බුද්ධ ශාසනයත් පෙඩරල් නම් ව්‍යවස්ථාව ඒකීය වන්නේ කුමටද?

එම්.කුමාරගේ

ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ද බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රාජ්‍යයකි.නමුත් ඉන්දියාවෙ හි පවත්නා සකලවිධ බහුවිධතාව යනු ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට වඩා බෙහෙවින් සංකීර්ණය.එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී ඉන්දියානු නායකයන්ට පැවති දියුණු දැක්ම නිසා සියලු බහුවිධතාවන්ට වඩාත් ගැලපෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට හැකියාව ලැබුණි. විශේෂයෙන් මෙහිදී තේරුම් ගත යුතු කරුණක් නම් ආගමික වශයෙන් ගත් කල ජන අනුපාතය අනුව 80% ආසන්න වශයෙන් සිටිනුයේ හින්දු ආගම අදහන්නන් ය.ඊට සාපේක්ෂව අඩු ප්‍රතිශතවලින් වුවත් තවත් බොහෝ ආගම් ප්‍රමාණයක් පවතී.බහුතරය හින්දු ආගමික වුවත් ආගම් බොහෝ ප්‍රමාණයක් පැවතියත් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනාගමික වූවකි.ආගම ඇදහීම හෝ නොඇදහීම පුද්ගල අභිමතය පරිදි සිදු කළ යුත්තක් මිස ඊට කිසිදු නිල පිළිගැනීමක් ව්‍යවස්ථාවෙන් ලබාදී නොමැත.
එහෙත් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වූවකි. ඉතිහාසය පුරාවටම සිදු වී ඇත්තේ මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සීමිත පිරිසකට තම බලය අත්පත් කර ගැනීමටත්,පවත්වාගෙන යාමටත් මෙවලමක් ලෙස පාවිච්චි කිරීමට ඉඩ ලැබීමය. යහපාලන ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමෙන් අනතුරුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට අවශ්‍ය මූලික පියවර කිහිපයක් තබන ලදී.
මෙම කටයුත්තේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ඒකමතික තීරණය වූයේ ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මිස කිසිදු ආකාරයේ පෙඩරල් නැතහොත් බෙදා වෙන් කොට පාලනය කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත්ම එකග නොවන බවය.මේ සම්බන්ධයෙන් ඒකාබද්ද මාධ්‍ය නිවේදනද නිකුත් කළහ. එහිදී ත්‍රෛනිකායික මහාසංඝරත්නය ම එකම කණ්ඩායමක් ලෙසට කටයුතු කරන ආකාරය මුළු මහත් සමාජයටම දැකගත හැකි විය. නමුත් උන් වහන්සේලාට අමතක වී ගොස් තිබෙන කරුණක් ද තිබේ. ඇත්තෙන් ම එය හිතාමතාම අමතක කොට කටයුතු කරනවාද යන්න වෙනම සිතා බැලිය යුත්තකි. (පහත වගුව බලන්න.)
අනෙකාගේ ඇසෙහි තිබෙන පොල් කෙන්ද පෙනුනා උනාට තමන්ගේ ඇසෙහි තිබෙන පොල් පරාලය නොපෙනේ, යනුවෙන් කියමනක් තිබේ.ඉහත වගුව අනුව මෙරට බෞද්ධ සමාජය කොතෙක් දුර පෙඩරල් වී තිබේද යන්න මැනවින් හඳුනාගත හැකිය. මීට අමතරව භික්ෂුණී ශාසනයක් ද ඇත.රට තුළ නිවැරදි සංගණනයක් සිදුකළහොත් මේ රටේ සිටින මහා සංඝරත්නය උපරිම වශයෙන් වුවහොත් තිස්දාහක් පමණ වෙති. ඇතැම් විට එය ඊට ද අඩු විය හැක. තිස්දාහක් ලෙස සලකනු ලැබූවත් ආසන්න වශයෙන් ගත් කල සෑම භික්ෂූන් වහන්සේලා දාහකට පමණම පාර්ශ්වයක් තිබේ.එබඳු විභේදනයක් පවතිද්දීත් මහා සංඝ රත්නය ලෙස සියලු දෙනාම රට තුළ සමාජය තුළ කිසිදු ගැටලුවකින් තොරව ආගමික කටයුතුවල නියැලෙමින් සිටිති. ධර්ම ප්‍රචාරණය සිදු කරනු ලබයි. දානමය කටයුතු වලට,පාංසකූල කටයුතු වලට වැඩම කරති. ආගමික උත්සවවලට, රාජ්‍ය උත්සවවලට, විදේශ සංචාරවලට එක්ව සහභාගි වෙති. ඒකාබද්ධ මාධ්‍ය නිවේදන නිකුත් කරති. ඉහත සියලු තත්ත්වයන් තුළින් පැහැදිලි වනුයේ කිසිදු භේදයකින් තොරව සියලු කටයුතු සිදු කරන බව ය. එහෙත් රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයේදී ඒ වෙනුවෙන් පෙනී සිටිනුයේ වෙනස් මතවාදී තලයක සිටිමින් ය. මෙබඳු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ කුමන පදනමකින් ද ?.කාගේ උවමනාවක් වෙනුවෙන්ද? රටේ මහජනතාව ලෙසින් ඒ පිළිබඳව එළඹි සිහියෙන් කල්පනා කළ යුතු නැද්ද?
“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා යනුවෙන්” බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සියලුම සත්වයන්ගේ හිත සුව පිණිස මිස යම් කොට්ඨාසයක් පමණක් ඉලක්ක කර නොගනිමින්ය. ශ්‍රී ලංකාව යනු චින්තනමය වශයෙන් දුප්පත් ආධ්‍යාත්මික වශයෙන් පසුගාමී තත්ත්වයක තිබෙන රටකි. මෙහි ජනතාවත් ආගමික සංස්ථාවන් ඊට අනුලෝමව සමානුපාතිකය ආගමික සංස්ථාව තුළින් පමණක් ඊට වඩා ඉදිරිගාමී චින්තනයත් අපේක්ෂා කළ නොහැකි බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එපා කියන සංඝ සමාජයේ මතය දෙවරක් නොසිතාම ප්‍රතික්‍ෂේප කළ යුතුය.
රටක කොදු නාරටිය යනු ඒ රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකිය හැකිය.රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට නම් රටට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම අත්‍යවශ්‍ය වූවකි.එහිදී සීමිත පිරිසක් විසින් සිදු කරනු ලබන ව්‍යාජ පෙනී සිටීම් වලට අනවශ්‍ය වටිනාකම් ලබා නොදී රටේ පවත්නා සකල විධ බහුවිධතාවන්ට සාධාරණත්වය ඉෂ්ට වන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට සමස්ත රට වැසියන්ගේම බුද්ධිමත් දායකත්වය, මැදිහත් වීම සිදු විය යුතුම දෙයකි .

බෞද්ධ ශාසනය

සියම් නිකාය අමරපුර නිකාය
*ශ්‍යාමෝපාලි මහා නිකාය * ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
මල්වතු පර්ශ්වය *අමරපුර මූලවංශික මහා නිකාය
*ශ්‍යාමෝපාලි මහා නිකාය අස්ගිරි පාර්ශවය * උඩරට අමරපුර මහා නිකාය
*ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව * අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය
*ශ්‍රී ජයවර්ධනපුරය කෝට්ටේ ශ්‍රී * ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය
කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාව අඹගහපිටිය පාර්ශ්වය
*ඌවේ ස්‍යාමවංශික නිකාය * අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය
*රංගිරි දඹුලු විහාර සංඝ සභාව * ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය රාස්සගල පාර්ශ්වය
*ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ රෝහණ පාර්ශ්වය * අමරපුර සද්ධම්මයුක්තික (මාතර නිකාය)
*මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකාය * අමරපුර ආරියවංශ සද්ධම්මයුක්තික නිකාය
වනවාස පාර්ශවය * ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වජිරවංශ පාර්ශ්වය
* අමරපුර සිරිසුමන මහා නිකාය (දඩළු පාර්ශවය)
* ශ්‍රී ලංකා අමරපුර චූල ගණ්ධි පාර්ශ්වය
* ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වය
* ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශ්වය
* ඌව අමරපුර නිකායික ශ්‍රී සුධර්මවාදිනී කාරක සංඝ සභාව
* ශ්‍රී අමරපුර මුම්මවංශාභි ධජ සිරි සද්ධම්මයුක්තික නිකාය
* අමරපුර මහා නිකායේ කළ්‍යාණිවංශික ශ්‍රී ධර්මාරාම සද්ධම්මයුක්තික පාර්ශ්වය
* ඌව උඩුකිඳ අමරපුර නිකාය
* ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ශ්‍රී ලංකා ශ්වෙජීන් මහා නිකාය
* උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාව
* ශ්‍රී කළ්‍යාණිවංශ නිකාය
* අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනොදය සංඝ සභාව

රාමඤ්ඤ නිකාය
* ශ්‍රී ලංකා රමාඤ්ඤ මහානිකාය