රාවය

නීතියෙන් තොර සමාජය : නිදසුන් දෙකක් ඇසුරින්

නීතියෙන් තොර සමාජය : නිදසුන් දෙකක් ඇසුරින්

බැසිල් ප්‍රනාන්දු

සතියක් තුළ අසන්නට ලැබූ පහත සදහන් කථා තුළින් ලංකාව කොපමණ දුරට නීතියෙන් තොර සමාජයක් බවට පත්ව තිබේද යන්න පැහැදිලි වනවා පමණක් නොව, නීතියෙන් තොර සමාජයක ජීවත්වීම යනු කුමක්ද පිළිබඳව යන්න ඉතාමත්ම ඛේදජනක ප්‍රශ්න ගණනාවක්ම මතුකරයි.

ඉංජිනේරුවාගේ කථාව

29වැනි වියෙහි පසුවන උපාධිධාරී ඉංජිනේරු මහත්මයකු මුහුණ දුන් තත්ත්වයක් මෙයින් කියැවේ. ඔහු විජාතික සමාගමක ඉංජිනේරුවරයකු වශයෙන් රැකියාවක් කරමින්, ඔහුගේ වයසේ පමණට අනුව සෑහෙන වැටුපක් ලබමින් සිටියේය. ඉංජිනේරු වෘත්තිය හැර ඔහු උනන්දුවක් දැක්වූ තවත් විෂයක් විය. එනම් බටහිර සංගීතයයි. ඔහු බටහිර සම්භාව්‍ය සංගීතයෙහි නිපුණවූවකු වූ අතර, ඔහු ඊට අදාළව පවතින සංගමයක කලක සිට සාමාජිකයෙක්ද විය. මෙම සංගමය විටින් විට ලංකාවේ විවිධ පළාත්වල ඔවුන්ගේ සංදර්ශනයන් පවත්වන අතර, එහිදී ඔහුද වාදකයකුසේ සේ ක්‍රියා කළේය.
මෙම සංගිත කණ්ඩායමේ විවිධ කටයුතු සඳහා, සවස්වරුවේදී මෙම ඉංජිනේරු මහතා සහභාගිවිය. විටින් විට ඔහුට එහිදී එක්තරා තරුණයකු මුණ ගැසුණි. කලකට පසු එම තරුණයාම පැමිණ ඔහු සමග කතා කිරීමට පටන් ගත්තේය. තරුණයා බෙහෝවිට කතා කළේ, ඉංජිනේරු මහතා කොපමණ වාසනාවන්තයකුද යන්නත්, ඔහුට රැකියාවක් හා ජීවත්වීමේ මාර්ග පවතින බවත්, එහෙත් තමාට නම් එවැනි තත්ත්වයක් නැති අසරණයකු බවට තමන් පත්වී ඇති බවත් ආදී කතාය. ටික කලකට පසු මෙම තරුණයා ඉංජිනේරු මහත්මයාගෙන් ඇසු එක් ප්‍රශ්නයක් නම්, ඔබට කොපමණ වේතනයක් ලැබෙනවාද යන්නයි. ඔහු එම ප්‍රශ්නයට උත්තර දුන්නේ තමාට ඇත්තටම ලැබෙන වැටුපට වඩා අඩු වැටුපක් සඳහන් කරමිනි. ඊට ටික දිනකට පසු මෙම තරුණයා හමුවූ විට ඔහු කියා සිටියේ තරුණයාගේ අම්මාට හදිසි අසනීපයක් පවතින බවත්, හැකිනම් ඉංජිනේරු මහත්මයාගෙන් රුපියල් 5000/- ක මුදලක් ණයක් වශයෙන් ලබාගැනීමට කැමති බවත්ය. මවකගේ ලෙඩක් පිළිබද ප්‍රශ්නයක් නිසා එම මුදල දීමට ඉංජිනේරු මහතා පොරොන්දුවී, පසු දින ඔහු වැඩට යන අවස්ථාවේදී මුණ ගැසෙන ලෙස කියා සිටියේය. ඒ අනුව උදේ ඔහුට තරුණයා හමුවු අතර, අදාළ මුදල් ඔහුට දුන්නේය. එය දෙනවාත් සමගම තරුණයා පොඩි මල්ලක දැමූ කිසියම් භාණ්ඩයක් අතට ගෙන, එය ඉංජිනේරු මහතා අතට දෙමින්, කරුණාකර විනාඩියකට මෙය අත තබා ගන්නා ලෙසත්, තමා ඉක්මණින් පැමිණෙන බවත් කියමින්, වේගවත් ගමනින් යන්න ගියේය. ඒත් සමගම ආ මහත්වරුන් 03 දෙනෙකු ඉංජිනේරුවා බදා ගෙන ඔහුට කාඞ් පතක් පෙන්වා තමන් රජයේ නිලධාරින් බව පවසමින්, ඉංජිනේරුවා අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය පිළිබඳව විභාග කරන ස්ථානයකට ගෙන ගියේය. එහිදී ඔහුගෙන් විවිධ ප්‍රශ්න අසන ලද්දේ, ඔහු කුමන අය සමගින් සම්බන්ධද, කුමන අය ඔහුට මත්ද්‍රව්‍ය සපයන්නේද, ආදී මත්ද්‍රව්‍යවලට අදාළවන ප්‍රශ්න ගණනාවකි. මේ සියල්ලටම ඔහුගේ පිළිතුර වූයේ ඔහු ඒවා කිසිවක් නොදන්නා බවත්, තමාට සිදුවූ සිද්ධියත් විස්තර කරමිනි. මෙසේ ප්‍රශ්න කරන අතර ඔහුට පහරදීමක්ද සිදුවූයේ ඔහු ලවා ඇත්ත කියවා ගැනිමට උත්සාහයක් ලෙසය.
මෙය අසාර්ථක වූ පසු පැය භාගයක් පමණ ඔහු රැඳවුම් හලේ සිටියදී, තවත් නිලධාරියකු පැමිණියේය. මෙම නිලධාරියාගේ යෝජනාව වූයේ ඉංජිනේරුවා කියන කථාව ඇත්ත හෝ බොරු විය හැකි නමුත්, ඉතා සුළු පැය ගණනාවක් ඇතුළත ඔහුව උසාවියකට ගෙන යාමට ඇති බවත්, ඔහුට විරුද්ධව එක්තරා කෝකේන් ප්‍රමාණයක් ළඟ තබා ගත්තා යැයි චෝදනාවක් දමන බවත්, එම චෝදනාවට අනුව ඇප දීමට මහේස්ත්‍රාත්වරයාට බැරිබවත්, ඒ නිසා ඔහුට කාලයක් රිමාන්ඞ් බාරයේ සිටීමට සිදුවන බවත්ය. මෙයට විසඳුම වශයෙන් අදාළ නිලධාරියා කියා සිටියේ, රුපියල් දසලක්ෂයක මුදලක්, මාපියන් හෝ කා ලව්වා හෝ දැන් ගෙවිය හැකි නම්, ඔහු උසවියට නොදමා මුලින්ම මෙම ප්‍රශ්නය අවසන් කර ගත හැකි බවත්ය. කෙසේ වුවත්, පැය දෙක තුනක කාලයක් ඇතුලත එවැනි මුදලක් ඔවුන් වෙත ලබාදීමට ඉංජිනේරුවාට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට හැකි නොවීය.
ඉන් පසුව ඔහුව උසාවියට ගෙන ගොස් එක්තරා කෝකේන් ප්‍රමාණයක් ළඟ තබා ගත්තා යැයි චෝදනාවක් දමා තිබුණි. මේ අවස්ථාවේදි ඉදිරිපත්වූ එක්තරා නීතිඥවරියක් තමා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමති බවත්, එහෙත් ඔහු බොරු නොකියා ඇත්ත පිළිගත යුතු බවත්, මෙම කොකේන් පිළිබඳව ඇත්ත, මේවා ලැබුණේ කෙසේද ආදී ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු බවය. ඒත් ඒවාට ඔහුගේ උත්තරය වූයේ, මේ කිසි දෙයකට තමා සම්බන්ධ නොමැති බවය. ඉන් පසු ඔහුගේ නඩුව කථා කළ විට පෙනී සිටි අතර, ඔහු සති දෙකකට රිමාන්ඞ් ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඉන්පසු මෙම නීතිඥවරිය හා ඇගේ ස්වාමිපුරුෂයා ඉංජිනේරුවරයා රිමාන්ඞ් භාරයේදී හමුවූ අතර, ඔවුන් කියා සිටියේ රු.700,000/- පමණ ප්‍රමාණයක් මුදල් ගෙවුවහොත් ඊළග නඩු දිනයේදී ඇප මත මොහුව එළියට ගත හැකි බවත්ය. නීතිඥවරියගේ ස්වාමි පුරුෂයාද නීතිඥයෙක් වේ. මේ අනුව මෙම මුදල් ඉංජිනේරුවරයාගේ මාපියන් විසින් මෙම නීතිඥ දෙපළට ලබා දෙන ලදී. එසේ වුවත් ඊළග දිනයේද මොහුව නැවත වරක් රිමාන්ඞ් ගත කරන ලදී. පසුව මෙම නීතිඥ යුවල, ඉංජිනේරුවාගේ මාපියන්ව ඔවුන්ගේ නිවසේදී හමුවූ අතර, තවත් රු.600,000/- ක පමණ මුදලක් ඉල්ලා සිටි අතර, එමගින් ඔහු මුදා ගැනීමට හැකියාවක් පවතින බව දන්වන ලදී. අවසානයේදී වෙනත් මගක් නොමැති හෙයින් එම මුදලද ලබා දුන්නේය. එසේ වූවත් නැවත් වරක් ඔහු රිමාන්ඞ් භාරයට පත්වූ අතර,මේ ආකාරයෙන් 6 මාසයකට වැඩි කාලයක් මොහු දිගින් දිගටම රිමාන්ඞ් භාරයේ සිටියේය. මේ අතර නීතිඥයන් විසින් වරින් වර ලබා ගන්නා ලද සම්පූර්ණ මුදල රු.1,800,000/- ක් විය. මෙම මුදල් ඉල්ලීම්වලට මත්ද්‍රව්‍ය පිළිබඳ නිලධාරින්ද සහභාගිවූ අතර, ඔවුහු මාපියන්ගේ නිවසටද ගියෝය. පසුව ඔවුන් එසේ ගිය බව අසල ගෙයක තිබූ CCTV කැමරා මගින් හෙළිදරව්විය. මෙම නීතිඥවරුන් හා මත්ද්‍රව්‍යකරුවන් මෙම පවුලට තර්ජනය කර සිටියේ මෙම කාරණා ගැන කිසිවකුට නෙකියයුතු බවත්, එසේ කිවහොත් මැරවරයන් මගින් ඔවුන්ගේ මුළු නිවසටම මත්ද්‍රව්‍ය දමා මාපියන්ද සිරභාරයට ගන්නා බවත්ය.
අවසානයේදී 06 මාසයක පමණ කාලයකින් පසුව අධිකරණයේදි වාර්තාවකින් කියැවුනේ ඔහු ළග තිබි ඇති කොකේන් ප්‍රමාණය ඉතා සුළු බවත්, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී වරද පිළිගතහොත් සුළු දඩයක් ගෙවා ඔහුට නිදහස් විය හැකි බවත්ය. මේ අනුව වෙනත් මඟක් නොවූයෙන් මොහු වරද පිළිගත් අතර, මොහුගෙන් රු.1000/- දඩ මුදලක් අයකර ඔහුව මුදාහරින ලදී. පසුව මාපියන් විසින් කරන ලද පැමිණිලි අනුව පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලද අතර, ඒ අනුව මෙම කථාව මුළුමනින්ම සත්‍ය කථාවක් බව එළිදරව් විය. නීතිඥයන් දෙදෙනාත්, මත්ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදී.
මේ පසුබිම යටතේ තරුණ ඉංජිනේරුවා අතිශයෙන් කම්පනය වූ තත්ත්වයකට පත්වූ අතර, ඔහු මේ සිද්ධිය පිළිබඳව කිසියම්ම ආකාරයකින් ඔහුගේ අයිතිවාසිකම් පිළිබඳව අධිකරණවල හෝ වෙනත් තැන්වල සටන් කිරීමට ඉතාම භීතියකින් පසුවන්නේ, එසේ කළහොත් ඔහුටත් ඔහුගේ මාපියන්ටත්, තදබල ලෙස හිරිහැරවීමට බොහෝ සේ ඉඩ ඇති නිසාය. පොලිසිය විසින් ඇත්තටම ඉටු කළ කාර්යය පිළිබඳව ඔහු සතුටු වන නමුත්, පවතින තත්ත්වය යටතේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ කිසිම විශ්වාසයක් ඔහුට ඇත්තේ නැත. එක අතකින් ඔහු කල්පනා කරන්නේ රටින් පිටවී ගොස් වෙනත් තැනක ඉංජිනේරු වෘත්තිය නොහැකිනම් ඊට අඩු හෝ රැකියාවක් කොට ජීවත් වීමටය. ඔහුගේ මාපියෝ ඔහු ගැනත්, තම පවුල ගැනත් ඉතාමත් තද භීතියකින් පසුවෙති.
හදිසි අනතුරකින් මියගිය ස්වාමිපුරුෂයාගේ කථාව
බොහෝ කාලයක් රටින් පිටව බටහිර රටක ජීවත් වූ එක් පවුලක් 2015 දි ලංකාවේ ඇතිවූ දේශපාලන පෙරළියෙන් පසු කල්පනා කළේ නැවත ලංකාවට පැමිණ ජීවත් වීමට සුදුසු වාතාවරණයක් උදාවී ඇතැයි යනුවෙනි. මේ අනුව ඔවුහු තමන් ජිවත් වූ බටහිර රට අතහැර ලංකාවට පැමිණ කොළඹට කිට්ටුව පදිංචි වූහ. ඊට මාස ගණනකට පසු ගෙදර ස්වාමි පුරුෂයා පාරේ අනික් පැත්තට යාමට කහ ඉර මතින් යාමේදී වාහනයක් පැමිණ යටකරන ලද අතර, එම වාහනය නොනවත්වාම පදවාගෙන ගොස් තිබුණි. එම අනතුරින් ඔහු මිය ගියේය. හදිසි අනතුර සිදුවී ඔහු වැටුන තැන ඔහුගේ පසුමිබිය තිබූ අතර, එහි ඔහු පිළිබඳ තොරතුරු සඳහන් වී ඇත. මේ ස්ථානය පසුකර යමින් සිටි තවත් මධ්‍යම පාන්තික මහත්මයකු එම පසුම්බිය ඇහිඳගෙන එය පොලිසියට බාර දුන්නේය. ඒ අතර එහි තිබූ තොරතුරු අනුව තිබූ සිද්ධියට අදාළ පවුලේ මියගිය අයගේ වැන්දඹුවටද ඔහු විසින් මේ පිළිබඳ කිසියම් සාක්කියක් දීමට අවශ්‍යවේ නම් තමා ඉදිරිපත් වන බවද කියා සිටියේය.
පොලිසිය මුලින් පැමිණි නමුත් ඉතාමත් සුළු කාලයක් ඇතුලත හදිසි අනතුර පිළිබඳ සියලුම පරීක්ෂණ නතර කර දමා තිබෙන බව බවට පවුලේ අයට වැටහිනි. නොයෙක් උත්සාහයන් මගින් මේ පිළිබඳ පරික්ෂණයක් කිරීමට හා ඒ පිළිබඳ අධිකරණයකට දැනුම්දීමට ආදිය සඳහා විශාල ප්‍රයත්නයක් දරන ලද නමුත් එයද අසාර්ථක විය. වෙනත් මාර්ග වලින් ඔවුන්ට දැනගන්නට ලැබුණේ හිටපු ඉහළ පෙළේ පොලිස් නිලධාරියකු දැන් එක්තරා කර්මාන්තශාලාවක උපදේශයකු ලෙස කටයුතු කරනු ලබන බවත්, මෙම රිය අනතුර සිදුවූයේ එම කර්මාන්තශාලාවේ වාහනයකින් බවත්, මෙම විශ්‍රාම ලත් බලවත් පොලිස් නිලධාරියා මේ පිළිබද සියලු පරීක්ෂණ නතර කිරීමට කටයුතු කර ඇති බවත්ය.
කලකට පසු මේ පිළිබදව විවිධ තැන්වලට පැමිණිලි කළ නමුත්,ඉන් පළක් නොවීය. එක් සිවිල් සංවිධානයක නායකයකු පමණක් මැදිහත්වී මේ පිළිබඳ තොරතුරු අදාළ පොලිස් ස්ථානයත් සමගින් කථා කොට පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව එක් නිලධාරියෙක් විසින් ඉතා උනන්දුවෙන් මේ පිළිබඳව පරික්ෂණයක් ආරම්භකරන ලදී.
එහෙත් ටික දිනකින් වැන්දඹුව විසින් සිවිල් සංවිධානයේ ක්‍රියාධරයාට දැනුම්දුන්නේ හිටි හැටියේම එම පරික්ෂණයද නතර කර ඇති බවය. ඔවුන් සැක කළේ ඉහත සඳහන් විශ්‍රාමලත් පොලිස් නිලධාරීයා විසින්ම මේ පිළිබදව පරික්ෂණයක් ඇතිවීම වළක්වා ඇති බවය.
මේ අනුව ඉතාම වටිනා ජීවිතයක් නැතිවීම පිළිබඳව හා නීතිමය වශයෙන් සියලුම කොන්දේසි කඩමින් කරන ලද හදිසි අනතුරක් සම්බන්ධයෙන් කිසියම්ම හෝ පරීක්ෂණයක් කිරීම නොකළ හෙයින් ඒ සඳහා කිසියම්ම හෝ නීතිමය පියවරක් ගැනීමට නොහැකි මෙන්ම කිසියම්ම අලාභයක් හෝ වෙන කිසිදෙයක් ලබා ගැනීමට මෙම පවුලට නොහැකි තත්ත්වයක් උදාවිය.

ඉහතින් සඳහන් කරන ලද සිද්ධීන් එක් සතියක් පමණ කාලයකදී මට දැනගන්නට ලැබුනු සිද්ධීන් අතර වූ ඒවායි. සියල්ලෝ නෛතික නොවන බලවතුන් අතින්, ඇතිවිය හැකි බරපතළ හානි ගැන බියවන අතර, අනික් අතින් නෛතික වශයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට ඇති සංවිධානවලට එසේ කිරීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය නැති කර ගත්තෝ බවට පත්වී සිටිති.