රාවය

සිරි මැදුර ඉදි කැරෙන සියනෙතගම

සිරි මැදුර ඉදි කැරෙන සියනෙතගම

නිමල් අබේසිංහ

සුදු පිරිමැදි බිත්තිය සාරසුබාවට අතපත ගාන ඇයගේ මුව මන්දහාසයකින් පිරී ඇත්තේය. වචනයට නැඟිය නොහැකි දහසකුත් සිතිවිලි සමුදායක් ඒ මන්දස්මිතිය තුළ ගැබ්වී ඇති බව පෙනේ. එනමුදු එවදන් මුළුමනින් කියවීමට අප අසමත්ය. ඇය අපට හමුවූයේ නිවාස අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් දෘශ්‍යාබාධිතයින් වෙනුවෙන් ඉදි කෙරෙන සියනෙතගමදීය. සියනෙත ගම තිබෙන්නේ කොළඹ තිස්ස කතරගම මාර්ගයේ ජපන් හන්දියෙන් දකුණට හැරි මීටර් පන්සීයක් ගිය තැනදීය.
කුමක් හෝ සොයාගෙන තම්බාගෙන කා රැයක් පහන්වන තුරු කරදරයක් නැතිව වැතිර සිටින්නට හරිහමන් ගෙපැළක් නොතිබුණ දෘශ්‍යාබාධිත 29 දෙනෙකු වෙනුවෙන් සිය නෙත ගමෙහි නිවාස 29 ඉදිවෙයි. ඩබ්ලිව් පී සිරියාවතීද එගම නිවෙසකට උරුමකාරියකි. ටකරං තහඩු වැසූ හරිහමන් ගෙබිමක් රහිත නිවෙසක ජීවිතය කාලය පුරා දිවි ගෙවූ ඇයට මේ ලද නිවෙස සිරිමැදුරකි. ඇය තමන්ගේ සිරිමැදුරේ බිත්ති අතපත ගාමින් සතුට විඳගත්තේ ඒහෙයින්ය.
“මට හරි සතුටුයි. කවදාවත් මේ වගේ නිවෙසක ජීවත්වෙන්න ලැබෙයි කියලා මම හිතුවේ නෑ. මම හිටියේ පරණ ගේක. මේක ගඩොල්වලින් බැඳලා තහඩුවහල සිමෙන්ති දාලා තිබෙන ගෙයක්. කාමර දෙකයි සාලෙයි කුස්සියයි. වැසිකිළියයි. අනේ අපිට ගේ පොඞ්ඩ ඉහටත් උඩින් ඇති.” සිරියාවති වක්කඩ කැඩුවා සේ කියවාගෙන යන්නීය. කුඩා දරුවෙකුට අගනා සෙල්ලම් බඩුවක් ලැබුණාසේ ඇය මුව සතුටින් ඉපිලෙයි.
සියනෙතගම උපත ලද්දේ කෙසේද? යන පැනයට පිළිතුර බැන්දේ විතාරන්දෙනියේ නන්දසිරි වනිගසිංහය. නන්දසිරි උපාධිධාරි ගුරුවරයෙකි. ඔහු සමස්ත ලංකා දෘශ්‍යාබාධිත සංගමයේ හම්බන්තොට දිසාවේ සභාපතිවරයාය.
“2015 ඔක්තෝබර් මාසේ දවසක මමයි අපේ සංගමයේ ලේකම් නිහාල් මහත්තයයි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්තයා මුණගැහෙන්න ගියා. එහෙම ගියේ අපේ අයට නිවාස ව්‍යාපෘතියක් හදලා දෙන්න කියලා ලිපියකුත් අරගෙනයි. “ලියුම දෙන්නත් ඉස්සර සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කීවා මම ඔය අයට නිවාස හදලා දෙනවා කියලා. එතුමා එහෙම කීව වාගේම අපි 29 දෙනෙක් වෙනුවෙන් නිවාස හදලා දෙන්න තීරණය කරලා නිවාස හදන්න පටන්ගත්තා.”
“දෘශ්‍යාබාධිත අය කියන්නේ බොහෝ වෙලාවට සමාජයෙන් කොන්වෙන පිරිසක්. සමාජයෙන් විතරක් නොවෙයි පවුලෙනුත් මේ අය කොන්වෙනවා. එහෙම පිරිසකට තමන්ගේම කියලා ගෙයක් දොරක් ලැබෙනවා කියන්නේ මහමෙරක් වාගෙයි. ඒ හින්දම මේ අයත් තමන්ගේ නිවාස හදාගන්න සැහෙන මහන්සි වුණා. සමහරු ආබාධිතයි. පස්ස ගැහැවුවේ නෑ. ගඩොල් පවා කැපුවා. ඒකෙන්ම පේනෙනවනේ මේ අයගේ නිවාස ගැන කොච්චර ලොකු බලාපොරොත්තුවක් තිබෙන්න ඇතිද කියලා.”
“අනෙක් එක තමයි එකවගේ කණ්ඩායමකට එකම ගමක වාසය කරන්න අවස්ථාව ලැබීම. ඒකන් මේ අයට හයියක්. ඒ අය දන්නවා මෙතන ඉන්නේ එකවාගේම පිරිසක් කියන එක.”
නන්දසිරිගේ මෙවදන් තුළ දාශ්‍යාබාධිතවූවන්ගේ ජීවිතයම ගැබ්ව ඇතිවාසේය. නිවාස සංවර්ධන අධිකාරිය මගින් සියනෙතගම එක් නිවෙසක් ඉදිකිරීම වෙනුවෙන් පර්චස් 15ක ඉඩම් කොටසක් සමග රුපියල් ලක්ෂ 4ක මූල්‍යාධාරයක් ලබාදී තිබේ. ඇස් පෙනෙන්නෙකුට පවා අද දවසේ රුපියල් ලක්ෂ 4කින් නිවෙසක් ඉදිකරගැනීම ජයගත නොහැකි අභියෝගයක්ව තිබෙත්දී දෘශ්‍යාබාධිතයෙකු මේ මුදලින් නිවෙසක් ඉදිකරගන්නේ කෙසේද? මේ අභියෝගයට මුහුණ දෙන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයයි. ඒ එම ආයතනයට වසර 25ක් පිරීම නිමිති කොටගෙන සමාජ සත්කාරයක් කළ යුතුය යන අදහස වත්මන් සභාපති මහසෙන් පැල්පොළ තුළ ඇතිවීමෙනි. මෙහිලා සැළකිය යුතු වැදගත් කරුණක් ද වන්නේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය. වසර ගණනාවක සිට පාඩු පිට පාඩු ලබමින් පිට පාඩු ලබමින් සුදු අලියෙකු බවට පත්වී තිබී වසර දෙකක් තුළ යම්තම් ලාබ ලබමින් හිස ඔසවමින් තිබෙන වාතාවරණයක් තුළ වීමයි. ඒ හිස එසවීම වෙනම ලිවිය යුතු කතාවකි.
සභාපතිවරයා සිය ආයතනයේ සේවකයින් අමතා මේ අදහස ප්‍රකාශ කරන විටත් කණින් කොනින් තොරතුරු ලත් ආරක්ෂක අංශය භාර ප්‍රධානී මේජර් ගාමිණි කළුආරච්චි එක් නිවෙසක් ඉදිකිරීම වෙනුවෙන් සූදානම්ව සිටියේය. ඔහුගේ කාර්යමණ්ඩලයේ එක් සාමාජිකයකු පමණක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කර ඇති මුදල රුපියල් 50000කි.
අවසානයේ මේජර් කළුආරච්චි නිවාස තුනක්ම ඉදිකිරීමට භාර ගන්නා අතර ආයතනයේ අනෙක් අංශද ඉතිරි ගෙවල් 26 ඉදිකිරීමට භාරගෙන ඇත්තේය. අප සියනෙතගම භූමියට යනවිටත් ජාතික යන්තෝපකරණය ආයතනයේ සේවකයෝ කඩිගුලක් මෙන් නිවාස ඉදිකිරීමේ කාර්යයේ නියැලී සිටියහ. දිවා රෑ නොබලා සේවයේ යෙදෙන මේ සේවකයෝ උදේ 8 සිට සවස 6 හා වෙනතුරුවත් වැඩකරති. එහෙත් අති කාල දීමනා අපේක්ෂා නොකරති. වඩාත් අගය කළයුතුවන්නේ මේ සේවකයින් අතර විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන්නන් ඒ ඒ පක්ෂවල වෘත්තිය සමිති නායකයින් සිටින නමුදු ඒ භේද කිසිත් මේ සද්කාර්යයට අදාළ කර නොගැනීමයි. නිවාස ලාභීන්ගෙන් විසි දෙනෙකු විවාහකයින් වන අතර ඉතිරි 9 දෙනා අවිවාහකයෝවෙති. විවාහකයින් අතර දෙදෙනාම දෘශ්‍යාබාධිත වූවන් වන අතර ඇතැම් විටෙක මේ පවුල්වල අයෙකු දෘශ්‍යාබාධිත නොවේ. ප්‍රේමදාස මල්ලවරආරච්චි සහ කේ.ඩී. පොඩිනෝනා එබඳු පවුලක සාමාජිකයෝය.
සියනෙතගම යනු වෙනත් නිවාස ව්‍යාපෘතිවලින් එපිටට ගිය නිවාස ව්‍යාපෘතියක් බව අවිවාදිතය. එහි අපූරුව නම් නොසිතු විධියකින් ඇරඹී මාසතුනක් වැනි කෙටිකාලයක් තුළ සමුහයකගේ දායකත්වයෙන් නිවාස ගොඩ නැගීමයි. එය තවත් අලංකාර කිරීම මෙහි දායකයින්ගේ අපේක්ෂාවයි. මේ වන විටත් සෑම නිවෙසකටම ගැස් ටැංකියක්, උදුනක් සහ ඉවුම් පිනුම් උපකරණද ප්‍රදානය කරන්නට ලිට්රෝ ගෑස් ආයතනය පෙළඹී ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීමකටය. ගෘහයකට අවශ්‍ය අනෙකුත් ගෘහ භාණ්ඩද සපයාදිය හැකිනම් මේ සද්කාර්යයේ වටිනාකම ඉහළ යනු ඇත. පරෝපකාරයට කැමැත්තන්ට ඒ සඳහා අවස්ථාව විවෘතය.