෑ. මිනිස්සු ඔක්කෝම පොඩි තැනකට හිර වෙලා හිටියා. ෂෙල් වැදිලා ඔක්කොම මැරිලා යන තත්ත්වයක් තමයි තිබුණේ. ඒ නිසා අපි පුළුවන් තරමක් එල්.ටී.ටී.ඊ එකේ පාලනයෙන් මිදිලා පැනලා යමු කියලා කතා කරගත්තා. අපි කණ්ඩායම් කණ්ඩායම් රෑට එතනින් පැනලා එළියට ආවා. ඉතිරි වුණු හැම කෙනෙක්ම වගේ මැරුණා. අපේ කණ්ඩායමේ මගේ අම්මා, මහත්තයා, පුතා, අක්කා, එයාගේ මහත්තයා සහ ළමයි දෙන්නා, මල්ලි, මල්ලිගේ නෝනා, එයාලාගේ දුව සහ තවත් මිනිස්සු හිටියා.”
ඔවුන් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයෙන් මිදී හමුදාව සිටි ප්‍රදේශය වෙත ගමන් කළ අයුරු සාජිරාණි විස්තර කළාය. යුද්ධය දරුණු අතට පෙරළෙද්දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සාමාන්‍ය වැසියන් තම ආරක්ෂක පවුරු ලෙස බලෙන් යොදා ගනිමින් ප්‍රහාරයෙන් මිදීමට ගත් උත්සාහයන් ගැන ඇය පැවසුවාය. ඒ අතර සාමාන්‍ය වැසියන් ෂෙල් ප්‍රහාර අතරින් ජීවිතය සොයා ගිය ත්‍රාසජනක ගමන පිළිබද ඇය විස්තර කළාය.
“හැම පාරකම මළ සිරුරු විසිරිලා තිබුණා. තවත් අය ඇස් ඉස්සරහාම ෂෙල් වැදිලා මැරිලා යනවා අපි දැක්කා. අපි නන්දිකඩාල් කලපුව හරහා හමුදාව සිටි පැත්තට ගියා. කලපුවේත් සිරුරු පා වුණා. ෂෙල් වැදිලා හිස නැති මිනිස් සිරුරු, අත පය නැති මිනිස්සු කලපුවේ පා වුණා. කලපුවේ වතුර ලේ පාටවෙලා තිබුණා. ගැබිණි කාන්තාවකට ෂෙල් වැදිලා ඇගේ සිරුර කෑලි වුණා. ඒත් කුස තුළ හිටිය දරුවා බේරුණා. වැඩිහිටි කාන්තාවෝ එකතුවෙලා දරුවා ඇගේ සිරුරින් වෙන් කර ගත්තා. හමුදාවේ අය හමුවුණාම දරුවා ඒ අයට භාර දුන්නා, ඔවුන් ප්‍රතිකාර සඳහා ගෙනිච්චා. ඒ දරුවා තවම ළමා නිවාසයක ඉන්නවා.“ වසර නවයකට ඉහත ඔවුන් මුහුණ දුන් අඳුරු යුගය ඇය සිහිපත් කරන්නීය. තම හිතවතුන් ද ඇස් ඉදිරියේ අහිමිව යද්දී ඒ සියලු සිදුවීම් අතරින් තවමත් ඔවුන් ජීවත්වීම සිහිනයක් මෙන් දැනෙන බව ඇය පවසන්නීය.

සැමියාගේ නික්මයාම

ෂෙල් ප්‍රහාර ජලයට ද වැටෙද්දී ඔවුන් නන්දිකඩාල් කළපුවේ කරවටක් ගැඹුරු ජලයේ බැස අත් වැල් අල්ලා ගනිමින් ඒ හරහා ගිය මාරාන්තික ගමන ගැන ඇය විස්තර කළාය. කලපුවේ ගැඹුරු වළවල් ද වූ බැවින් ඒවායේ නොවැටෙන්නට ලී රිටකින් බිමට අනිමින් ගමන් කිරීමට උත්සාහ කළ අයුරු ඇය කීවාය. ඒ අතර ඇගේ සැමියා ද මිය යන්නේ ඇය ඉදිරියේමය. “මගේ මහත්තයා මැරෙනවා මම දැක්කා. ෂෙල් එකක් වැදිලා එයා වැටුණා. වතුරේ ලොකු වළකට එයා ගිලුණා. මම එයා හොයන්න උත්සාහ කරද්දී මමත් වළකට වැටුණා. කෙනෙක් මගේ කොණ්ඩෙන් උඩට ඇදලා ගත්තා. ඒ අතරමග ෂෙල් පීස් එකකට මගේ නළලත් තුවාල වුණා.” ඇගේ එම තුවාල කැළල අදටත් නළලේ දක්නට තිබුණි. සියලු දුක් පීඩාවලින් ඉතා අසරණ තත්ත්වයක සිටි ජීවිතය බේරාගත් මේ පිරිස කෙසේ හෝ කලපුව හරහා යුද හමුදාව සිටින ප්‍රදේශය වෙත පැමිණ තිබුණි. ඒ රාත්‍රිය වූ බැවින් උදෑසන පරීක්ෂා කර ගොඩට ගන්නා තෙක් කලපුවේ ජලය තුළම රැදී සිටින්නට ඔවුන්ට සිදු වූ බව ඇය පැවසුවාය. ඒ අතර ඇගේ සොහොයුරාගේ සිව් හැවිරිදි දියණිය මිය ගිය බව ඇය පැවසුවාය. තම පුතු ද ජලයේ ම සිටීමට නිසා අසාධ්‍ය තත්ත්වයක සිටි බවත් උදෑසන යුද හමුදාව විසින් ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත් සාජිරාණි කියන්නීය. ඔවුන් අතර හැටක් පමණ දෙනා සිටි අතර බස් රියකින් ඔවුන් වවුනියාව විශ්වවිද්‍යාලයේ කදවුර වෙත ගෙන ගොස් තිබුණි. තම පුතාට අසනීප බැවින් ඔහු සමග දින දහයක් පමණ වවුනියාව රෝහලේ සිටීම ඇයට සිදු වූ බව සාජිරාණි කියන්නීය. පසුව නැවත දරුවා ද සමග කඳවුරට පැමිණි බවත් තම සැමියාගේ මිය යාමත් ඒ වෙනුවෙන් කිසිදු ආගමික කටයුත්තක් හෝ සිදු කිරීමට නොහැකි වීමත් හේතුවෙන් ඇය දැඩි කළකිරීමක පසු වූ බව ඇය කියන්නීය.

පටන් ගැනීම

තෙමසකට පමණ පසු ඔවුහු සෙට්ටිකුලම් ආනන්ද කුමාරස්වාමි කඳවුර වෙත ගෙන ගිය ද ඇගේ නළලේ වූ තුවාලය හේතුවෙන් ඇය නිරන්තරයෙන් අසනීප වූ බව කීවාය. “ඒ නිසා මම වවුනියාව රෝහලට ඇතුළත් කළා. තුවාල වුණාට පස්සේ මට නිතරම ෆිට් එක හැදෙන්න පටන් ගත්ත නිසා වෛද්‍යවරු කීවා ටෙන්ට් ඇතුළේ ඉන්න එක හොඳ නැහැ කියලා. ඒ නිසා මාව වවුනියාවේ ඥාති නිවසකට යැවුවා. ඒත් හැමදාම එහේ ඉන්න බෑ කියලා මම හිතුවා. දවසක් ටීවී එකේ පහළින් පුංචි පටියක දැන්වීමක් යනවා මම දැක්කා. ඒ වවුනියාවේ හෝටලයකට පිරිසිදු කිරීමේ සේවකයින් ගන්නවා කියලායි. මම ඒකට ගියා. දවසකට රු.300ක් ගෙව්වා. එහෙම ඉද්දී යුද්ධයත් ඉවර වෙලායි තිබුණේ. කෑම්ප්වල හිටිය අය නිදහස් කරද්දී මම ගිහින් පුතායි අම්මායි භාර ගත්තා. අම්මා වවුනියාවේ ඥාති නිවසේ නතර කරලා පුතා වවුනියා දමිළ මහා විද්‍යාලයේ නේවාසිකව නතර කළා. මම ආපහු හෝටලයට ගියා.“ වැඩි දවසක් නොගියත් සිය දරුවාට නේවාසිකාගාරයේ සිටීමට නොහැකි බව කී බවත් පසුව ඇය දරුවාත් අම්මාත් සමග චාවකච්චේරියේ සිටි සොයුරියකගේ නිවසට ගිය බවත් දරුවා එහි පාසලකට නැවත ඇතුළත් කළ බවත් ඇය කියන්නීය. “එහේ ඉන්න කාලේ වඬේ,රෝල්ස් වගේ කෑම හදලා මම කඩවලට දැම්මා. අම්මා ඉරිදා පොළට ගිහින් අඹ, කජු වගේ දේ විකුණුවා. පස්සේ 2012 අවුරුද්දේ අගෝස්තුවල නැවත පදිංචිකිරීම් සිදුවෙද්දී අපි පුදුකුඩුඉරුප්පුවලට ආවා. අපේ ගේ තිබුණු තැන කිසිම දෙයක් ඉතිරිවෙලා තිබුණේ නෑ. කැලේ වැවිලා තිබුණා. යූ.එන්.එච්.සී.ආර් එකෙන් රු.25000ක් දුන්නා. අපි එතැන ටිකක් ශුද්ධ කරලා ටෙන්ට් එකක් ගහගෙන හිටියා. ඒ කිට්ටුවක කොහේවත් පුංචි කඩයක්වත් තිබුණේ නෑ. මාස හයකට පස්සේ එන්.ජී.ඕ එකකින් ටෙන්ට් එකක් දුන්නා. මම චාවකච්චේරියට ගිහින් බඩු ටිකක් ගෙනත් ඒ ටෙන්ට් එකේ පුංචි කඩයක් දැම්මා.” ඇය තිබූ දෙයින් එතැනින් පටන් ගෙන තිබුණි.

කණස්සල්ලයෙන් පිරුණු දවසක්

ඒ වන විට යුද්ධයට මැදි වූ මිනිසුන්ට අයත්ව තිබූ බඩුබාහිරාදිය, පාපැදි, යතුරුපැදි,වාහන එක් එක් ස්ථානවල ගොඩ ගසා තිබුණි. බොහෝ ඒවා මළ බැඳී දිරා ගොස්ය. “හමුදාවෙන් කීවා අපේ බඩු තියනවා නම් ගන්න කියලා. උයන බඩු ඒවා ගන්න බෑ, ඒවා ගොඩක් මළකඩ කාලා. මම එතැන බලලා බයිසිකලයක් ගත්තා. ඒවා හදලා දෙන්නත් එතැනම කට්ටිය ඇවිත් හිටියා. ඒ අයට දීලා හදවාගෙන ආවා.” ඇය බයිසිකලය රැගෙන ආ පසු තවත් කාර්යයක් ආරම්භ කර තිබුණි. උදෑසන ඒ අවට ප්‍රදේශවල තැන තැන වැටී තිබෙන පොල් ඇය එකතු කරගෙනවිත් විකුණුවාය. ඒ දිනවල බොහෝ වතු පාළුවට ගොස් තිබූ බැවින් කිසිවෙකු පොල් ඇහුලන්නේ නැති බව ඇය කීවාය. බිම් බෝම්බ තිබිය හැකි බැවින් ඉතා කල්පනාවෙන් සීරුවට ඒවා එකතු කළ අයුරු ඇය විස්තර කරන්නීය. එහෙත් ඇය දිනක් මුහුණ දුන් කරදරය ගැන ඇය පවසන්නේ මෙලෙසිනි. “දවසක් මම පොල් එල්ලාගෙන බයිසිකලය පැදගෙන එද්දී පොල් ඔක්කොම කැඩිලා පාරේ විසිරුණා. පාරේ කෙනෙක් ඉඳලා ඇවිත් ඒවා එකතු කරන්න උදව් කළා. ඒත් ඔහු පසුව මට අනවශ්‍ය ලෙස කරදර කරන්න උත්සාහ කළා. මට පුදුම කළකිරීමක් ඇති වුණා. අපි දරුණු යුද්ධයකට මුහුණ දුන්නා. ඒත් එල්.ටී.ටී.ඊ පාලනය තිබූ කාලයේ අපිට කවදාවත් එවැනි කරදර තිබුණේ නැහැ. මම බයිසිකලයේ නැගලා ඉක්මනට එන්න උත්සාහ කරද්දී ඒ කෙනා පස්සෙන් එන්න ආවා. වැඩි දුරක් යන්න කලින් ගමේ කෙනෙක් හමුවුණා. මම එයාට මේ ගැන කීවා. එයා මාව ගෙදරටම එක්කගෙන ආවා. එදා ඉදලා මම පොල් ගේන්න යන ගමන නතර කළා. චාවකච්චේරියට ගිහින් හාල්,මිරිස්,ලූනු වගේ දේවල් කිලෝ පහ ගාණේ ගෙනත් විකුණුවා. ටික කාලයකට පස්සේ ඒ කිට්ටුව කෙනෙක් තොග කඩයක් දැම්මා. පස්සේ එතැනින් බඩු ගෙනත් විකුණන්න පටන් ගත්තා.”

රියදුරු බලපත්‍රය

ඒ කාලයේ දී තවත් රාජ්‍ය නොවන ආයතනයකින් ඇගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා රු.50000ක භාණ්ඩ ලබා දෙන බව පවසා ඇති අතර ඇය ඒ අවස්ථාවේ තමන්ට පොල් ගෙන ඒමට යාමේදී සිදුවන්නට ගිය කරදරය පිළිබඳ පවසමින් තමාට ත්‍රිරෝද රියක් ලබා ගැනීමට ආධාර කරන මෙන් ඉල්ලා තිබේ. පසුව බලපත්‍ර තිබේ නම් රු.50000ක මුදල ඒ වෙනුවෙන් දීමට ඔවුන් එකඟ වී ඇත. ඇය එතැන් සිට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට උත්සාහයක යෙදුණත් ෂෙල් ප්‍රහාරයෙන් පසු ඇති වූ රෝගී තත්ත්වය හේතුවෙන් වෛද්‍ය වාර්තා එයට හරස් කපා ඇත. එහෙත් ඇගේ කතාවට සවන් දීමෙන් පසුව ඇයට කෙසේ හෝ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාවක් සැලසී තිබුණි. ඒ අනුව එම මුදලත් ලබා ගන්නා ඇය තමන් හෝටලයේ රැකියාව කළ කාලයේ සහ කුඩා කඩයෙන් ලබා ගත් ආදායමෙනුත් ඉතිරිකරගෙන තිබූ රු.75000ක මුදලකුත් සමග හිතවතෙකුගේ සහායෙන් ලීසිං ක්‍රමයට ත්‍රිරෝද රියකට හිමිකම් කියන්නීය. එය පැදවීමට ද ඇය හොඳින් පුරුදු පුහුණු වන්නීය. “මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, අජිනමොටෝ ගෙනල්ලා පැකට් කරලා අතින් ලේබල් ලියලා දාලා අපේ කඬේටත් තවත් කඩ කීපයකටත් දාන්න පටන් ගත්තා. පස්සේ මුරුක්කු, වඬේ වගේ කෑම වර්ගත් හදලා කඩවලට දාන්න පටන් ගත්තා. ඒ වෙද්දී පුතා පුදුකුඩුඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්නවා. සෙනසුරාදා ඉරිදා පුතාට නිවාඩු නිසා එයා එක්ක ත්‍රී වීල් එකෙන් ගිහින් පොල්, කොස්, ගස්ලබු, කෙසෙල් එකතු කරගෙන ඇවිත් ඒවා ඉරිදා පොළට දැම්මා.” ඇතැමුන් ආදායම් මාර්ග නැතිව බලා සිටියදී ඇය ටිකෙන් ටික ඇගේම ගමනක එලෙස යමින් සිටියාය.

ජය මාවතට

ඒ අතර රජයේ ද මැදිහත්වීමකින් ඔවුන්ට තුනපහ ආදී මිශ්‍රණ සකස් කර විකිණීම පිළිබඳ එක් දින පුහුණුවක් ලබා දී එවැනි ව්‍යාපාරිකයින් හමුවීමට යාපනයට කැඳවාගෙන ගොස් තිබුණි. එහෙත් බොහෝ දෙනා එම ව්‍යාපාරය කරන බැවින් එම ව්‍යාපාරිකයින් එතරම් සාර්ථකව නොසිටි බව ඇය පවසන්නීය. වෙනස් යමක් කළ යුතු බව ඇය සිතන්නට පටන් ගත්තේ එතැන් සිට බව ඇය කියන්නීය. වස විස නොමැති ශාකසාර ආහාරවලට ඉල්ලුමක් තිබෙන බව ඇය පොතක කියවූ බව ඇය කීවාය. පසුව ගොටුකොළ සාරයෙන් ටිපි ටිප් සෑදීමට ඇය ගත් උත්සාහයක් කණගාටුදායක ලෙස අසාර්ථක වූ අයුරු ඇය විස්තර කළාය. වාර ගණනාවක් කළ උත්සාහයක ප්‍රතිඵල ලෙස ඇය ගොටුකොළ සාරයෙන් යුතු පපඩම් නිෂ්පාදනය සාර්ථක කර ගැනීමට සමත්ව සිටියාය. පසුව එළවළු පපඩම් ද ඇය නිෂ්පාදනය ආරම්භ කර තිබුණි. 2014 වසරේ මහනුවර පැවති ප්‍රදර්ශනයකට ද ඇගේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට ඇය අවස්ථාව ලබන්නීය. “ඒ අය මගේ නිෂ්පාදන රිසර්ච් සෙන්ටර් එකට ගෙනිහින් රිසර්ච් කළා. ඒවා 100%ක් එළවළු නිෂ්පාදන කියලා ඒ අය පිළිගත්තා. පස්සේ මාව කොළඹට කැඳවලා සම්මානයක් දුන්නා.” ඇය පවසන්නීය.
මේ වන විට ඇය යටතේ සේවිකාවන් 15ක් සේවය කරති. ඒ සියල්ලෝම යුද්ධයෙන් වැන්දඹු බවට හෝ ආබාධිත බවට පත් වූ කාන්තාවෝය. දැන් ඇය ලීසිං මගින් තවත් කුඩා වෑන් රථයක් ද ගෙන තිබේ. ඒ සියලු රථවාහන පදවන්නේ ද කාන්තාවෝය. කොළඹ ගුඞ් මාකට් වෙත ද අද ඇගේ නිෂ්පාදන රැගෙන එනු ලබයි. යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිවල පිහිටි සිපිරි වෙළෙඳ සැල්වලට මෙන්ම තවත් වෙළෙඳසැල්වලට ඇගේ නිෂ්පාදන සැපයේ. ඒ අතර පෙර ලෙසම තවමත් අම්මා ඉරිදා පොළට ගොස් ඔවුන්ගේ ම නිෂ්පාදන විකුණන බව ද සාජිරාණි කියන්නීය. සියලුදෙනාටම වැටුප් ලබා දී තමා ද රු.15000ක වැටුපක් ලබා ගන්නා බවත් රු.30000ක සිට50000ක පමණ ලාභයක් ලබන අතර එය නැවත ව්‍යාපාරයට යොදවන බවත් ඇය කියන්නීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වෙළෙඳ ප්‍රදර්ශනයට ඇය තම නිෂ්පාදන රැගෙනවිත් විකුණුවාය. බොහෝ පාරිභෝගිකයින් ඇගේ මේ සුවිශේෂී නිෂ්පාදන මිල දී ගත්තාය. එහෙත් ඒ පිටුපස වූ ඇගේ ජීවිත කතාව ඒ කිසිවකු දැන සිටින්නට නොමැත. නළලේ රැඳුණු තුවාල කැළල තවමත් ඇය දෙස බලන්නෙකුට හොඳින් දැකගත හැකි වුණත් කිසිවෙකුට ඒ ගැන තැකීමක් වූයේ නැත. ඇයත් ඇගේ සේවිකාවත් සිනාසෙමින් තම පාරිභෝගිකයින්ට තම නිෂ්පාදන ලබා දුන්නෝය.
“අයි.එස්.ඕ, එස්.එල්.එස් සහතිකවලට බලලා ගියත් ෆැක්ටි්‍ර එක ඉඩ මදි කියලා කීවා. ඒවා ලොකුවට හදන්න තරම් තවම අපිට ආදායම මදි.” ඡන්දය පැවැත්වෙන කාලවල දී දේශපාලනඥයින් පැමිණ ව්‍යාපාරයට සහාය දෙන බව කියා ගියත් ඒ කිසිවකු ඉන් පසු නොපැමිණෙන බව ද ඇය කීවාය.
ව්‍යාපාරයේ ඉදිරි අනාගතය ගැන ඇයට තිබුණේ මෙවැනි අදහසකි. “යුද්ධයෙන් කරදරයට පත් වුණු තවත් කාන්තාවන්ට රැකියා ලබා දෙන එක මගේ අරමුණයි. කවදා හරි දවසක පුතාට මේ ව්‍යාපාරය භාර දුන්නොත් ඔහු මේ වගේ කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දේ ද කියන දේ ගැන මට විශ්වාසයක් නැහැ. ඒ නිසා එයා ඉගෙනගෙන වෙනත් රැකියාවක් සොයා ගනීවි. මම ජීවත්ව ඉන්න කාලයේ මම මේක කරගෙන යනවා.”