රාවය

පළුදු කිරීම සහ ඇඬීම

පළුදු කිරීම සහ ඇඬීම

කොදෙව්වන් ව්‍යාප්ත කළ ප්‍රහාරාත්මක ක්‍රිකට් රටාවට කලාත්මක මෙන්ම විද්‍යාත්මක මුහුණුවරක් එක්කාසු කළේ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ශෛලිය බව නොකිව මනාය. ක්‍රිකට් පිළිබඳව එවන් පෙරළිකාරයන් වූ ඕස්ටේ්‍රලියාව අද පළුදුව ඇත්තේ වත්මන් ක්‍රීඩකයන්ගේම නොමනා ක්‍රියාපිළිවෙත් නිසාය.
වත්මන් ඕස්ටේ්‍රලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත්, ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඬේවිඞ් වෝනර් සහ කැමරන් යන තිදෙනාම මේ පළුද්දේ කොටස්කරුවෝය. ඔවුහු හඬා වැලපෙමින් ඕස්ටේ්‍රලියානුවන්ගෙන් සමාව යැදීහ. දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරගයකදී ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නකු වූ කැමරන් පන්දුව පළුදු කරනු රූප රාමු මගින් ලොවම දැකගැනීමත් සමග එය ඔහුගේ තනි තීරණයක් නොව නායකයා සහ උපනායකයාගේ අනුදැනුම මත කළ දෙයක් බව පැහැදිලි විය.
මෙම සිද්ධියත් සමග ඕස්ටේ්‍රලියානු අගමැතිගේ සිට සෑම ඕස්ටේ්‍රලියානුවෙක්ම හිට් විකට් මට්ටමට පත්වූ බව සැබෑය. මන්ද මේ පළුදු කළේ පන්දුව නොව සමස්ත ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් රටාවම වන බැවිනි.
වරද කළවුන්ට දඬුවම් පමුණුවා ඇතත් ඔවුන් හඬා වැලපෙමින් සමාව ඇයද සිටියද මේ පළුද්ද මකා දැමිය හැකිද? ඕස්ටේ්‍රලියාව ක්‍රිකට්වලින් ලද කීර්තිය අතිමහත්ය. එය පුංචි වැලි කඩදාසියකින් මකා දැමීම කෙතරම් අවැඩක්ද?
මෙය එයට හසුවූ ක්‍රීඩකයන්ගේ නොහොබිනාකමකි. එහෙත් එයින් සමස්ත ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩාවම දියකර හැරියේය. එසේ නම් කඳුළුවලින් සියලු පව් සෝදා හැරිය හැකිද?
ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ඉතිහාසය දෙස බලන කල පසුගිය කාලය යනු එතරම් සුබදායක නැත. ඒ අසුබ කාලය මකා දමන්නට වැලි කඩදාසි ඕනෑවුණේ ඇයි? ඒ අද ජයග්‍රහණය මිස පරාජය වලංගු නැති නිසාය. පරාජයෙන් උගතහැකි පාඩම් නැති නිසාය. මේ පළුද්ද නොදිටි නම් ඕස්ටේ්‍රලියාව ස්මිත්ලාව පිළිගනු ඇත්තේ මල්මාලා දමාය. එසේ නම් අද ජයග්‍රහණවලට උදම්වීමද අවංක නැති කරුණක් වී ඇත්තේ ඒවායේ සුජාතභාවයන් කොතරම් පැහැදිලිද යන පැනය ඉතිරි කොට ඇති නිසාය.
ස්මිත් සහ වෝනර්ට අඬන්නට සහ වරද පිළිගැනීමට හැකිය. ඒ ඔවුන් ඕස්ටේ්‍රලියානුවන් නිසා විය හැකිය. එමෙන්ම එරට ක්‍රිකට්හි වෙනම අභිමානයක් ගොඩ නැගූවන් වන බැවිනි. එය ටිකක් පළුදු වූ මුත් ඒ අතීතය වෙනස් නොවනු ඇති. විචිකිච්ඡාව ඉතිරිවන්නේ වත්මන් කාලය ගැන පමණි. මෙවන් ක්‍රීඩකයන් සිටි කාලයත් පමණි. එහෙත් පළුද්ද කඳුළුවලට වඩා විශාලය. එය කඳුළුවලින් සෝදා මකා දැමිය නොහැකිය. එය ඕස්ටේ්‍රලියානුවෝ නොව ලොව ක්‍රිකට් ලෝලී සැම දනිති.