රාවය

ආණ්ඩුව ඉන්ධන මිල දරා ගැනීම බාල දේශපාල ගුණ්ඩුවක් මහාචාර්ය රොහාන් සමරජීව

ආණ්ඩුව ඉන්ධන මිල දරා ගැනීම බාල දේශපාල ගුණ්ඩුවක් මහාචාර්ය රොහාන් සමරජීව

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

පහුගිය ආර්ථික දර්ශක අනුව ගත්තාම පේන කාරණය තමයි වසර කීපයක ඉඳන් යම් කිසි දුරකට ස්ථාවරව තිබුණු ආර්ථිකය වර්ධන වේගය ගෙවීගිය වසර තුළ සෑහෙන දුරට පහත වැටී තිබීම. මේ ගැන ඔබේ තක්සේරුව මොකද්ද?
ගිය අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය ලංකාවේ පැවති අඩුම ආර්ථික වර්ධන වේගයක්. ඒක සීයට හතරටත් වඩා අඩුයි. විශේෂයෙන් අපේ අවට රටවල් වන බංගලිදේශය, බුරුමය වගේ රටවල පවා ආර්ථික වර්ධන වේගය සීයට හයේ සීමාව පන්නලා තියෙන තත්ත්වයක් තුළ අපි මේ විදිහේ පහළ අගයක් ගැනීම නොසලකා හරින්න බෑ.
එහෙත් මේ පිළිබඳ වැදගත් විශ්ලේෂකයකු වූ ආචාර්ය එබ්ලිව් ඒ විජේවර්ධන පෙන්නලා දෙනවා ලංකාවේ ආර්ථික වර්ධනවේගය අඩාලවීම පටන්ගත්තේ ගිය අවුරුද්දේ ඉඳන් නෙමෙයි දෙදහස් දහතුනේ ඉඳලා කියලා.
ආර්ථික වර්ධන වේගය කියන එක ගනිද්දි අපි ටිකක් පුළුල් විදිහට බලන්න ඕනෙ. උදාහරණයක් විදිහට යුද්ධය පැවතුණු කාලයේ අපේ කෘෂිකාර්මික ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් වගා කළේ නෑ. ඒ බිම්බෝම්බ වළලලා තිබීම වගේ කාරණා නිසා. ඒත් යුද්ධය ඉවරවුණාට පස්සේ ඒ දේවල් අපේ කෘෂි ආර්ථිකයට එකතු වුණා. මේත් එක්ක අපේ ආර්ථිකය යම්තාක් දුරට වර්ධනය වුණා. එහෙම නැතිව ඒ වර්ධනය වුණේ අපි ක්‍රියාත්මක කළ වෙන ආර්ථික වැඩපිළිවෙළවල් සාර්ථක වීම නිසා නෙමෙයි. පැහැදිලිවම කලින් කිව්වා වගේ මෙතෙක් ආර්ථිකයෙන් බැහැරව තිබූ කොටස් ආපහු ආර්ථිකයට එකතුවීම කියන කාරණය නිසා.

දෙදහස් හත වසර තුළ ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න බලපෑවෙ මොන සාධකයන්ද?

පහුගිය කාලේ අපි ආර්ථික වර්ධනය කියන එක දිහා බැලුවේ යුද්ධයට කලින් තිබ්බ තත්ත්වය එක්ක නෙමෙයි, ආර්ථිකයෙන් ඈත්වෙලා තිබ්බ මේ වගා බිම් ආදී සම්පත් ආර්ථිකයට ආපහු එක්වුණාට පස්සෙ ගෙවුණු අවුරුදු දෙක තුනක කාලය තුළ තිබුණු ආර්ථිකයත් එක්ක.
ඒ කාලය තුළ ආර්ථිකය වර්ධනය වුණේ කෘෂිකර්මයට අලුතින් එක් වුණ සාධක මත වගෙම ගිය අවුරුද්ද තුළ ආර්ථිකය බිඳවැටෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවෙත් කෘෂිකාර්මික සාධක කියන එකයි මගේ හැඟීම. මොකද පහුගිය කාලය තුළම අපි අපේ ආර්ථිකය දියුණු කරන්න වෙනත් වැදගත් පියවරයන් ගත්තෙ නෑ.
පහුගිය අවුරුද්ද තුළ ලංකාවට විශාල නියඟයක් බලපෑවා. ඒ හේතුවෙන් අපේ කුඹුරු ඇතුළු ගොවි බිම් සෑහෙන ප්‍රමාණයක් වගා කළේ නෑ. ඒත් එක්කම තවත් ප්‍රදේශවලට ගංවතුර බලපෑවා. මේ ප්‍රශ්න දෙක ම නැති කාලයේ පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුවේ ගැටලුකාරී ප්‍රතිපත්ති කෘෂිකර්මය අඩාල කළා. කොහොම හරි ලංකාවේ කෘෂිකර්මයට ගිය අවුරුද්දේ විශාල පහරවල් කිහිපයක් වැදුණා.

ඒත් අපේ ප්‍රධාන ආර්ථික කථිකාව තුළ කෘෂිකර්මය ඉක්මවා ගිය විවිධ ගාමක ප්‍රතිසංස්කරණයන් ගැන කතා කෙරුණා. එට්කා ගිවිසුම, නිදහස් වෙළෙඳ කලාප පිහිටුවීම වගේ දේවල් ඒ අතර වෙනවා?

ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගිය අවුරුද්දේ තුනයි දශම ගණනක් වෙනකං පහළට බැස්සා. ඒක කලින් තිබුණු හතරේ සීමාව වුණත් සතුටු වෙන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට සතුටු වෙන්නනනම් අපේ ආර්ථික වර්ධන වේගය හත දක්වාවත් වර්ධනය වෙන්න ඕන.
ඔබ කිව්වා වගේ අපේ ආර්ථික කථිකාව තුළ කෘෂිකර්මය ඉක්මවා ගිය ප්‍රතිසංස්කරණ ගැන කියවුණා තමයි. ඒත් ඒ කිසිවක් නිවැරදි පරිදි ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා තමයි කෘෂිකර්මය තවමත් තීරණාත්මක සාධකයක් වෙලා තියෙන්නේ.
අපේ රටේ ආර්ථිකය වර්ධනය කරනවානම් අපි අලුත් වෙළෙඳපොළවල් හොයාගන්න ඕන. හැබැයි නව වෙළඳපොළවල් හොයාගැනීම කියන කාරණයේදී අපි පියවර කිහිපයක් ඉටුකරගත්තා කියලා කියන්නත් පුළුවන්. එකක් තමයි මත්ස්‍ය අපනයනයට තිබුණ තහනම අයින් කර ගැනීම. මත්ස්‍ය අපනයනය කියන්නේ අපේ ආර්ථිකයෙන් විශාල කොටසක් නෙමෙයි. ඒ නිසා ඒ බලපෑම අපිට එකවර නොදැනෙන්න පුළුවන්. ඒත් ඒක සෑහෙන වැදගත් පියවරක්. මේ හේතුවෙන් අපේ රටේ මත්ස්‍ය අපනයනය සෑහෙනදුරට වර්ධනය වෙලා තියෙනවා.
අනික් කාරණය තමයි ජීඑස්පී ප්ලස් සහනය. මේ මඟින් වෙන්නේ අපේ රටේ රෙදිපිළි ආදී අපනයනයන්ට අදාළ රටවලදී ගෙවීමට සිදුකරන බදු ඉවත් කිරීම. ඒ වගේ එකකින් ලංකාවට ඍජු මූල්‍ය වාසියක් සිද්ධවෙන්නෙ නෑ. අපේ රටේ බදු ඒ රටට යද්දී ඒ රටේදී එකතුවන බදු මුදල එකතුවෙන්නෙ නෑ කියන්නේ ඒකේ ඍජු මූල්‍ය වාසිය තියෙන්නේ ඒ භාණ්ඩය මිළදීගන්න අදාළ රටේ පාරිභෝගිකයාට. මේ මගින් සිද්ධවෙන්නේ අපේ රටේ අපනයන තරගකාරීව ඒ රටට යැවීමට පුළුවන්කම ලැබීම.
ඒත්, මේ සහනය නිවැරදිව ගන්නනම් අපි අදාළ සහනය ලැබෙන්නට කලින් ඉඳන් මේ සඳහා සූදානම් වෙලා ඉන්න ඕනැ මොකද නිෂ්පාදන වැඩිකිරීම කියන කාරණය එකවැර කරන්න බෑනෙ. ඒ සඳහා විශාල කාලයක් යනවා. කර්මාන්තශාලා දියුණු කරන්න ඕන. සේවකයින් රඳවාගන්න ඕන. පුහුණු කරන්න ඕන. ඒ වගේම භාණ්ඩ වැඩිපුර ලබා දෙන බවට ගිවිසුම් අත්සන් කරලා සූදානම් වෙලා ඉන්න ඕන. ඒත් පොදුවේ ගත්තාම අපි ඒ දේවල්වලට කලින් සූදානම් වුණේ නෑ.
අපිට ජීඑස්පී ප්ලස් ලැබෙනවාය කියලා එහෙම සූදානම් වුණ බයිසිකල් නිෂ්පාදනය කරන එක කර්මාන්ත ශාලාවක් ගැන විතරක් මම දන්නවා. මේ අය දෙදහස් පහළොවේ අග වන විට ඉන්දියන් සමාගමක් එක්ක ගිවිසුම් අත්සන් කරලා, ඒ අයගේ සහයත් අරං නව උපකරණ සහ සේවකයින් බඳවාගෙන ජීඑස්පී ප්ලස් වෙනුවෙන් වැඩිපුර නිෂ්පාදනය කරන්න සූදානම් වුණා. ඒ නිසා ඒ අයට මේ යටතේ වැඩිපුර අපනයන කරන්න පුළුවන් වේවි. ඒ වගේ පූර්ව සූදානමක් නොතිබුණු අය සඳහා ඒ විදිහට සූදානම් වෙන්න අවුරුද්දක් දෙකක් යාවි. අපි දන්න විදිහට ජීඑස්පී ප්ලස් වලංගු වෙන්නෙ දෙදහස් විස්ස විසි එක විතර වෙනකම් විතරයිනෙ. ඒ නිසා අපිට මේ සහනය සියයට සීයක් ගන්න පුළුවන්ද කියලා විශ්වාස නෑ. ජීඑස්පී ප්ලස් අයින් කරද්දි ඒ වෙලාවෙම අපිට අත්විඳින්න පුළුවන් වුණ හානිය ඒක ලබා දෙද්දි එසැනින් අත්විඳින්න බෑ ස්විච් එකක් දානවා වගේ.
ඔබ කියූ ආකාරයට, අපේ ආර්ථික කථිකාව ඇතුළේ මීට වඩා ප්‍රධාන ව්‍යාපෘති තිබුණත් මේ ජයග්‍රහණයන් දෙක තමයි අපි මෙතෙක් ලබා ගත්තේ. ඊට අමතර ව සිංගප්පූරුව සමග ගිවිසුමක් අත්සන් කළා. එක අතකින් සිංගප්පූරුව කියන්නේ ඉන්දියාව තරමේ අතිවිශාල වෙළෙඳපොළක් නෙමෙයි. ඒ වගේම ඒ ගිවිසුමේ මුල් අඩ අවසන් වෙලා තිබ්බත් මම දන්න විදිහට එහි වැදගත් ම කොටස වන උපලේඛන තවමත් සැකසිලා නෑ. එක්ටා වගේ ගිවිසුම් අමතක වෙමින් යනවා. ඔබ ඇසූ නිදහස් වෙළෙඳ කලාප වැඩපිළිවෙළ සිදුවෙමින් පවතින බව කිව්වත් තවමත් අපිට නිශ්චිත අදහසක් ගන්න අමාරුයි.

රජය වෙත එල්ලවන විවිධ කොටස්වල විරෝධය සහ තවත් දේශපාලනික අතපෙවීම් එක්ටා වගේ ගිවිසුම් ක්‍රියාවට නොනැගීම සඳහා බලපාලා තියෙන බව පේනවා?

මොන දේ වුණත් ඒ වගේ දේවල් මගහැරීමේ ප්‍රතිඵල අපි දැනටත් අත්විඳිනවා. එක්ටා ගිවිසුම තුළ තිබුණා කඩිනමින් ලබාගන්න පුළුවන් ප්‍රතිඵල සම්බන්ධ ගිවිසුමක්. ඒ ගිවිසුම තුළ තිබ්බ එක යෝජනාවක් තමයි බේරුම්කාර මණ්ඩලයක් පිහිටුවීම.
අපිට පහුගිය දවස්වල ආරංචි වුණා ඉන්දියාව මගින් අවම ආනයන මිළක් නියම කරලා තියෙනවා කියලා ගම්මිරිස් සඳහා. මේ නිසා අපේ ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම අර්බුදයට ගිහින්. ඒත් අර විදිහේ බේරුම්කාර මණ්ඩලයක් තිබුණානම් අපිට ඒ ගැන පැමිණිලි කරලා ඒක ඉක්මනට විසඳගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේ ගිවිසුමක් තියෙද්දී අර විදිහේ සීමා පණවන්න බෑ. ඉතිං මේ වගේ ගිවිසුම් අතහැරලා අපිට සියයට හයක හතක ආර්ථික වර්ධන වේගයකට ළඟාවෙන්න බෑ කියන එක පැහැදිලියි.
ඒ වගේම ලංකාවේ තියෙන ලොකුම බාධකයක් තමයි අපේ කර්මාන්තවලට ශ්‍රමිකයන් නැතිකම. දැන් මාස දෙක තුනකට කලින් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් යම් සමීක්ෂණයක් කළා ශ්‍රමිකයින්ට තියෙන ඉල්ලුම ගැන. ඊට අනුව අපේ රටේ වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ ඇඟලුම් කර්මාන්තය තුළ. ඒ වගේම තමයි ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තුළත් විශාල ඉල්ලුමක් තියෙනවා. ඒත් අපිට ඒ වගේ දේවල් සඳහා ශ්‍රමිකයින් නෑ. ඒ වාර්තාව කියන විදිහට අපි විසිපන්දහසක විතර ප්‍රමාණයකට වීසා දීලා තියෙනවා ඒ නිසා.
ජුකී මැෂින් ක්‍රියාකරවන්න, ඉදිකිරීම් සිදුකරන්න අපේ රටේ ශ්‍රමය නැතිනම් ඒවාට පිටරැටියන් ගෙනාවට පස්සෙ අපි ඉන්දියන්කාරයෝ ගේනවා කියලා බැණ බැණ ඉඳලා තේරුමක් නෑ. මොකද ඒ කර්මාන්ත නිවැරදි පරිදි ගොඩ නගන්නවත් නිෂ්පාදනය වැඩි කරන්නවත් බැරිවෙනවා අවශ්‍ය ශ්‍රමය නැත්තං. යම් කෙනෙක්ට කර්මාන්ත ගොඩනගන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර මිළදීගන්නත් පුළුවන්. ඒත් අවශ්‍ය ශ්‍රමය නැත්තං ඒ කර්මාන්තය ආරම්භ කරන්න බෑ.

ඛනිජතෙල් මිළ සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවෙලා තියෙන අර්බුදය ඔබ දකින්නේ කොහොමද?

මේ වනවිට පැහැදිලි කරලා තියෙන හැටියට ඔක්ටේන් අනූ පහේ පෙට්‍රල් ලීටරයක් විකුණද්දි සංස්ථාව ඒකෙන් රුපියල් නවයක පාඩුවක් ලබනවා. ඉතිං මේ මිළට මෙච්චර කාලයක් තිස්සේ තෙල් විකිණීම නිසා ඇතිවෙලා තියෙන පාඩුව කොච්චරද කියලා හිතාගන්න අමාරු නෑනෙ.
තමන් තෙල් මිළ ඉහළ දාන්නෙ නැතිව පවත්වාගෙන යනවා කියලා ඇමතිවරයා කියද්දි, අපි සියුම්ව හිතන්න ඕන තෙල් සංස්ථාවේ අදාළ පාඩු පියවන මුදල් කොහෙන්ද එන්නේ කියලා. ඒ පාඩු පියවන්නේ අමාත්‍යවරයාගේ හරි කාගේ හරි පුද්ගලික මුදල්වලින් නෙමෙයිනෙ. කිරිපිටිවලින්, අර්තාපල්වලින්, සීනිවලින්, පරිප්පුවලින් ගන්න බදු මුදල්වලින් තමයි ඒවා පියවන්නේ. අපි දන්නවා දැනටත් ආණ්ඩුවට රටේ අයවැය පරතරය පියවගන්න අමාරුයි. ඒ තියෙද්දි තවදුරටත් මේ විදිහේ පාඩු ලබන ව්‍යාපාර ඒ විදිහටම පවත්වාගෙන ගියොත් අන්තිම ප්‍රතිඵලය හැටියට එන්නේ උද්ධමනය තවදුරටත් ඉහළ යන එක විතරයි.
පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිවලත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලත් තිබුණා ඛනිජතෙල් යම් සූත්‍රයකට අනුව පවත්වාගෙන යනවා කියන එක. සූත්‍රයක් කියන්නේ අමාත්‍යවරයාට අව්‍යශ විදිහට මිළ පාලනය කරන එකක් නෙමෙයි. ලෝක වෙළඳපොළේ වැඩිවෙනකොට වැඩිවෙන, ලෝක වෙළඳපොළේ අඩුවනකොට අඩුවන එකක්.
ආණ්ඩුව ඉන්ධන මිළේ පාඩුව මහජනතාව වෙනුවෙන් දරාගන්නවා කියන එක බාල දේශපාලනික ගුණ්ඩුවක්. මොකද ඒ පාඩුව දරාගන්නේ ආණ්ඩුවේ මුදලින් නෙමෙයි මේ රටේ ඛනිජතෙල් භාවිත කරන නොකරන සියලුම බදුගෙවන ජනතාවගේ මුදලින්. ඒ නිසා ඛනිජතෙල් මිළ ලෝක වෙළඳපාළට සාපේක්ෂව සංශෝධනය කරන්න අවශ්‍යයි කියන එක තමයි මගේ හැඟීම.