රාවය

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය හා මෙරටේ පලාත් පාලනය

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය හා මෙරටේ පලාත් පාලනය

සේනක පල්ලියගුරුගේ

2018 පළාත් පාලන ආයතන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ විධිවිධාන අනුව පැවැති මෙම මැතිවරණයේදී අති බහුතරයක් කොට්ඨාස ජයගත් පක්ෂ වලට පවා එකී ජනමතය පිළිබිඹු වන තරමට මන්ත්‍රීධූර හිමි නොවීමෙන් අස්ථාවර සභා බිහිවීමේ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතී. නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බහුතර බලයක් සහිතව සභාව පිහිටුවීමේ හැකියාව පවතින්නේ ආයතන 141 ක පමණි. ආයතන 33 ක පක්ෂ විපක්ෂ දෙපැත්තටම සමාන සභික ධුර සංඛ්‍යාවක් සහිතය. ආයතන 166 ක කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලැබී නැති අතර ඒවායේ සභාපති ආදී තනතුරු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමුවන සභා රැස්වීමේදී පත්කර ගැනීමට සිදුවී ඇත. ඒ සඳහා සභික ධූර ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව තවත් මසක කාලයක් අවම වශයෙන් බලා සිටීමට සිදුවනු ඇත.
මෙය ඉතාමත් විකෘති තත්ත්වයකි. මැතිවරණ ක්‍රමයක මූලික ලක්ෂණයක් විය යුත්තේ ජන මතය සැබෑ ලෙස පිළිබිඹු කිරීමයි. එසේ නොවන ක්‍රමයක් කිසිසේත්ම රටටකට හිතකර විය නොහැකිය. අප සිංගාරම් ගසා ක්‍රියාත්මක කළ නව මැතිවරණ ක්‍රමයද එසේ වරණයේ පිළිබිඹුව විකෘති කරන අවුල්සහගත ක්‍රමයක් බව මැතිවරණයෙන් පැය කිහිපයක් ගත වන විට රටටම පසක් කර ගතහැකි විය. එමෙන්ම මැතිවරණය පවත්වා අවසන් වුවද මෙම ලිපිය ලියන මොහොතේත් පළාත් පාලන ආයතන වැඩි ගණනක් සංස්ථාපනය කර නොමැතිවීමම මැතිවරණ ක්‍රමයේ දුර්විපාකයකි.
පැවති ක්‍රමයේ දෝෂ නිවැරැදි කරමින් නිර්මාණය වූ බව කියන නව මැතිවරණ ක්‍රමයේ සාපේක්ෂ වාසි රැසක් ඇති බවට මෙම නව ක්‍රමය වර්ණනා කරන පිරිස් එක හෙළාම පවසති. එනම් නව මැතිවරණ ක්‍රමය තුළින්,
1.) අපේක්ෂකයාට වියදම් අධික වූ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම.
2.) කොට්ඨාස ක්‍රමය (Ward system) යළි ඇතිකර ඡන්ද දායකයාට වගකියන මන්ත්‍රීවරයකු ඡන්ද කොට්ඨාසය සඳහා තෝරා පත්කර ගැනීම හා සෑම මහජන ඡන්දයකටම වටිනාකමක් ලැබෙන සමානුපාතික නියෝජනයක්ද සහතික කර තිබීම.
3.) කාන්තා නියෝජනය හේතුවෙන් කාන්තාවන් සදහා දේශපාලන මංපෙත් විවර වීම.
4.) මැතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා අවම වීම.
ඉහත සියලු යහපත් ප්‍රතිඵල ඇති කිරීමට මෙම මැතිවරණ ක්‍රමය සමත් විය හැකි වුවද පළාත් පාලන විෂය ක්ෂේත්‍රය අරභයා නම් මෙම මැතිවරණ ක්‍රමය තුළින් ධනාත්මක උද්දීපනයක් සිදු නොවන බව මාගේ විශ්වාසයයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රම හෝ මැතිවරණ ක්‍රම හෝ අංක ගණිතය හෝ පිළිබඳ මහා ප්‍රාමාණිකයන් මෙම මැතිවරණ ක්‍රමය සකස්කර ඇත. එහෙත් ඔවුන් පළාත් පාලනය පිළිබඳ අල්පශ්‍රැතයන් බව සැඟවිය නොහැකිය. මෙම නව මැතිවරණ ක්‍රමයේ ප්‍රතිඵල (Out-put) බොහෝය. එහෙත් ඉෂ්ට ඵල (ධමඑ-ජදපැ) අල්පය. එනම් ඉහත 1 සිට 4 දක්වා අරමුණු සාධනයට මෙම නව මැතිවරණ ක්‍රමය මනා පිටුබලයකි. එහෙත් පළාත් පාලන විෂයානුබද්ධව කල්පනා කළහොත් මෙය අනිටු ඵල ගෙන එයි. ඉහත ජන ආකර්ෂණීය සටන් පාඨ සියල්ල නව මැතිවරණ ක්‍රමය විසින් ආමන්ත්‍රණය කර ඇත. එහෙත් පළාත් පාලනය පිළිබඳ විෂය කේෂ්ත්‍රය ආමන්ත්‍රණය කරන්නේ නැත.
පලාත් පාලනය යනු රටක ජාතික සංවර්ධනයේ තීරක බලවේගයකි. පළාත් පාලනය අමතක කර දමා දියුණු වූ රටක් ලොව කොතනකවත් නොමැත. ජීවත් වීමට වඩාත් සුදුසු නගර (Most Liveable Cities) ලෙස විරුදාවලිලත් මෙල්බර්න්, සිඞ්නි හෝ කැන්බරා යනු පළාත් පාලනයේ හාස්කම්ය. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා අවැසි මූලික සේවා සැපයුම් හල පළාත් පාලන ආයතනයයි. රටක ප්‍රාදේශිය සංවර්ධනයේ ගාමක බලවේගය පළාත් පාලනයයි. නගරයේ හෝ ගමේ ජීවත් වන ජනයාගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික පොදු යටිතල පහසුකම්, සමාජීය පොදු උපයෝගීතා, නගර අලංකරණය හා ආරක්ෂාව හා නිවාස ඉදිකිරීම් හා ඉඩම් ආදී අනෙකුත් මූලික ජනතා අවශ්‍යතා පිළිබඳ ප්‍රාථමික වගකිවයුත්තා ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයයි. එමෙන්ම රටේ අනාගත නායකත්වය හොබවන අංකුර දේශපාලන නායකයින් බිහිකරන්නේ ද පළාත් පාලනයයි. බලය බෙදීම සම්බන්ධයෙන් ගත් කල පළාත් පාලන ආයතන යනු අප වැනි දූපත් රාජ්‍යයකට බලය බෙදාහැරිය හැකි වඩාත් ප්‍රතිඵලදායක ව්‍යුහයයි.
එසේම පළාත් පාලනය යන සංකල්පයේ ඇත්තේ ප්‍රාදේශිය වෙනස්කම් මත පදනම්ව නිර්මාණය වන පාලනයකි. සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික භූගෝලීය ජනගහනය භාෂාව ආදී විවිධ සාධක මත ඇතිකරන ලද වෙනස්කම් පදනම් කරගනිමින් මෙරට පලාත් පාලන ආයතන පද්ධතිය ස්ථර 3 කින් නිර්මාණය කර ඇත. එම සුවිශේෂී වෙනස්කම් අනුව ඊට අනන්‍ය පාලනයක් ගෙනයාම සඳහා මෙම ආයතන වලට බාහිර බාධාවන් ඇති නොවිය යුතුය. එසේ වන්නේ නම් එය පළාත් පාලනයේ ගුණාත්මය හානි කිරීමකි. ගැටලුව වන්නේ නව මැතිවරණ ක්‍රමය නිර්මාණය වී ඇත්තේ පළාත් පාලනයේ ඉහත විස්තර කළ ගුණාත්මය පෝෂණය කරන්නට ද යන්නයි.
1.) අපේක්ෂකයාට වියදම් අධික වූ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම යන තර්කයද ප්‍රලාපයකි.
මනාප ක්‍රමයේ වියදම් වැඩි වන්නේ අපේක්ෂකයාටය. දැන් සභික ධූර සංඛ්‍යාව දෙගුණයක් වීමෙන් වියදම් වැඩිවෙන්නේ රජයට හා පළාත් පාලන ආයතනයටය. එනම් ජනතාවටය. 4486 ක් වූ සභික සංඛ්‍යාව 8356 ක් ලෙස වැඩිවන බව ගණන් බලා තිබුණද මැතිවරණ දින රාත්‍රි එල්ලෙන ආසන (Over hanged seats) හෙවත් ඕපපාතික ආසන ලෙස තවත් සභික ධූර 365 ක් පමණ නිර්මාණය වූ අතර ඒ අනුව දැන් මුළු සභික සංඛ්‍යාව 8721කි. මෙසේ තේරීපත්වන සියලු දෙනාටම අඩු තරමින් රුපියල් මිලියන 1800 ක පමණ වැය බරක් සභික දීමනා සඳහා වසරකට වැයවනු ඇත. ඊට අමතරව දුරකතන දීමනා, ගමන් වියදම්, සංග්‍රහ වියදම් ඇතුළු විවිධ ස්වරූපයෙන් ජනිතවන වියදම් ද සමානුපාතිකව වැඩිවන බැවින් ජනතාව මත පැටවෙන බර පැන ද වැඩිවනු ඇත. වාර්ෂික වරිපනම් ආදායම රුපියල් දහනම ලක්ෂයක් වන වලල්ලාවිට ප්‍රාදේශිය සභාවට තේරී පත්ව ඇති සභික සංඛ්‍යාව මෙවර 13 සිට 25 දක්වා වැඩිවී ඇති අතර එම සභාවට සභිකයන්ගේ නඩත්තුවට පවා බාහිරින් අරමුදල් ඉල්ලා ගැනීමට සිදුවනු ඇත.
සභික ධුර වැඩිවීම පළාත් පාලන විෂයානුබද්ධව ද අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇත. මන්ද තේරී පත්වන සෑම සභිකයකුම සභාව තුළ කුමන හෝ ස්ථාවර කමිටුවක ද සාාමාජිකයෙකු ලෙස සක්‍රීය වීම අනිවාර්ය නීතිමය අවශ්‍යතාවකි. එම නීතිමය අවශ්‍යතාව ඉටු කිරීම පමණක් අරභයා සභාවේ සම්පත් පැතිකඩ හෝ අවශ්‍යතා නොසලකා හරිමින් තේරුමක් නැතිව ස්ථාවර කමිටු නිර්මාණය කිරීමට සිදුවේ. මෙය හුදු කාල නාස්තියක් බව වැටහෙන විට කල් පමාවී අස්සයා පැනගොස් සිටිනු ඇත.
ඡන්ද අපේක්ෂකයාට වියදම් අඩු ඵලදායී ක්‍රමයක් ලෙස මැතිවරණ සමයේ උත්කර්ෂයට නැගුණු මෙම මැතිවරණ ක්‍රමය තුළින් පත් වී ඇති සභිකයින්ට නම් මිලියන ගණනක ඉහළ මිලක් හිමිවන බව තනතුරු තීරණය කිරීම සඳහා පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වන පළමු රැස්වීම්වලදී ඡන්දය ප්‍රකාශ වූ ආකාරයෙන් මැනවින් පිළිබිඹු වූ බව දන්නෝ දනිති.
2.) කොට්ඨාස ක්‍රමය (Ward system) යළි ඇතිකර ඡන්ද දායකයාට වගකියන මන්ත්‍රීවරයකු ඡන්ද කොට්ඨාසය සඳහා තෝරා පත්කර ගැනීම හා සෑම මහජන ඡන්දයකටම වටිනාකමක් ලැබෙන සමානුපාතික නියෝජනයක්ද සහතික කර තිබීම යන්න ආකර්ෂණීය දේශපාලන ප්‍රලාපයකි.
සමානුපාතික නියෝජනයක් සහතික කිරීම සදහා වූ සංශෝධනය කොට්ඨාසයට මන්ත්‍රීවරයකු පත්කිරීමේ සංශෝධනය සමග සෘජු ලෙසම ගැටෙන අවස්ථාවක් මෙහි ඇත. එනම් කොට්ඨාස මට්ටමින් ජයගන්නා සභික ධුර නැවත සමානුපාතිකව හිමිකර ගන්නා සභික ධුර ලෙස යළි ගණනය කිරීමකටද ලක් වීමයි. ඒ හේතුවෙන් නිර්මාණය වන එල්ලෙන ආසන මුළු සභික සංඛ්‍යාවට එකතු වන අතර අවසානයේ එම එල්ලෙන ආසන ද පරාජිත පක්ෂ අතර සමානුපාතික ලෙස බෙදාහැරීම සිදුකරයි. එය ජයග්‍රාහී පක්ෂයේ බහුතර බලය දුර්වල වී යාමට සෘජුවම බලපායි.
කොට්ඨාස මට්ටමින් සභික ධුර ඇති වුවද එකී සෑම සභික ධුරයක්ම ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව බෙදාහැරේ. කොට්ඨාස පරාජයට පත්වන පක්ෂ හා කණ්ඩායම් විසින් එකී පරාජිත කොට්ඨාස වලදී හිමිකර ගන්නා මුළු ඡන්ද සංඛ්‍යාවට අනුරූප ලෙස සමානුපාතික ධූර ප්‍රමාණය එම කොට්ඨාස පරාජිත පක්ෂ හා කණ්ඩායම් අතර බෙදාහරින්නේ නම් මෙය 60% ක් කොට්ඨාස ක්‍රමයත් 40% ක් සමානුපාතික ක්‍රමයත් සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වීමට ඉඩ තිබුණි. එහෙත් මෙය 100% ක්ම සමානුපාතික මැතිවරණ ක්‍රමයක් බව දැන් මනාව පැහැදිලිවී ඇත. එමගින් ජයග්‍රාහී පක්ෂය ලබාගත් දිනුම දියාරු වී පරාජිත පක්ෂ වලට ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. ජයගත් පක්ෂයට වසර 5 කට නගරාධිපති තනතුරු දරමින් ජනතා ගැටලු වලට විසඳුම් ලබාදෙමින් බරපතළ වගකීම් දැරීමට සිදුවුවද එකී වගකීම් සඳහා විසඳුම් සෙවීමට අවැසි තීරණ ගැනීමට ප්‍රමාණවත් බහුතර බලයක් හිමිකර නොදී ප්‍රබල විපක්ෂයක ප්‍රතිරෝධය හිමිකර දීම එක් අතකින් ජයග්‍රාහකයින් බරපතළ වැඩ සහිත 5 අවුරුදු සිර දඩුවමකට යටත්කළා වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී සැලකිල්ලකි. මෙම මැතිවරණ ක්‍රමය තුළ විශේෂයෙන් 2017 වසරේ සිදුකළ සංශෝධන සකස් කර ඇත්තේ පළාත් පාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් නොව ලංකාවේ පළාත් පාලනය ජනතාවට එපාකර විනාශ කර දැමීමේ ඒකායන අරමුණින් බව සක්සුදක් සේ දැන් පැහැදිලිය. මාතර හා කෝට්ටේ මහා නගර සභා වල පාලනය අත්හිටුවීමට ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් වලින් තර්ක කරන්නේ ද විපක්ෂයේ පක්ෂ වලට සමානුපාතිකව බෙදාහැර ඇති සභික ධුර සංඛ්‍යාව තව තවත් වැඩි කිරීමට නියෝග කරන ලෙසයි. එම පෙත්සම් සාර්ථක වුවහොත් තවත් සභික ධූර තුන් හාරසියයක් නැවතත් එල්ලෙන ආසන ලෙස වැඩිවනු ඇත.
පරාජිතයන් පිටු දැකි පැරණි ක්‍රමය වෙනුවට නව ක්‍රමයෙන් පරාජිතයන් ද ඇතුලට ගත හැකිය. පරාජයට හේතුවූ තම අඩුපාඩු සකස් කරගෙන ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙනවා වෙනුවට පැරදුනත් සභික ධුරයකින් පිදුම් ලැබීමේ භාග්‍යය නව මැතිවරණ ක්‍රමය සහතික කර ඇත.
ඡන්ද ක්‍රමය විසින් ඡන්දය දිනන අයද, පරදින අයද කාන්තා නියෝජනය හා එල්ලෙන ආසන ද ලෙස සිව් ආකාරයකට පත්වන සභිකයින් හේතුවෙන් පළාත් පාලන ආයතන වල සභික ධුර ගණන දෙගුන වේ. නැතිනම් දෙගුණයකට ආසන්න වේ. නිදසුන් ලෙස කොළඹ මහා නගර සභාවේ සභික ධුර සංඛ්‍යාව 53 සිට 119 දක්වා ද මාතර මහා නගර සභාවේ සභික සංඛ්‍යාව 15 සිට 30 දක්වාද මාතර ප්‍රාදේශිය සභාවේ සභික ධුර සංඛ්‍යාව 15 සිට 31 දක්වාද තංගල්ල නගර සභාවේ සභික සංඛ්‍යාව 9 සිට 19 දක්වාද ලෙස සියලුම පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව මෙසේ වැඩි වී ඇත. මෙසේ ආයතනයේ මුළු සභික ධුර සංඛ්‍යාව දෙගුණයක් දක්වා ඉහළ ගියද පාලක පක්ෂයට ප්‍රමාණවත් බහුතර බලයක් හිමිකර ගැනීමට ද නොහැකි වූ අවස්ථා බොහෝ ඇත. නිදසුනක් ලෙස කොළඹ මහා නගර සභාවේ සභික ධුර සංඛ්‍යාව 119 දක්වා ඉහළ ගියද පාලක පක්ෂයට හිමිවූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 60 කි. එනම් විපක්ෂයේ පක්ෂ සතුව ඇති ආසන 59 ට වඩා එකක් පමණක් වැඩිය. මාතර මහා නගර සභාවේ ජයග්‍රාහී පක්ෂයට ආසන 15 ක් ද විපක්ෂයේ පක්ෂ වෙත ආසන 15 ලෙස සමාන තත්ත්වයකි. නිකුත් වූ ප්‍රතිඵල අනුව ආයතන 200 පමණ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර ආසන හිමි නොවීමෙන් පෙනෙන්නේ මෙම මැතිවරණ ක්‍රමය සීමාව ඉක්මවූ සමානුපාතික ලක්ෂණ සහිත වීමයි. මේ අනුව ජන ජීවිතය නගා සිටුවීමට අවැසි තීන්දු තීරණ ගැනීමේ ස්ථාවර බහුතර බලයක් ලබා දීම වෙනුවට පාලක පක්ෂයට හා විපක්ෂ කණ්ඩායම් වෙත 15 ට 15 ලෙස හෝ 20 ට 20 ලෙස නගරාධිපතිගේ පිල හා විපක්ෂ නායකගේ පිල ලෙස කඹ ඇදීමේ දෙපිලක් අපූරුවට නිර්මාණය කර දීමට නව ඡන්ද විමසීම් ක්‍රමය ජාත්‍යන්තර සමත් කමක් පෙන්වා ඇත.
එසේම අනිත් අතින් සභික ධුර සංඛ්‍යාව දෙගුණයක් පමණ දක්වා ඉහළ දමාගන්නේ අදාළ බලප්‍රදේශ වල භූමිය හෝ ජනගහනය දෙගුණයක් වූ නිසා නොවේ. විසඳිය යුතු මහජන ගැටලු දෙගුණයක් වූ නිසාවෙන් ද නොවේ. වෙනත් වචනයෙන් කියන්නේ නම් පළාත් පාලනයට අවශ්‍ය නිසා නම් නොවේ. එසේ වූයේ නම් එය යම් පමණකට හෝ සාධාරණීකරණය කළ හැකිය. එසේ නම් මෙසේ වූයේ ඇයි.? එනම් දිනන පරදින සියලු දේශපාලන පක්ෂ වල බිම් මට්ටමේ කාඩරය මහජන මුදලින් නඩත්තු කිරීමට ඇති දේශපාලන අභිලාෂයයි. ඒ අනුව මෙම නව මැතිවරණ ක්‍රමය සැකසීමට පාදක වූ ප්‍රධාන මූලධර්මය විය යුත්තේ අන් කිසිවක් නොව “රට නතර වුවද දේශපාලන පක්ෂ කිහිපයේ ගමන යා යුතුය” යන ”උදර” ප්‍රතිපත්තියයි. සාධාරණ පුරවැසියෙකුට එසේ සිතීමට කරුණු මෙහි තිබේ.

මතු සම්බන්ධයි.