රාවය

පිහිනන්නට ගොස් ගිලීම

පිහිනන්නට ගොස් ගිලීම

ඒ.වික්‍රමසූරිය

පරිපාලනයද කලාවකි. එය නොවටහා ගත් තැන ඇත්තේ මුළාවකි ක්‍රීඩා කලක් ඉහළ තැනකට පත් වන්නත් තවත් විටෙක පහළ අඩියට ඇද වැටෙන්නත් හේතු වනුයේ පරිපාලනයම බව නොරහසකි. එහෙත් අද දක්‍ෂ පරිපාලකයන් සෙවීම යනු නොමළ ගෙයකින් අබැටක් සෙවීම තරම් වෙහෙසකර ව්‍යායාමකි. ඵල රහිත අභ්‍යාසයකි.
මේ තත්ත්වයෙන් මිදිය නොහැකිද? මිදිය හැකි එකම විසඳුම සුදුසු පුද්ගලයන් සුදුසු තැන්හි තැබීමය. එහෙත් කලක සිට සිදුව ඇත්තේ ක්‍රීඩා සංගම් ව්‍යාපාර බවට පත්වීමයි. බොහෝ අය සිය තනතුරු වෘත්තිය බවට පත් කරගෙන ඉන් දිවි ගෙවීමයි. එවිට මුඛ්‍ය පරමාර්ථය තමන් ගොඩ නැඟීම මිස ක්‍රීඩාව ගොඩනැංවීම නොවේ. මෑත කාලයේ සිට එක දිගට සිදු වන්නේ එයය. ස්වෙච්ඡා තනතුරු වූ ක්‍රීඩා සංගම් තනතුරු අද රැකියා බවට පත්වීමත් සමග ක්‍රීඩාවේ මළගමට ඉඟි සැපයීය. මීට පෙර රටේ ඉහළ තනතුරු දරන ධනවත් මෙන්ම උගත් බුද්ධීමත් පිරිස් ක්‍රීඩාව සමග අත්වැල් බැඳ ගත්හ. එහෙත් කාලයත් සමග ඒවාට නුසුදුස්සන් රිංගන විට ඒවා නිස්සන්ටම ඡන්ද බලය පාතාල ගතවිය. අත මෙලවෙන පගාවට නතු විය. එබැවින් ඒ ක්‍රමයට හැර ජය ගැනීම ලේසි නොවීය. ඒ නිසාමදෝ සංගම්වල සිටිය යුතුම පිරිස් පිටියෙන් එපිට නරඹන්නෝ පමණක්ම වූහ. දැන් මේ නැරඹීමේ කෙළවරක් නැත. අප සැම නරඹන්නෝ වී ඇත.
ඔලිම්පික් ඉසව්වට පමණක් දෙවැනි වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙවර ඕස්ටේ්‍රලියාවේ ගෝල් කෝස්ට් හිදී පැවැත්වේ. මෙරටද විශාල නියෝජනයක් දැකිය හැකිය. එය අත්දැකීම්වලට සීමාවන බව කල් තියාම ක්‍රීඩා ඇමතිවරයාගේ සිට සැවොම කියන කතාවය. එහි කෙළවර කවදාද යන්නත් අපි නොදනිමු. එනම් අත්දැකීම් අත්හදා බැලීම සිදුවන දවසය.
ලංකාව රටක් ලෙස ක්‍රීඩාවෙන් දක්‍ෂකම් පානුයේ සාග් මට්ටමේය. ඉන් බිඳක් එහාට යන්නේ නම් ආසියානු මට්ටමේය. එයද අල්පය. ඉන් එහා ගිය වටපිටාවක්ද අපට නැතිවා නොවේ. අමතක නොකළ යුත්තේ එයය. එසේ නම් අපට නොහැකි නොවන බව පැහැදිලි මුත් එය හැකියාවක් බවට පෙරළන්නට පිරිස් නැති වීම අභාග්‍යයකි.
මෙරට ක්‍රීඩා දෙස බලන කල මලල ක්‍රීඩාව ඇරුණු කොට අප සුවිශේෂි දස්කම් දැක්වූයේ පිහිනුම් ක්‍රීඩාවෙනි. එහෙත් පිහිනුම් ක්‍රීඩාවට අද අත්ව ඇති ඉරණම කුමක්ද විදෙස් හී පුහුණුව ලබන ධනවතුන් කිහිප දෙනකුගේ දරුවන්ට සීමා වූ පටු පවුරක් වී ඇත. මේ තත්ත්වයට එරෙහිව කොතරම් කතා කළද ඒවා වතුරටම දියවී ගියේ ක්ලෝරීන් මෙනි.
එක් අතකට අද මේ ක්‍රීඩාවට අත්ව ඇති ඉරණමට ක්‍රීඩා පාලකයන්ද වගකිව යුතුය. ඉහත විදේශිකයන්ට පිහිනුම් ක්‍රීඩාව සින්නක්කර දීමට පාර කැපුවේ ඔවුන්ය. මේ ද්විත්ව පුරවැසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගවලට පමණක් මෙරට නියෝජනය කරනුයේ රටට ඇති ආදරයට බවට අමු කෙප්ප මාධ්‍ය පවා පළ කළේය. එහෙත් එය ඇත්ත නොවේ. ඔවුන් එසේ කරනුයේ තමන් දිවි ගෙවන රටවල තමන්ගේ ඉසව්ව්ට තැනක් නැති නිසාය. ලංකාවේ අංක එක ඒ රටවල අහලකවත් නැතිය. මේ නිසා ලංකාවේ කොඩිය යට සෙවණ ලැබීම කාගෙත් හිත සුව පිණිස විය. එය කිසිදු සැලැස්මක් දැක්මක් නැති පිහිනුම් සංගමයේ හිත සුව පිණිසද විය. මන්ද එක් අයකු දෙදෙනකු හෝ පදක්කම් දිනීම තමන්ගේ නොහැකියාවන්ද වසා දමන බැවිනි. මේ රටාව මේ වාරයෙත් බොහෝ විට ඉවර වන්නට ඉඩ ඇත. එසේ නොවිය හැකි ඉඩද ඇති බව කිව යුතුය.
පිහිනුම් ක්‍රීඩාවට මෙලෙස සිදුවූයේ පරිපාලනයේ වරදිනි. පිහිනුම් එක් එක් යුගවල ඉහළ පහළ ගිය මුත් මෙතරම් පසු බෑමක් දක්නට නොවිනි. එය වත්මන් පරිපාලක යන්ගේ වරදක් නොවන බවද කිවයුතුය. ඔවුන් බලය ගන්නා විටද සියලු සන්තෑසි සිදුවී හමාරය.

කරන්නාගොඩ යුගය

පිහිනුම් ක්‍රීඩාවේ දැක්මක් සහිත අවසාන යුගය ලෙස දැකිය හැක්කේ වසන්ත කරන්නාගොඩගේ කාලයයි. ඔහුගේ කාලය තුළ මේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන මනා සැලසුම් දැකිය හැකි විය. ඊට අවැසි ශක්තිමත් බලකායක්ද ඔහු සතු විය. රන්මල් කොඩිතුවක්කු චමින්ද බමුණුආරච්චි, අතිදක්‍ෂ පිහිනුම් ක්‍රීඩකයකු වූ විවිල්ස් කානිවල්, සොනාලි රත්වත්ත මෙන්ම විජිත ප්‍රනාන්දු යන දක්‍ෂ චරිත එහි විය. එබැවින් පිහිනුම් යාත්‍රාව ඉතා අපූරුවට ඉදිරියට ඇදී ගියේය. ලෝකයේ ක්‍රියාත්මක නව දැනුම ඒ සැණින් මෙරට පිහිනුම් තටාකයටද ලැබෙන තත්ත්වයක් නිර්මාණය විය. මේ නිසා ඊට පෙර පැවති රට යෑමේ නිලධාරී මේනියාව වෙනුවට වැඩ කරන පිපාසාව ජලයේ සිටියද මොවුන්ට තිබුණි. ළමුන් ඉදිරියට ගෙන රට සවාරි වෙනුවට ළමුන්ට විදෙස් දැනුම මෙරටට එන යාන්ත්‍රණයක් ඇතිවිය. එතෙක් නොපැවති පිහිනුම් කාල සටහනක් පවා විධිමත්ව සකස් වනුයේ කරන්නාගොඩ සමයේය. අදට වුව අවිධිමත්ව හෝ ඇදගෙන යනුයේ එදා විධිමත්ව සැකසූ ඒ කාල සටහන බව කිව යුතුය. එතැනින් නොනැවති. “බිස්නස් ප්ලෑන්” එකක් සකස් වීම සිදු වන්නේද එකලදී ය. එතෙක් “බිස්නස් ප්ලෑන්” එකක් හෝ සංගමය සතුව නොතිබුණි. එම පිරිස අතර නව අදහස් බහුල විය. එකල මිලියන දෙකක් පමණ වියදම් කොට ඇමරිකානු පුහුණුකරුවකු ගෙන්වාගෙන පුහුණුවීම් කටයුතු කරගෙන ගියේය. අදටත් මෙරට පිහිනුම් ක්‍රීඩාව පවත්වාගෙන යන බහුතරයක් පුහුණුකරුවන් පවා එදා දැනුමින් සන්නද්ධ වූවන්ය. උණම්බුව වැනි දක්‍ෂයන් එකල බිහි වන්නේ පරිපාලනයට පින් සිදු වන්නටමය.
රාජකාරී හේතු මත කරන්නාගොඩ මහතා ඉවත් වීමත් පසුව කාලයක් යෑමේදී එයට දායකත්වය සැපයූ සියලු දෙනා ඉවත්වීමත් සමග වැඩකට නැති බොහෝ අය පිහිනුම් සංගමයේ තනතුරුවලට ඉබේටම මෙන් පත්විය. නේතෘ එවැන්නෙකි. එතැන් සිට ඉහත වැඩසටහන් සියල්ල කනපිට පෙරළුණි. පරිපාලනයක් නැත්තටම නැති වී පෙට්ටි කඩයක මුදලාලි කෙනෙක් බවට නේතෘ පත් වූ අතර පිහිනුම් ක්‍රීඩාවද විනාශයටම ගියේය.
පිහිනුම් ක්‍රීඩාවෙන් ඉහළ තලයේ දස්කම් පාන කල මෙරට පිහිනුම් තටාක තිබුණේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙනි. එහෙත් අද පිහිනුම් තටාක හතු පිපෙන්නාක් මෙන් පාසලක්, පාසලක් පාසා තිබේ. පිහිනන ළමුන් ප්‍රමාණය ද එදාට සාපේක්‍ෂව විශාල අගයක් ගනී. එහෙත් ගැටලුව ක්‍රීඩකයන් බිහි නොවන්නේ මන්ද යන්නය. පිහිනුම් අද වන විට පැෂන් එකක් වී ඇති මුත් තරගකාරීත්වය ගිලිහී ඇත. පිහිනන්නට ඉගෙන ගන්න මුත් පිහිනුම්වලින් ජයගන්නා තැනට යන ක්‍රීඩකයන් බිහි නොවන්නේ පුහුණු කරුවන්ගේ දැනුමද ඉන් එහාට යා නොහැකි බැවිනි. මේ තත්ත්වය කවදා නිවැරදි වේදැයි කනගාටුවක් පවතී.
නැවත ළමුන්ගේ මාර්ගයෙන් රට සවාරි ගැසීම සිදුවේ. මෑතකදී පත් වූ ගමගේ වැනි අය වංචා කොට පළා ගියේය. දැන් එය කපිතාන් කෙනෙක් අහිමි නැවක් මෙනි. ඉබාගාතේ යයි. එය ලොකු ගල්පරයක හැපී මුහුදු බත් වන දිනය වැඩි ඈතක නැත. එහෙත් ඉන් මිදීමට අවැසිනම් අවැසි මාර්ගෝපදේශ සිතියමක් ඇති බව කීම මේ ලිපියේ අරමුණ විය. එයට කරන්නාගොඩ යුගය අධ්‍යයනය කළ හැකිය. ඉන් බොහෝ දෑ උගත හැකිය. පිහිනුම් ක්‍රීඩාවේ හෙට වෙනුවෙන් අපි එදා යුගය ප්‍රයෝජනයට ගමු. පිහිනුම් ක්‍රීඩාවට පමණක් නොව සෑම ක්‍රීඩාවකටම ‘බිස්නස් ප්ලෑන්’ එකක් නියම දැක්මක් ඇති අය වුවමනාය. එහෙත් ඒ වුවමනාව සපුරා ගන්නේ කෙසේද? මන්ද දක්‍ෂ බොහෝ අය කළකිරී ඉවතට වී සිටින හෙයිනි. මේ ලෝකය වඩා නරක් වී ඇත්තේ නරක මිනිසුන් නිසා නොව හොඳ මිනිසුන් නිහඬව සිටීම නිසා බව අමුතුවෙන් කිව යුතුනැත. එහෙත් නරක වුන් ඒ අය නිහඬ කර ඇත්නම්….