රාවය

ඇෆ්ගන් හි අමෙරිකා – රුසියා සීතල යුද්ධය

ඇෆ්ගන් හි අමෙරිකා – රුසියා සීතල යුද්ධය

එස්. නන්දලාල්

ඇෆ්ගනිස්තානයේ කුන්දුස් පළාතේ දට්සේ ආචි ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික පාසලක (මාඩ්‍රාසා) පසුගිය 02දා පැවැති උත්සවයකට රජයේ හමුදා මගින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් 150ක් පමණ දෙනාට හානි සිදුවන්නට ඇතැ’යි තාලිබාන් ප්‍රකාශකයකු පැවසූ බව ඒඑෆ්පී වාර්තා කළේ ය. ඔවුන් අතර සිය සංවිධානයේ කිසිවකු නොමැති බවත් ඉස්ලාම් පූජකවරුන්, දහම් පාසල් ශිෂ්‍යයින් සහ ඔවුන්ගේ දෙගුරුන් ඇතු`ඵ සිවිල් පුරවැසියන් ඒ අතර සිටින බව ඔවුන් විසින් පවසන ලදැ’යි ඒ පුවතේ සඳහන් ය.
එහෙත් වින්දිතයන්ගේ සංඛ්‍යාව ඊට වඩා බොහෝ සෙයින් අඩු බව එම වාර්තාවේ ම දැක්වෙයි. ආරක්‍ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මියගිය සංඛ්‍යාව 15 පමණක් බවයි. ඒ අතර සිවිල් පුරවැසියන් කිසිවකු සිට නැත.
හමුදාව එම ප්‍රහාරය එල්ල කොට ඇත්තේ එතැන තාලිබාන් ත්‍රස්තයන්ගේ පුහුණු කඳවුරක් නො එසේනම් කිසියම් ආකාරයක රැස්වීමක් ඇතැ’යි යන අදහසිනි. ඒ ඔත්තු සේවා සැපයූ තොරතුරු අනුව වන්නට ඇත.
එහෙත් උත්සවය සංවිධානය කළ පාසල් බලධාරීන් පවසා ඇත්තේ එතැන ත්‍රස්ත කඳවුරක් හෝ පුහුණු කඳවුරක් නොතිබි බවත්, ඉස්ලාමීය දහම් පාසලක ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානයක් සිදුවූ බවත් ය. මේ සඳහා ප්‍රදේශයේ බලය පවත්වාගෙන යන තාලිබාන් නායකයන් කිහිප දෙනෙකුට ආරාධනා කැර තිබූ බව සත්‍යයකි. ඒ නිසා හමුදාව එතැනට බෝම්බ හෙළීම නොකළ යුත්තක් ව තිබිණී. ඉන් පීඩාවට පත් බහුතරය වයස 11, 12 වන ළමුන් ය.
තාලිබාන් පවසන්නේ නැටෝ හමුදාවල පිටුබලය සහිත ඇෆ්ගන් ආරක්‍ෂක හමුදා විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලද බවයි. එහෙත් නැටෝ ප්‍රකාශකයන් පවසා ඇත්තේ මේ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙය තනිකරම ඇෆ්ගන් ආරක්‍ෂක හමුදාවල වැඩක් බවත් ය.
පසුගිය ජනවාරි 31දා කන්දහාර් පළාතේ මෛචාන්ද් දිස්ත්‍රික්කයේ ගම් දෙකක නැටෝ පිටුබලය සහිත රජයේ හමුදා පැවැත්වූ සෝදිසි මෙහෙයුමක දී සිවිල් වැසියන් 20ක් ඝාතනය වූ බව හියුමන් රයිට්ස් වොච් විසින් පෙබරවාරි මාසයේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් ය. පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ කන්දහාර් පළාතේ චපර්හාර් හි කළ එබඳුම මෙහෙයුමක දී තරුණයන් දෙදෙනකු ඇතු`ඵ සිවිල් වැසියන් හත් දෙනෙකු මරා දැමිණි. ඇෆ්ගන් රජයේ ප්‍රකාශක කියන්නේ මේ සියලුදෙනා තාලිබාන් ක්‍රියාධරයන් බව ය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ මතය වනුයේ තාලිබාන් කණ්ඩායම සිය ආරක්‍ෂාවට මාඩ්‍රාසා වර්ගයේ ඉස්ලාමික ආගමික විද්‍යායතනවල පන්ති පවත්වන බවයි. පසුගිය 02දා තිබී ඇත්තේ ද එවැනි පන්තියකි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඒ ප්‍රදේශයේ පාලනය තාලිබාන් යටතේ පවතින බැවින් හරියට ම නිවැරදි තොරතුර ලැබෙන්නට කල් ගතවනු ඇති බවයි.
මේ ගැන නොපමාව පරීක්‍ෂණ පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය ජන්ම භූමිය කැරගත් ඉස්ලාමිය අන්තවාදී සංවිධානයකි. පස්තුන් ගෝත්‍රිකයන්ගෙන් සුසැදි එම සංවිධානයේ වත්මන් සාමාජික සංඛ්‍යාව 60,000 ඉක්මවන බව සඳහන් ය. එහෙත් ඇෆ්ගන් රජය කියන්නේ එය 20,000 නොඉක්මවන බවයි.
1979 වසරේ සෝවියට් සංගමය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ය. සෝවියට් දේශය සිය භූමියට අයත් බලුකිස්තානය ද අල්ලා ගනු ඇතැ’යි බියවූ පාකිස්තාන ජනාධිපති සියා උල්-හක් ඒ සඳහා විසඳුම් සෙවී ය. ඔහු එවකට පාකිස්තාන අන්තර් සේවා රහස් ඔත්තු සේවා කාර්යංශයයේ (ISI) අබ්දුල් රහ්මාන් සවුදි අරාබියට යවා සෝවියට් ආක්‍රමණයට එරෙහිව සහාය ඉල්ලා සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් ඇෆ්ගන් මුජාහිදින් කල්ලියක් වෙත අමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවාව (CIA) සහ අරාබියේ පොදු ඔත්තු සේවා පාලනාධිකාරය (GID) ISI හරහා ආධාර සපයා සන්නද්ධ කල්ලියක් නිර්මාණය කරන ලදි. එසේ නිර්මිත කල්ලිය තාලිබාන් ය.
පාකිස්තාන හමුදාව විසින් ඔවුන්ට සිය කඳවුරුවල දී පුහුණුව ලබාදෙන ලදි. පුහුණුව ලද කණ්ඩායම සමස්ත වශයෙන් 90,000කි. නායකයා ලෙස වඩාත් ප්‍රබල සහ ප්‍රචණ්ඩ මෙන් ම දැඩි ඉස්ලාම් මූලධර්මවාදියකු වූ මුල්ලා ඔමාර් තෝරා ගන්නා ලදි. මෙලෙස තාලිබාන් යනු අමෙරිකානු – සෞදි – පාකිස්තාන නිර්මාණයක් බව සැලකුව මනා ය.
අදටත් තාලිබාන් කණ්ඩායමට පුහුණුව ලබාදෙන්නේ පාකිස්තානය විසින් බවට චෝදනා නැගේ.
මෙහි දී සඳහන් කළ යුතු තවත් කාරණයක් නම් පකිස්තානයේ ක්‍රියාත්මක තාලිබාන් -ඉ- ටෙහ්රික් (TTP) සමග ඇෆ්ගන් තාල්බාන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ය. මලාලා යූසුෆ්ස්සායිගේ නිජබිම වන ස්වැත් නිම්නය අල්ලා ගෙන සිටියේ TTP කණ්ඩායමයි. එහෙත් TTP ද පස්තුන් ගෝත්‍රිකයන්ගෙන් පමණක් සමන්විත වන අතර කණ්ඩායම් දෙක ම පුහුණව ලබන්නේ එකම පාකිස්තාන ඇකඩමියක බව සඳහන් ය. මේ වනවිට TTP කොටස් හතරකට භින්න ව සිටින බැවින් අබල බව පැවසේ.
සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු සෝවියට් හමුදා ආපසු ගිය අතර ඇෆ්ගනිස්තානයේ පාලනය තාලිබාන් යටතට පත්විය. මුල්ලා ඔමාර් නායකත්වයට පත් වූ අතර 1996 සිට 2001 දක්වා එහි පාලනය ඔවුන්ගේ විය. ලෝක උරුම වූ බාමියන් බුදුපිළිම ඔවුන් විසින් පුපුරුවා හරින ලද්දේ එසමයේ ය.
2001 සැප්තැම්බර් 11 දා එල්ල වූ දැන් 9/11 ලෙස හැඳින්වෙන අතිබිහිසුණු ප්‍රහාරයෙන් පසු කම්පාවටත් ලජ්ජාවටත් පත්වන අමෙරිකා එක්සත් ජනපදය එයින් මසක් ඉක්මෙන්නටත් මත්තෙන් ඇෆ්ගනිස්තානයට නැටෝ හමුදා එවන්නේ තාලිබාන් සහ අල්-ඛයිදා යන ත්‍රස්ත සංවිධාන මර්දනය කිරීමේ අරමුණෙනි.
අල්-ඛයිදා නම් එහි නායකයා වූ බින් ලාදන් ඝාතනය කිරීමත් සමග අභාවයට ගිය නමුත් තාලිබාන් එසේ නොවේ. එහි ආරම්භක නායක මුල්ලා උමාර් මෙන් ම ඉන්පසු නායකත්වය භාරගත් මුල්ලා අක්තාර් ද ඝාතනය වී ඇතත් තවමත් එය පෙරසේ ම ය.
අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඇලිය එදා පටන් මේ දක්වා සිය ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් ඇෆ්ගනිස්තානයේ යට කරන්නේ එදා තමන් විසින් බීජයක් ලෙස රෝපණය කොට දිය සහ පොහොර යොදා වඩා ගත් විසල් ගස විනාශ කරගනු නොහැකිව ය. මෙය සාඩම්බර අමෙරිකානු ආධිපත්‍යයට කෝචොක් කිරීමක් ද වේ. ලජ්ජාව වසා ගනු නොහැකි ඔවුන්ගේ චෝදනාව නොබෝදා රුසියාව වෙත එල්ල විය.
තාලිබාන් සංවිධානය දැන් සන්නද්ධ කරන්නේ රුසියාවය යන්න එම චෝදනාවයි. එලෙස චෝදනා කරන්නේ ඇෆ්ගනිස්තානයේ ස්ථානගත අමෙරිකානු හමුදා අණදෙන නිලධාරී ජෝන් නිකොල්සන් ය. එහෙත් අමෙරිකානු රහස් ඔත්තු සේවා විසින් පවා එම චෝදනාව සාවද්‍ය බව හා එවැන්නක් සිදු නොවන බව රජයට වාර්තා කොට ඇති බව බීබීසී වාර්තාවක දැක්වේ.
මේ ගැන තමන්ට දෙකොණෙන්ම හිනායන බව තාලිබාන් සංවිධානය විසින් පවසන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඔවුන් පවසා ඇත්තේ තමන් සන්තකයේ පවතින අවි සහ වාහන රජයේ හමුදා වෙතින් ම ලබා ගත් ඒවා බවයි. පළමුවැනි ක්‍රමය පැහැර ගැනීමයි. දෙවැනි ක්‍රමය අතයට ක්‍රමයට මිල දී ගැනීමයි. රුසියාව ද මේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු රජයට දන්වා ඇත.
කෙසේවෙතත් රුසියාව තාලිබාන් සංවිධානය සමග සබඳකම් පවත්වාගෙන යන බව අනාවරණය වී තිබේ. ඒවා 2001 තරම් පැරණි ය. මෑත දී තාලිබාන් ජ්‍යෙෂ්ඨයන් සහ ක්‍රෙම්ලිනය අතර සාකච්ඡා වට කිහිපයක් ම පැවතී ඇති බව බීබීසී වාර්තාවක දැක්වේ. ජනාධිපති පුටින් තාලිබානුන්ට පක්‍ෂ නිසා නොව නැටෝ සංවිධානයේ ප්‍රහාරාත්මක ක්‍රියා කලාපයට එරෙහි නිසා ක්‍රෙම්ලිනය මෙසේ තාලිබාන් සමග ඇයි හොඳයියක් පවත්වන බව එම වාර්තාවේ සඳහන් ය.
මේ අතර සීඅයිඒ සංවිධානය මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට රුසියාව ඍජුව ම චෝදනා කරයි.
අතීත කේජීබී නිලධරයකු වන පුටින්ගේ වැඩ අමුතු බැවින් ඔහු තාලිබාන්ලාට අවි සැපයුවාය කීවත් පුදුම වන්නට දෙයක් ද නැත.
තාලිබාන් සංවිධානය මෙතෙක් අවි බලයෙන් යටත් කළ නොහැකි වූ බැවින් එය කාබුල් පාලනයට හිසරදයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. කොන්දේසි විරහිත ව රජය සමග සාකච්ඡාවලට එළැඹෙන ලෙස ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි පෙබරවාරි අන්තිමදා තාලිබානුන්ට විවෘත ආරාධනයක් කරන්නේ එහෙයිනි. එහෙත් තාලිබාන් එම ආරාධනය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ තමන් සමග සටන් වැදී සිටින්නේ රජයේ හමුදා නොව අමෙරිකාව ප්‍රමුඛ නැටෝ හමුදා බැවින් ඔවුන් සිය රටෙන් නික්ම යන තෙක් සාකච්ඡාවලට එළැඹිය නොහැකි බවයි.
ඇෆ්ගනිස්තාන විෂයය භාර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත තදමිචි යමමෝටෝ පෙන්වා දෙන්නේ තාලිබාන් ප්‍රකාශයෙන් යථාව නියමාකාරයට ඉදිරිපත් නොකෙරෙන බවයි. ඒ සාවද්‍ය ඉදිරිපත් කිරීමකි.
මේ ගැන විදෙස් මාධ්‍යවල පළවන වාර්තා කියවනවිට පැහැදිලි වන කාරණයක් නම් දැන් මෙතැන ද ඇත්තේ රුසියාව එක් පසෙකත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ඇලිය තවත් පසෙකත් හිඳ පවත්වාගෙන යන බල අරගලයක් බවයි. කෙසේවෙතත් අවසානයේ ඉන් තැළෙන්නේ අහිංසක සිවිල් පුරවැසියන් බව අමුතුවෙන් කිවයුතු නොවේ.