අවුරුදු අධිෂ්ඨානය

උපාලි කොළඹගේ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙනුයේ ලබන සතියේ අග්ගිස්සේය. එහෙත් අවුරුදු සමය දැන් සිටම ඇරඹී ඇත. සිදාදියේ හැම කඩපොළක්ම සාමාන්‍ය ජනතාව ගෙන් පිරී ඉතිරිලාය. අවුරුද්දට ජනතාව දක්වනුයේ පුදුම උනන්දුවකි. ඇතැම් අය මේ පිළිබඳව දක්වනුයේ සෝපහාස ආකල්පයකි. ඔවුනට අනුව අවුරුදු සැමරුම පසුගාමී සමාජයේ තවත් එක් අභ්‍යාසයකි.
අප නම් මේ දෙස බලනුයේ වෙනස් සොම්නස් සහගත ආකල්පයකිනි. වසර පුරා ආතතියට ලක්ව සිටින ජනයාට ඉන් මිදීමට ලැබෙන සොදුරු නිමේෂයක් ලෙසය අප මෙය දකිනුයේ. මෙය වැඩ බිම සිට ගොවි බිම දක්වාම පොදුය. කිට්ටුවර ඥාතීන්ට තෑගි බෝග දීම, දුර බැහැරකට ගොස් කෙටි නිවාඩුවක් ගැනීම, වයස් පරතරයකින් තොරව ක්‍රීඩාවේ යෙදීම, පරණ තරහ මරහා අමතක කර දැමීම අවුරුදු උලෙළේ මා දකින ධනාත්මක ලක්ෂණය.
වෙනදාට වඩා මධූ විතෙන් සප්පායම් වීමට දක්වන නැඹුරුවද අමතක කළ නොහැක. එහෙත් මෙහිදී විසඳාගත යුතු කරුණු ද බොහෝය.
ඉන් මා ප්‍රධාන කරුණ ලෙස දකිනුයේ මෙය සිංහල – දෙමළ (හින්දු) අලුත් අවුරුද්ද බව අමතක කිරීමය. නැත්නම් ‘දෙමළ’ මිනිසාට අවුරුදු උලෙළින් පිටමං කර තැබීමය.
අවුරුදු උළෙල සිංහලයා විසින් සින්නක්කරව අයිති කරගෙන ඇතැයි කීවොත් නිවැරදි යැයි සිතමි.
ඇත්ත වශයෙන්ම සිංහල දෙමළ අලුත් අවුරුදු උළෙල ජාතීන් අතර සංහිඳියාව ඇති කර ගැනීමට මහගු අවස්ථාවක් ලෙසය මා දකිනුයේ. අවශ්‍ය වනුයේ නිවැරදි සම්බන්ධී කාරකයන් පමණි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ උරුමකරුවන් ලෙස පෙනී සිටින ඇන්.ජී.ඕ නඩ පවා මෙම අවස්ථාවෙන් නිසි අයුරින් ප්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ. ඇතැම් පුද්ගලයන් හා ආයතනවලට නම් කරල පැහෙනුයේ ජාතික ප්‍රශ්නය දිගටම ඇදී ගිය හොත් පමණි.
මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ගැට්ටේ තිබුණ ද අවශ්‍යතාව හා අධිෂ්ඨානය තිබේනම් අනාගත සංහිඳියා ක්‍රියාමාර්ග සඳහා ගැම්මක් ගැනීමට තවමත් ප්‍රමාද නැත යන්න අපේ අදහසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් මේ රටේ සංඛ්‍යාත්මකව කුඩාවට සිටින ශ්‍රී ලාංකික වෙනත් ජාතික සහෝදරවරුන්ට නිසි පිළිගැනීමක් ලබාදීමෙන් මිස ජාතික ප්‍රශ්නය නොවිසඳේ යන්න පරම සත්‍ය වුවත් ඊට පරිසරය සූදානම් කිරීමේදී අවුරුදු උළෙල වැනි දෙජාතියටම උරුම ජාතික උත්සව ප්‍රයෝජනයාට ගත හැකිය යන්නය අපේ අදහසයි.
අපේ ඇතැම් මහජාතික කොටස් තවමත් කෙතරම් පසුගාමී ද යන්නට හොඳ උදාහරණයක් පසුගිය සතියේද කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා විය. බෞද්ධයන්ගේ මුදුන් මල් කඩට ද උරුමකම් කියන නායක හිමිවරුන් ඇතුලු හිමිවරුන් පිරිසක් යුරෝපා නියෝජිත පිරිසක් අරබයාය මේ ප්‍රකාශය සිදු කරන ලද්දේ. පසුගිය කාලයේ මහනුවර ප්‍රදේශයේ සිදුවූ ගැටුම ජාතිවාදී ගැටුමක් නොවන බවය උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ. මෙම නියෝජිතයන් එම සිද්ධිදාමය ජාතිවාදී ගැටුමක් බවට සඳහන් කර තිබීමද උන්වහන්සේලාගේ නොසතුටට හේතු වී ඇත. කොටින්ම පසුගියදා මහ ජාතිය වන සිංහලයන් මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ හා සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ පොදු දේපොළ විනාශ නොකළ බවය මේ හිමිවරුන් කියා සිටින්නේ.
ඇයි හත්වලාමේ මෙය ජාතිවාදී කෝලාහලයක් නැත්නම් වෙන මොකද්ද?
ජාතියක් වශයෙන් සිංහලයා මුස්ලිම් ජනතාවගෙන් සමාව ගතයුතු අවස්ථාවකය මෙම ප්‍රකාශ සිදු කරනුයේ ඇතැම් භික්‍ෂුන් වහන්සේ හා ගිහියන් අවංකවම ජාතිවාදය පිටු දකිමින් ආපදාවට පත් මුස්ලිම් ජනතාවට පිහිට වූ බව සත්‍යයකි.
එහෙත් එම ව්‍යායාමය පොදුවේ ව්‍යාප්ත වූයේ නැත.
අනෙක ජාතිවාදී අරගල යනු සියලු ජනතාව එකිනෙකා මරා ගැනීම නොවේ. අලුත්ගම සිදුවීම් මාලාවට වුවත් සක්‍රීයව සම්බන්ධ වූවෝ අතළොස්සකි. එහෙත් සංඛ්‍යාත්මකව වැඩි ජාතිය වන සිංහලයාට වගකීමෙන් නිදහස් විය නොහැක. 83 කළු ජූලියටද සෘජුව සම්බන්ධ වූයේ සිංහලයන්ගෙන් සුළු කොටසකි. එහෙත් එයද ජාතිවාදී කෝලාහලයක් නොවන බවට ඇතැම්හූ ඒ දවස්වල තර්ක කළහ.
කෙසේ වුවත් ජාතිවාදී අරගල ජාතිවාදී නොවන බවට ප්‍රකාශ කිරීමම අමු ජාතිවාදයක් ලෙසය මා දකින්නේ. මේ අවුරුදු සමයේදී හෝ ජාතිවාදය පිළිකුල් කිරීමේ අධිෂ්ඨානයකට එළඹීමේ හැකියාවක් ඇත්නම් එයද ප්‍රමාණවත්ය යන්න අපේ හැඟීමයි.
ජනතාවට විහිළු සැපයීම
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාවට විහිළු සැපයීමට ආණ්ඩුව අමතක කර නැත. ආණ්ඩුවේ නිවේදනයකින් කියවුණේ අවුරුදු සමය පසුවන තෙක් කිරිපිටි හා ගෑස් මිල වැඩි නොකරන බවය. එහි අදහස අවුරුද්දෙන් පසු මේ දෙකම වැඩි කරන බවය. අවුරුදු සමයේ පමණක් මේවා තිබුණු මිලටම දීම ජනතාවට සහන සැපයීමක් ලෙසද මොවුන් සිතනුයේ.
එදා – මෙදා
දශක කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණ පාසල් ළමයින් දේශපාලනයට යොමු කරන බවට චෝදනා කළ පක්ෂයකි එක්සත් ජාතික පක්‍ෂය, ඒ එදාය. එහෙත් මෙදා නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවක් එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවකට තරග කරවා මන්ත්‍රී ධුරයක් හිමිකරදී ඇත. ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිනුයේ මේ වසරේ අගෝස්තු මාසයේය. ඇය ඇගේ ප්‍රථම ඡන්දය පාවිච්චි කර ඇත්තේද ඇය වෙනුවෙනි.
මීට නීතියෙන් කිසිදු බාධාවක් නැත. මෙම දියණිය වයස අවුරුදු 18 සම්පූර්ණ නැතැත්තියක් විය හැක. එහෙත් මෙවැනි ළාබාල පාසල් ශිෂ්‍යාවක දේශපාලනයට ඇද දැමීම කෙතරම් සදාචාරාත්මක ද යන්නය අපට ඇති ප්‍රශ්නය.
ඒ මෙය ආදර්ශයට ගනිමින් අනික් පක්‍ෂද මේ ආකාරයෙන් පාසල් ළමයින් දේශපාලනයට යොමු කළ හොත් ඇති විය හැකි අලුත් තත්ත්වයන් පිළිබඳව ඇති බිය නිසාය.
විශේෂයෙන්ම අපේ රටේ වර්තමානයේ පවතිනුයේ දේශපාලන දුරාචාරයක් මිස දේශපාලනයක් නොවන නිසාය.